යටපත්ව තිබූ කොරෝනා රෝගය නැවතත් ඉස්මතු වීම නිසා වඩාත්ම අපහසුවට පත්ව ඇත්තේ මහ මැතිවරණයට මුහුණ දී සිටින දේශපාලනඥයන්ය. තවත් සති තුනකට ආසන්න කාලයක් ඔවුන් ප්‍රචාරක කටයුතු කළ යුතුව තිබේ. ඒ කාලය ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ උච්ඡතම කාලයයි. එහෙත් කන්දකාඩුවෙන් මතු වූ කොරෝනා පොකුර රටේ ස්ථාන රාශියකට විසිරී යාමත් සමඟ තත්ත්වය බැරෑරුම්ව තිබේ.
ඒ ගැන මූලික තොරතුරු වාර්තා වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටියේ මහනුවර ජනාධිපති මන්දිරයේය. ඔහු ඒ වන විට මධ්‍යම පළාතේ අපේක්ෂකයන්ට සහයෝගය පිණිස ජනතාව හමුවෙමින් සිටියේය. දෙවැනි කොරෝනා රැල්ල ගැන ආරංචි වූ වහාම බැසිල් රාජපක්ෂ මහතා සමඟ ද සාකච්ඡා කළ ජනාධිපතිවරයා දින කිහිපයකට මහජන හමුවීම් නතර කරන්නට තීන්දු කළේ රජයේ සෞඛ්‍ය නිර්දේශ තමන්ලාම උල්ලංඝනය නොකළ යුතු බව කියමිනි. ජනාධිපතිවරයාගේ තීන්දුව අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තමන්ගේ මැතිවරණ සංචාර අවලංගු කළේය. ප්‍රාදේශීය වශයෙන් අපේක්ෂකයන්ට හැකි තාක් කුඩා මට්ටමින් ජනතාව මුණගැසී අවශ්‍ය දැනුවත් කිරීම් සඳහා පමණක් අවසරය දුන්නේය.
රජය මෙම තීන්දුව ගත් පසු සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ ආණ්ඩුව ප්‍රචාරක කටයුතු නතර කළාට තම පක්ෂයට එය කළ නොහැකි බවකි. ප්‍රචාරක කටයුතු අත්හිටුවීමෙන් රජයට සිදුවන්නේ සීමිත පාඩුවක් වුවද විපක්ෂයට ඊට වඩා පාඩුවක් සිදුවන නිසා ප්‍රචාරක කටයුතු නතර නොකරන්නේ යැයි ද සජිත් කීය. මේ කටයුතු නතර කරන්නට නම් ආණ්ඩුව කොරෝනා හමාර වනතුරැ ඡන්දය කල් දැමිය යුතු යැයි තමන් ඉල්ලා සිටින බව සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
සජිත් ගිය මගම යන්නට තීන්දු කළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියා තිබුණේ තම පක්ෂය ද මැතිවරණ ප්‍රචාරක කටයුතු දිගටම කරගෙන යන බවය. ඒවා දැන් නැවැත්වීමේ හැකියාවක් නැතැයි ද විජිත හේරත් කීය. එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ද කියා තිබුණේ ආණ්ඩුව කොරෝනා නිසා ඡන්දය කල් දමන්නේ නම් හොඳ බවය. එසේ කරන්නේ නම් කල් තබා රටට ඒ බව කියන හැටියටත්ය. එසේ නොකිරීමෙන් අපේක්ෂකයන්ගේ කාලය, ධනය, ශ්‍රමය නාස්ති වන්නේ යැයි රනිල් කීය.
ගිය සඳුදා සිට තැපැල් ඡන්ද විමසීම් ආරම්භ කළ අතර ඊට පෙර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේ ඡන්දය ස්ථිරවම පැවැත්වෙන බවය. ඡන්දය නතර කරන්නේ ලෝකය කැරකෙන එක නතර වුවොත් පමණක් යැයි ඔහු හාස්‍යයෙන් යුතුව මාධ්‍යයට කීය. එහෙත් ඉතා ඉක්මනින් මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ගැසට් කළ යුතු යැයි මහින්ද දේශප්‍රිය සඳහන් කර තිබිණි. ඒ නිර්දේශ නොමැති වුවහොත් ඡන්දය පැවැත්වීමට එය බලවත් නීතිමය බාධකයක් වන්නට පුළුවන් යැයි ද ඔහු අනතුරැ ඇඟවීය.
මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සකස් කර දැනට සති ගණනක් ගතව ඇත. එය සෞඛ්‍ය අමාත්‍යවරියට භාර දී තිබේ. ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යවරිය නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලූ විට නීතිපති කියා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මහ මැතිවරණයට අදාළ ගැසට් නිකුත් කිරීමේ බලයක් නොමැති බවය. ඒ අනුව ගැසට්ටුව ගැසීම අත්හිටුවිණි. එහෙත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දිගින් දිගටම කියා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ගැසට්ටුව නිකුත් කළ යුතු වගය. දැන් මෙය විශාල කඹ ඇදීමකට හේතු වී තිබේ. මේ ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද දැනගන්නට ලැබුණු අතර ඔහු සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් තත්ත්වය ගැන විමසා සිටියේය. ඇය නීතිපතිගේ උපදෙස ද ජනාධිපතිවරයාට දැන්වීය. එය ප්‍රකාශ කර ජනතාව දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරියට උපදෙස් දුන් බවද වාර්තා විය.
ඒ අතරතුර රජයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ කොරෝනා ව්‍යාප්තියට දේශපාලන රැස්වීම් සමාජ දුරස්ථභාවයෙන් තොරව පැවැත්වීම ඉතා අහිතකරව බලපාන බවය.
එසේම විවෘත වෙළෙඳපොළ, පොදු ප්‍රවාහන සේවාවල සමාජ දුරස්ථ බවින් තොරව ජනයා හැසිරීම ද ඊට හේතුවන බව ඔහු කීය. කෙසේවෙතත් මෙරට දේශපාලන නායකයන්ගෙන් මුලින්ම කොරෝනා රෝග පරීක්ෂණයට මේ සතියේ මුහුණ දුන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියයි. වික්‍රමසිංහ යුවළ ශ්‍රී ජයවර්ධනපුර සරසවි රසායනාගාරයේ දී මෙම පරීක්ෂණයට මුහුණ දුන් බව රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ලේ පැවති මහජන රැලියක දී පැවසීය. එම රුලියට රනිල් පැමිණියේ ද සාමාන්‍ය මුඛ ආවරණයට අමතරව මුළු මුහුණම වැසෙන විනිවිද පෙනෙන කවරයකින් යුත් මුහුණු ආවරණයක් පැළඳගෙන වීම ද විශේෂයකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය අඟහරැවාදා උදෑසන කොරෝනා කාර්යසාධන බළකාය කැඳවීය. අලුතින් හටගෙන තිබෙන තත්ත්වය ගැන සාකච්ඡාව මෙම හමුවේ අරමුණ විය. ජනාධිපති, අගමැති, සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරැන් ද සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ද මේ අවස්ථාවට එක්වූහ. එහිදී තමන් වෙත වාර්තා වූ කරුණු සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා කොරෝනාව ගැන රට පුරා අනියත බියක් ඇති නොවන ලෙස එය පාලනය කළ යුතු ආකාරයත්, මෙම තත්ත්වය කොරෝනා දෙවැනි රුල්ලක් ලෙස හැඳින්විය යුතු නැති බවත් කීය. කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරැත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ අයගෙන් සහ එහි රුඳවියන්ගෙන් පැතිරී ගිය රෝගී තත්ත්වය පාලනය කර ඇතැයි කී ජනාධිපතිවරයා රට ලොක්ඩවුන් කර නැවත වසා දැමීමේ තත්ත්වයක් නැතැයි ද පෙන්වා දුන්නේය. කන්දකාඩුවෙන් හඳුනාගත් තැනැත්තන් ගැවසුණු පළාත්වල P.C.R. පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නංවන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා චීනයේ වූහාන්හි සිරවී සිටි සිසුන් මෙරටට ගෙන්වා ගත් දා සිට ලොව විවිධ රටවල් 74කින් සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගත් බව කීය. පවත්නා තත්ත්වය පාලනය කරගත හැකි බැවින් ලොව අන් රටවලට සාපේක්ෂව අප රට ඉදිරියෙන් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෞඛ්‍ය, ආරක්ෂක හා බුද්ධි අංශවල සහායෙන් තත්ත්වය පාලනය කරන වග කීය.
ශ්‍රී.ල.නි.පයට එරෙහිව දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කරන ප්‍රසන්න රණතුංග මහතා ප්‍රමුඛ කිහිප දෙනකුගෙන් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ඔවුනට එරෙහිව නඩු පවරන බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා කීය. ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද තමන් පොළොන්නරැවට කළ සේවය උපුටා දක්වමින් කතා කළේය. ඔහු තමන්ට පහර දෙන්නන්ට ජනතාව නිසි පිළිතුරැ දෙනු ඇති බව සඳහන් කළේය. ඒ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අමතා මේ සතියේත් දන්වා සිටියේ ප්‍රසන්න රණතුංග මහතාගේ සැර වදන්වලින් සන්ධානයට යහපතක් සිදු නොවන නිසා ඔහුට මෙම තත්ත්වය පාලනය කර ගන්නා ලෙස දන්වන හැටියටය.
කෙසේවෙතත් බොහෝ දිස්ත්‍රික්කවල තිබෙන පොහොට්ටුවේ අපේක්ෂකයන් අතර මනාප ආරවුල්වලට අමතරව ශ්‍රී.ලනිප අපේක්ෂකයන්ට එරෙහිව ගෙන යන ප්‍රචාර නිසා ද අර්බුද හටගෙන තිබේ. ගාල්ල, හම්බන්තොට, අනුරාධපුරය, කුරුණෑගල හා කෑගල්ලේ ද මෙබඳු අර්බුද හටගෙන ඇත. කෑගල්ලේ අර්බුදය ඉතාමත් උග්‍ර තත්ත්වයට පත්ව ඇත. යහපාලන රජයේ ඇමැති ධූරයක් දැරෑ රන්ජිත් සියඹලාපිටියට එරෙහිව කෑගල්ලේ පොහොට්ටුව යුද ප්‍රකාශ කර ඇත.
සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සඳුදා මාධ්‍ය ප්‍රධානීන් හමු වූයේ කොළඹ ගාලුමුවදොර හෝටලයේදීය. හමුව ආරම්භයේදීම සජිත් කනස්සල්ලෙන් ප්‍රකාශ කළේ සමහර මාධ්‍ය තමන්ගේ ප්‍රකාශ විකෘති කර පළ කිරීමෙන් අගතියක් සිදුවන බවය. ඒ ගැන මාධ්‍ය ප්‍රධානීන් ද සජිත් සමඟ අදහස් හුවමාරැ කරගත් අතර බොහෝ අය කීවේ සජිත් මාධ්‍ය සමඟ සුහද සබඳතා වර්ධනය කරගත යුතු වගය. ඔබේ ප්‍රකාශ යමෙක් විකෘති කළා නම් ඒ කවුද කියා දැන් විවෘතව මෙතන කියන්නැයි* ද සජිත්ගෙන් එක් කර්තෘවරයෙක් ඉල්ලා සිටියේය. එහෙත් සජිත් ඊට නිසි පිළිතුරක් දුන්නේ නැත.
උතුරු නැගෙනහිර ප්‍රශ්නයට ඒ පළාතේ ජනතාව ෆෙඩරල් විසඳුමක් ඉල්ලා සිටින බැවින් සජිත් ඒ ගැන කියන්නේ කුමක්දැයි ප්‍රශ්නයක් නැගූ විට සජිත් දුන්නේ අනපේක්ෂිත පිළිතුරකි. පසුගිය දවස්වල මම උතුරැ නැගෙනහිර පළාත්වල ඡන්ද ප්‍රචාරක වැඩවලට ගියා. ඒත් ඒ පළාත්වල කවුරැවත් මගෙන් නම් ෆෙඩරල් පාලනයක් ඉල්ලුවෙ නැහැ සජිත් කීය.
එවිට තවත් කතුවරයකු විමසුවේ එසේ නම් දෙමළ සන්ධානය ෆෙඩරල් ඉල්ලා සිටින නිසා මෙවර ඔවුන් පරාජය වේවිද කියාය. එවිට සජිත් ලබා දුන්නේ ඒක ඡන්දය ඉවර වුණාම බලමු උත්තරයයි. සමගි ජනබලවේගයේ සෙසු නායකයන් (රන්ජිත් මද්දුමබණ්ඩාර, එරාන් වික්‍රමරත්න හා තිස්ස අත්තනායක මහත්වරුන්ට අමතරව) මාධ්‍ය හමුවට නොපැමිණියේ ඇයිදැයි ප්‍රශ්න කළ විට සජිත් ප්‍රේමදාස මහතා කීවේ ඔවුන් මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගොස් ඇති බවය. අවසාන වශයෙන් මතු කළ වැදගත් ප්‍රශ්නය වූයේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධව සජිත්ගේ ස්ථාවරය කුමක්ද කියාය. එහිදී සජිත් ප්‍රකාශ කළේ එය පැය 24න් අහෝසි කර බවය. එය ඉරා දමනවාදැයි කතුවරයකු ප්‍රශ්න කළ විට ඉරනවා කියන්නෙ නැහැ. නමුත් ඒක අහෝසි කරනවා යැයි සජිත් පිළිතුරු ලෙස පැවසීය. ඒ සමඟ මහ මැතිවරණය ගැන අදහස් පළ කළ හෙතෙම පවත්නා කොරෝනා තත්ත්වය හමුවේ මහ මැතිවරණය කල් දැමීම හොඳම විසඳුම බවත් එයින් ආණ්ඩුවට පාඩුවක් සිදු නොවන බවත් කීය.
සජිත් ප්‍රේමදාස මහතා එසේ ප්‍රකාශ කළත් සජිත් පිලේ සරත් ෆොන්සේකා, රන්ජිත් මද්දුමබණ්ඩාර සහ තවත් මැති ඇමැතින් ගණනාවක්ම ප්‍රකාශ කර තිබුණේ මහ මැතිවරණය තවදුරටත් කල් නොදමා පවත්වන හැටියටය. ඒ අතරතුර ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ මහ මැතිවරණය අගෝස්තු මස 05 දින නොව ඊට දින කිහිපයකට පෙර පවත්වා හමාර කරන හැටියටයි. ප්‍රචාරක කටයුතු නිසා කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන නිසා ඡන්ද ගැසට්ටුව වෙනස් කර වහාම මැතිවරණ දිනය ඉදිරියට ගන්නා ලෙස ඔහු මැතිවරණ කොමිසමෙන් විවෘත ආයාචනයක් කළේය.
කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දිගින් දිගටම ඉල්ලා සිටි සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට්ටුව නිකුත් කිරීම ගැන ජනාධිපතිවරයා සිය උපදේශකයන් හා නීති අංශ ප්‍රධානීන්ගේ මත විමසා බැලීය. මෙම ගැසට්ටුව නිකුත් කළ යුත්තේ මැතිවරණ කොමිසම ද, සෞඛ්‍ය ඇමැතිවරිය ද යන ප්‍රශ්නයට නීති අංශවලින් ලැබුණු පිළිතුර වූයේ ගැසට්ටුව නිකුත් කළ යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බවය. එහෙත් එම ගැසට්ටුවේ ඇති සමහර වගන්ති ඉවත් කළ යුතු බව ජනාධිපතිවරයාගේ සහ නීති උපදේශකයන්ගේත් මතය විය. විශේෂයෙන්ම නඩු පැවරීමට බලය දිය යුත්තේ කාටද වැනි වගන්ති මෙලෙස සංශෝධනය කළ යුතු බව පැවසිනි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් සතු බලතල නියමානුකූලව දැක්විය යුතු වග ද තීන්දු කෙරිණි. ඒ අනුව අදාළ දෝෂ ඉවත් කර නව ගැසට් පත්‍රයක් සැකසීම සඳහා නීතිපති උපදෙස් ගත යුතු බැවින් වහාම නීතිපතිවරයා මුණගැසී මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට්ටුවට අදාළ අවසන් නීතිමය උපදෙස් ලබාගෙන එය නිකුත් කරන්නැයි ජනපතිවරයා නියම කළේය. ඒ අතරතුර කොරෝනා කාර්යසාධන කමිටුව ද රැස්කර පවත්නා තත්ත්වය අධ්‍යයනය කළ ජනාධිපතිවරයාට සෞඛ්‍ය බලධරයන් කීවේ මෙවර මතුව ඇති කන්දකාඩු කොරෝනා පොකුර වැලිසර තරම් භයානක නොවන වගය. එය පාලනය කිරීමේ අභියෝගය සියලු දෙනා බාරගෙන ඉටු කළ යුතු යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
තැපැල් ඡන්දය පසුබිමේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ රාජ්‍ය සේවකයන් ගැන කතා කරන්නට පටන්ගෙන ඇත. ජනතා විමුක්ති පෙරමුණ මෙවර රාජ්‍ය සේවකයන් දිනාගන්නට විශාල ප්‍රයත්නයක් දියත් කර තිබේ. ඔවුන් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කර ඇත. රාජ්‍ය සේවකයා වත්මන් රජය යටතේ ඉතා අසතුටින් රාජකාරි කරන බව පවසන ජ.වි.පෙ. නායක අනුර දිසානායක වත්මන් රජය උපාධිධාරී තරුණ පරපුර පවා සංවර්ධන නිලධාරීන් ලෙස පත් කරමින් ඔවුන් මුලා කර ඇතැයි කීය. රාජ්‍ය සේවකයා අසතුටින් සිටින විට ඔවුන් ජනතාවට නිසි සේවයක් සලසන්නේ කෙසේදැයි ජ.වි.පෙ. නායකයා ප්‍රශ්න කළේය. මෙම මාධ්‍ය හමු සිදුවෙද්දී ජ.වි.පෙ. වෘත්තීය සංගම් අංශ ප්‍රධානී ලාල් කාන්ත ඇතුළු පිරිසක් රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ගේ වැටුප් කප්පාදුවට එරෙහිව නඩු පැවරීමට සූදානම් වෙමින් සිටියහ. විශ්‍රාමිකයන්ට වැඩි කළ වැටුප නොගෙවීම ද ඔවුනගේ විරෝධයට හේතු වී තිබේ.
වත්මන් රජය නිර්මාණය සඳහා මූලිකත්වය ගත් හෙද සංගමයේ ප්‍රධානී මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දැන් ඉඳහිට රජය විවේචනය කරන්නට ද පටන්ගෙන තිබේ. විශේෂයෙන් කොරෝනා කාලයේ ඉතාමත් ඇප කැපව සේවය කළ හෙද හෙදියන්ගේ අතිකාල හා තවත් දීමනා ගණනාවක් නොගෙවා ප්‍රමාද කිරීම ගැන උන්වහන්සේ බෙහෙවින් කෝපයට පත්ව සිටියහ. තමන් මේ ගැන රජයට වාර ගණනාවක් දන්වා සිටි නමුත් ආණ්ඩුව ඒ ගැන කිසිවක් නොකරන්නේ යැයි පැවසූ නාහිමියන් හෙද හෙදියන්ගේ සාධාරණ දීමනා ගෙවන්නේ නැතිනම් තමන්වහන්සේ ද ඒ අය සමඟ රජයට එරෙහිව පාරට බසින්නට සූදානම් බව වැඩිදුරටත් කීහ. කෙසේ හෝ මෙම තත්ත්වය හමුවේ ගිය බදාදා සවස අභයාරාම විහාරස්ථානයට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුරැත්තෙට්ටුවේ නාහිමියන් මුණගැසී පවත්නා ප්‍රශ්න ගැන සාකච්ඡා කළේය. ඒ ගැන විසඳුම් ලබා දෙන ආකාරය ද අගමැතිවරයා විස්තර කළ බව වාර්තා විය.
බොහෝ දේශපාලනඥයන් මැතිවරණ කාලයේ කරන කතාවලින් ලබා දෙන්නේ ඡන්ද පොරොන්දු පමණි. හුඟ දෙනෙක් රටට හෝ අනාගත ආණ්ඩුවට ප්‍රයෝජනවත් දේ කතා කරන්නේ නැත. පිවිතුරැ හෙළ උරැමයේ නායක උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා රටට සහ ආණ්ඩුවට ප්‍රයෝජනවත් යෝජනාවක් මේ සතියේ මාධ්‍ය හමුවේ තැබීය. ඔහු කීවේ අනාගත ආණ්ඩුවක ඇමැතිවරැන්ගේ වැඩ කටයුතු අධ්‍යයනය කොට ඔවුන් ශ්‍රේණිගත කරන ක්‍රමයක් රටට හඳුන්වා දිය යුතු බවය. වැඩ බැරි ඇමැතිවරැන් කවුද, වැඩ කළ හැකි ඇමැතිවරැන් කවුදැයි සොයා බලා එම වාර්තා මාස තුනකට වරක් ප්‍රකාශයට පත් කළ යුතු යැයි ද උදය ගම්මන්පිල ඊට අදාළ නිර්ණායක සහ දර්ශක කල් තබා ප්‍රකාශ කළ යුතු වගත් ඔහු කීය.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ සතියේ යාපනය ප්‍රදේශයේ ඡන්ද කටයුතු සොයා බැලීමට එහි ගියේය. ඡන්ද කටයුතු පිළිබඳ විමසීමෙන් පසු ඔහු උතුරේ මාධ්‍යවේදීන් හමුවිය. එහිදී ඔවුන් මතු කළ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ආරක්ෂක හමුදා ඡන්ද කටයුතුවලට සහභාගි වේද කියාය. අත්‍යවශ්‍ය දූපත් හා දුෂ්කර ස්ථානවලට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා පමණක් ගුවන් හා නාවික හමුදා යොදවන බව ඔහු එහිදී වැඩිදුරටත් කීය. එහෙත් උතුරේ දී පමණක් නොව දකුණේදීත් හමුදාව ඡන්ද කටයුතුවල නිරත නිලධාරීන් පවා මහා මාර්ගවලදී ආරක්ෂක පරීක්ෂාවන්ට ලක් කරන වග පැවසීය. නිලධාරී පමණක් නොවේ. මමත් කොළොන්නාවෙ ඉඳල ඉලෙක්ෂන් ඔෆිස් එකට යනකොට චෙක් කරනව. ඒ පරීක්ෂා කිරීම් නවත්තන්න මට හැකියාවක් නැහැ මැ.කො. සභාපතිවරයා වැඩිදුරටත් කීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉඳහිට අපූරු කතා කියන්නට සමතෙකි. මෙවර ඔහු පොළොන්නරුවේ පැවති ඡන්ද ප්‍රචාරක රැස්වීමකදී එවන් අපූරැ කතාවක් කීය. ඔහු කීවේ පොළොන්නරුවට තමන්ට වඩා වැඩ කර ඇත්නම් ඒ සිංහල රජවරුන් පමණක් බවකි. තමන් ජනාධිපති ධූරය දැරූ කාලයේ වෙහෙර විහාර 113ක් සෑදූ බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා අද කයිවාරු ගසන්නන් පොළොන්නරැවට කර ඇත්තේ මොනවාදැයි ප්‍රශ්න කළේය. තමන් එදා කළ වැඩ ගැන පොතක් වුවත් ලිවිය හැකි යැයි ද ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම මැතිවරණයට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළහ. පොහොට්ටුව ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගෙන එන්නේ නැතැයි කලින්ම කී අතර රනිල්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තු ක්‍රමය ස්වාධීන කොමිෂන් ශක්තිමත් කිරීම වැනි කරුණු සඳහා වෙන් කර තිබිණි.
මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සති අන්තයේ නැවතත් ඡන්ද ප්‍රචාරක කටයුතුවලට අත ගැසූහ. දැඩි සෞඛ්‍ය නීතිරීතිවලට යටත්ව මෙම කටයුතු සංවිධානය කර ඇත. පසුගිය සති අන්තය අගමැතිවරයා සිටියේ මෙවර උග්‍ර මනාප පොරය තිබෙන මාතර දිස්ත්‍රික්කයේය. මාතරින් ඡන්දය ඉල්ලන සියලුම අපේක්ෂකයන්ගේ ජනහමුවලට ගිය මහින්ද දිවා ආහාර ගත්තේ දෙණියායේ නිපුණ රණවකගේ නිවෙසේදීය. මාතර මනාප සටන් උග්‍රවීම නිසා පොහොට්ටුවේ සමහරුන් තදින් විරසකව සිටින අතර සමහර පොහොට්ටු ලොක්කන් නව සන්ධාන ඇතිකරගෙන තිබේ. පසුගිය කාලය පුරාම දේශපාලන වශයෙන් විරසකව සිටි ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා මහින්ද යාපා අබේවර්ධන මහත්වරැ මහින්දගේ ගමනත් සමඟ එක්ව සිටියහ. අගමැතිවරයා මාතර මාකඳුරේ පැවති ජනහමුවට ගොස් ලක්ෂ්මන් යාපාගේ නිවෙසට තේ පානය සඳහා ගියේය. එවිට මහින්ද යාපා අබේවර්ධන මහතා ද එහි කැටුව ගිය අතර මහින්ද කීවේ ඔන්න දැන් මම අබේවර්ධනල එකතු කළා කියායි.
පසුගිය කාලයේ ලක්ෂ්මන් යාපා තම කණ්ඩායමට පැමිණීම පමා වුවත් ඔහු තමන්ගේ නිවෙසේ පැවති සෑම වැදගත් උත්සවයකටම පැමිණියේ කළගුණ දත් නායකයකු ලෙස යැයි මහින්ද ලක්ෂ්මන්ට සහතිකයක් ද දුන්නේය.
මේ සතියේ අගමැතිවරයා කොරෝනා රෝගය ගැන ජනතාව දැනුවත් කරන්නට මාධ්‍ය ප්‍රධානීන් අරලියගහ මැඳුරට කැඳවීය. සෞඛ්‍ය ඇමැතිවරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ඇමැති බන්දුල ගුණවර්ධන, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ආදීන් ද මෙම හමුවට එක්වූ අතර මේ සියලු දෙනා ප්‍රකාශ කළේ මෙරට කොරෝනා දෙවැනි රැල්ලක් හටගෙන නොමැති බවය. තත්ත්වය පාලනය කර ඇති බවත් විපක්ෂ දේශපාලන වේදිකාවෙන් ඇසෙන කොරෝනා විග්‍රහ විශ්වාස නොකරන ලෙසත් අගමැතිවරයා කීය.
ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර