විවිධ කලාත්මක කටයුතු කෙරෙහි සිරි ගුනසිංහ බලපෑ නමුත් මෙරට ජනයා ඔහුව හඳුනාගෙන ඇත්තේ කවියෙකු, නවකතාකරුවෙකු හා විචාරකයෙකු ලෙසයි. ඇතැම් අවස්ථාවලදී මෙම හැකියාවන් සියල්ලම එක් මිටකට ගනිමින් සිරි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළේය. චිත්‍රපටි අධ්‍යක්ෂණය, තිර නාටකය සකස් කිරීම, ගීත රචනය, සංගීත ඛාණ්ඩ තෝරාගැනීම වැනි අනේක විද කුසලතා ඔහු අධ්‍යක්ෂණය කළ “සත් සමුදුර” චිත්‍රපටයෙන් දැකගත හැකිය. එකල චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වූ විශිෂ්ටයන් සියල්ලම එක්රැස් කරගැනීමට හැකි වූයේ ඔවුන් සියල්ලම සිරිට දැක්වූ ගෞරවය නිසාය. අමරදේව, මහගම සේකර, සෝමදාස ඇල්විටිගල, ඩී.බී. නිහාල්සිංහ හා වසන්ත ඔබේසේකර වැනි අය මේ නිෂ්පාදනයට සහභාගී වූහ. සිංහල චිත්‍රපටි ඉතිහාසයේ “සත් සමුදුර”ට ගෞරවනීය තැනක් හිමිවේ. එපමණක් නොව ස්වර්ණා මල්ලවආරච්චිව ලාංකික නරඹන්නන්ට හඳුන්වාදෙනු ලැබුවේ මේ චිත්‍රපටය තුළින්ය. කිසිම සිංහල චිත්‍රපටියක ආරම්භය සත්සමුදුරේ මුල් දර්ශනය අභිබවා යෑමට සමත්වී නැතැයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මට වරක් පැවසීය. “සිනිදු සුදු මුතු තලාවේ” ගීතයත් නිහාල් සිංහගේ කැමරාකරණයත් මෙම ආරම්භය විචිත්‍රවත් කරයි.
දැන් අපි සිරි ගුනසිංහගේ සාහිත්‍ය කෘති දෙස හැරෙමු. ඔහුගේ මුල් කාව්‍ය සංග්‍රහය වූ “මස් ලේ නැති ඇට” මුද්‍රණ ද්වාරයෙන් එළි දැක්වූයේ අප පේරාදෙණියේ සරසවි සිසුන් හැටියට උන් කාලයේයි. එම කාව්‍ය සංග්‍රහය බොහෝ දෙනෙකුට අභියෝගයක් වූවා පමණක් නොව පේරාදෙණියේ සාහිත්‍ය ලැදි සිසුන් කාණ්ඩ දෙකකට බෙදී යාමටද හේතු වූයේය. සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර හා මාර්ටින් වික්‍රමසිංහ සිරිගේ කවි ගැන එතරම් ප්‍රසාදයක් දැක්වූයේ නැත. වික්‍රමසිංහ මහතා ඔහුගේ ‘නව පද්‍ය සිංහලයෙන්’ නිසදැස් කවි විවේචනයට ලක් කළේය. එපමණක් නොව කොළඹ මාධ්‍යවේදීන්ද එම කෘතිය දෙස බැලුවේ වපර ඇසිනි. මානවසිංහ එම කවි ගැරහුවේය. එකල ලංකාදීපයේ නියෝජ්‍ය කතෘ වූ කේ. ඇම්. සිරිසේන පමණක් පේරාදෙණිය සාහිත්‍යය අපක්ෂපාතී විචාරයට ලක් කළේය. එහෙත් සිරිටත් අනුගාමිකයන් සිටියේය. ලංකා ගුවන් විදුලි සේවයේ එච්.එම්. ගුණසේකර, මහගම සේකර හා මඩවල රත්නායක ඔහුට ගුවන්විදුලි වැඩසටහන්වලට සහභාගී වීමට ඉඩ සලසා දුන්නේය.
ඔවුන්ට වඩා සිරිගේ සහයට පැමිණියේ සරසවියේ තරැණ සිසුවන්ය. අපි කීපදෙනෙක් එක්වී “නිසදැස” නමින් සඟරාවක් ආරම්භ කළෙමු. එය කොළඹ කවියන්ගේ කෝපය තවත් තියුණු කිරීමට හේතු විය. ඒ කෙසේ වුවද මෙරට ඉංග්‍රීසි හා සිංහල පුවත්පත් මේ විවාදය ඉදිරියට ගෙන යෑමට පසුබට වූයේ නැත.
1963 සාහිත්‍ය දිනයේ මෙම පිල් බෙදීම ගුටි කෙලියක් දක්වා වර්ධනය විය. එදින මුල්ම දේශනය සඳහා ආරාධනා කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහටය. ඔහු දීර්ඝ දේශනයක් කලද පැමිණ සිටි කොළඹ කවියන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් එයට විරැද්ධත්වය දක්වමින් වේදිකාව දෙසට පුටු විසිකිරීමට පටන් ගත්තෝය. සංවිධායකවරු වික්‍රමසිංහ මහතාව වාරැකරගෙන එළියට ගෙන ගියෝය. සවස දේශනය වෙන් කරන ලද්දේ මටය. කොළඹ කවීන්ගේ ඇතැම් වටිනා කෘති ගැන මා කතා කළද අල්විස් පෙරේරා නායකත්වය දුන් කණ්ඩායම එම කතාවට එකඟ වූයේ නැත. කර්කෂ උපහාසයෙන් යුතු කතාවක් අල්විස් පෙරේරා කළ නමුත් සභාව ඒ ගැන ප්‍රතිචාරයක් නොදැක්වූයේ උදෑසන ඇති වූ පුටු හරඹය නැවතත් ආරම්භ කිරීමට අකමැති නිසා විය යුතුය. (එදා මා කළ කතාව “සිංහල, සංස්කෘතිය, සමාජය හා පරිසරය” යන පොතේ ඇතුළත් කර තිබේ.)
සිරි ගුනසිංහගේ කාර්යභාර්ය ගැන ලියැවෙන මේ ලිපි මාලාව අවසන් කිරීමට නැවතත් සිංහල බසේ පරිණාමය වෙත පැමිණීමට සිදුවේ. 1960 ගණන් වන විට රටේ සමාජයීය ප්‍රශ්න මෝදු වෙමින් පැවතිනි. එක් අතකින් මෙරට උසස් පාසැල් හා සරසවි තුළින් භාෂාව පිළිබඳ නව අදහස් එළි දැක්වුණේය. එයට ප්‍රධාන සාධකය වූයේ බටහිර භාෂාවන් මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ ව්‍යාප්ත වීමයි. එතෙක් කල් කොළඹ කවියන් බොහෝවිට නියෝජනය කළේ සිංහල බස පමණක් දත් අයයි. සරල ඉංග්‍රීසිය ගැන ඔවුන් තුළ දැනුමක් නොතිබුනේ යැයි ඉන් නොකියවේ. එකල ජනප්‍රියත්වයේ ඉහළම තලයට ගොස් තිබූ කේයස්ගේ “සුදෝ සුදු” වැනි කවි ඉංග්‍රීසි කවි කාණ්ඩයක අනුවාදයක් විය. එහෙත් එවැනි අනුකරණ සඳහා යොදා ගන්නා ලද්දේ ලාමක අදහස් හා ලාමක බසකි. මහා යුද්ධ දෙකක් හා දේශපාලන විප්ලව කීපයක්ම අත්විඳි යුරෝපය ඊට වඩා ගැඹුරැ මානුෂීය හා සංස්කෘතියකට ඒ වන විට මාරැවී තිබුණේය. එවැනි විපර්යාසයක් ලංකාවට එන්නට පෙර එම අදහස් යුරෝපා සාහිත්‍ය ලෝකය දෙවනත් කළේය. නූතනවාදී (මොඩර්නිස්ට්) සාහිත්‍ය ලොව පුරාම පැතිරී ගියේය. එහි එක් ලක්ෂණයක් වූයේ එතෙක් දේශීය සංස්කෘතිය තුළම හිරවී සිටි සාහිත්‍ය හා කලාව සර්වත්‍රික ස්වරෑපයකට පෙරලීමයි. රුසියානු සාහිත්‍ය කෙරෙහි ප්‍රංශ බස බලපෑවේය. එංගලන්තයේ නූතනවාදීන් වූ එලියට්, ඕඩන් හා ස්ටීවන් ස්පෙන්ඩර් වැනි කවියන් ප්‍රංශ හා ජර්මන් සාහිත්‍ය පමණක් නොව පෙරදිග සාහිත්‍ය පිළිබඳ නිරන්තර අත්හදා බැලීමක යෙදුනි. එස්රා පවුන්ඩ් නූතනවාදී කවියන්ට ආදර්ශයක් දුන්නේය. එලියට් තම කෘතියක් පිරිනමන්නේ “මටත් වඩා හොඳ බස පිළිබඳ වඩුබාස් කෙනෙක් වූ” එස්රා පවුන්ඩ්ටයි.
ඒනයින් බලන කල සිරි අයත් වන්නේ සිංහල බස පරිනාමයට ලක් කිරීමට මුල්වූ කවියෙකු හැටියටයි. එකල සිංහල කවීන් විසින් යොදා ගන්නා ලද බොලඳ බස වෙනස් කිරීමට ඉදිරිපත් වූ පළමුවැනි විශාරදයා ඔහු නොවේ. මුනිදාස කුමාරතුංග එම කාර්යයට අත ගැසීය. ඔහුත් ඔහුගේ අනුගාමිකයනුත් එකල භාවිතා වූ සිංහල බස (විශේෂයෙන්ම කොළඹ කවීන්ගේ) “හඩු බසක්” යැයි නම් කළෝය. සිංහල පුවත්පත්වල දිගු කලක් සේවය කළ මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක හා චන්ද්‍රරත්න මානවසිංහ වැනි අයද නව සරල බස් රටාවක් නිර්මාණය කිරීමේ කාර්යයට අත ගසා තිබුණි. අපේ කාලයේ ඉහළම ද්වීභාෂා වියතුන් හැටියට සැලකිය හැකි සෙනරත් පරණවිතාන, චාල්ස් ගොඩකුඹුර හා එදිරිවීර සරච්චන්ද්‍ර වැනි අය නූතන ලොවට සරිලන සිංහල බසක් නිර්මාණය කිරීමට වෙර දැරැවෝය. සිරි ගුනසිංහද එම සම්ප්‍රදායේ අග්‍ර පලයකි.