2020 ජුනි 06 වන සෙනසුරාදා

තොණ්ඩමන් සමඟ ගැටුණු මහින්ද

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 135

මැයි මස 29 වැනිදා තම 56 වැනි උපන්දිනය සැමරීමට සූදානමින් සිටි සෞම්‍යමූර්ති ආරුමුගම් රාමනාදන් තොණ්ඩමන් හදිසි හෘදයාබාධයකින් 26 වැනිදා නික්ම ගියේය. එම අනපේක්ෂිත වියෝව මේ අවස්ථාවේ රජයටත් රාජපක්ෂවරුන්ටත් දේශපාලනමය වශයෙන් පහර වැදීමකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ රජයේ එකම ඉන්දීය දමිළ ප්‍රජාව නියෝජනය කරන ඇමැතිවරයා වී සිටියේ තොණ්ඩමන්ය.

ඔහු නියෝජනය කළ ලංකා කම්කරු කොංග්‍රසය තොණ්ඩමන් පවුලේ නින්දගමකි. කොංග්‍රසයේ දීර්ඝකාලීන ප්‍රධාන ලේකම්වරයා වූ එම්.එස්. සෙල්ලසාමිට පිටවීමේ දොරටුව හැර දෙමින් 1993 වසරේදී එම පක්ෂයේ මුදල් සහ තරුණ කටයුතු ලේකම් වශයෙන් පත්කරනු ලැබූ ආරුමුගම් 1994 වසරේදී ප්‍රධාන ලේකම් පදවියට පත්කරනු ලැබීය. 1999 දී සෞම්‍යමූර්තිගේ අභාවයත් සමඟ ආරුමුගම්ට පක්ෂයේ නායකත්වය හිමිවිය. එතැන් පටන් ඔහු වතුකරයේ අවිවාදිත සුපිරි නායකයා බවට පත්විය. පක්ෂයේ සභාපති සහ ලේකම් වූයේද ඔහුමය.

2015 පිහිටු වූ යහපාලන රජයේ හැර ඉන් ඉහත ශ්‍රී ලංකාවේ සියලු ආණ්ඩුවල ඔහු කැබිනට් අමාත්‍යවරයෙක් විය. චන්ද්‍රිකා කුමාරතුංගගේ පොදුජන එක්සත් පෙරමුණ, රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පෙරමුණ සහ මහින්ද රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය එම ආණ්ඩු විය. කෙසේ වුවද වරින්වර ආරුමුගම් ගේ නායකත්වය සමඟ ගැටුම් ඇතිකරගත් පක්ෂයේ ඇතැම්හු වරින්වර පක්ෂය හැර ගියහ.

පක්ෂය තුළ උද්ගත වූ තාක්ෂණික ගැටලු හේතුවෙන් පක්ෂ මහ ලේකම් පදවිය අත්හළ ආරුමුගම් එම ධුරයට හිටපු මධ්‍යම පළාත් සභා ඇමැතිනී අනුශියා සිවරාජ් පත් කළේය.  ඇය කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨයකු වන වී. අන්නමලෙයිගේ දියණියයි. සෞම්‍යමූර්ති සමඟ අන්නමලෙයි 1965-70 ඩඩ්ලි සේනානායක රජයේ පත්කළ මන්ත්‍රීවරු වශයෙන් කටයුතු කළහ.

සම්පූර්ණයෙන් පුරුෂාධිපත්‍යයක් සහිත පක්ෂයක් වූ කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ධුරයට පළමු වතාවට කාන්තාවක් පත් කිරීමෙන් ආරුමුගම් එම පක්ෂයේ ඉතිහාසය වෙනස් කළේය. එසේම ඔහු තම අක්කාගේ පුතු සෙන්දිල් තොණ්ඩමන්ද පක්ෂය තුළට ගෙනාවේය. සෙන්දිල් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ වතු සේවක කටයුතු සම්බන්ධ සම්බන්ධීකාරකයකු වශයෙන් කටයුතු කරයි. ඊට පෙර ඔහු පළාත් සභාවේ ඇමැතිවරයෙක් වශයෙන් කටයුතු කළ අතර පක්ෂයේ උප සභාපතිද වෙයි.

පක්ෂයට අලුතින්ම පවුලෙන් එකතු වී සිටින්නේ ආරුමුගම්ගේ පුත් ජීවන් කුමාරවේල් තොණ්ඩමන්ය. ඔහු එංගලන්තයේ නීති අධ්‍යාපනය ලැබූවෙකි. එසේම ඔහු කොංග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත්කරනු ලැබීය. ඔහු ආරුමුගම් විසින් තමාගෙන් පසුව පක්ෂයේ නායකත්වයට හුරුකරවන බවට සැකයක් නොතිබිණි. අනුශියා සිවරාජ් ඉවත්කොට ජීවන් එම තනතුරට පත් කිරීම නියමිතව තිබියදී ආරුමුගම්ගේ හදිසි අභාවයෙන් සැලසුම් මඳක් වෙනස් වී තිබේ. දැන් සෙන්දිල් තම පළපුරුද්ද සමඟ පක්ෂ නායකත්වයට සටන් වැදීමට ඉඩකඩක් සොයමින් සිටී. 26 හැවිරිදි ජීවන් සතුව ප්‍රමාණවත් තරම් පළපුරුද්දක් නොමැතිවීම ප්‍රධාන සාධකය වශයෙන් සටහන් වී තිබේ.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් උපදෙස් ගැනිමට සෙන්දිල් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමතා තිබිණි. 1970 මැයි 27 වැනිදා 24 හැවිරිදි තරුණයකුව සිටිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මහින්දගේ උපදේශය වූයේ තොණ්ඩමන්ගේ පුත් ජීවන් ඔහුගේ පියාගේ නාමයෝජනාවට ආදේශ කරන ලෙසටය. එය ජනතාවගේ බලාපොරොත්තුව බවද ඔහු පෙන්වාදී තිබිණි. කොංග්‍රසයේ නායකත්වය පිළිබඳ ගැටලුව පසුව විසඳාගත හැකි බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ පිළිබඳව සෙන්දිල් තුළ කිසියම් බලාපොරොත්තුවක් ඇති කරවමිනි. ජීවන්ගේ නම අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කළ බවට නිවේදනයක් නිකුත් වූ අතර වතුකරයේ තොණ්ඩමන්ගේ අභාවය වෙනුවෙන් හටගත් සානුකම්පිත ඡන්ද ආණ්ඩුවේ බලාපොරොත්තුවක් බවට පෙරළී තිබේ.

වර්තමානයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ වැඩකටයුතු සමඟ මහින්ද රාජපක්ෂ මහතා පහසුවෙන් කටයුතු කළද දේශපාලන ඉතිහාසය තුළ මහින්ද සහ තොණ්ඩමන් දෙදෙනා අතර ගැටුම් ඇතිකරගත් අවස්ථාද තිබේ. එහි පළමුවැන්න 2005 දී වාර්තා විය. එය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ප්‍රථමවරට තරගකළ අවස්ථාව වූ අතර එම තරගයේදී ඔහු දමිළ සහ මුස්ලිම් පක්ෂවල සහාය බලාපොරොත්තු විය. එහෙත් එම පක්ෂ සහාය දැක්වූයේ රනිල් වික්‍රමසිංහටය. උතුරේ සහ නැගෙනහිර බොහෝ ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ. මගින් ඡන්ද වර්ජනයක් දියත් නොකරන්නට මහින්ද එම ඡන්දයේදී පරාජය වීමට හොඳටම ඉඩ තිබිණි. ජයග්‍රහණයෙන් පසුව මහින්දට ආරුමුගම් සමඟ දැඩි ලෙස විරසකවීමට ඕනෑතරම් හේතු තිබිණි.

මහින්ද කේන්තියට පත්ව සිටින බව දැනගත් ආරුමුගම් මහින්ද “නිවා” දැමීමේ අරමුණින් නව ජනාධිපතිවරයාට තම පක්ෂය කොන්දේසි විරහිත සහයෝගයක් ලබාදෙන බව ප්‍රකාශ කළේය. එසේ වුවත් නව රජය කොංග්‍රසය පස්සේ පැන්නීම ඇරඹීය. රාජපක්ෂ ක්‍රමය අනුව පොලිස් වැටලීම් දෙකක් සිදුවිය.

එහි පළමුවැන්න කොටගල තරුණ මධ්‍යස්ථානයට සී.අයි.ඩී. කණ්ඩායමක් යැවීම විය. දෙවැනි වැටලීම ආරමුගම්ගේ නිවසට පොලීසිය යැවීම විය. මේ වැටලීම් දෙක සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමක් සිදුනොවූ නමුත් ආරුමුගම්ගේ ආරක්ෂක නිලධාරීන් අඩුකරනු ලැබීය. කොංග්‍රසයේ බදුල්ල මන්ත්‍රී වඩිවේල් සුරේෂ් රජයට එක්කරගෙන නියෝජ්‍ය ඇමැති පදවියක් ලබාදුන්නේය. කොංග්‍රසය තම පිටිය තුළදීම යටකර දැමීම පියවරින් පියවර සිදුවෙමින් තිබිණි.

මෙහිදී තොණ්ඩමන්ද නිකම් සිටියේ නැත. ඔහු එල්.ටී.ටී.ඊ. සමඟ සබඳතා ඇරැඹීය. කිලිනොච්චියට ගොස් කොටි දේශපාලන ප්‍රධානී තමිල් සෙල්වන් හමුවී දේශපාලන සාකච්ඡා පැවැත්වීය. ඉන්පසුව මාධ්‍ය හමුවක්ද ඇමතූ තොණ්ඩමන් උඩරට සහ බස්නාහිර පළාත් දමිළ දේශපාලන පක්ෂ එකමුතුවක් සෑදීම පිළිබඳව සැලැස්මක් හෙළි කළේය. පුළුල් දමිළ සංවිධානයක් තිබීමේ උපාය මාර්ගික වැදගත්කම් පිළිබඳව තමන් එල්.ටී.ටී.ඊ. සමඟ සාකච්ඡා කළ බවද තොණ්ඩමන් ප්‍රකාශ කර තිබිණි. උතුරේ සහ උඩරට දමිළ ප්‍රජාව මුහුණ දෙමින් සිටි ගැටලු පරස්පර වුවත් සිංහල ජාතිකත්වය විසින් එල්ලකරන අභියෝගවලට මුහුණ දීම පොදු අවශ්‍යතාවක් බවද ඔහු කියා තිබිණි.

තොණ්ඩමන්ගේ එල්.ටී.ටී.ඊ. නැඹුරැව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තුළ අනතුරු ඇඟවීමේ සීනු දිගටම හැඬවීමට සමත්විය. එවකට ඉන්දීය මහ කොමසාරිස් නිරූපමා මෙනන් රාඕ රාජපක්ෂ සහ තොණ්ඩමන් අතර සංහිඳියාවක් ඇති කිරීමට මැදිහත් වූවාය. මතභේදකාරී තත්ත්වයන් මැද වුවද කිසියම් එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයට හැකිවිය. එල්.ටී.ටී.ඊ. සමඟ පුළුල් දමිළ සංධානයක් ඇතිකර ගැනීමේ අදහසට සමුදුන් තොණ්ඩමන් තරුණ බලගැන්වීම් සහ සමාජ ආර්ථික සංවර්ධන කැබිනට් ඇමැති වශයෙන් දිවුරුම් දුන්නේය. කොංග්‍රසය නියෝජනය කළ එම්.එස්. සෙල්ලසාමි තැපැල් නියෝජ්‍ය ඇමැති, එම්. සිවලිංගම් වතු යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති, එස්. සචිත්තානන්දන් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති සහ එස්. ජගතීස්වරන් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති වශයෙන් දිවුරුම් දුන්හ.

ඉන්පසුව 2007 දී ආරුමුගම් බැසිල් සමඟද ගැටුමක් ඇතිකර ගත්තේ වතුකර දේශපාලනඥයන් සමඟ බැසිල් තදින්ම බහින්බස්වීමද හේතුවෙනි. සුළුවෙන් ඇරැඹි එම ගැටුම දුරදිග යාම හේතුවෙන් ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති රැස්වීමකින් පසුව තම තනතුරුවලින් සහ රජයෙන් ඉල්ලා අස්වීමට තොණ්ඩමන්ලා තීන්දුවක් ගත්හ. කෙසේ වුවද එම තීන්දුවට එරෙහිව වතුකරයේ සෙසු නායකයන් විසින් තදින්ම හඬනැගීම හේතුවෙන් රජයෙන් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමෙන් වැළකීමට ඔවුහු යළි තීන්දු කළහ. විපක්ෂයට නොයා රජය තුළම රැඳී සිටි කොංග්‍රස් මන්ත්‍රීවරු රජයට අයවැය අනුමත කරගැනීමට සහාය දුන්හ. තවදුරටත් කැබිනට් අමාත්‍යවරයකු නොවුණද තොණ්ඩමන් ආණ්ඩු පක්ෂනායක රැස්වීම්වලට ඇරියුම් ලැබීය.

මහින්ද රාජපක්ෂ විසින් බාර නොගත් තොණ්ඩමන්ලාගේ ධුරවලින් අස්වීමේ ලිපි පසුව හමස් පෙට්ටියට ගොස් තිබිණි. ඔවුන්ගේ ආරක්ෂාවද අඩු නොකළ අතර නිල වාහනද ආපසු පවරා ගත්තේ නැත. එහෙත් ඔවුන්ට ඇමැති දීමනා තවදුරටත් නොලැබිණි. කෙසේ වුවද වතු සේවක සාමූහික ගිවිසුම් අත්සන් කරද්දී වතු කම්කරැවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් යළිත් මතභේදයක් ඇතිවිය. එහිදී තොණ්ඩමන්ලාගේ සහාය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ සහ ඒ වනවිට රජයෙන් ඉවත්ව සිටි මංගල සමරවීර උත්සාහ දැරූහ. එහෙත් දේශපාලනයේ තෙම්පරාදු වූ මහින්ද රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වී වතුකම්කරුවන්ගේ වැටුප ඉහළ දැමීමේ තොණ්ඩමන්ගේ යෝජනාවට අනුමැතිය දුන්නේය. එම දේශපාලන ජයග්‍රහණයත් සමඟ කේවල් කිරීමේ බලය තවත් වැඩිකරගත් තොණ්ඩමන්ලා යළි රජයේ ඇමැතිවරු වශයෙන් දිවුරුම් දුන්හ.

එදි සිට ජීවිතයෙන් සමුගන්නා තුරු තොණ්ඩමන් මහින්ද සමඟ දේශපාලනය කළේ එවැනි දීර්ඝකාලීන අන්‍යොන්‍ය සම්බන්ධතා රැක ගනිමිනි. තොණ්ඩමන්ගෙන් පසුව ලංකා කම්කරු කොංග්‍රසයේ ඉදිරි කාලය රාජපක්ෂගේ දැඩි ග්‍රහණයට නතු වන බව පෙනෙන්නට තිබේ.

ඩී.බී.එස්. ජෙයරාජ් විසින් ලියූ ඩේලිමිර්ර් පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරිනි.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00