• සති ගාණක් මැතිවරණ කොමිසම එක්ක අඩව් අල්ලමින් ඔවුන් සිතාමතා මහ මැතිවරණය කල් දමන්නේ යැයි චෝදනා කළ පොහොට්ටුවේ දොළදුක දැන් ඉවරද?
• මේ පාර තරග වදින්නේ පොහොට්ටුවයි එජාපයයි විතරයි කියා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කියන කතාව ඇත්තද?
• සමගි ජනබලවේගයේ ඩීල් කාරයන්වත් කළු චරිතවත් නැතැයි සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ කවුරු ඉලක්ක කරගෙනද?
• ජවිපෙ නිහඬවම ඉන්නේ අලුත් සැලැස්මක් අතේ තබාගෙනද?
• ටී.එන්.ඒ. එක මේ පාර ඡන්දෙන් පස්සේ කුමක් කරයිද?
• මැතිවරණ කොමිසමට ආණ්ඩුවේ කට්ටිය මදි නොකියන්න පහර දුන්නේ දිනුවට පස්සේ ස්වාධීන කොමිෂන් ගැන වෙනසක් කරන්නද?
මේ ප්‍රශ්න ටික එකපාරටම පැන නැග්ගේ පසුගිය බදාදා (10) යින් පසුවය. ටික ටික මේ ප්‍රශ්න මේ රටේ දේශපාලන කරළියේ රැව් නොදුන්නා නොවේ. එහෙම වුණත් මහ මැතිවරණ දිනය රබර් පටියක් මෙන් දිගින් දිගටම ඇදෙන විට එයින් වඩාත්ම පසුතැවිල්ලටත් අසහනයටත් පත්වූයේ පොහොට්ටුව බව නිසැකය. අතේ තිබෙන ජයග්‍රහණයේ බර දවස පස්සට තල්ලු වීමෙන් සැහැල්ලු විය හැකි බවට පවතින සැකය එයට ප්‍රබල හේතුවක් වන්නට ඇත. කොහොම වුණත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මැතිවරණ දිනය වශයෙන් අගෝස්තු 05 නියම කරනවිට ඒ දිනය ගැන කිසිම දේශපාලන පක්ෂයක් තුළ බලාපොරොත්තුවක් තිබුණාදැයි සැකසහිතය. හැබැයි පොහොට්ටුවට නම් එසේ තරමක හෝ ආසන්න දිනයක් ලැබීම ඔවුන්ගේ දොළදුක සංසිඳවා ඇති බව නම් පෙනෙයි. මැතිවරණ කොමිසමට එරෙහිව ගෙනගිය සිතා මතා මහමැතිවරණ දිනය කල්දැමීමට කටයුතු කරන බවට වන චෝදනා ඇතුළත් වාග් ප්‍රහාර නැවතීමෙන් ඒ බව පැහැදිලි වෙයි.
අගෝස්තු 05 බොහෝ දෙනෙකු බලාපොරොත්තු නොවූ දවසක් බව නම් පැහැදිලිය. එයට එක් හේතුවක් වූයේ මහමැතිවරණය පැවැත්වෙනු ඇත්තේ සෙනසුරාදා දිනයක වන බවට පැවැති විශ්වාසයයි. මෙම මැතිවරණය සඳහා මීට පෙර කොමිසම විසින් ලබාදී තිබූ දින දෙක වූ අප්‍රේල් 25 වැනිදාත් ජූනි 20 වැනිදාත් දෙදිනම සෙනසුරාදා දවස් විය. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ පෙත්සම් 10 තීන්දුව ලැබුණු ජූනි 02 වැනිදා සිට ඉදිරියට ආසන්න දින 70 වනවිට ලැබෙන සෙනසුරාදා දින දෙක වන අගෝස්තු 08 හෝ 15 මහමැතිවරණය වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබිණි. සෞඛ්‍ය බලධාරීන්ගෙන් කොළ එළිය දැල් වී දින 60ත් 70ත් අතර කාලයකදී ඡන්දය පැවැත්වෙනු ඇති බවට මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර කළ ප්‍රකාශයද එයට බලපෑවේය. කෙසේ වුවද සෞඛ්‍ය බලධාරීන්ගෙන් කොළ එළිය දැල්වුණත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරැ දිනය ප්‍රකාශ කිරීමට කොමිසම උනන්දු වූයේ නැත. අවසානයේ දිනය ප්‍රකාශ වූයේ පසුගිය බදාදා (10) දිනයේදීය.
අගෝස්තු 05 බදාදා දිනයකි. සතිය මැදදී මහමැතිවරණය පැවැත්වීම නිසා පාසල් පද්ධතිය පියවරින් පියවර ආරම්භ වීමේ එක් පියවරකදී යළිත් පාසල් වසා දැමීමට සිදුවෙයි. මෙවර සෞඛ්‍ය නිර්ණායකද පිළිපැදීමට සිදුවීම හේතුවෙන් පාසල් ගොඩනැගිලි ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදාගැනීමේදී ඒ සඳහා වැඩිපුර දිනයක් හෝ දෙකක් අවශ්‍ය වනු ඇත. ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඊට පසුදින සිදුකිරීමට සැලසුම් කරන බවද ප්‍රකාශ වී තිබීම නිසා දින කිහිපයක්ම පාසල් වසා දැමීමට ඉඩකඩක්ද පවතී.
මෙවර ඡන්දය හේතු ගණනාවක් නිසා විශේෂ වැදගත්කමක් උසුලයි. මහමැතිවරණය සඳහා නියම කරන ලද දිනය වෙනස් කිරීමක් මෑත දේශපාලන ඉතිහාසය තුළ නොසිදු විය. මෙවර එය එක්වරක් නොව දෙවරක්ම සිදුවිය. එසේම ඡන්දය භාවිතයේදී මූලිකව සිදුවන අනන්‍යතාව ඔප්පු කිරීමත් ඉන්පසු ඡන්දය භාවිත කරන බව තහවුරු කිරීමත් මෙවර සිදුවන්නේ වෙනස් ආකාරයකටය. මුහුණු ආවරණ පැළඳ මහමඟ ගමන් කිරීමත් සෙනඟ ගැවසෙන ස්ථානවල රැඳී සිටීමත් අනිවාර්ය කර තිබෙන බැවින් ඒවා පැළඳගෙන ඡන්ද පොළට යන ඡන්ද දායකයන්ට ඡන්ද නිලධාරීන් ඉදිරියේ මුවවැස්ම ඉවත්කොට සිය අනන්‍යතාව තහවුරු කිරීමට සිදුවනු ඇත. එය සිදුකළ යුත්තේ තම හැඳුනුම්පත පෙන්වා ඉන්පසුව මුව ආවරණය ඉවත් කිරීමේ පිළිවෙළටය. ඡන්දය සලකුණු කිරීමට යා යුතු වන්නේ මුහුණු ආවරණය පැළඳගෙනය. එසේම හැඳුනුම්පත නිලධාරීන් විසින් අතට නොගන්නා අතර එය පෙන්වීම පමණක් ප්‍රමාණවත්ය.
මෙහිදී වඩාත් සංකීර්ණ වන්නේ ඡන්දය ගණන් කිරීමයි. මෙතෙක් පැවැති ක්‍රමය වූයේ ඡන්ද පෙට්ටි සියල්ල ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට රුගෙන ඒමෙන් පසුව එදින රාත්‍රියේ සිටම ඒවා ගණන් කිරීම ඇරඹීමයි. එවිට බොහෝදුරට ඊට පසුදින දහවල් වනවිට ප්‍රතිඵල සියල්ල නිකුත් වී අවසානය. නමුත් මෙවර ඡන්ද ගණන් කිරීම අරඹන්නේ ඊට පසුදින එනම් 06 වැනිදා උදෑසන සිටය. එතෙක් ඡන්ද පෙට්ටි දැඩි ආරක්ෂාවක් ඇතිව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තබන බවද මේ වැඩපිළිවෙළ නිසා සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට දින දෙකක් හෝ තුනක් පමණ වනු ඇතැයිද මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබිණි. කෙසේ වුවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර තිබුණේ 06 වැනිදා මධ්‍යම රාත්‍රිය වනවිට රටේ ආණ්ඩු බලය හිමිවන්නේ කුමන පක්ෂයකට හෝ කණ්ඩායමකටදැයි කිවහැකි වනු ඇති බවය.
කොරෝනා වසංගතය අගෝස්තු මාසයේ ආරම්භය වනවිට සම්පූර්ණයෙන්ම පාහේ නිවී ගොස් තිබුණොත් මේ ක්‍රියා පිළිවෙළ සුළු වෙනස්කම් සිදුවිය හැකිය. එසේ වුවොත් ඇතැම්විට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දැඩිව පනවා තිබෙන නිර්ණායකවල වෙනසක් සිදුවීමටද ඉඩ තිබේ. එය ඇතැම්විට ප්‍රතිඵල ඉක්මන් කිරීමට වුවද හේතුවනු ඇත.
මැතිවරණය පැවැත්වීම පිළිබඳව කොමිසම සියලු කටයුතු සූදානම් කරමින් සිටි බව ඉහත තොරතුරුවලින් දැක්වෙයි. කොමිසම කිසිදු කටයුත්තකට අත නොගසා නිකම්ම සිටි බවට ඇතැම් මැති ඇමැතින්ලා කළ චෝදනාවල පදනමක් නැති බවත් මෙයින් වැටහෙයි. මේ සිද්ධියේදී ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් දේශපාලනඥයන් තුළ තිබූ දැඩි නොඉවසිලිකමත් මැතිවරණ කොමිසම තුළ තිබූ ඉවසීමත් රට හමුවේ ප්‍රදර්ශනය විය. ඇතැම් අය සීමාව ඉක්මවා යමින් මැතිවරණ කොමිසමට පහර එල්ල කිරීම ස්වාධීන කොමිෂන් සභාවලට තමන් තුළ ඇති අකැමැත්ත ප්‍රදර්ශනය කිරීමක් වශයෙන්ද පෙනී ගියේය.
මහාචාර්ය රාජන් හූල් විසින් ඇතිකරන ලද තත්ත්වය මැතිවරණ කොමිසමේ විශ්වාසනීයභාවයට හානියක් වූ බවද පැහැදිලිය. එහෙත් රාජන් හූල් යනු එක් ස්වාධීන කොමිෂන් සභාවක එක් සාමාජිකයෙක් පමණි. ඔහු පිට දමා ස්වාධීන කොමිෂන් සභාවලට පහරදීම ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළට අයත් සැලැස්මක කොටසක් විය හැකි බවටද සමහරු සැකපහළ කරති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවට රජය ප්‍රතිඥා දෙන අවස්ථාවකදී මේ ගැන දැඩිව අවධානය යොමු කෙරෙන බවට සැකයක් නැත.
තමන්ගේ ස්වාධීනත්වයට හානි සිදුවීම සහ විශ්වාසනීය බව රැක ගැනීමට නොහැකිවීම ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව මහජනතාව තුළ ඇති කරන්නේ වැරදි හැඟීමක් බව සැබෑය. එහෙත් සිදුකළ යුත්තේ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම නොව ඒවායේ ස්වාධීන බව සහ විශ්වාසනීයත්වය රැකෙන අයුරින් ඒවා ප්‍රතිසංවිධානය කිරීමය. එහෙත් බලය ඇතැති ආණ්ඩුවක් එතරම් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවට අපගේ දේශපාලන ඉතිහාසයෙන් ආදර්ශයක් ලබාදී නැත.
විශාල ජයග්‍රහණයක් කෙරෙහි බලාපොරොත්තුවක් ඇතිව මහ මැතිවරණයට පිවිසෙන ආණ්ඩුවේ ඉලක්කය වන්නේ තුනෙන් දෙකක බලය හෝ ඊට ආසන්න ජයග්‍රහණයක් බව පැහැදිලිය. ඒ සඳහා ක්‍රියාත්මක කෙරෙන ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයට ද සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්ණායක බාධාවකි. විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්දගේ සහභාගීත්වය ඇතිව තබන විශාල මහජන රැලි මෙවර දකින්නට නොලැබීම පොහොට්ටුවේ ප්‍රචාරක වැඩපිළිවෙළට අවාසියකි. මහජන රැලි පැවැත්වීම සීමිත පිරිසකට සීමා කිරීම තුළ මහ මැතිවරණයක තිබිය යුතු උණුසුම ඒ අයුරින්ම රැකගැනීමට හැකිවන්නේ නැත. එහෙත් ආණ්ඩු බලය අතැතිව ඡන්දයට මුහුණදෙන පොහොට්ටුව ප්‍රචාරක ව්‍යාපාරයේ දී සිටින්නේ විපක්ෂයට වඩා ගව් ගණනක් ඉදිරියෙනි.
යූ.එන්.පිය සහ එස්.ජේ.බීය ඡන්දයට සූදානම් වෙමින් උසාවි ගාණේ රස්තියාදු වීම මහත් කනගාටුවකි. සජිත්ලාගේ පාර්ශ්වයේ පිරිසක් තමන් එජාපයෙන් නෙරපා දැමීමට එරෙහිව වාරණයක් ලබාගැනීමට උසාවි ගිය අතර එයට එරෙහිව යූ.එන්.පි ද උසාවි ගොස් තිබේ. මේ උසාවි යෑම් සිදුවන්නේ මහ මැතිවරණයට සති 06 ක් පමණක් තිබියදීය.
එසේම මෙවර ඡන්දය පොහොට්ටුව සහ එජාපය අතර බවට රනිල් සිදුකළ ප්‍රකාශය සජිත්ලාගේ පාර්ශ්වය විසින් බැහැර කර ඇත්තේ යූ.එන්.පියේ බහුතරය තමන් ළඟ සිටින බව කියමිනි. එහෙත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව මංගලගේ ඉවත් වීමත් තවත් කිහිප දෙනකු වෙනත් අයට සහාය පළ කිරීමත් සජිත්ලාගේ පාර්ශ්වයට පසුබෑමකි.
මේ සියලු දේ ප්‍රතිඵල බලාගැනීමට අගෝස්තු 06 වැනිදා මහ රෑ වනතුරු සිටිය යුතුය. දේශපාලන පක්ෂ තමන්ගේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබා සිටින විට මහජනතාව නම් සිටින්නේ තමන්ගේ අනාගතය පිළිබඳ මහත් ප්‍රශ්න රාශියක් මැදය.
ශශීන්ද්‍ර