2020 ජුලි 04 වන සෙනසුරාදා

කරුණාට දැන් යුද අපරාධ චෝදනා

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

කරුණාට දැන් යුද අපරාධ චෝදනා

එල්.ටී.ටී.ඊ. නැගෙනහිර සන්නද්ධ නායකයා වූ කරුණා විසින් පසුගියදා සිදු කරන ලද මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් තම අවධානය යොමුකර තිබේ. කරුණා යනු එල්.ටී.ටී.ඊයෙන් ඔහුට ලබාදුන් නාමයයි. ඔහු දැන් පෙනී සිටින්නේ විනයාගමූර්ති මුරලිදරන් වශයෙනි.

අකිලි ඉලංකෙයි මහසභා නම් පක්ෂයේ අපේක්ෂකයකු වශයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග කරන කරුණා අම්පාරේ දේශපාලන රැස්වීමකදී කතා කරමින් කොටි සටන්කරුවන් එලිෆන්ට්පාස් සහ කිලිනොච්චියේ දී හමුදාවේ තුන්දහසක් ඝාතනය කළ බවට සිදුකළ ප්‍රකාශයෙන් පසුව හටගත් දේශපාලන කුණාටුවක අපිකේන්ද්‍රය බවට පත්ව සිටී.

මේ සම්බන්ධයෙන් නිල වශයෙන් නිකුත් කළ ට්විටර් පණිවුඩයකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මගින් මෙසේ ප්‍රකාශ කර තිබිණි. “හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු සහ ඇමැතිවරයකු වන කරුණා අතීත අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම්වලට ලක් වී සිටින බව අපි දනිමු. එසේම ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධයක් වශයෙන් සලකන ළමා සොල්දාදුවන් තොග වශයෙන් බඳවාගැනීම සම්බන්ධයෙන් ද ඔහු විමර්ශනවලට ලක් කළ යුතු බව සඳහන් කරමු. ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම වගවීම අදාළ විය යුතුය” යනුවෙනි.

අමෙරිකාවේ සහයෝගයෙන් ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වූ පසුව ඉවත් වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ තවමත් පවතී. ඒ අතර ගරිල්ලා නායකයකු විසින් හමුදාව ඝාතනය කළ බවට පාපොච්ඡාරණය කළ පළමු අවස්ථාව මෙය වෙයි. හමුදාව මගින් සිදුකරන ලදැයි චෝදනා කෙරෙන යුද අපරාධ සමඟම කරුණාගේ හමුදා ඝාතන කතාව ද විමර්ශනයට ලක් කළ යුතු බව එම යෝජනාවේ සඳහන්ය.

විනයාගමූර්ති මුරලිදරන් සී.අයි.ඩිය හමුවේ පැය 07ක ප්‍රකාශයක් එම සතියේ බ්‍රහස්පතින්දා (25) ලබා දී තිබිණි. සී.අයි.ඩී. ආරංචි මාර්ග අනුව එම ප්‍රකාශය සිදුකළ බව කරැණා පිළිගෙන ඇතිමුත් එහි බරපතළකම පිළිබඳව ඔහු දැන සිට නැත. ඔහු විසින් හෙළිකරන ලද තොරතුරු මත පදනම් වෙමින් නැගෙනහිර ප්‍රදේශයේ තවත් පුද්ගලයන්ගෙන් ද ප්‍රශ්න කිරීමට සී.අයි.ඩිය සූදානම් වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ පිළිබඳ වාර්තාවක් ඉන්පසුව නීතිපති දෙපාර්තමේන්තුවට යැවෙනු ඇත.

නිව්යෝක් මූලිකව ක්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධානය ද (Human Rights Watch) රජයෙන් ඉල්ලා සිටින්නේ කරුණා විසින් සිදුකළැයි පැවසෙන යුද අපරාධ සහ “වෙනත් බරපතළ මානව හිමිකම් උල්ලංඝනය” කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කොට නිසි පරිදි නඩු පවරන ලෙසටය.

සන්ඩේ ටයිම්ස්

මුස්ලිම් විද්වත්හු මද්‍රසා පාසල් නියාමනයට නීති ඉල්ලති

අන්තවාදී මුස්ලිම් සංවිධාන මගින් ත්‍රස්තවාදය පැතිරවීමට කටයුතු කරන බවට පැවසෙන වටපිටාවක මද්‍රසා පාසල් නැතහොත් මුස්ලිම් අධ්‍යාපන මධ්‍යස්ථාන මතභේදවලට මැදි වී සිටී. පසුගිය වසරේ පාස්කු ඉරිදා පිරිමි - කාන්තා හා ළමයින් 268 දෙනකුගේ ජීවිත අහිමි කරමින් සිදුකළ බෝම්බ පිපිරවීම් වලින් පසුව මෙම ගැටලුව තියුණු ලෙස ශ්‍රී ලංකාව තුළ අවධානයට ලක් විය.

දැන් මෙකී ආයතන සම්බන්ධයෙන් මුස්ලිම් විද්වතුන් සහ වෘත්තිකයන් පිරිසක් විසින් සිදු කරන ලද අධ්‍යයනයක් නිමාවට පත් වී තිබේ. ඔවුන් විසින් ඒ පිළිබඳ සකස් කළ වාර්තාව මගින් රජයෙන් ඉල්ලා ඇත්තේ මද්‍රසා පාසල් බලය ලත් මණ්ඩලයක් යටතට පත් කිරීම සඳහා නීති හඳුන්වා දෙන ලෙසටය.

මද්‍රසා පාසල්වලට ශ්‍රී ලංකාවේ දීර්ඝ ඉතිහාසයක් ඇතැයි ද සියවස් ගණනාවක් තුළ විවිධ මට්ටමින් සම්ප්‍රදායක් වශයෙන් එම පාසල් පවත්වා ඇතැයි ද සඳහන් කරන එම වාර්තාව මද්‍රසා පාසල් ක්‍රමය සංවිධානාත්මක ලෙස කටයුතු කිරීම 1870 දී ඇරුඹු බවද පෙන්වා දෙයි.

1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබන විට මද්‍රසා පාසල් 10ත් 15ත් අතර සංඛ්‍යාවක් තිබී ඇතැයි ද 2000 – 2009 අතර කාලසීමාව තුළ මේ පාසල් ඉතා ඉහළ පරිමාණයකින් වර්ධනය වී ඇතැයි ද සඳහන්ය. මුස්ලිම් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මේ වන විට මද්‍රසා පාසල් 317 ක් ලියාපදිංචි වී ඇති අතර තවමත් ලියාපදිංචි නොවූ ආයතන ගණනාවක් පවතින බවද වාර්තාව සඳහන් කරයි. 

මේ ආයතන ඇතැම් ඒවා සිසුන් 50කට අඩුවෙන් ද ඇතැම් ඒවා සිසුන් 100කට වැඩියෙන් පවත්වාගෙන යන අතර ඒවායේ පාඨමාලා කාලය වසර 07 කි. කුරානය, හදිත්, ඉස්ලාම් නීති සහ අදාළ විද්‍යාත්මක කරුණු ඒ තුළ ඉගැන්වෙයි. එම පාසල් වර්තමානයේ පවතින තත්ත්වය දුර්වල ඵලදායකත්වයකට සහ අකාර්යක්ෂම බවට හේතුවන බවද සඳහන් කරයි. මේ තත්ත්වය මඟහරවා ඒවා යථා තත්ත්වයට පත්කර ගැනීමට පහසුකම් සැලැස්වීම සඳහා සියලු මද්‍රසා පාසල් “මද්‍රසා බලයලත් මණ්ඩලයක් (Madrasa Accreditation Board – MBA)” යටතට පත් කළ යුතු බවත් එම මණ්ඩලය විද්වතුන් සහ කීර්තිමත් වෘත්තිකයන්ගෙන් සමන්විය යුතු බවත් එහි සඳහන්ය.

සන්ඩේ ටයිම්ස්