2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

රටේ බලය ලැබුණේ ජනාධිපතිතුමාටයි

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 143

- මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

රජයේ සමහර ප්‍රතිපත්ති තීන්දු තීරණ ගනිද්දී යම් එකඟතාවයක් නෑ වගේ. ඇතුළේ ගත්ත තීරණය නෙමෙයි එළියට කියන්නේ. දෙන්නෙක් කතා දෙකක් කියන්නේ. කොහොමද මේ එකඟතාවයක් නැති ගමනක් යන්නේ?

මුලදී ඔය ප්‍රශ්නය තිබ්බා. පක්ෂ දෙක කතා කරලා ගත්ත තීන්දු සංශෝධනය වුණු අවස්ථා තිබ්බා. දැන් පක්ෂ කමිටුවක් ප්‍රධාන ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ නිසා දැන් ඒ වගේ ප්‍රශ්න මතුවෙන්නේ නෑ. 

හැම ප්‍රශ්නයකටම කමිටු දාගන්න එකත් ආණ්ඩුවේ ෆැෂන් එකක් වෙලා. කමිටු නැතුවම බැරිද ප්‍රශ්න විසඳගන්න?

මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද පක්ෂ දෙකක් විතරක් නෙමෙයිනේ තියෙන්නේ. මේ පක්ෂ රාශියක් තියෙන සම්මුතිවාදී ආණ්ඩුවක්. ඒ නිසා විවිධ අයගේ මත ගැටෙනවා. ඒ නිසා ප්‍රශ්න සාකච්ඡා කිරීමට පක්ෂ නියෝජිතයන්ගෙන් යුක්ත කමිටුවක් අවශ්‍යයි. සියලුදෙනාගේ මතයට සවන්දීලා වැඩ කරන එකයි මේ ආණ්ඩුවේ විශේෂත්වය.

හැබැයි මොන තීන්දු එකතුවෙලා ගත්තත් එළියට එනකොට නම් ඔය සියලු පක්ෂ හැලිලා. ප්‍රධාන පක්ෂ දෙකේ කට්ටිය තරගෙට ලකුණු දාගන්නවා නේද?

සමහර අයගේ පෞද්ගලික ප්‍රශ්න ඇති. පුළුල්ව බලන දේශපාලනඥයන් එහෙම කරන එකක් නෑ.

ඔබ පහුගිය කාලයේ මාධ්‍ය ඉස්සරහ කිව්ව දෙයක් තමයි ජනාධිපතිවරයා ඉදිරියේ දැඩි තීරණයක් ගන්නවා කියලා. ඇයි හේතුව? 

හේතුව තමයි මේ රටේ බලය ලැබිලා තියෙන්නේ ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට මාසයයි. ඒ මාසය ඇතුළතදී ඔහු වැඩි ඡන්ද හාරලක්ෂ ගණනකින් ජනතාව ජයග්‍රහණය කරලා දෙනවා. ඊළඟට තිබ්බේ පාර්ලිමේන්තු මැතිවරණය. එතනදී කිසිම කෙනකුට ජනතාව බලය දුන්නේ නෑ. ඒ නිසා වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාට. පාර්ලිමේන්තු ආසන ගණන ගත්තොත් අසූ දෙකයි. අසූ දෙකයි තියෙන්නේ ශ්‍රීලනිපයටයි, එජාපයටයි. අනිත් ඒවා තියෙන්නේ එක්කාසු වෙච්ච ආසන. එහෙමයි ආණ්ඩුව ගියේ. ඒ සම්මුතිවාදී ආණ්ඩුවෙන් ජනතාවට දුන් පොරොන්දු තියෙනවා. දැන් ආණ්ඩුවට වසර දෙකක් ගෙවිලා. දැන් ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා ඉදිරිය ගැන තීරණයක් ගන්න. යම් යම් තැන්වල තියෙන වෙනස්වීම් කරන්න ඕන. ඒක කරයි.

කවද්ද ඔය දැඩි තීරණය ගන්නේ?

ඒක ජනාධිපතිතුමා තීන්දු කරන්නේ. එතුමා තීන්දුවක් ගන්නේ කල්පනා කරලා. අවශ්‍ය වෙලාවට ගනී.

ඒකද ඔය කැබිනට්ටුව වෙනස් කරන්න යන්නේ?

ඒක දන්නේ ජනාධිපතිතුමා.

ඔබට පේන හැටියට මේ ආණ්ඩුවට වැරදිලා තියෙන තැන් මොනවද?

ප්‍රධාන වශයෙන් මට තියෙන එකම ප්‍රශ්නය තියෙන්නේ මේ බිම් මට්ටමේ ඉන්න මිනිස්සුන්ගේ සිතුම් පැතුම් සම්බන්ධයෙන් සමහර තැන්වල අනවබෝධයක් තියෙනවා. අපි මතක තියාගන්න ඕන අපි ආවේ ජනතාවගෙන් කියලා. ඒ නිසා අපි පරිවර්තනය වෙන්න ඕන ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ඨ කරන මානසිකත්වයට. එහෙම නැතුව බෑ. ඒකටත් ආර්ථිකය බලන්න ඕන. ඒ වගේම වෙනස් නොකරන තීන්දු ගන්න, ඒ කියන්නේ අපි ගන්න තීන්දු සමාජයට දාලා වෙනස් කරන්න නෙමෙයි ගන්න ඕන. අන්න එවැනි අඩුපාඩු තියෙනවා.

දැන් මේ ආණ්ඩුවෙ සමහරු රටට පුදුම විදිහට බොරු කියනවා නේද?

මොනවද කියන්න තියන බොරු.

උදාහරණයක් හැටියට හම්බන්තොට සිද්ධිය ගත්තහම ඇමැතිවරැ එළියට ඇවිත් කියනවා හම්බන්තොට ඉඩම් දෙන එක සම්බන්ධයෙන් තීරණයකට ඇවිත් ඉන්නේ කියලා. ජනාධිපතිවරයා කියනවා තවම අවසන් තීන්දුවක් නෑ කියලා. කවුද ඇත්ත කියන්නේ?

ඔය අවසන් තීන්දුව කියන එක පටලැවිලා තියෙන්නේ. එක පොදු තීරණයක් තියෙනවා හම්බන්තොට වරාය රාජ්‍ය පෞද්ගලික ආයෝජනයක් සඳහා යා යුතුයි කියලා තියෙනවා. ඒක පොදුවේ පිළිගන්න දෙයක්. ඒක එජාපයත් පිළිගන්නවා. ශ්‍රීලනිපයත් පිළිගන්නවා. හැබැයි එහෙම කියලා ගිවිසුමකට ගිහිල්ලා නෑ. මේක අත්සන් කරන්න නම් වරාය පනතේ පොඩි වෙනස් කිරීම් වගයක් සිද්ධ කරන්න ඕන. ඒකෙ වෙනස් කරනකල් අත්සන් කරන ගිවිසුමක් වලංගු වෙන්නේ නෑ. ඒ ගැන හොයන්න මේ වෙනකොට කැබිනට් අනුකමිටුවක් දාලා ඒ අනුකමිටුව තීරණය කරන්න ඕන අවසානයේ අපි එකඟවෙන කාරණා මොනවද කියලා. යම් යම් අඩුපාඩු තියෙනවා ඒවා හදාගන්න පුළුවන්.

හම්බන්තොට ඉඩම් දෙන එක ගැන ශ්‍රීලනිපයේ විරුද්ධත්වයක් තියෙනවා නේද?

විකුණන්නේ නෑනේ. මාධ්‍යයෙන් ඕක විකිණුවා කියලා ගියා. ඒක වැරදියි. දළ ගිවිසුම් තියෙන්නේ අසූවයි විස්ස කියලා. ඒත් අවුරැදු දහයක් ගියහම තවත් සියයට දහයක් ශ්‍රී ලංකා රජයට හිමිවෙනවා. ඒ නිසා විකිණීමක් වෙන්නේ නෑ. ශ්‍රීලනිපය ඉන්නේ මේ ගිවිසුම් ගැන අවධානයෙන්.

විපක්ෂය කියනවා වගේ හම්බන්තොට දීලා භාණ්ඩාගාරයට සල්ලි හොයන්නද ලෑස්තිය?

එහෙම එකක් නෑ. සල්ලි අර්බුද අද ඊයේ නෙමෙයි. ඔය කියන ඕන කෙනෙක්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවනේ. ඕනෑම ආණ්ඩුවක් සංවර්ධනය කරනවා. විශාල ව්‍යාපෘති, සල්ලි වියදම් කරලා කරනවා. ඔය ඉන්න ආර්ථික විශේෂඥයන්ගෙන් අහන්න 1994 ඉඳලා රාජ්‍ය ආදායමෙන් සතයක්වත් වැඩිවෙලා තියෙනවද කියලා. සියයට විස්සක තිබුණ රාජ්‍ය ආදායම 2014 වෙනකොට සියයට දහතුන දක්වා අඩුවෙලා තියෙනවා. මේ අවුරැද්දෙ තමයි පොඩි වැඩිවීමක් වුණේ සියයට 14 ඉක්මවලා තියෙන නිසා. සියයට 20ක තිබුණු ආදායම 14ට වැටුණම අපි මොකද කරන්නෙ. ඒක තේරැම් ගන්න එපායැ.

ඒ කියන්නේ ගිය ආණ්ඩුවේ ඉන්න කාලයේ ඔබලා කිව්ව මහා ආර්ථික වර්ධන වේගය බොරුවක්ද?

මමත් ඒ ආණ්ඩුවේ හිටියා. ඇත්ත. 

ඒ හින්දා බොරුවක් කිව්වා?  

නෑ. බොරුවක් නෙමෙයි කිව්වේ. හැබැයි රාජ්‍ය ආදායම වැඩිවෙලා නෑ. ඒ නිසා බොරුවට කියන්න බෑ මේ වෙලාවේ හොඳයි. මේ වෙලාවේ නරකයි කියලා. ඒ නිසා අද ආර්ථික අර්බුදයක් තියෙනවා. හංගන්න දෙයක් නෑ. අර්බුදය මොනවත් නෙවෙයි රාජ්‍ය ආදායමට වඩා වියදම වැඩියි. ඒක හැංගුවොත් තමයි දේශපාලනඥයෙක් කරන වංචාව. මම නම් ඒක එළිපිට කියනවා කවුරැ තරහා වුණත් නැතත්. දැන් බලන්න, අපි පඩි ගෙවන්න සම්පූර්ණ රාජ්‍ය ආදායමම යනවා. ඉතින් කොහොමද ඉස්සරහට රටක් ගෙනියන්නේ.

හැබැයි ඒකාබද්ධයේ පිරිස කියන්නේ ඒ කාලේ නම් එහෙම තිබ්බේ නෑ කියලා. දැන් තමයි ලොකුම ආර්ථික කඩාවැටීම කියලා?

මම ඒ අය එක්ක තර්ක කරන්න යන්නේ නෑ. නමුත් හෘද සාක්ෂියට එකඟව සියයට විස්සක තිබුණු රාජ්‍ය ආදායම සියයට 14ක් වෙනකල් අඩු වුණානම් ඒ ගැන කියන්න දෙයක් නෑ.

හම්බන්තොට ගිවිසුමට නැවත ආවොත් විපක්ෂයෙන් ගේන චෝදනාවක් තියෙනවා, ගිවිසුම්  තියෙන්නේ හෙක්ටයාර් 500ක් විතරයි දෙන්නේ කියලා. ඒත් හෙක්ටයාර් 2000ක් හොරෙන් පවරන්න යනවා කියලා ඇත්තද?

නෑ. එහෙම නෑ. එහෙම දෙන්න බෑ. ගිවිසුමට හොරා දෙන්න බෑ. රටක නීතියක් තියෙනවා. ඒ රටේ නීතියක් තියෙනවා. කොහොම වුණත් පත්කරලා තියෙන කමිටුව මේ සියලු දේවල් ගැන සොයා බලනවා.

ඔබ ඉන්න මුදල් අමාත්‍යංශය තරම් බැණුම් අහන වෙනත් අමාත්‍යංශයක් තිබෙනවා කියලා මම හිතන්නේ නෑ. මේ ආණ්ඩුවේ ඉන්න අයත් බණින්නේ මුදල් අමාත්‍යංශයට, මොකක් වෙලාද?

මෙහෙමයි. ඕනෑම ආණ්ඩුවක වැඩිම ප්‍රහාර එල්ල වෙන්නේ මුදල් අමාත්‍යංශයට. ඒක අද ඊයේ නෙමෙයි එන්.එම්. පෙරේරා මහත්තයටත් වුණා. මුදල් ඇමැතිකම පහුගිය කාලයේ කළේ රාජ්‍ය නායකයා විසින්නේ. ඒ නිසා රාජ්‍ය නායකයාට එම චෝදනා එල්ල කරන්න බයයි. ඇමැතිවරයෙක් ගත්තම ඒ අයට කෙළින්ම චෝදනා කරන්න පුළුවන්. 

ඔබේ මුදල් අමාත්‍යංශයේ ප්‍රධාන අමාත්‍යවරයා ජාත්‍යන්තර සම්මානවලින් පවා පිදුම් ලබනවා.ඒත් මෙහේ මිනිස්සු ආර්ථික පීඩනයෙන් මිරිකිලා?

අපි පිළිගන්න ඕන රටක් හැටියට අපි ඉන්නේ ආර්ථික අතින් ප්‍රශ්න රුසක කියලා. හැබැයි ඒ ප්‍රශ්න හදාගන්න බැරිකමක් නැහැ. ඔය සම්මානවලින් පිදුම් ලැබීම පෞද්ගලික කරණාවක්. හැබැයි ඒ ගැන සතුටු වෙනවා.

ඔබලා සතුටු වුණාට රටේ මිනිස්සු ඉන්නෙ ප්‍රශ්න මැද?

ඔව්. ඉතින් සතුටයි දුකයි ලෝකේ තියෙනවනේ.

ඇයි මේ ඡන්දය කල් දාන්නේ? මේක හිතාමතා කරන දෙයක් නේද?

මේ අවුරුද්ද අවසාන වෙනකොට ඡන්ද කීපයක් තියෙනවා. 

ඔබලා ඒ ගැන සද්දයක් නැත්තේ තවම ශ්‍රීලනිපය එකලස් කරගන්න බැරිවුණු නිසාද?

නෑ. නෑ. සීමානිර්ණය නිසා.

ඒ වුණාට කට්ටිය කියන්නේ නම් මේක ශ්‍රීලනිපයේ ගේමක් කියලා?

අපි මොනවා කරන්නද? අපි පනත ගෙනාවනේ. ඒත් මේ අය කිව්වනේ සීමානිර්ණය නැවත කරන්න කියලා. ඒක කිව්වේ අපිද නෑනේ. එයාලනේ කිව්වේ.

ඔබ පිළිගන්නවද මේ ඡන්ද කල්යාමේ අලකලංචිය නිසා ප්‍රශ්න රැසක් ඇතිවෙලා කියලා?

සමහරවිට සමහර දෙනා කියනවා රාජ්‍ය නිලධාරීන් පරිපාලනය කරන නිසා ඒ දේවල් හරියට වෙන්නේ නෑ කියලා. සමහර අය කියනවා රාජ්‍ය නිලධාරීන් හොඳට වැඩ කරනවා කියලා. විශේෂයෙන් පාරවල් එහෙම හදද්දි නිසි ප්‍රමිතියට වැඩේ වෙනවා කියලා. ඒ වගේ නිසි ටෙන්ඩර් පටිපාටියට වෙනවා කියලත් කියනවා. ඉතින් ඒ නිසා හොඳ නරක කියලා දෙකක් තියෙනවා. හැබැයි මගේ මතය තමයි නියෝජිතයන් පත්විය යුතුයි. ඒක ජනතාවගේ අයිතියනේ. ඒක අපි ඉක්මනට කළ යුතුයි.

ඔබ පහුගිය කාලයේ මාධ්‍ය ඉදිරියේ කිව්ව දේවල් එක්ක දැනිච්ච දෙයක් තමයි කලකිරීමෙන් ඉන්නේ කියලා වගේ. එහෙමද?

නෑ. මට එහෙම කලකිරීමක් නෑ.

මුදල් බිලියන ගණනින් මුද්‍රණය කරන්නේ සල්ලි නැති නිසාද?

කාලයක් යනකොට එහෙම වෙනවනේ.

හැබැයි ඒකෙන් වෙන්නේ උද්ධමනය නැගලා රැපියල අවපාත වෙලා මුදල් සංචිත හිඳිලා ආර්ථිකය නන්නත්තාර වෙන එක?

මුදල් සංචිත පාලනය කරන ක්‍රම කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් රැපියල පාලනය කරන කොට සංචිතයෙන් මුදල් දාලා පාලනය කරනවා. රැපියල පාවෙන්න අරින වෙලාවලුත් තියෙනවා. හැබැයි ජනතාවට බරක් එනකොට සංචිතයෙන් දානවා. සංචිතය කියන්නේ ස්ථිර දෙයක් නෙමෙයි. ලංකාවේ බිලියන දෙකක් තිබිලත් තියෙනවා හතක් තිබිලත් තියෙනවා. ඒ සංචිතය එච්චර බලපාන්නේ නෑ. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ නිසා අපි ආර්ථිකය කළමනාකරණය කරලා යන්නේ.

ශ්‍රීලනිපයටයි යූ.ඇන්.පීයටයි එකට ඉන්න බෑනේ? දෙගොල්ලෝ කැබිනට් එකෙයි එළියෙයි මරාගන්නේ මොකද?

මේක ප්‍රජාතන්ත්‍රවාදයනේ. ඉතින් හොඳයිනේ.

හැමෝම කියන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ඒත් පේන්නේ නම් වැඩේ අනාගෙන වගේ?

නෑ. එහෙම එකක් නෑ. ඉස්සර ආණ්ඩුව තියෙද්දිත් කැබිනට් එක ඇතුළෙ ඕවා වුණේ. 

ශ්‍රීලනිපය ගැන කතා ක‍ළොත් ඇයි මේ පක්ෂය එක තැනකට ගන්න බැරිවෙලා තියෙන්නේ?

හරි. තැනක තමයි පක්ෂය තියෙන්නේ. පක්ෂයට අවශ්‍ය තරුණ දේශපාලන ජවය ගන්නවා අපි දැන්. ඒක ජනාධිපතිතුමාගේ දැක්ම. ඉදිරියේදි අපි අලුත් තරුණ පිරිසට තැන දෙනවා.

ඒකද මහින්ද රාජපක්ෂ ඇතුළු කට්ටිය කපන්නේ?

නෑ. එතුමත් අවශ්‍යයි. පක්ෂයේ එතුමා අනුශාසකනේ. කවදා හරි ඔය කට්ටිය එකතුවෙයි. තනියම කාටවත් ඉස්සරහට යන්න බෑ.

ඒ වුණාට විමල්ලා ගම්මන්පිලලා කියන්නේ ආයි එකතු වෙන්නේ නෑ කියලා?

විමල් වීරවංශ කවදාවත් එහෙම කියලා නෑ. ඒ අය ඔක්කොම කවදා හරි අපිත් එක්ක එකතු වෙන්න ඕන.

නැත්තන් ෆයිල් අදිනවද?

නෑ. ෆයිල් නෙමෙයි. අපේ හිතවත්කම් තියෙනවා. 

ඇයි මෙච්චර විදෙස් සබඳතා තියෙන ආණ්ඩුවට තවම ජිනීවා ප්‍රශ්නය විසඳගන්න බැරි?

දැන් හොඳයිනේ. ඉස්සර තිබ්බ අවදානම නෑනේ. ඉස්සර තිබ්බා නායකයො විදුලි පුටුවට අරගෙන යන්න, තහංචි වගේ ප්‍රශ්න. දැන් කතාබහ යනවා. දැන් ඒ අය කල් දානවා. අපි කියනවා සමහර දේවල් කරන්න බෑ කියලා. ඒ නිසා හෙට අනිද්දා වෙනකොට ඕක වෙනස් වෙන්නත් පුළුවන්. මොකද ට්‍රම්ප් ජනාධිපතිතුමා මානව හිමිකම් වලින් අයින් වෙනවා කියලා කතාවකුත් තියෙනවා.

හැබැයි රණවිරුවෝ දංගෙඩියට යන්න දෙයක් නෑ. දැන් එක එක්කෙනා අල්ලලා කූඩු කරනවා කියලා විපක්ෂය චෝදනා කරනවා?

බොරු කතාවක් ඒක. කිසිම විදිහකින් හමුදා නිලධාරියකුට යුද්ධයේදි කරපු යම් යම් දේවල් ගැන කිසිම පීඩනයක් නෑ. හැබැයි පෞද්ගලිකව කරපු දෙයක් තියෙනවා නම් ඒවා සාමාන්‍ය නීතිය යටතේ වැටෙනවා.

හැබැයි හිටපු යුද හමුදාපතිවරයා සරත් ෆොන්සේකා කියලා තිබ්බා ඔහුගේ අනුදැනුමෙන් තොරව හමුදා කණ්ඩායම් මෙහෙයුවා කියලා. දැන් වගකීම බාරගන්න බෑ කියන්න බෑනේ?

එයාටත් අයිතිනේ ඒක. ඇයි ඉතින් එතුමා හිටපු යුද හමුදාපතිනේ.

එහෙම දේවල් වුණා. ඒ කියන්නේ?

මම දන්නේ කොහොමද? එතුමනේ එහෙම කියන්නේ. යුද්ධ කාලයේදි යම් යම් දේවල් වෙනවා. ඒත් ඊටපස්සේ හිතාමතා සිදුවෙනවා කියලා මම හිතන්නේ නෑ.

ගිය ආණ්ඩුවේ හිටිය හැමෝම ලස්සනට ලිස්සලා යන්න දන්නවා නේද? අරයා වගකියන්න ඕනෙ. මෙයා වගකියන්න ඕනෙ කියලා?

එහෙම දෙයක් වුණානම් ඔව් අපිත් ඒ වගකීමේ ඉන්නවා. හැබැයි එහෙම දේවල් වුණේ නෑ. එක්කෙනෙක්ගේ පෞද්ගලික වුවමනා වෙන්න ඇති. හැබැයි ඒකට රජය මැදිහත් වුණා කියලා මම පිළිගන්නේ නෑ. කිසිදෙයක් රජය දැනුම්වත්ව වුණේ නෑ. මමත් ඒ රජයේ හිටියනේ. 

ආණ්ඩුව හොරු රකිනවා කියලා චෝදනාවක් තියෙනවා. ඇත්තද හොරැ රකිනවද?

සමහර වෙලාවට එහෙම චෝදනා කරන්න පුළුවන්. කොච්චර දුරට හොරැ රකිනවද, කවුරැ රකිනවද කියන එක තීරණය කරන්න අමාරුයි ප්‍රජාතන්ත්‍රවාදී රටක. අපි නම් හොරු රකින්නේ නෑ.

හැබැයි කියන්නේ ආණ්ඩුවේ අයත් එක්ක හොරැ ඩීල් දාලා කියලා?

විපයට ගියොත් කියයි එයාලට ගහනවා කියලා. ආවොත් කියයි ඩීල් දානවා කියලා. ඕකයි දේශපාලනය.

ශ්‍රීලනිපයේ අවසාන අව්‍යාජ අරමුණ මොකක්ද මේ ආණ්ඩුවේ?

අපි සම්මුතිවාදී ආණ්ඩුව තුළ යන්න පුළුවන් උපරිම දුර යනවා. ශ්‍රීලනිපය ශක්තිමත් කරගෙන අනාගතේ මැතිවරණයකට යනවා. ජනතාව තීන්දු කරනවා මැතිවරණයේදි බලය දෙනවාද, නැත්තන් සම්මුතිවාදී ආණ්ඩුවක් හදනවද, වෙනත් පිරිසකට දෙනවද කියලා. අපි ඒ තීන්දුව පිළිගන්නවා. 

 ගයාන් ගාල්ලගේ    
    ෙස්යාරුව I සුමුදු ෙහ්වාපතිරණ