2020 ජුනි 13 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

ඊ.ටී.අයි. කඩාවැටීම: ජනපතිගෙන් මහ බැංකුවට දොස්

ඊ.ටී.අයි. ආයතනයේ කඩාවැටීමේ වගකීමෙන් ගැලවීමට මහ බැංකුවට හැකියාවක් නැතැයි ද එම ආයතනය සම්බන්ධ කටයුතු කිරීමේදී මහ බැංකුව අසමත් වී ඇතැයි ද ප්‍රකාශ කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ට පසුගිය බ්‍රහස්පතින්දා (11) පැවැති රැස්වීමකදී දොස් පැවරුවේය.

ඊ.ටී.අයි. ආයතනයේ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද විමර්ශන කමිටුව එදින හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ දොස් පැවරීම සිදුකර තිබිණි.

කමිටුව ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබුණේ ආරම්භයේ පටන්ම ඊ.ටී.අයි. ආයතනය නිසි ක්‍රමවේදවලින් බැහැරව කටයුතු කර ඇති බවය. තම වත්කම් වෙනත් ආයතනවල ආයෝජනය කිරීමට එම ආයතනය කටයුතු කර ඇතැයි ද එම ක්‍රියාවලිය මහ බැංකුව මගින් අධීක්ෂණය කර නැතැයි ද කමිටුව මගින් පෙන්වා දී තිබිණි.

ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් දුන්නේ එම ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ගැඹුරින් සොයා බලා ආයෝජනය කර ඇති ජනතාවගේ මුදල් ආපසු ලබාදීම කෙරෙහි වඩාත් අවධානය යොමු කරන ලෙසටය. මහ බැංකුවට මේ වගකීම් මඟහැර යා නොහැකි බවද ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබේ.

මේ අතර ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුවලට සහන සැලසීම සඳහා රජය මගින් ලබාදීමට නියමිත රුපියල් බිලියන 150ක මූල්‍ය පහසුකම් පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන සතියේ ජනාධිපතිවරයා මහ බැංකු නිලධාරීන් හමුවීමට නියමිතය. ඒ සඳහා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සහභාගි වනු ඇත.

ඩේලි එෆ්.ටී. 

අලුත් කාර්ය සාධක බළකායට විපක්ෂ විරෝධය

ජූනි 02 වැනිදා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් ස්ථාපිත කරන ලද ජනාධිපති කාර්ය සාධක බළකාය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂ දේශපාලනඥයන්ගෙන් විරෝධය එල්ලවෙමින් පවතී. “සුරක්ෂිත රටක්, විනයගරුක - ගුණවත් සහ නීත්‍යානුකූල සමාජයක්” බිහිකිරීම සඳහා මෙම කාර්ය  සාධක බළකාය පත් කරන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වන අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා එහි සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබ සිටී. එහි සෙසු නිලධාරීන් මෙසේය. 

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය, ජාතික බුද්ධි සේවා ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස්, රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ, යුද හමුදා බුද්ධි ඒකක අධ්‍යක්ෂ මේජර් ජනරාල් ඒ.එස්. හේවාවිතාරණ, නාවික හමුදා බුද්ධි ඒකක අධ්‍යක්ෂ කපිතාන් එස්.ජේ. කුමාර, ගුවන් හමුදා බුද්ධි ඒකක ප්‍රධානී ගුවන් කොමදෝරු එම්.ඩී.ජේ. වාසගේ, පොලිස් විශේෂ කාර්ය බළකා නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර 

මෙම කාර්ය සාධක බළකායේ අරමුණු අතර නීතිගරුක, විනයගරුක රටක් ඇතිකිරීමට අමතරව මත්කුඩු ජාවාරම් මැඩලීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම ද ඇතුළත්ය. එසේම බන්ධනාගාර තුළ සහ පිටත නීතිවිරෝධී සමාජ විරෝධී කාර්යයන් පාලනය කිරීම ද එයට අයත් කාර්යයන් අතර වෙයි. තවත් කාර්යයක් වන්නේ රටේ නිදහස් හා සාමකාමී පැවැත්මට හානිදායක වන සේ නීති උල්ලංඝනය කරන සමාජ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වහාම මැඩපැවැත්වීමය. එතෙර රටවල සිටිමින් ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී සහ සමාජ විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ද තවත් කාර්යයකි.

මේ කාර්ය සාධක බළකාය පත්කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබුණේ මේ බළකාය පත්කර ඇත්තේ පිළිගත් ක්‍රමවේදවලට පටහැණිව බවයි. කාර්ය සාධක බළකායේ සංයුතිය හමුදා සාමාජිකයන්ගෙන් යුක්තව මිලිටරීකරණයට ලක්කර තිබීම ගැටලුවක් බවද එම නිවේදනය සඳහන් කර තිබිණි.

මෙවැනි සමාජ සංවේදී කාර්ය බළකායක් සම්පූර්ණයෙන්ම හමුදා නිලධාරීන්ගේ පාලනයට නතු කරමින් එය මිලිටරීකරණයට ලක් කිරීම බරපතළ ගැටලුවකි. එය රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් නොසලකා කටයුතු කිරීමකි. අදාළ ක්ෂේත්‍රවල විද්වතුන් වැනි පුළුල් පරාසයක උපදේශකත්වය දැනුම ඇති නිලධාරීන් සහ පුද්ගලයන් කාර්ය සාධක බළකායට සම්බන්ධ කර නොගැනීම මිලිටරි යාන්ත්‍රණය ප්‍රදර්ශනය කිරීමකි... යැයි ද එම නිවේදනය සඳහන් කරයි.

කෙසේ වුවද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංස මහතා ප්‍රකාශ කර තිබුණේ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කාර්ය සාධක බළකායකින් ඉටුකරගත හැකි ජයග්‍රහණ සිවිල් නිලධාරීන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි බවය. එවැනි බළකායක් පත් කිරීමෙන් තොරව සුරක්ෂිත රටක් ගුණගරුක නීත්‍යානුකූල සමාජයක් බිහිකර ගැනීමේ අරමුණු සාර්ථක කර ගැනීම අපහසු බවද වීරවංස මහතා සඳහන් කළේ රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වෙමිනි.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00