"කොවිඩ් ගැන අනියත බියක් ඇතිකරගන්න එපා... දේශපාලන වේදිකාවල රැල්ලක්
ගැන කියවුණාට සමාජයේ කොතනකවත් එහෙම නෑ. එය පාලනය කිරීමට සියලු පියවර අරගෙන තිබෙනවා."
අගමැති මහින්ද රාජපක්ෂ - බ්‍රහස්පතින්දා (16) මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හමුවේදී
"කොවිඩ් හේතුවෙන් රැකියා අහිමි වූ ජනතාවට මාසෙකට රුපියල් 10,000ක් අපි ලබා දෙනවා. දිනකට පී.සී.ආර්. පරීක්ෂණ පන්දාහක් සහ මුඛ ආවරණ මිලියන 10ක් ජනතාවට ලබා දීමට පියවර ගන්නවා."
එජාප නායක රනිල් වික්‍රමසිංහ - බ්‍රහස්පතින්දා (16) සිරිකොත දී පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේදී
"කොවිඩ් නිසා රටේ ජනතාව අන්ත අසරණ වෙලා. කොරෝනා වසංගතයත් දේශපාලනයට ඈඳාගත් ආණ්ඩුව මුළු රටම ලොකු අවදානමක දාලා."
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස - මාතලේ සහ මාතර ජනහමුවලදී
ඊයේ පෙරේදා සිදුකෙරුණු මේ ප්‍රකාශ වලින් පෙනෙන්නේ කන්දකාඩු අලුත් කොවිඩ් පොකුරත් සමඟ අගෝස්තු 05 වැනිදා මහ මැතිවරණයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව ප්‍රධාන පක්ෂ තුනේම නායකයන්ගේ අවධානය තදින්ම යොමු වී ඇති බවය. මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මැතිවරණය ජයග්‍රහණය පිළිබඳව තබා ඇත්තේ උපරිම විශ්වාසයකි. ඒ සඳහා හොඳ පසුබිමක් සකස්ව තිබෙන බව දන්නා පොහොට්ටු නායකයන් මහ මැතිවරණයට කොවිඩ්-19 බලපෑම් එල්ලවීම පිළිබඳව කිසිම කැමැත්තක් නැත. එහෙත් විපක්ෂය නියෝජනය කරන යූ.එන්.පීයට සහ සමගි ජනබලවේගයට කොවිඩ්-19 බලපෑමෙන් මහ මැතිවරණයට බාධා පැමිණෙනවාට කිසිදු අකැමැත්තක් නැත. ඔවුන්ට දැන් එල්ලෙන්නට තිබෙන එකම පිදුරු ගස බවට පත්ව ඇත්තේ කොවිඩ්-19 යළි ව්‍යාප්ත වීමේ වගකීම ආණ්ඩුව පැත්තට තල්ලු කිරීම පමණක් බව පෙනෙන්නට තිබේ.
රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස දෙදෙනාම කන්දකාඩු පොකුර දැනගත් දා පටන් පවසන්නේ මහ මැතිවරණය කල් දැමිය යුතු බවය. එහිදී යූ.එන්.පීය තනි මතයක පිහිටා කටයුතු කළත් සමගි ජනබලවේගයේ මතගැටුමක් පවතින බව පෙනෙයි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කොවිඩ් හේතුවෙන් මහ මැතිවරණය කල් නොදැමිය යුතු බවට පසුගියදා කළ ප්‍රකාශයෙන් එය පැහැදිලි වෙයි. ෆොන්සේකා පමණක් නොව සමගි ජනබලවේගයේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනකුම මහ මැතිවරණය කල් නොදැමිය යුතුය යන ස්ථාවරයේ සිටින බවද දැනගන්නට තිබේ. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා දිගටම පවසන්නේ මහ මැතිවරණය කල් දැමිය යුතු බවය. රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සලකා එම තීන්දුව ගත යුතු යැයි ඔහු ප්‍රකාශ කළත් එම ඉල්ලීම යටින් ඇති සැබෑ හේතුව වෙනත් එකක් බවද සිතාගැනීම අමාරු නැත. මෙවර ඡන්ද ව්‍යාපාරයේ දී රනිල් සහ සජිත් එකම මතයක පිහිටා කටයුතු කළ එකම අවස්ථාව ද ඡන්දය කල් දැමීමේ යෝජනාව වීම විශේෂයකි.
කෙසේ වුවද ආණ්ඩුව මේ වෙලාවෙදී මොනම හේතුවක් නිසාවත් ඡන්දය කල් දැමීමේ තීන්දුවකට නොයන බව ඉතාම පැහැදිලිය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශාල ජනාධිපතිවරණ ජයග්‍රහණයේ ගැම්ම මතින් ගොස් මහ මැතිවරණයේ දී විශාල ජයක් ලබාගැනීමට හැකි ඉක්මනින් මහ මැතිවරණය පවත්වා අවසන් කළ යුතුය. තවත් අතකින් බැලුවොත් රට පාලනය කිරීමට තවදුරටත් යන්තම් ගැටගසා ගත් කැබිනට් මණ්ඩලයක් තිබීම ප්‍රමාණවත් නැත. එය ප්‍රායෝගික ද නොවේ. රටේ පාලනයට මහජන ඡන්දයෙන් තේරීපත් වන ආණ්ඩුවක් තිබීම අවශ්‍යමය. රටේ ආර්ථික කටයුතු පිළිබඳව තීරණ ගැනීම පාර්ලිමේන්තුව සතු බලයකි. ජනාධිපතිවරයාට කොතරම් බලතල තිබුණද, පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මුදල් ඇතුළු ඇතැම් ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීම තනිවම කළ නොහැක. මෙතෙක් රටේ අවශ්‍යතා වෙනුවෙන් ලබාගෙන තිබෙන මුදල් සම්බන්ධ තීන්දු අලුත් පාර්ලිමේන්තුවේදී අනුමත කරගත යුතු වෙයි. එසේම රටේම දේශපාලන බලය ද පොහොට්ටුව වටා ඒකරාශී කර ගැනීම සම්පූර්ණ වන්නේ මහ මැතිවරණයෙන් පසුව පිහිටුවන ආණ්ඩුවකිනි. අගමැති මහින්ද හදිසියේම පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍ය ප්‍රධානීන් කැඳවා කොවිඩ් පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නැයි කළ ප්‍රකාශයට මේ සියලු කාරණා හේතු වන්නට ඇත. මොනම හේතුවක් නිසාවත් ඡන්දය කල් දැමීමට රජය සූදානම් නැති බවට ඔහු ලබා දී ඇත්තේ පැහැදිලි පණිවුඩයකි.
මෙවර මහ මැතිවරණයට තව ඇත්තේ දවස් 17ක් පමණි. මේ සීමිත දවස් ගණනාව අතරින් ඡන්ද ප්‍රචාරක වැඩට යොදාගත හැකි වන්නේ දවස් 15ක් පමණි. මෙය ආණ්ඩුවට නම් ලොකු ප්‍රශ්නයක් වන්නේ නැත. එහෙත් විපක්ෂයට එය බරපතළ ගැටලුවකි. කොවිඩ් නව පොකුර මැද වුවද ඡන්ද රැලි අවලංගු නොකරන බව රනිල්, සජිත් සහ අනුර කුමාරලා පවසන්නේ නිසැකවම ප්‍රචාරක ව්‍යාපාරය අඩපණ වීම විපක්ෂයට අවාසිදායක බැවිනි. ඡන්දය කල් දැමිය යුතු බවට කරන යෝජනාවට එක් හේතුවක් වන්නේ ද ප්‍රචාරක ව්‍යාපාරයට සිදුවන බලපෑම බව පැහැදිලිය. එහෙත් ජවිපෙ ඡන්දය කල් දැමිය යුතු බවක් කියන්නේ නැත.
පාර්ලිමේන්තුවේ ආසන 225 සඳහා මෙවර තරග වදින අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 7452කි. නායකයන් කුමක් කිව්වත් ප්‍රධාන පක්ෂ වලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතුරින් වැඩි දෙනකු පරණ අපේක්ෂකයන් වීම තුළින් ඡන්දදායකයන්ගේ බලාපොරොත්තු කඩවී ගොස් තිබේ. අපේක්ෂකයන් බහුතරය මීට කලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ අය වීම බලාපොරොත්තු විය යුතු වුවද අලුතින් තරග බිමට පිවිස සිටින අපේක්ෂකයන් හට ලැබෙන තල්ලුව ඉතාම අඩුවීම ඔවුන්ට කැපිල්ලකි.
මේ තත්ත්වය වඩාත්ම දැකිය හැකි වන්නේ පොහොට්ටුව තුළය. මනාප සටන උග්‍රව පවතින පොහොට්ටුවේ ගෝඨාභයගේ අලුත් සංකල්ප සමඟ ඉදිරියට යා යුතු උගත් බුද්ධිමත් අලුත් පිරිසට තැනක් තිබෙන බවක් පෙනෙන්නට නැත. ඔවුන්ට හිතුමතේ විසිකිරීමට මුදල් ද නැත. එවැනි අපේක්ෂකයන් වටා මුදල් යහමින් ඇති ජාවාරම්කාරයන් එකතු වන්නේ ද නැත. මේ නිසා අලුත් පාර්ලිමේන්තුව ද අලුත් බෝතලේ පරණ ජරාජීර්ණ වයින් වලින් පිරී තිබුණොත් ඒ ගැන පුදුම විය යුතු නැත. ගෝඨාභය ජනාධිපතිගේ දේශපාලන ආගමනයත් සමඟ රටේ ඡන්දදායකයන් තුළ දැල්වුණු අලුත් බලාපොරොත්තු දිගටම රැකගැනීමට නම් අඩුම තරමින් පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර පිරිනැමීමේ දී හෝ අලුතින් එන බුද්ධිමතුන්ට ඉඩක් තිබිය යුතුය. එහෙත් එසේ සිදුවනු ඇති බවට පැහැදිලි පණිවුඩයක් තවම නැත.
එසේ වුවද පවතින දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද පොහොට්ටුවේ මනාප සටන අතරින් හිස ඔසවන අලුත් අපේක්ෂකයන් කිහිප දෙනෙක් ද වෙති. මේ අයට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්දැයි බලාගැනීමට අගෝස්තු 06 වැනිදා රාත්‍රිය වනතුරු සිටිය යුතු වෙයි. යූ.එන්.පීයේ නායක රනිල් වික්‍රමසිංහ නම් මුල සිටම පැවසුවේ තමන් තරුණයන්ට පක්ෂයේ තනතුරු ලබා දෙන බවය. නාමයෝජනා ලබා දීමේදී තරුණයන්ට වැඩි තැනක් ලබා දුන් බවය. එහෙත් ඔවුන්ගේ එම ස්ථාවරය සජිත්ලා පිළිගන්නේ නැත. ඔවුන් පවසන්නේ යූ.එන්.පීයට පැරණි බලකණු වැනි අපේක්ෂකයන් නොසිටීම හේතුවෙන් එහෙන් මෙහෙන් අහුලාගත් විශාල සංඛ්‍යාවකට නාමයෝජනා ලබා දීමට සිදු වූ බවය. එහෙම කිව්වත් සජිත්ලාගේ පක්ෂයෙන් වුවද අලුත් මුහුණු ඡන්දයට ඉදිරිපත් කිරීමට ප්‍රමුඛත්වයක් ලබා දී නැති බව ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තුවලින් ද හෙළි වෙයි. ජවිපෙ මූලික ජාතික ජනබලවේගය නම් විද්වතුන් ගණනාවක් තම අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් කර සිටීම වැදගත් වෙනසකි. එහෙත් පවතින දේශපාලන වාතාවරණය හමුවේ ඔවුන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබේද යන්න අවිනිශ්චිතය.
එවැනි තත්ත්වයක් යටතේ ද ඡන්දදායකයන්ගෙන් සීමිත පිරිසක් අලුතින් තරග බිමට පිවිස සිටින විද්වතුන් සහ සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් පිළිබඳව විමසිලිමත් වන බවද පෙනෙන්නට තිබේ. රටේ උගත් තරුණ පිරිස අතර මේ ප්‍රවණතාව තදින්ම පැතිරෙන බව සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන ඇතැම් සමීක්ෂණවලින් ද පැහැදිලි වෙයි. ජනාධිපති ගෝඨාභයගේ පාලනය පිළිබඳ පැහැදීමකින් සිටින පිරිස අතර මේ විමසිලිමත් බව වැඩිපුරම දැකිය හැකි බවද හඳුනාගත හැකිය. එහෙත් එම ප්‍රවණතාව ඡන්දවලට පෙරළෙයි ද කීම නම් අමාරුය
රටේ ඡන්දය දෙන රටාව වෙනස් වෙමින් පවතින බවට එක් උදාහරණයක් වන්නේ ඉහත කී තරුණ ප්‍රජාව තීන්දු ගැනීමේදී අලුත් අපේක්ෂකයන්ට දක්වන උනන්දුව සහ කැමැත්ත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වීමය. එසේ වුවත් සමස්ත ඡන්දය දෙන රටාව පෙන්වා දෙන්නේ තවමත් ඡන්දදායකයන්ගෙන් අති බහුතරය ප්‍රධාන පක්ෂ දෙකක අපේක්ෂකයන්ටම ඡන්දය ප්‍රකාශ කරන බවයි. මෙවර එහි කැපීපෙනෙන තත්ත්වයක් වී ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙක තුනක් බවට පත් වී තිබීමය.
එම පක්ෂ තුනෙන් මහින්දලාගේ පොහොට්ටුව සහ සජිත්ලාගේ සමගි ජනබලවේගය අලුත්ම පක්ෂය. නමුත් මහ මැතිවරණයට මුහුණ දෙන්නේ පළමු වතාවටය. එයින් ඉදිරියෙන්ම සිටින්නේ පොහොට්ටුව බව හැම දේශපාලන විචාරකයකුගේම අදහසය. පොහොට්ටුව දින්නොත් එය මෙරට මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ කඩඉමක් වනු ඇත. එජාපයෙන් කැඩී ගොස් 1951 දී බණ්ඩාරනායක පිහිටුවා ගත් ශ්‍රීලනිපය 1956 දී මහජන එක්සත් පෙරමුණ සමඟ එක් වී යූ.එන්.පී. ආණ්ඩුව පරාජය කිරීමෙන් පසුව, අලුතින් පිහිටුවූ දේශපාලන පක්ෂයක් ආණ්ඩු බලය ලබාගන්නා ප්‍රථම අවස්ථාව මෙය වනු ඇත.
පොහොට්ටුවේ නායකයන් ඉලක්ක කර ඇත්තේ එම ජයග්‍රහණය තුනෙන් දෙකක් බවට පත් කර ගැනීමටය. පවත්නා ඡන්ද ක්‍රමය යටතේ එය සාර්ථක වනු ඇතිදැයි කීම නම් අමාරුය. ඒ වගේම මෙතෙක් කාලයක් ආණ්ඩු බලය නැති විට ප්‍රධාන විපක්ෂය වූ යූ.එන්.පීය ද මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ ලොකුම අභියෝගයකටය. එනම් සජිත්ලාගේ පක්ෂය හේතුවෙන් මෙවර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ද යූ.එන්.පීයෙන් ගිලිහී යාමට ඉඩ තිබීමය. එහෙම වුණොත් අගෝස්තු 06 වැනිදායින් පසුව රටේ අලුත් පක්ෂයක ආණ්ඩුවකුත් අලුත් පක්ෂයක විපක්ෂයකුත් දැකගත හැකි වනු ඇත. එහෙත් මේ වෙනසට කොරෝනා පොකුරු නැම්මෙන් ඇති කරන බලපෑම ගැන නම් දැන්ම අනාවැකි පැවසීම අමාරුය.
ශශීන්ද්‍ර