2020 මාර්තු 07 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 111

ගෝඨාගේ අලියා ගැන රනිල්ගේ විහිළුව

යූ.එන්.පීය. ඇතුළත අර්බුද කොතරම් තිබුණත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තමන් තුළ ඇති මුඛරිකම හෝ තියුණු සිනා රසිකත්වය අමතක කරන්නෙක් නොවේ.

ඉකුත් සතියේදී පැවැති ජාතික නීති සමුළුවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්සට වික්‍රමසිංහ මහතා හමුවිය. සමුළුවේ ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඔහුගේ සහභාගීත්වය අගය කිරීමේ සංකේතයක් වශයෙන් තම සංගමය මගින් මැණික් එබ්බවූ අලියකු තෑගි කළ බව ඉන්දතිස්ස මහතා රනිල් වික්‍රමසිංහ මහතාට කීය. වික්‍රමසිංහ මහතා එය හොඳටම හරියන බව පැවසුවේ “හැමෝටම දැන් අලියා ඕනෑ වෙලානෙ. යැයි සඳහන් කරමිනි. එය මීළඟ මහමැතිවරණයේදී තරග කළ යුතු ලකුණ කුමක්ද යනුවෙන් පක්ෂය තුළ පවතින අර්බුදය ගැන කළ සඳහනක් විය.

- සන්ඩේ ටයිම්ස්

ආණ්ඩුවට තවත් නොගෙවූ බිලක් ඇවිත්

වත්මන් රජය කටයුතු කරන ආකාරය අනුව ආර්ථික ගැටලු නැති බවක් පෙනුණත් ඔවුන්ට දිගන් දිගටම යහපාලන ආණ්ඩුව මගින් නොගෙවා හිඟ තබන ලද බිල්පත්වලින් බැට කෑමට සිදුව තිබේ.

මෙහි අලුත්ම බිල අමෙරිකානු ඩොලර් 7,15,000ක් (රැපියල් මිලියන 120) වටිනා එකකි. පසුගිය රජය චීනය සමඟ සබඳතා පැවැත්වීමේදී උපදේශන සේවා සැපයූ ආයතනය වශයෙන් කටයුතු කළ සීමාසහිත නොදර්න් ස්ටාර් කන්සල්ටින් කෝපරේෂන් වෙතින් එම බිල ලැබී ඇත. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2016 අප්‍රේල් මාසයේදී බෙයිජින්හී සිදුකළ සංචාරත් බෙල්ට් ඇන්ඩ් රෝඩ් සමුළුවත් එම සමාගමෙන් උපදේශන සේවා සැපයූ අවස්ථා අතර වෙයි.

අදාළ සමාගමේ සේවය මාසිකව අමෙරිකානු ඩොලර් 65,000ක ගෙවීමක් මත ලබාගෙන තිබිණි. වත්මන් රජයට එම සමාගම මගින් ඉදිරිපත් කර ඇති ඉන්වොයිසියේ සඳහන් වන්නේ අමෙරිකානු ඩොලර් 7,15,000ක් තමන් ලබාදී ඇති උපදේශන සේවා සඳහා අයවිය යුතු බවය.

විෂය භාර අමාත්‍යාංශය මගින් එම ඉන්වොයිසිය මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇත්තේ එය ගෙවීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහාය.

- සන්ඩේ ටයිම්ස්

මෙරට සංචාරක ටොප් ටෙන් ලැයිස්තුවෙන් චීනය හැලෙයි

කොරෝනා වයිරස් කෝවිඩ් - 19 හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව බරපතළ කඩා වැටීමකට ලක්ව ඇත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට වැඩිපුරම සංචාරකයන් පැමිණෙන රටවල් 10 ලැයිස්තුවෙන් (ටොප් ටෙන්) චීනය හැලී ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කර ඇති දත්තවලට අනුව 2019 පෙබරවාරි ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරකයන් සංඛ්‍යාවට වඩා 2020 පෙබරවාරි පැමිණි සංඛ්‍යාව 92.5%කින් පහළ බැස තිබේ.

මේ අතර සමස්තයක් වශයෙන් පසුගිය වසරට සාපෙක්ෂව මේ වසරේ පෙබරවාරි මාසය තුළ සංචාරකයන්ගේ පැමිණීම 17.7%කින් පහළ ගොස් ඇත. සංචාරක ඒජන්තවරැන් සහ සංචාර මෙහෙයුම්කරැවන් පවසන්නේ ගෝලීය වසංගතය හේතුවෙන් චීන සංචාරක වෙළෙඳ පොළ බින්දුවටම වැටී ඇති බවය. සාමාන්‍යයෙන් සතියකදී ශ්‍රී ලංකාවට විවිධ ගුවන්සේවා මගින් පැමිණෙන චීන සංචාරකයන් සංඛ්‍යාව 4,800ක් පමණ වෙයි. චයිනා සදර්න්, චයිනා ඊස්ටර්න්, චයිනා එයාර් සහ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සංචාරකයන් රුගෙන එනු ලබන ගුවන් සේවා වෙයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට පැමිණෙන මගී නෞකාවල මගීන් මෙරටට ගොඩවීම අත්හිටුවීමටද රජය තීරණය කර තිබේ. එම තීරණය හේතුවෙන් ඊළඟ මාස දෙක තුළදී සුඛෝපභෝගී නෞකා මගින් මෙරටට පැමිණෙන සංචාරකයන් 20,000ක් පමණ රටට අහිමිවනු ඇතැයි සංචාරක කර්මාන්ත ආරංචි මාර්ග පවසයි.

- ඩේලි එෆ්.ටී.