2020 ජුනි 20 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

විශේෂ කාර්ය සාධක බලකායේ බලතල ගැන වැරදි තොරතුරු දීලා
- ආරක්ෂක ලේකම්

ජනාධිපතිවරයා විසින් පසුගිය 02වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කරන ලද ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ භූමිකාව සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව වැරදි අර්ථකථන සපයා ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කරයි. රජයේ නිලධාරීන් එම බලකායේ පාලනයට යටත් කෙරෙන කිසිදු බලයක් එයට ලබාදී නැති බවද කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

අදාළ බලකාය ස්ථාපිත කිරීමෙන් පසුව එයට එරෙහිව ඇතැම් දේශපාලනඥයන්, නීති විශාරදයන් සහ සිවිල් සමාජයෙන් එල්ල වූ ප්‍රබල අදහස් දැක්වීම්වලින් පෙන්වා දී තිබුණේ එම බලකායට ලබාදී ඇති බලතල උපායශීලී සහ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට පවා හේතුවිය හැකි බවය. හිටපු විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ පිළිබඳ ප්‍රකාශ කර තිබුණේ කාර්යසාධක බලකාය ව්‍යවස්ථා විරෝධී බවත් රජයේ සේවයේ පාලනය රාජ්‍ය සේවා කොමිසමට පැවරී ඇති බලයක් බවත්ය.

පසුගිය අඟහරුවාදා (16) කැඳවූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ පිළිබඳ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය නිලධාරීන් පාලනය සඳහා තමාට කිසිම බලතලයක් පවරා දී නැති බවය. රටේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබාගැනීම සඳහා පමණක් කාර්ය සාධක බලකාය කටයුතු කරනු ඇතැයිද කමල් ගුණරත්න මහතා කීය. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා ස්ථාපිත කළ කාර්යසාධක බලකාය අදාළ කටයුතු සඳහා එම පළාතේ ආණ්ඩුකාරවරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේද විෂය පිළිබඳ විශේෂඥයන්ගේද සහාය ලබාගනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

පුරාවිද්‍යා භූමි හඳුනාගෙන ඒවා මැනුම්ගත කිරීමෙන් පසුව ඒවායේ ආරක්ෂාවට පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය යොදාගැනීමට විශේෂ කාර්ය බලකාය කටයුතු කරනු ඇතැයිද කමල් ගුණරත්න මහතා කීය.

- ඩේලි එෆ්.ටී.

ඒ තමයි මහින්ද!

අමුත්තන් පිළිගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ නොබිඳෙන වාර්තාවකි. දේශපාලනයට වසර 50ක් පිරුණත් ඔහු ඒ සම්ප්‍රදාය කඩකරන්නේ නැත. මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියත් නැතත් සිය ගණන් ජනයා ඔහු හමුවීමට පැමිණීම සාමාන්‍ය සිරිතකි.

මේ පැමිණෙන සියලුදෙනාම හිස නමා දෙඅත් එක්කොට ආචාර කර පිළිගැනීමත් කතාබහ අවසානයෙන් පසුව ඒ ආකාරයටම ඔවුන් පිටත්කර යැවීමත් මහින්ද අති සිදුවෙයි. කෙසේ වුවද ලොවපුරා පැතිර යන කොවිඩ්-19 වසංගතය ඔහුගේ මේ සුහද පිළිගැනීම්වලට බාධාවක් ගෙන දී තිබේ. සමාජ දුරස්ථභාවය සාමාන්‍යයෙන් ඔහුගේ සිතේ ඇත්තේම නැති දෙයකි. එහෙත් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති දැඩි නීති රීති හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව මුල්තැනට ගෙන කටයුතු කිරීමට අගමැතිවරයාට සිදුවී තිබේ.

මේ නිසා අමුත්තන් ආපසු හරවා නොයවන අග්‍රාමාත්‍යවරයා තම විජේරාම මාවතේ නිල නිවෙසේදී ඔවුන් මුණ ගැසෙයි. සෑමදිනකම උදෑසනට පැමිණෙන අමුත්තන් මුලින්ම කුඩා දිය පොකුණට පා දැමිය යුතු වෙයි. එහි ඝන පෙණ පිඬු පාවෙමින් තිබේ. සපත්තු සෙරෙප්පු පමණක් නොව පාවහන් රහිත දෙපා පවා පිරිසුදු කිරීම එමගින් සිදුවෙයි. එතැනින් පසුව ආරක්ෂක නිලධාරියෙක් නළලට තබන උෂ්ණත්ව මානයකින් උණ බලයි.

ඊළඟට ආරක්ෂක කාමරයට ඇතුළු වන අමුත්තන්ගේ දුරකතන අංක ඇතුළු පෞද්ගලික තොරතුරැ සටහන් කරගනු ලැබේ. අනපේක්ෂිත තත්ත්වයක් උදා වුවහොත් අමුත්තා පහසුවෙන් සම්බන්ධ කරගැනීම සඳහා එය සිදුකළත් මෙතෙක් එවැනි අවස්ථාවක් උදා වී නැතැයි නිලධාරීහු කියති.

වඩාත්ම ආකර්ෂණීය කාරණය වන්නේ එසේ ආරක්ෂක කටයුතුවලින් පසුව ඇතුළුවන සියලුදෙනා අග්‍රාමාත්‍යවරයා විසින් හමුවීමයි. එම කාමරයට ඇතුළුවන සහ පිටවන අවස්ථාවලදී කිසිදු අමුත්තකු දොරට අත තැබිය යුතු නොවන්නේ දොර ඇරීම සහ වැසීම සඳහා වෙනම නිලධාරීන් සිටීම හේතුවෙනි. සියලු අමුත්තන්ට ගමේ තාලෙට හකුරු කැබැල්ලක් සමඟ බෙලිමල් කෝප්පයක් පිළිගැන්වීමද සිදුවෙයි.

අග්‍රාමාත්‍යවරයාගේ අරලියගහ මන්දිරයේ නිල කටයුතු ඇරැඹෙන්නේ විජේරාම නිවෙසට උදෑසන පැමිණෙන සියලු අමුත්තන් හමුවී කතාබස් කොට ඔවුන් නගන ප්‍රශ්නවලට සහ ගෙනෙන ප්‍රශ්නවලට පිළිතුරැ දී ඔවුන් පිටත් කිරීමේ සිරිත් විරිත් වලින් අනතුරුවය.

- සන්ඩේ ටයිම්ස්
 

ව්‍යාපාරික ක්ෂේත්‍රය ණය යෝජනාවට සතුට පළකරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැර කතාවෙන් පසු ශ්‍රී ලංකා මහබැංකුව මගින් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයට පණනළ පිඹීම සඳහා ඔවුන්ට ණය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් රටේ ව්‍යාපාරික ප්‍රජාව තම සතුට පළකර තිබේ. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම කර්මාන්ත සම්මේලනයේ (COSMI) ආරම්භක සභාපති නවාස් රාජාබ්දීන් ප්‍රකාශ කළේ “අවසානයේ අපට වඩාත් අවශ්‍ය වූ සහන ලැබුණා. ආර්ථික පුනරැදයක් පිළිබඳව අපට දැන් නැවුම් බලාපොරොත්තුවක් තබන්න පුළුවන්” යනුවෙනි.
ඔහු අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජූනි 15 වැනිදා කළ නියමය අනුව රුපියල් බිලියන 100ක පමණ ඇස්තමේන්තුගත නව ණය යෝජනා ක්‍රම එම ආර්ථික පුනරුදය සඳහා හේතු වනු ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සඳුදා (15) මහ බැංකුවට නියෝග කළේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බරපතළ කඩාවැටීමකට මුහුණ දී සිටින ව්‍යාපාරික අංශය නගා සිටුවීම සඳහා වහාම පියවර ගතයුතු බවය. රාජ්‍ය බැංකු හරහා ණය ලබාදීමේ පියවර ආරම්භ කෙරුණේ ඉන්පසුවය.

- ඩේලි එෆ්.ටී.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00