2020 ජුනි 20 වන සෙනසුරාදා

විපක්ෂයට මේ පාර බින්දුව තමයි‍

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 156

විපක්ෂයට මේ පාර බින්දුව තමයි‍

ගම්පහ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂක නිමල් ලන්සා

 

මේ වෙනකොට කෝවිඩ් වෛරසය මැද්දේ ඡන්දය පවත්වන්න තීන්දු කරලා ඉවරයි. මේ වෛරසය සම්බන්ධයෙන් යම් සාර්ථකත්වයක් ආණ්ඩුව ලබාගෙන ඒ වාසිය සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදාගන්න උත්සාහ කරනවා කියලා විපක්ෂයේ චෝදනා තියෙනවා.

විපක්ෂයේ හැටි තමයි හැමදේටම ඇඟිල්ල දික් කරන එක. කෝවිඩ් පාලනය ජනාධිපති, අගමැති, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශවල ජයග්‍රහණයක්. එතකොට මේ සියලුම දේ සාර්ථක වෙන්නේ ආණ්ඩුවේ ප්‍රධානියාගේ තීන්දු එක්ක. පසුගිය ආණ්ඩුව අසාර්ථකයි. දෙගොල්ලො දෙපිල බෙදිලා හිටියේ. විපක්ෂය බලන් හිටියේ මේක වරදිනකම්. ඒක හරිගියේ නැති නිසා දැන් එක එක කතා කියනවා.

ජනාධිපතිවරයා ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්නෙකදී මහ බැංකුවට චෝදනා කරනවා. ඒකෙන් තේරෙන්නේ ආර්ථික සැලැස්මක් නෑ වගේ.

ජනාධිපතිට උවමනාවක් තිබ්බා කෝවිඩ් වසංගතය මර්දනය කරන්න. ඒ වගේම ජනතාවට ආර්ථික සහන දෙන්න, ජනතාවගේ රැකී රක්ෂා ආරක්ෂා කරන්න. හැබැයි, මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා නිසා තමයි ඒ ජනතා සහන ජනතාව අතරට නොගියේ. ඒ අසාධාරණය තමයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. එතුමට ඡන්දය නොදුන්න අය පවා විශ්වාස කරනවා එතුමා කෙළින් වැඩ කරන නායකයෙක් කියලා. ඒ නිසා අපි හිතනවා කෝවිඩ් වසංගතය වගේම එතුමට මේ ආර්ථිකයත් ජයගන්න පුළුවන් වෙයි කියලා. ජනතාවටත් ඒ විශ්වාසය තියෙනවා.

ඒකට මහ බැංකුවට බැනලා වැඩක් නෑනේ?

මහ බැංකුව බලන් ඉඳලා හරියන්නෑ ආයතන බංකොලොත් වෙනකම්. ඒ සඳහා නියාමන යොදලා ආයතන රුකගන්න ඕන. වහලා ගියාම ඒ සඳහා ක්‍රමවේද අවශ්‍ය නෑ. ඒත් ඒ දේයි ජනාධිපති පෙන්වා දුන්නේ. මිනිස්සු අන්ත අසරණ කරන්න දුන්නෙ නෑ.

මේ ප්‍රශ්න මැද්දේ 2/3ක බලයක් ගන්න පුළුවන්ද?

අනිවාර්යයෙන්ම ඒ බලය අපිට ලැබෙනවා. සජිත් පාර්ශ්වයේ අය පවා අද මේ වෙනකොට පිළිගන්නවා ජනාධිපතිට දැක්මක් තියෙනවා කියලා. ඒ නිසා ඒ ඡන්දෙ දෙන්නේ ජනාධිපතිට. සමස්ත විපක්ෂයම මේ පාර අන්ත පරාජයට පත්වෙනවා.

2/3 ගන්න කතා කළාට ඇතුළේ මරාගන්නවා ශ්‍රීලනිපයේ අයට ඡන්දෙ දෙන්න එපා කියලා. 

අපේ ගම්පහ දිස්ත්‍රික්කයේනම් එහෙම මතභේද නෑ. පක්ෂය ඇතුළේ වුණත් මනාප ගන්න විවිධ සටන් තියෙනවා. හැබැයි ඔය කියනවා වගේ කාටවත් ඡන්දෙ දෙන්න එපා කියලා කියන්නෑ.

ප්‍රසන්න රණතුංගත් ඔබත් එක ගමනක් යමින් අනිත් අයට කැපිල්ල දානවා කියලා ආරංචියි. ඇත්තද?

එතුමා දිස්ත්‍රික් නායකයා. මම නියෝජ්‍ය නායකයා. අපි හැමෝම තීන්දු ගන්නේ එකතු වෙලා. ඔය කියන කිසිම කැපිල්ලක් නෑ අපේ දිස්ත්‍රික්කය ඇතුළේ. අපි හැමෝම දිස්ත්‍රික්ක ඇතුළේ කටයුතු කරනවා. කොහොමත් ප්‍රසන්න මහත්මයා දිස්ත්‍රික්කයේ එක වෙනවා. එහෙම නැතුව ඔබ කියන දේ වෙලා නෑ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් අපේක්ෂකයෝ පාතාලය එක්ක සම්බන්ධතා තියෙනවා කියලා ඇතැම් චෝදනා තියෙනවා.

ජනාධිපතිවරයා පාතාල මර්දන වැඩකටයුතු කරගෙන යනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුළත් ඒ කටයුතු සිද්ධ කරනවා. අපි දන්න තරමින් කවුරැත් එහෙම පාතාලයත් එක්ක එකට කටයුතු කරන්නේ නෑ. එහෙම ඉන්නවනම් කියන්න. අපි බලන්නම්.

තුනෙන් දෙන නොවේ: 113ක් ගන්නකෝ පුළුවන් නම්

කොළඹ දිස්ත්‍රික්කය සමගි ජනබලවේගය අපේක්ෂක එස්. එම්. මරික්කාර්

 

එජාපය දෙකට මැද්දෙන් කැඩිලා. දෙගොල්ලො දෙගොල්ලන්ට අභියෝග කරනවා. ඇත්තටම සටන තියෙන්නේ දෙගොල්ලො අතරද?

අපි එජාපයෙන් අයින් වෙලා නෑ. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ගත් තීරණයකට අනුව සංවිධානයක් හැදුවා. ඒකට අනුගත නොවුණු සුළුතර කණ්ඩායමක් වෙනම ඉල්ලනවා. අපේ අභියෝගය තියෙන්නේ අන්න ඒ සුළුතර කණ්ඩායමත් එක්ක නෙවෙයි. අපිට අභියෝගය තියෙන්නේ ආණ්ඩුවත් එක්ක.

එජාපයේ ඇතැම් නායකයන් කියනවා ඔය ගිය අය එන්න හදනවා ඒ ගිය අයව ගන්නෙ නෑ කියලා.

එතන ඉන්න සුළුතර කණ්ඩායම මොන වගේද කියලා ඔබත් දන්නවා. මේ රටේ මිනිස්සුත් දන්නවා. ඒ අයට තියෙන ප්‍රතිරෑපය මේ රටේ ජනතාව දන්නවා. ඇත්තටම මේ සාකච්ඡාවෙදී ඒ අය ගැන කතා නොකර රටේ තියෙන ප්‍රශ්න ගැන අපි කතා කරමු.

මැතිවරණය සම්බන්ධයෙන් ඔබේ පක්ෂය විවිධ ක්‍රියාමාර්ග ගත්තා මේ වසංගතය නිසා. ඒත් ඒ හැමදේම යට ගිහින් මේ වෙනකොට මැතිවරණය තියන්න යෝජනා කරලා තියෙනවා. ඔබලා මැතිවරණයට තියෙන බය නිසයි මෙහෙම එරෙහිව වැඩ කරන්නේ කියලා ආණ්ඩුවෙන් චෝදනා තියෙනවා.

අපි එහෙම කිසිම මැතිවරණයකට බයක් නෑ. අපි මැතිවරණයකට ලෑස්තියි. අපි කිව්වේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් කොළ එළියක් එනකම් මැතිවරණය කල් දාන්න කියලා. ජනතාවට සුපුරැදු පරිදි වැඩකටයුතු කරන්න බැරිනම් ඒ වගේ මොහොතක ඡන්දෙ තියන එක හරිම අසාධාරණයි. විශේෂයෙන් මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕන. අද විපක්ෂයට නිල නොවන තහංචි දාලා තියෙන්නේ. රජයේ මාධ්‍ය නෑ. ඇතැම් පෞද්ගලික මාධ්‍ය පවා ආණ්ඩුවට හිතවත්. ආණ්ඩුව තම බලය යොදලා මැතිවරණ ව්‍යාපාර කරනවා. එහෙම මොහොතක කොහොමද ස්වාධීන මැතිවරණයක් පවත්වන්නේ. අපිට ඉතුරැ වෙලා තියෙන තැන තමා බිම් මට්ටම. මේ වෛරසයත් එක්ක ඒකත් අවදානමක් තියෙනවනම් එතන කොහෙද සාධාරණ මැතිවරණයක්?

ආණ්ඩුව කියනවා ඊළඟ මැතිවරණයෙන් 2/3ක් ගන්නවා කියලා. මොකද හිතන්නේ?

මම දැක්කා මේ ළඟදි ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් කියලා තිබුණා ආසන 120ක් ගන්න පුළුවන් කියලා. මම ඔවුන්ට කියනවා 120 ඕන නෑ 113 ගන්න ට්‍රයි කරන්න කියලා. මේ ආණ්ඩුව බොරුවෙන්ම ඇවිත් බොරැවෙන්ම ජීවත් වන බව ජනතාව දන්නවා. ඒ නිසා ආණ්ඩුව බොරුවෙන්මයි පරාජය වෙන්නේ. 

ආණ්ඩුව කියන්නෙනම් මේ ආර්ථික අවුලට හේතුව ගිය ආණ්ඩුවේ ආර්ථික අවුල කියලා.

දැන් ඒ අය කිව්වනේ වැඩ්ඩො ඉන්නවා අපිට කරන්න පුළුවන් කියලා. ආර්ථික ඔස්තාද්ලා ඉන්නවා කිව්වනේ. එතකොට අපි ආර්ථික කෑවා කියලා දැනගෙනනෙ මෙයාලා ආර්ථිකය ගත්තේ. මේ ආණ්ඩුව ඇවිත් මාස 6කුත් පහුවෙලා. කරපු කෙංගෙඩියක් නෑනේ. කරපු එකම දේ තමයි මිනිස්සු ආර්ථික වශයෙන් වට්ටලා තියෙන එක. ඒ වගේම ජාතිවාදය වපුරන එක.

කොළඹ කියන්නේ එජාපයේ කඳවුර වගේ තැනක්. ඒ කඳවුර දෙකට බෙදිලා මේ පාර ඉල්ලනවා. ඇත්තටම මේ පාර කාටද දිනන්න පුළුවන්?

අනිවාර්යයෙන්ම අපි කොළඹ දිස්ත්‍රික්කය සජිත් ප්‍රේමදාස මහත්මයගේ නායකත්වයෙන් අපි දිනනවා. 

මේ ආණ්ඩුව වැඩි දවසක් තියෙන්නෙ නෑ

ගාල්ල දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වජිර අබේවර්ධන

මෙතෙක් කල් එකට ආපු යූඑන්පී එක දෙකට කැඩිලා තමයි මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ශක්තිමත් ජනාධිපතිවරයෙක් ඉන්න ආණ්ඩුවක් එක්ක ගිහින් කොහොමද ඔබලා හැප්පෙන්නේ?

ඇත්තටම එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා නැහැ එජාපයේ හිටපු යම් පිරිස් තමන්ගේ මතවාද ක්‍රියාත්මක කරන්න බැරි වුණාම තමන්ගේ මතවාද ජයග්‍රහණය කරන්න පෞද්ගලිකව එළියට බැහැලා යනවා. ඒ නිසා වෙනත් දේශපාලන පක්ෂයක නියෝජිතයන් පිළිබඳ කතා කරන එකේ තේරැමක් නැහැ. ඒ වගේම මෙරට වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා කලාපය අනුමත කරන්නේ නැති පිරිස් සමඟ අපි අපගේ ගමන පටන් ගන්නවා. පාර්ලිමේන්තු මැතිවරණයේ මොන ප්‍රථිඵල ආවත් මේ ආණ්ඩුව වැඩි දවසක් තියෙන්නේ නැහැ.

එජාපයට අද තියන ලොකුම චෝදනාව තමයි මහින්ද රාජපක්ෂ මහත්තයට 3/2 ක් ගන්න යටින් ගේමක් ගහනවා කියන එක?

එජාපය රාජපක්ෂවරැන් සමඟ ආණ්ඩු කරන බව කොහෙවත් කියලා නැහැ. ඒ වගේම එජාපය රාජපක්ෂවරැන් සමඟ කවදාවත් ඩීල් දාලත් නැහැ ඩීල් දාන අය තමයි එක එක කතා පතුරවන්නේ එජාපය ගැන. එජාපය ඩීල් දාන පක්ෂයක් නෙවෙයි.

පාස්කු ප්‍රහාරය සොයා බැලීමට සහ දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති කොමිෂන් සභා මගින් එළියට එන ඇතැම් තොරතුරු සමඟ යහපාලන ආණ්ඩුවට එල්ලවන චෝදනා එක්ක කොහොමද ඔබලා ඡන්ද කරන්න ජනතාව ඉදිරියට යන්නේ?

මේ රටේ බෝම්බ පුපුරපු පළමු අවස්ථාව මේක නෙවෙයි. ජාත්‍යන්තරයෙන් මේ රටට එල්ල වුණ චෝදනාවලින් අපේ පක්ෂය, මේ රට ගලවා ගත්තා. ඇතැමුන් දේශපාලන වාසි ගන්න මේ ජාතිවාදී ප්‍රශ්න තවමත් ජනතාව තුළට කා වද්දමින් සිටිනවා. ජනතාව දන්නවා කවුද මේවට වග කියන්න ඕන කියලා.

රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා කියනවා අපේ පක්ෂයෙන් තමයි මෙවර අලුත් මුහුණු වැඩිම ප්‍රමාණයක් තරග කරන්නේ කියලා. හැබැයි ආණ්ඩුවක් හදන්න රටේ වැඩි දෙනෙක් නොදන්න එජාප පාක්ෂිකයන් වැඩි දෙනෙක් නොදන්න මේ අලුත් මුහුණු ප්‍රමාණවත්ද?

වෘත්තීයවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන්, උගත් කණ්ඩායම් තමයි දැන් සමාජයට අවශ්‍යව වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය ජනතාවගේ ඒ අවශ්‍යතා ඉටු කරන්න තමයි අලුත් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙන්නේ. අලුත් පිරිසකට පුළුවන් මේ ක්‍රමය වෙනස් කරන්න.

මෙවර එජාපයේ ඔබලා ජනතාව ඉදිරියට අරගෙන යන ඡන්ද පොරොන්දුව මොකක්ද?

මේ රටේ දැන් තියෙන්නේ කඩා වැටෙන ආර්ථිකයක්. ජනතාවට ප්‍රශ්නවලට විසඳුම් ලබා දී නැහැ. ජනතාව විරුකියාවෙන් පෙළෙනවා. ඒ සියල්ලන්ටම අපි අපගේ පාලනයක් යටතේ සාධාරණයක් ඉටු කරමින් මේ රටේ ආර්ථිකය ගොඩගන්න එක තමයි අපේ ප්‍රධානතම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ.

 

අපට ලේබල් ගහන එක සතුරන්ගේ වැඩක්

මහනුවර දිස්ත්‍රික්කය ජනතා විමුක්‌ති පෙරමුණ කේ.ඩී. ලාල්කාන්ත

 

කොවිඩ් වසංගතයෙන් පස්සේ මේ තරම් ඉක්මනට මැතිවරණයක් එයි කියලා ඔබතුමන්ලා හිතුවද?

කෝරෝනා පාලනයට ගත්ත පළවෙනි අවස්ථාවෙම ඡන්දයක් තියන්න ඕන කියන ස්ථාවරයේ තමයි අපි හිටියේ. ප්‍රජාත්‍රන්තවාදී පාලනයක් තියන රටක විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන තුනම නිරෝගීව තිබිය යුතුයි. කොහොමත් මේ තත්ත්වය තරමක් දුරට පාලනය වුණාම සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව මහ මැතිවරණය පැවැත්විය යුතුයි කියන මතයේ අපි සිටියා. ඒ අනුව ජූලි මස අග හෝ අගෝස්තු මාසයේ මුල මහ මැතිවරණය පැවැත්වෙනු ඇති බවට ගණනය කිරීමක් අපිට තිබුණා.

මෙවර මහ මැතිවරණයට ජාතික ජන බලවේගයේ ඔබලා ඉදිරිපත් වෙන්නේ මොන තේමා පාඨයෙන්ද?

පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මේ රට වෙනස් කිරීමේ ඕනෑකමක් තියන ජනතාව තුළ බලවත් කලකිරීමක් ඇතිවෙලා තියන බව පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණා. ඒ නිසා මේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාවගේ තේමා පාඨය විය යුත්තේ පාර්ලිමේන්තු කාර්යභාර්යය ඉටු කිරීමට සමත් සක්‍රීය ජනතාවාදී පාර්ලිමේන්තුවක් කියන එක. මොකද අපේ තේමාවට වඩා ජනතාවගේ තේමාව විය යුත්තේ එයයි. ඒ නිසා ජනතාව තේරුම් ගත යුතුයි අගෝස්තු 5 වැනිදට පාර්ලිමේන්තු යැවිය යුත්තේ කවුරන්ද කියන එක.

පසුගිය ජනාධිපතිවරණයේදී ඔබලාගේ ජනාධිපති අපේක්ෂකයා ලබා ගත්තේ සියයට 3ක ප්‍රතිශතයක්. පාර්ලිමේන්තු මැතිවරණයේදී එම තත්ත්වය වෙනස් වෙයි?

ජනාධිපතිවරණයකදී ඡන්ද ගන්නනම් ප්‍රධාන තරගකරුවන් දෙදෙනාගෙන් අයෙකු බවට පත් වෙන්න ඕන. මොකද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ඡන්දය දෙන ඡන්ද දායකයන් පරදින්න නෙවෙයි ඡන්දය ලබා දෙන්නේ. නමුත් ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාට ඡන්දය දෙන්නේ වෙන ඔළුවෙ අමාරුවකට. සමාජයේ එහෙම ඔළුවෙ අමාරුව තියන අය අඩුයි අර වගේ අපේක්ෂකයන් ඉන්නකම්. ඒ ඔළුවේ අමාරුව තමයි ප්‍රතිපත්තියකට වෙනත් කාරණයකට ඡන්දය ලබා දීම. එහෙම ප්‍රමාණය ඕනම රටක අඩුයි. ජනාධිපතිවරණයකදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා බවට වෙන්න බැරිනම් එවැනි තත්ත්වයක් ඇතිවෙනවා. ඒ ප්‍රාධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්තිවලට විරුද්ධව තමයි අපි ඉදිරිපත් වෙන්නේ. නමුත් මහ මැතිවරණයකදී 225 ක් තෝරන්නේ එක්කෙනෙක් නෙවෙයි. එතකොට ජනතාව තමයි තීන්දු කරන්නේ කවුද පාර්ලිමේන්තු යැවිය යුත්තේ කියලා. එහෙම වුණාම මේ ප්‍රතිශතය වෙනස් වීමට ඉඩ තියනවා.

ඡන්දයේ වැඩට බහිනකොට ඔබලට වැදිලා තියන යූඑන්පි ලේබල් එකෙන් ඔබලා ගැලවෙන්නේ කොහොමද?

මේ ලේබල් එක එක කාලවලදී ගහනවා. ඒ හැටි. දැන් ජේ. ආර්. ජයවර්ධන මහත්තයා ඉන්නකොට අපි අරගල කරද්දි අපිට වෙන ලේබල් ගැහුවා. ඒක තමයි සතුරාගේ කාර්යභාර්ය. මේ වෙලාවේ රාජපක්ෂ ආණ්ඩුව අපිට යූ.එන්.පී. ලේබල් එක ගහනවා. නමුත් මේ රටේ ජනතාව දන්නවා මේ කියන්නේ දේශපලන වශයෙන් අපිට එරෙහිව ගොඩනගන මතයක් කියලා.

හැමදාම විපක්ෂ දේශපාලනයේ ඉන්න ඔබලා කවදද ආණ්ඩුවක් පිහිටුවන්නේ?

ජනතාවගේ බහුතරය අපිට ලැබුණ දවසක අපි අපේම ආණ්ඩුවක් පිහිටුවනවා. එතකම් අපි විපක්ෂ දේශපාලනයට පණ පොවනවා.

 

 

► ගයාන් ගාල්ලගේ / හසිත් අංජන

 

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00