2020 ජුනි 06 වන සෙනසුරාදා

අලුත්කඩේ සංඥාව

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

මහ මැතිවරණය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තිස්සේ පැවති උණුසුම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් තීන්දුවත් සමඟ නිවී ගියේය. එම තීන්දුව ලබාදුන්නේ නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබූ ජූනි 02 වැනිදා වීමද දෛවෝපගත සිදුවීමකි. මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව නව පාර්ලිමේන්තුව රැස්විය යුතුව තිබූ අවසාන දවස වූයේ ජූනි 02 වැනිදාය. කොවිඩ්-19 හේතුවෙන් කල් නොගියා නම් මහමැතිවරණය පැවැත්වීමට දින නියම කෙරුණේ අප්‍රේල් 25 වැනිදාටය. කොවිඩ්-19 නොවන්නට මේ වනවිට රටේ පවතින්නේ ශක්තිමත් ආණ්ඩුවකි. එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ ආණ්ඩුවක් මිස වෙනකක් වීමට ඉඩක් නොතිබිණි.

කෙසේ වුවද කොවිඩ්-19 වසංගතය විසින් ඇතිකරන ලද පාලනය කළ නොහැකි වූ සෞඛ්‍ය හේතූන් මත මහ මැතිවරණය කල් ගියේය. පෙත්සම් ගොනු කෙරුණේ මැතිවරණ කොමිසම මගින් අලුතින් යෝජනා කරන ලද ජූනි 20 වැනිදා මහමැතිවරණය පැවැත්වීම නීතිවිරෝධී යැයි විපක්ෂයේ පක්ෂ කිහිපයක් සහ සංවිධාන කිහිපයක් මගින් පෙත්සම් ගොනු කිරීම හේතුවෙනි. නඩු තීන්දුව ලැබීමෙන් පසුව පොහොට්ටුව ප්‍රකාශ කළේ මහමැතිවරණය කල්දමා ගැනීමට විපක්ෂය මගින් දැරූ උත්සාහය වැළකී ගිය බවය. එමගින් රටේ ජනතාවගේ පරමාධිපත්‍යය රැකුණු බවද ඔවුහු ප්‍රකාශ කළහ. පෙත්සම් ඉදිරිපත් කළ ප්‍රධානම පක්ෂය වූ යූ.එන්.පී.යෙන් කැඩී ගිය සමගි ජනබලවේගය ප්‍රකාශ කළේ රටේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වනතුරු මැතිවරණය නොපවත්වන ලෙසට තමන් කල ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ඉටුවී තිබෙන බවය. මහජන සෞඛ්‍ය තත්ත්වය වඩාත් යහපත් වූ පසුව තමන් ඡන්දයට ඕනෑම මොහොතක සූදානම් බවද එම පක්ෂය කියා තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමක් කිසිසේත් සිදුනොවන බව ස්ථීර විය. ඒ අනුව මහ මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව කැඳවනතුරු රටේ සම්පූර්ණ පාලනය විධායක ජනාධිපතිවරයා අතර රැඳී තිබෙන බවද මේ තීන්දුවෙන් අදහස් කෙරෙයි. එහි තවත් අරුතක් වන්නේ මේ රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් සහ රටේ මහජන මුදල් අවශ්‍යතා සියල්ල ජනාධිපතිවරයා විසින් පාලනය කෙරෙන බවය.

බැලූ බැල්මට නඩු තීන්දුව ආණ්ඩු පක්ෂයට සුවිශේෂ ජයග්‍රහණයකි. මහ මැතිවරණය පැවැත්වීමට කලින්ම රටපුරා රතිඤ්ඤා දල්වා ප්‍රීති වීමටත් විපක්ෂයට අභියෝග කිරීමටත් ඔවුන්ට අවස්ථාව උදාවිය. එසේම විපක්ෂය ඡන්දය කල්දමා ගැනීමට හැකි වෙර යොදද්දී තමන් එය වළක්වා ජනතාවගේ අයිතිය ආරක්ෂා කරදීමට සමත් වූ බවට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබාගැනීමටද ආණඩුව මෙහිදී සමත්විය. නඩු තීන්දුව ප්‍රකාශ කරද්දී රටපුරා සංවිධානාත්මක ලෙස සිදුවූ රතිඤ්ඤා දැල්වීම ආණ්ඩුව මහ මැතිවරණයේදී සිදුකිරීමට නියමිත ශක්තිමත් ඡන්ද කැම්පේන් එක පිළිබඳව විපක්ෂයට ප්‍රබල සංඥාවක්ද ලබාදී තිබේ. අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් වෙන්වී සිටින යූ.එන්.පී.යටත් කැඩීගිය සමගි ජන බලවේගයටත් මෙය යහපත් පෙර නිමිත්තක් නම් නොවන බව පැහැදිලිය.
එසේ වුවත් කොවිඩ්-19 හේතුවෙන් රටේ පවතින වාතාවරණය ආණ්ඩුවටද මහමැතිවරණය සැහැල්ලුවෙන් සලකා කටයුතු කිරීමෙන් වළක්වනු ලැබ තිබේ. රට විවෘත කිරීමට තරම් යහපත් තත්ත්වයකට වසංගතය පාලනය කර ගැනීමට ආණ්ඩුවේ වැඩපිළිවෙළ හේතුවුවද ඒ හරහා ඇතිකර තිබෙන ප්‍රබල සමාජ ආර්ථික ප්‍රශ්න බෙහෙවින් බරපතළය. එදිනෙදා ස්වයංරුකියා මගින් ජීවත් වූ බොහෝ දෙනාට තවමත් හරිහමං ආදායමක් නැත. එය කෘෂිකර්ම ක්ෂේත්‍රයටද අදාළය.

පෞද්ගලික අංශයේ විශාල පිරිසක් රැකියා අහිමිවීමේ තර්ජනයට මුහුණ දී සිටිති. රජයේ රැකියා කරන බොහෝදෙනා කාර්යාලවලට යන්නේ වරින්වරය. එසේම අප්‍රේල් - මැයි මාසවල ජනතාවට එතරම් නොදැනුණු ආර්ථික බර දැන් දැන් වැඩිපුර දැනෙමින් තිබේ. රට ක්‍රම ක්‍රමයෙන් විවෘත වනවිට එදිනෙදා සියලු වියදම් ඉහළ නැගීම ඊට හේතුවය. ආර්ථිකයේ දියුණුවක් නොදැකම පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීමෙන් පසුව මේ තත්ත්වය තවදුරටත් බරපතළ වනු මිස ලිහිල් වන්නේ නැත. බැංකු ණය, ලීසිං වාරික ගෙවීමට ලැබෙන සහන පිළිබඳව හරි වැටහීමක් කාටත් නැත. මේ සියල්ල අවසානයේ එකතු වන්නේ ජනතාවගේ ආර්ථික පීඩනයටමය. එය මහත් බලාපොරොත්තු තබාගෙන ඡන්දයට සැරසෙන ආණ්ඩුවට යහපත් ප්‍රවේශයක් වන්නේ නැත.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නඩු තීන්දුව ලැබීමට පෙර සිටම ප්‍රකාශ කර තිබුණේ මහමැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ වෙතින් කොළඑළිය දැල්වීමෙන් පසුව දින 60ත් 70ත් අතර කාලයක් මහ මැතිවරණය පැවැත්වීම සඳහා තමන්ට අවශ්‍ය බවය. සෞඛ්‍ය බලධාරීන් විසින් සකස්කරන උපමාන අනුව මැතිවරණ ක්‍රියාවලිය සකස් කිරීමට තමන්ට මේ කාලය අවශ්‍ය බව ඔහු සඳහන් කරයි. ආණ්ඩු පාර්ශ්වය ඊට දැඩි ලෙස විරෝධය පෑම බලාපොරොත්තු විය යුතුය. හැකිතරම් ඉක්මණින් මහ මැතිවරණය පවත්වා ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වනවිට කොමිසම දින හැට හැත්තෑවේ කතා කියන එක ඔවුන්ට දිරවන්නේ නැත. ලබන සඳුදා (08) රැස්වෙන කොමිසම මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට හෝ ඒ පිළිබඳ කිසියම් ස්ථීර තීන්දුවක් ගැනීමට හෝ නියමිතය. කලින් කර ඇති ප්‍රකාශය අනුව තීන්දුවක් ගනු ලැබුවොත් එය අගෝස්තු 08 හෝ 15 වීමට ඉඩ තිබේ. එහෙත් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන නිර්ණායක අනුව එම දිනය තවදුරටත් ඉදිරියට යාම මිස පෙරට ගැනීමක් නොසිදුවන බව පැහැදිලිය. සමගි ජන බලවේගය නම් වඩාත් කැමැත්තෙන් සිටින්නේ හැකිතරම් ඈතට ඡන්දය කල් යනවා දකින්නය. ආණ්ඩුවේ සිට විපක්ෂයට වැටී යූ.එන්.පී.යත් දෙකඩ කැඩීමෙන් පසුව එවැනි කැමැත්තක් තිබීම ගැන පුදුම විය යුතු නැත.

මේ සියල්ල පෙන්වා දෙන්නේ ඊළඟට පැවැත්වෙන මහ මැතිවරණය ඓතිහාසික එකක් වන බවය. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට පැරණිම පක්ෂ දෙකම දෙකට කැඩී අලුත් පක්ෂ දෙකක් ප්‍රධාන වේදිකාවේ සටනට බැස සිටීම එයින් ප්‍රධානය. අලුත් ජනාධිපතිවරයකු සහ අලුත් හිටපු විපක්ෂනායකයකුද සටන් බිමේ ප්‍රධාන කථිකයන් අතර සිටීමද වෙනසකි. ඡන්දයක් පැවැත්වීමට පෙර ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූයේද ප්‍රථම වතාවටය. ලෝකයම වෙලාගත් වසංගතයක් මැද මාස ගාණක් ඇඳිරි නීතිය යටතේ සිට ජනතාව ඡන්දයට යන්නේද පළමු වතාවටය. ප්‍රශ්නය ඇත්තේ ඡන්දය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලට තිබෙන දැඩි උනන්දුව මහජනතාව තුළද ඒ ආකාරයෙන්ම තිබෙන්නේද යන්නයි.

- ශශීන්ද්‍ර