මහමැතිවරණයට තව ඇත්තේ හරියටම දවස් 45කි. බැලූ බැල්මට තවම කැම්පේන් සක්‍රීය විදියට ආරම්භ වී නැත. කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂක නීති පැනවීම් හේතුවෙන් විශාල වශයෙන් මහජන රැලි පැවැත්වීමට ඉඩක් නොමැති වීමත් පොකට් මීටිං පවා සීමිත පිරිසකට පමණක් සීමාවීම හේතුවෙන්ද මහජනතාව එක්රොක් වීමෙන් හටගන්න මැතිවරණ උණුසුම මෙවර දැකගන්නට තවමත් අසීරුය. ඉදිරි කාලයේදී හෝ එවැනි උණුසුමක් දැකිය හැකිවේදැයි යන්නත් සැකසහිතය.
ආණ්ඩුව නම් වැඩේට හොඳින්ම ලකලැහැස්ති වෙමින් සිටී. කැම්පේන් එකේ අන්තිම සතියේදී විපක්ෂය තලා දැමීමට අවශ්‍යකරන බර අවි වෙනම අසුරාගෙන සිටින බවටද ඉඟි පහළ වෙයි. මහින්දානන්ද අලුත්ගමගේ 2011 ලෝක ක්‍රිකට් කුසලාන අවසන් මහ තරගය ඉන්දියාවට වික්ක බවට කරන චෝදනවාද එහිම එක් මූලික පියවරක් බව සමහරුන්ගේ අදහසය. ඔහු 2011දී ක්‍රීඩා ඇමැතිවරයා විය. මේ කතාව මාධ්‍යයට එකතු වූ සැණින් ට්විටර් පණිවුඩයක් ඔස්සේ එදා කණ්ඩායම් උපනායක වූ මහේල තැබූ පිළිතුරෙන් අසා තිබුණේ මේ කතාව ළඟ එන මහ ඡන්දයේ සර්කස් එකක්ද කියාය. නායක සංගක්කාර ප්‍රකාශ කර තිබුණේ මෙය බරපතළ චෝදනාවක් බැවින් ඔහු ඒ ගැන සියලු තොරතුරු අයි.සී.සී.යට දැනුම්දීම සුදුසු බවය.
මේ ලෝක කුසලානය වික්ක කතාවට ක්‍රීඩකයන් සම්බන්ධ නැති බවත් එහෙත් එක්තරා පිරිසක් එයට සම්බන්ධ බවත් මහින්දානන්ද කියා තිබිණි. මෙයට ඈඳෙන තවත් කතාවකින් කියැවුණේ මහින්දානන්ද කියන “එක්තරා පිරිසෙන්” කිහිපදෙනකු කාර් කොම්පැණි පවා මිලදී ගැනීමට තරම් පොහොසත් වූ බවය. මහින්දානන්ද නියෝජනය කරන මහින්ද පාර්ශ්වයට එරෙහිව කටයුතු කරන කාර් කොම්පැණිවලට සම්බන්ධ සොහොයුරන් සිටින දේශපාලනඥයන් පිළිබඳ සොයාබැලීමෙන් මේ ගහන්නේ කාටදැයි අදහසක් ඇති කරගත හැකිය. එහෙත් තවමත් මේ කතාව ඇත්තේ ප්‍රාථමික මට්ටමේය. වික්ක කතාව කියූ සැණින් ක්‍රීඩකයන් මීට සම්බන්ධ නොවන බවට කළ ප්‍රකාශයෙන් අඟවන්නේ ඔවුන්ගේ ඉලක්කය වෙනම පිරිසක් බවය. ඡන්දයට දවස් 45ක් පමණක් තිබියදී ලංකාව ලෝක ක්‍රිකට් කුසලාන අවසන් මහා තරගයක් වික්ක බවට මහින්දානන්ද වැනි ඡන්ද වේදිකාවේ කසකාරයකු ලවා කියවන්නේ නිකමට නොවන බව තේරුම් ගැනීම අමාරු නැත. එය දේශපාලන වේදිකාවට සම්බන්ධ කතාවක් නොවන්නේ නම් මහින්දානන්ද මෙවැනි කතාවක් මේ අවස්ථාවේ කියන්නේ නැත.
හැබැයි ලංකාවේ මැතිවරණ වේදිකාවට මෙය අදාළ විය හැකි වුවත් ජාත්‍යන්තරයේදී ලෝක කුසලාන අවසන් මහා තරගයක් වික්ක බවට කරන චෝදනාවකට ක්‍රිකට් ලෝකයම ප්‍රතිචාර දැක්වීම බලාපොරොත්තු විය යුතුය. ඉන්දියාව වහාම මේ චෝදනාව ප්‍රතික්ෂේප කළේය. තමන් ලබාගත් ජයග්‍රහණය “මුදලට” මිලදී ගත් එකක් බව පැවසීම ක්‍රිකට් ලෝකයේ පැතිරී තිබෙන ඔවුන්ගේ අභිමානයට ප්‍රතිරූපයට මහත් කැළලකි. එය ඔවුන් වහාම ප්‍රතික්ෂේප කළේ මේ හේතුවෙනි.
කෙසේ වුවද මේ රටේ තවත් දේශපාලන නායකයෙක් මේ කතාවම මීට පෙර කියා තිබුණි. ඒ මේ රටට ලෝක ක්‍රිකට් කුසලානය දිනාදුන් නායකයා වන අර්ජුන රණතුංගය. ඔහු 2011 ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයකු වශයෙන් කටයුතු කළේය. ඒ වනවිටද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. තරගයේ පරාජය පිළිබඳව විමර්ශනයක් කළයුතු බව ඔහු 2017 ජූලි මාසයේදී ප්‍රකාශ කළේය. ඒ වනවිට අර්ජුන යහපාලන රජයේ ඇමැතිවරයෙකි. “අපි පරාජය වූ අවස්ථාවේ මා දැඩි කලකිරීමට පත්වුණා. මට සැකයක් ඇතිවුණා...” යැයි ඔහු ප්‍රකාශ කර තිබිණි. “මට හැමදේම දැන් කියන්න බෑ. හැබැයි කවදා හෝ දවසක මම කියනවා. මේ ගැන විමර්ශනයක් කළ යුතුයි” කියාද අර්ජුන ප්‍රකාශ කර තිබිණි. මේ පසුබිමේ මහින්දානන්ද මෙවර පුපුරුවා හැරි ක්‍රිකට් බෝම්බය ඇතිකරන බලපෑම එල්ල වෙන්නේ කාටද කියා ඉදිරි දිනවලදී බලාගත හැකිවනු ඇත.
එපමණක් නොව පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සහ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ කොමිසමද ආණ්ඩුවට දේශපාලනමය වශයෙන් මහත් වාසියක් ගෙනදෙමින් තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී භාවිත කළ ලොකුම සටන් පාඨයක් වූයේ “සුරක්ෂිත රටක්” යන්නයි. “සෞභාග්‍යයේ දැක්ම”ද ඊට එකතු වී තිබිණි. පාස්කු කොමිෂන් සභාවේ සාක්ෂි විභාගයට විශාල වශයෙන් ලැබෙන මාධ්‍ය ප්‍රචාරය ආණ්ඩුවට වාසි සහගතවීම වැළැක්විය නොහැක. යූ.එන්.පී.ය. ප්‍රමුඛ විපක්ෂයට දැන් තමන් අතින් සිදුවූ වැරදි පිළිබඳව පසුතැවෙනවා හැර වෙනත් කළ හැකි දෙයක් නැත. පක්ෂය කැඩී යාමෙන් පසුව වුවද දෙපිරිසම එකතු වී ආණ්ඩුවට පහර දෙනවා වෙනුවට ඔවුනොවුන් අතර පහරදී ගැනීමක් සිදුවන්නේද මේ වායේ ප්‍රතිඵල හැටියටමය. මේ බව තේරුම් ගෙන දෙපිරිසම එකතු වී ආණ්ඩුවට එරෙහිව රටේ ජනතාවට දැනෙන ප්‍රහාරයක් එල්ල කිරීමට ඉදිරි දින 45 තුළදී හෝ නොහැකි වුණොත් ආණ්ඩුවක් පිහිටුවීම කෙසේ වෙතත් අගෝස්තු 05න් පසුව දියාරැ විපක්ෂයක් බිහිවීමටද ඉඩ තිබේ.
මැතිවරණ කිරීම පිළිබඳ මනා දැනුමක් සහ පළපුරුද්දක් තිබෙන රාජපක්ෂවරුන් සමඟ තරග කිරීම පහසු නැත. රටේ ග්‍රාමීය ජන සමාජයේ විශාල පිළිගැනීමක් රාජපක්ෂවරුන්ට තිබේ. මහින්ද දේශපාලනඥයකු වශයෙන් ලබා සිටින ජනප්‍රියත්වය ඔහු පරාජය වූ අවස්ථාවේත් සෙලවුණේ නැත. ගෝඨාභය ජනාධිපතිවරණයෙන් ලක්ෂ 14ක වැඩි ඡන්දයක් ලබා ජයග්‍රහණය කිරීමෙන් රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය සහ ප්‍රතිරූපය තවත් ඉහළ නැංගේය. ඒ අතර මේ සියලු ජයග්‍රහණවල සැලසුම්කරු වන බැසිල්ගේ සංවිධාන ශක්තියද විපක්ෂයට බලවත් අවාසියකි. ඔවුන්ගේ දේශපාලන සාර්ථකත්වයට යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ සිදුකෙරැණු විශාල දේශපාලන වැරදිද හේතු විය. එහි වගකීම ඒ ආණ්ඩුවේ නායකයන් විසින් බාරගත යුතු වෙයි.
යහපාලන රජයට වසර 4 ½ක කාලයක් තිබුණත් තම ප්‍රතිවාදී දේශපාලනඥයන් පාලනය කරගත හැකි වැඩපිළිවෙළක් ඔවුන් සතුව නොතිබිණි. නොතිබුණා නොව එවැනි වැඩපිළිවෙළකට යාම උවමනාවෙන්ම අතහැර දමනු ලැබීය. ඔවුන් බලයට පත්වූයේ සොරකම් කළවුන් අල්ලා හිරේ දැමීමට වුවත් එය සිදුවූයේ නැත. හොරු ඇල්ලීම යනුවෙන් ගනු ලැබූ පියවර බොහෝමයක් අද ආපසු හැරෙමින් තිබේ. අද වත්මන් රජය මගින් ස්ථාපිත කරන ලද දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ගේ කොමිසමේ සාක්ෂි ලබාදෙන හිටපු නිලධාරීන් විසින් හෙළිකරන තොරතුරුවලින් වැරදිකරුවන් වශයෙන් චෝදනා ලබන්නේ හොරු අල්ලන්නට බලයට ආ හිටපු ආණ්ඩුවේ ලොකු ලොක්කන්මය. මහ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු යහපාලන රජයේ ජනාධිපති මෛත්‍රීගෙන් සහ හිටපු අගමැති රනිල්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. වැඩේ ලේසි නැති බවත් මේ ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ තමන් ක්‍රියාත්මක වූ ආකාරයට නොවන බවත් යූ.එන්.පී. නායකයන් දැන්වත් අවබෝධ කරගන්නේ නැත්නම් ඊළඟ මහ මැතිවරණයෙන් බලාපොරොත්තු විය යුත්තේ පරාජයම පමණක් බව පැහැදිලිය.
හැබැයි මෙහෙම වුණා කියා ආණ්ඩුවටද ප්‍රශ්න නැතුවා නොවේ. කොවිඩ් - 19 හේතුවෙන් දැඩිව අසරණ වී සිටින සංඛ්‍යාව මිලියන ගණනකි. ඔවුන්ට රජය මගින් ලබාදුන් රුපියල් පන්දාහේ සහන දීමනා යම් දුරකට අස්වැසිල්ලක් වුවද ඔවුන්ගේ ජීවිත තවම යථා තත්ත්වයට පත්ව නැත. ඇඟලුම් ක්ෂේත්‍රයේ දහස් ගණනක් ඇතුළු පෞද්ගලික අංශයේ තවත් විශාල පිරිසකට රැකියා අහිමිව තිබේ. රට විවෘත වීමෙන් පසුව ජනතාවගේ වියදම් වැඩිවෙමින් පවතී. ඉදිරියේදී පාසල් විවෘත වූ විට ජනතාවගේ වැය පක්ෂය තවදුරටත් ඉහළ නගිනු ඇත. මේ සියල්ල සිදුවන්නේ ආදායම් මාර්ග අහිමි වූ හෝ සීමාවූ හෝ තත්ත්වයන් යටතේ වීම බරපතළ ගැටලුවක් නිර්මාණය කර තිබේ.
කලකිරීමට, අසහනයට සහ ඉච්ඡා භංගත්වයට පත්ව සිටින ජනතාවක් මහමැතිවරණයේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැතිවරණ පොරොන්දු හමුවේ කෙසේ හැසිරෙනු ඇතිදැයි දැන්ම සිතාගැනීම අමාරැය. කොවිඩ්-19 බලපෑම හේතුවෙන් භාවිත වන ඡන්ද ප්‍රමාණය පහළ යනු ඇති බවට දැනට අනාවැකි පළවෙමින් තිබේ. ඇතැම් විට එය 65%ක් පමණ පහළ යාමට ඉඩ ඇති බවද කියයි. එහෙත් ඇතැමුන්ගේ මතය කොවිඩ්-19 අගෝස්තු මුල වනවිට මර්දනය වී සමාජය තුළ එක් අයකු හෝ ආසාදිත නොවී සිටියොත් මේ ප්‍රතිශතය ඉහළ යනු ඇති බවය. ඒ වනවිට රටේ පවතින ආර්ථික තත්ත්වයද ඡන්දය ප්‍රකාශ වීමේ ප්‍රතිශතයට බලපෑම් එල්ල කිරීමට හේතුවනු ඇත.
රටේ පවතින ආර්ථික තත්ත්වය යහපත් නැති බව පෙන්වන කරුණු දෙකක් පසුගිය සතියේදී එළියට ආවේය. මේ රටේ දශක ගණනක් තිස්සේ ආර්ථික සංවර්ධන සහකරුවකු වූ ජපානය මෙරට සිදුකරන ආයෝජන නවතා දැමීමට ගත් තීරණය එකකි. ජපානයේ ආධාර ක්‍රියාත්මක වන්නේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) හරහාය. ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළු ප්‍රතිපත්ති ගැටලු සම්බන්ධව කරුණු පැහැදිලි කරගන්නා තුරු ආයෝජන නවතා දමන බව ජපානය කියා තිබේ. එසේම රට මුහුණපා සිටින ණය අර්බුදය හමුවේ ආපසු ණය ගෙවීමේ හැකියාව පිළිබඳ සහතිකයක්ද ජපානය ශ්‍රී ලංකා රජයෙන් අපේක්ෂා කරයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කෙරවළපිටියේ සිට කොළඹ වරාය දක්වා කිලෝවොට් 220 භූගත කේබලයක් එළීමේ ව්‍යාපෘතියක්ද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියද අත්හිටවෙනු ඇත.
ඒ සමඟ මහබැංකුවේ ඉහළම නිලධාරීන්ට ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද දෝෂාරෝපණයද තවත් රතු එළියකි. තමන් විසින් රටේ ආර්ථික පුනරැදයක් ඇති කිරීම වෙනුනේ බැංකුවලින් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොදැක්වීම ජනාධිපතිවරයාගේ බලවත් කනස්සල්ලට හේතු වී තිබිණි. පැයක් තුළදී අවශ්‍ය තීරණ ගැනීමට මහබැංකුව ක්‍රියාකළේ ඉන්පසුවය.
එසේම මහමැතිවරණය එළඹෙද්දී මාධ්‍ය සංදර්ශන පමණක් නොව බරපතළ ගැටලුවලට ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම මුහුණ දෙමින් සිටින බවද ජනතාවට තේරුම් ගැනීම අපහසු නැත.
- ශශීන්ද්‍ර