2017 සහ 2018 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති ධූරයට තේරී පත්වූ ජ්‍යෙෂ්ඨ නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා සිය ධූර කාලය තුළ සංගමය දේශපාලනයෙන් තොරව ඉදිරියට ගෙන යාම සිය උත්සාහය බව පවසයි. නව සභාපතිවරයාගේ ඉදිරි වැඩපිළිවෙළ සහ රටේ වත්මන් ගැටලු පිළිබඳව දේශය කළ සාකච්ඡාවයි මේ.
ඔබ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති බවට පත්වුණා. ඒ පත්වුණේ නිතරගයෙන් නෙවෙයි තරගයක් දීලා. එතකොට ඔබට පැවරෙනවා වගකීම් රාශියක්?
ජනාධිපති අගමැති දෙදෙනාම හමුවෙලා මම ප්‍රකාශ කළේ දේශපාලනයෙන් තොරව ශ්‍රී ලංකා නීතීඥයන්ගේ සංගමය ඉදිරියට යා යුතුයි කියලා. ඒ අය ප්‍රකාශ කළේ කිසිම විදිහකින් දේශපාලනය නීතීඥ සංගමය හරහා අවශ්‍ය නැහැ කියලා. මම ගොඩක් ඒක අගය කරනවා. ඒවගේම අනෙකුත් දේශපාලඥයන්ගෙන් කොටසක් හමුවුණා. තවත් කොටසක් හමුවෙන්න ඉන්නවා. සෑම කෙනෙක්ටම කියන්නේ කොයිම විදිහකින්වත් මෙම සංගමය දේශපාලන මුහුණුවරක් ගන්නෙ නැහැ, දේශාපාලනය ඈදන් නෑ, ඒ නිසා ඔබතුමන්ලා ඒකට බලාපොරොත්තු වෙන්නත් එපා කියලා.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගම් නිලවරණය මෙරට දේශපාලනයත් එක්ක බැඳී තිබෙන එකක්. ඔබ හිතනවද මෙවර නිලවරණය දේශපාලනය මත තීරණය වූවක් කියලා?
මම දේශපාලන බැඳීමක් තොරව නිලවරණයට ගියා වුණාට මගේ ප්‍රතිවාදීන් එවැනි මුහුණුවරක් දුන්නා. ඒ අය විසින්ම ගොඩනගා ගත් කණ්ඩායමක් පාක්ෂිකයන් විදිහට පෙන්නවලා, මම ඒකට විරුද්ධ පැත්තේ අයෙක් හැටියට පෙන්නලා නිලවරණය කරගෙන ගිය. එය නොකළ යුතු දෙයක් හැටියට මම පැහැදිලිව දකිනවා. ඒ තත්ත්වය උඩ අපි නාමිකව දේශපාලනයෙන් තොරයි කීවට වැඩක් නැහැ ක්‍රියාවෙනුත් විය යුතුයි. ක්‍රියාවෙන් වියයුතු බාධාවන් මඟහරවාගැනීමෙහිලා අපේ ජ්‍යෙෂ්ඨ සභාපතිවරැ සමඟ සාකච්ඡා කරලා අලුත් ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න මම කල්පනා කරනවා. විශේෂයෙන්ම මැතිවරණයේදී මුහුණුපොත හරහා ගෙනගිය චරිත ඝාතන, අසත්‍ය ප්‍රචාරණ වලින් තොරව මේ උතුම් වෘත්තියේ ප්‍රචාරන ව්‍යාපාරය හරියට කරගෙන යාම සඳහා අවශ්‍ය නීති ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
අපි කොහොම හිතුවත් මේ රටේ අධිකරණය තුළට දේශපාලනික ඇඟිලි ගැසීම් සිදුවෙනවා කීම වරින් වර මතුවුණ චෝදනාවක්. මෙවැනි ඇඟිලි ගැසීම් දැන් නැද්ද?
අධිකරණයට ඇඟිලි ගැසීම් නැත්තේම නැහැ. නමුත් ඉතාම සුළු මට්ටමකින්. අපට නොපෙනෙන මට්ටමකින් තිබුණට අපට ප්‍රශ්නයක් නැහැ. බැලූ බැල්මට ඉහළම අධිකරණවලට දේශපාලන නායකත්වය ඇඟිලි ගහන්නේ නැත්තම්, ස්වාධීනව වැඩකරන්න පුළුවන්. නමුත් ඇඟිල්ල දිගුකිරීමට තරම් ඇඟිලිගැසීමක් අධිකරණය තුළට වර්තමානයේ නැහැයි කියන කාරණය අපිට පිළිගන්න වෙනවා. අධිකරණය සම්පූර්ණයෙන් සුද්ධ කිරීම කොයිම අවස්ථාවකවත් කරන්න බැහැ. කිසිම රටකත් කරන්න බැහැ. අපි කොච්චර කතා කළත් දේශපාලනය එක් එක් මුහුණුවරින් මේකට රිංගන්න බලනවා.
මෑතකදී මහඅධිකරණයට සිදුකරන ලද පත්කිරීමක් සම්බන්ධයෙන් කඹ ඇදිල්ලක් තිබුණා නීතීඥ සංගමය සහ අධිකරණ සේවා කොමිසම අතර. කොහොමද ඔබ එය දකින්නේ?
ඒ සම්බන්ධයෙන් නව සභාපතිවරයා වශයෙන් මම විනිශ්චයකාරතුමාට දැන්වුවා සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට. ඒ සාකච්ඡාවේදී මේ ප්‍රශ්නයට කාටත් එකඟවිය හැකි ස්ථාවරයකට පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා. සමහර දේවල් තියෙනවා අපිට සම්පූර්ණයෙන් සුව කරන්න බැහැ. එහෙත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න කටයුතු කරන්න පුළුවන්. හැබැයි විනිශ්චයකාරතුමන්ලා මහන්සියෙන් ජීවිතයේ බොහෝ දේවල් කැපකර සීමාසහිත වැටුපකට රාජකාරියක් කරනවා. ඔවුන්ගේ අවසාන බලාපොරොත්තුව තමයි ඉහළ තනතුරකට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යා හැකිය යන අහිංසක සිතුවිල්ල. එය බොහොම නිවැරුදි සිතුවිල්ලක්. නමුත් එය කරන ක්‍රමවේදයේ යම් යම් නිර්ණායක තිබෙනවා. ඊට අමතරව අපේ සම්ප්‍රදායක් තිබුණා නීතිපති දෙපාර්තුමේන්තුවෙන් බැහැර පෞද්ගලිකව නීති වෘතියේ යෙදෙන, දක්ෂතා තිබෙන, කැපකිරීම් කිරීමට කැමති අයටත් යම් අවස්ථාවක් දෙන්න. අධිකරණ නිලධාරීන්ගේ වුණත් මතය එම සම්ප්‍රදාය තිබුණාට කමක්නැහැ කියන එකයි.
නීතීඥ සංගමයේ 43වැනි සම්මේලනයේදී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා නීතීවේදීන් සෑමවිටම ස්වාධීන විය යුතුයි කියලා. ඔබ හිතනවද එහෙම කරන්න පුළුවන් වෙයි කියලා?
එතුමා අදහස් කළේ දේශපාලනය ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ගේන්න එපා කියලා. හැම කෙනෙක්ටම පෞද්ගලික දේශපාලනයක් තිබෙනවා. සමහරැන් අදහස්වලින් තවත් සමහරැ ප්‍රායෝගික දේශපාලනයේ ඉන්නවා. එහෙත් සංගමයේ මතය ප්‍රකාශ කරද්දී තමන්ගෙ දේශපාලය අදාළ කරගත යුතු නැහැ. එතුමා කීවේ එයයි.
ඒ සම්මේලනයේදී ඔබ ප්‍රකාශ කරනවා අපේ රටේ නීතිය එකතැන පල්වෙනවා කියලා. ඒ හින්දා අපේ නීති පද්ධතිය ඉහළට ගේන්න ඕනෙ කියලා. ඒක කොහොමද කරන්නේ?
ඇමැතිතුමාත් අගමැතිතුමාත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැතුමන්ලාත් ඉන්නෙත් මේ ස්ථාවරයේමයි. යල්පැන ගිය නීති ඉවත් කිරීම සඳහා දැනටත් ක්‍රියාකරගෙන යනවා. එවැනි කමිටුවක මමත් සාමාජිකත්වය දරනවා, අපරාධ හා දණ්ඩ නීති සංග්‍රහ පනත සම්බන්ධව. සිවිල් නීති නඩුවිධාන සංග්‍රහ පනත දැනටත් වෙනස් කරලා අවසන්. තවත් විවිධ පනත් තිබෙනවා නව නීති හැටියට ඉදිරියේදි ඉදිරිපත් වෙන්න. මම බලාපොරොත්තු වෙන්නේ එවන් පනත් නීතීඥ සංගමයට ගෙනත් නීතීඥයන්ට ඉදිරිපත් කර අලුත් වගන්ති ඇතුළත් කිරීම තුළින් එය වඩාත් දියුණු කරන්නේ කොහොමද කියන කාරණය ගැන සාකච්ඡා කරන්න. සාකච්ඡා කිරීමෙන් අනතුරැව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥයන්ගේ මතය හැටියට එය ඉදිරියට ගෙනයනවා.
ලංකාවේ නඩු අහන්න දීර්ඝ කාලයක් ගතවීම ලොකුම ගැටලුවක්. මේ ගැටලුවට ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සහාය දෙන්න පුළුවන් නේද?
නඩු කල්යාම සම්බන්ධයෙනුත් අපි මැදිහත් වෙලා අලුත් ක්‍රමවේද සකස් කරනවා. සාක්කිකරැවන් අනවරතව උසාවි ගෙනත් රස්තියාදු කිරීම අවම කළ යුතුයි. විශේෂයෙන් සාක්කියට පැමිණියහොත් ඉක්මණින් සාක්කිය ලබාගෙන ඔවුන් යවන්න, ඒ සාක්කිය අවශ්‍ය නම් පමණක් ලබාගන්න, ඒවගේ ක්‍රමවේද අපි හඳුන්වා දුන්නොත් නඩු කල්යාම අවම කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා ඒ කාර්යයන් කරන්න.
අද වෙද්දි නීතීඥ වෘතිය හෑල්ලුවට ලක් වී තිබෙන බවට සමහරැ චෝදනා කරනවා. නීතීඥ වෘත්තිය ඉහළ නංවන්න ඔබතුමාගේ වැඩපිළිවෙළක් නැද්ද?
දැනට තිබෙන තත්ත්වයන් බැලුවම රටේ ජනතාවට නීතිඥයන් කෙරෙහි තිබෙන ආකල්පය වැරදියි. හුඟක් වෙලාවට හිතන්නේ නඩු කල්දාන්නේ නීතීඥවරැ කියලා ඒවගේම මුදලක් නැතුව නීතීඥවරැ කිසිම දෙයකට පෙනී ඉන්නේ නැහැ කියලා අන්න ඒ වගේ නීතීඥ වෘත්තිය කෙරෙහි යම් යම් වැරුදි මතවල සිටිනවා. ඕනෑම වෘත්තියක ඊට නොගැලපෙන අය ඉන්න පුළුවන්. නීතීඥ ඒ ශුද්ධවන්තයෝ පමණක් ඉන්න වෘත්තියක් කියලා මම කියන්නේ නැහැ. නමුත් වෘත්තිය තුළ ඉන්න අයගේ අභිමානයට කැළලක් වන අයුරින් කටයුතු කරන්නන්ට විරැද්ධව අපි පියවර ගන්නවා.
දේශපාලනඥයන්ට සම්බන්ධ චෝදනා අධිකරණයට පැමිණියහම ඔවුන්ට ඇප ලබා දීමේ ක්‍රමවේදය අතිවිශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා. ඇප දෙන්න පුළුවන් ඇතැම් අය දිගින් දිගටම ඇතුළේ සිටියදී ඇප ලබා දිය නොහැකි වැරදි කරපු පුද්ගලයන් එළියේ ඉන්න බවට චෝදනා එල්ල වෙනවා?
වැරදි කළ අය එළියේ ඉන්නවායි කියන්න බැහැ. සමහරැ පෙත්සමක් හදලා තොරතුරැ ඉදිරිපත් කළ පමණින් නීතිය ඉදිරියේ වැරදිකරැවකු වෙන්නේ නැහැ. එහෙම නම් නීතියක් අවශ්‍ය නැහැ. සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වෙන්නෙ නැත්තම් පුද්ගලයා එළියට යන්න පුළුවන්. ඇප ලැබීම සම්බන්ධව මිනිස්සු අතර වැරදි මතයක් තිබෙනවා. යම් කිසිවෙක් චෝදනාවක් ලබලා බන්ධනාගරගත කළොත් ඔවුන්ට දඬුවම එය කියලා සහ බන්ධනාගාර ගත නොකර ඇප ලබා දීමත් වරදක් කියලා. පුද්ගලයෙක්ට එරෙහි නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරන තුරැ ඔහු නිවැරදිකරැවෙක්. එවැනි අවස්ථාවක ඔහුට නිදහස තිබිය යුතුයි. පරීක්ෂණ කටයුතුවලට බාධාවක් වෙනවා නම් ඔහු රිමාන්ඩ් භාරයේ තැබෙනවා. බාධාවක් නොවන්නේ නම් ඔහු රිමාන්ඩ් බාරයේ තැබීම වැරදියි. එනිසා එවැනි අවස්ථා ඇති නොවන විදිහට කටයුතු කරන්න අපි වගබලාගත යුතුයි.
අද සුළු කාරණාවන්ටත් මිනිස්සු කොළඹ පාරවල් හිරකරගෙන උද්ඝෝෂණ කරනවා. නගරයෙන් පිටත් සුළුකාරණාවන්ට මහපාර වහගෙන උද්ඝෝෂණ කරනවා. ඇයි මෙහෙම තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ?
ආකල්පමය වෙනසක් මේ සම්බන්ධයෙන් ඇතිකරන්න ඕනේ. දේශපාලනඥයෝ මිනිස්සු දඩමීමා කරගෙන මේ දේවල්වලට පොළඹවනවා. ඒනිසා ඔවුන් බය නැතුව පාරවල් හරහා ඇවිත්, ටයර් පුච්චලා, දේපළ අලාභ හානිකරලා, විශාල අනර්ථයක් සිදුකරනවා. මේකට අපි අවධානය යොමුකළ යුතු කාලය ඇවිත් කියලා මම හිතනවා. විරෝධතාවක් තිබෙනවා නම් එවැනි විදිහට විරෝධතා පාන්න බැහැ. එහෙම වුණාම පොලීසිය මැදිහත් වෙනවා. පොලීසියේ ආංගෝපාංග ගෙනත් ඒ අයට එරෙහිව කටයුතු කරනවා. සමහර අවස්ථාවල රබර් බුලට් නෙවෙයි ඇත්ත මූනිස්සම් පාවිච්චි කරලා තිබුණා. දෙගොල්ලොම අවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි. සමහර නිලධාරීන් නිලතල ලබා ගැනීම සඳහා, දේශපාලන වාසි ලැබීම සඳහා අවස්ථාව මතුකරලා පහරදීම් කරලා විශාල ව්‍යසනයන් ඇතිකරනවා. විරෝධතා පානවා කියලා තවත් කෙනකුට හානියක් වෙන විදිහට කටයුතු කිරීම වැරදියි. එවැනි අවස්ථාවලදී අධිකරණය මැදිහත්වල ඔවුන් බන්ධනාගාරගත කිරීම ඉතාම නිවැරදියි.
ජිනීවා යෝජනාවත් සමඟ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හා ඒකාබද්ධ විපක්ෂය කියනවා ඒ යෝජනාව හරහා රට පාවාදීමක් සිදුවෙනවා කියලා. මේ සම්බන්ධයෙන් නීතීමය පැත්ත පැහැදිලි කරන්න පුළුවන්ද?
දේශපාලනඥයන් වශයෙන් යම් යම් අය ඒ අවස්ථානුගත කරැණු, ස්වරෑපයන් අනුව විවිධ ප්‍රකාශයන් කරනවා. ඒ ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
ජාත්‍යන්තර අධිකරණය, ජාත්‍යන්තර විනිසුරැවන්, මේවා සම්බන්ධවත් බොහෝ කරැණු කතා කරලා තිබුණා. අපේ රටේ ව්‍යවස්ථාව අනුව එහෙම දේවල් කරන්න පුළුවන්ද?
අපේ ව්‍යවස්ථාව අනුව අප රටට අවශ්‍ය දේ අප විසින්ම විසඳාගත යුතුයි. මේකට පිටරට අය කිසිසේත් අදාළ කරගත නොහැකියි. හයිබ්‍රිඩ් අධිකරණය, විදේශවිනිසුරැවන් ගෙන්වා ගැනීම වැනි දේවල් අපේ රටේ කරන්න බැහැ. නීතියට පටහැනියි. ව්‍යවස්ථාවේ එවැනි ප්‍රතිපාදන නැහැ. අපි දකින්නේ අපේම විනිසුරැතුමන්ලා එකතුවෙලා මේ ප්‍රශ්නය විසඳගත හැකියි. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් කරන්න ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වගකීමක් තියෙනවා. ඉදිරි අනාගතයේදී බලධාරීන් ඒ දේවල් කරලා දෙන්න ඉල්ලුවොත් එකහෙලාම ඒ අයට සහය දෙන්න අප සූදානම්.
ඔබ හිතනවද අපේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා?
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියද්දී සෑම වගන්තියක්ම වෙනස් වෙන්න වෙනවා. ඒ තත්ත්වයෙන් බැහැරව අත්‍යාවශ්‍ය කාරණා තියෙනවා නම් ඒවා වෙනස් කිරීමට කටයුතු කළාට කිසි වරදක් නැහැ. අවසානයට ප්‍රතිඵලය විය යුත්තේ අපේ ඒකීයභාවය, එකට සිටීමේ අයිතිවාසිකම, එකට රුස්ව එකට විසිර යාමේ අයිති නැති නොවිය යුතුයි. ඒවා නැති නොවන තාක් කල් මම හිතන්නෙ නැහැ කිසි ප්‍රශ්නයක් වෙයි කියලා. ව්‍යවස්ථාව අලුත් එකක්ද, තියෙන එක වෙනස් කරනවාද, කියන දේ බලධාරීන් පසුව විසඳගන්න ඕනෙ. මෙසේ විය යුතුයි, නොවිය යුතුයි කියලා එක එල්ලේම මට කියන්න බැහැ. නමුත් ඒකෙන් බලාපොරොත්තු වෙන දේ කරන්න ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් වෙනස් කළ යුතු නොවේ නම් වෙනස් කරන්න ඕන නැහැ. අපි ඒ දේවල් කොයිතරම් දුරට සාකච්ඡාවට බදුන් කරනවාද කියන එක ප්‍රශ්නයකි.
මේ රජය දූෂණ වංචා මර්දනය කරනවා කියා බලයට ආවට රජයේ ඇතැමුන්ට එරෙහිව දූෂණ වංචා චෝදනා ගණනාවක් එල්ල වෙනවා. ඒ ගැන ඔබ මොකද්ද හිතන්නේ?
එක පාර්ශවයකට ඇඟිල්ල දිගුකරද්දී ඇඟිලි කිහිපයක් තමන්ගේ පැත්තට යොමු වෙනවා. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. දැන් ඉන්නේ එක් පාර්වශයකට කට්ටියක් නෙවෙයි කලවම් කට්ටියක්. ඒ තත්ත්වය උඩ අනික් පිරිසට ඇඟිල්ල දිගුකරමින් තමන් ප්‍රතිලාභ ලබනවා නම් එතැන්දි ගැටලුවක් ඇතිවෙනවා. එතැන්දි අපි බැලිය යුතුයි. ඒ අය කියන දේ නිවැරදි සහ රටට අවශ්‍ය දෙයක් ද කියන්නේ කියලා. නැත්තම් හුදෙක් මහජනතාව ඇවිස්සීම සඳහා හෝ ජනප්‍රිය වීම සඳහා ප්‍රකාශ කරන දෙයක්ද කියලා. මේ කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් අපිට නීති රීති තිබෙනවා. ඒ අනුව කටයුතු කරනවා නම් මම හිතන්නෙ නෑ ලොකු ගැටලුවක් ඇති වෙයි කියලා. කෙසේ වෙතත් අපි ඒ දේවල් කරගෙන යාමේදී හරියාකාරව පෙළගැස්මක් ඇතිව කරනවා නම් මේ ප්‍රශ්න ඇති වෙන්නෙ නැහැ.
සකීෆ් සාම් තන්වීරි
සේයාරැව l සමන්ත ප්‍රදීප් විල්තෙර