ගෝඨාභය රාජපක්ෂ මහතා 52.3%ක ප්‍රතිශතයක් ලබා රටේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමට තෝරාගත්තේ අනුරාධපුරයේ රුවන්වැලි භූමියයි. මෙතෙක් කාලයකට බලයට පත් මෙරට විධායක ජනාධිපතිවරයකු දිවුරුම් දීම සඳහා අනුරාධපුරය තෝරාගත්තේ නැත. කොළඹදී දිවුරුම් දී මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ සිට මහජනතාව ඇමතීම සිරිත විය.
අපේ රටේ මහජන ඡන්දයෙන් බලයට ආ ප්‍රථම අදේශපාලනික ජනාධිපති වූ ගෝඨාභය මහතා යටතේ පැවැති ප්‍රථම මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා රටේ අගමැති වී ඓතිහාසික වූ තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබාගත්තේ 59%කට ආසන්න ප්‍රතිශතයක් ලබා ගනිමිනි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේ බුදුන්වහන්සේ වැඩම කළ සිද්ධස්ථානයක් වශයෙන් මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වන කැලණිය රජමහා විහාර පරිශ්‍රයේදීය. අග්‍රාමාත්‍යවරයකු මීට පෙර විහාරස්ථානයක දිවුරුම් දුන් බවට මෙරට දේශපාලන ඉතිහාසයේ ලියැවී නැත.
මේ උත්සව දෙකම මහත් අභිමානයෙන් පැවැති එහෙත් චාම් රාජ්‍ය උත්සව දෙකක් බවට සටහන් වෙයි. අනුරාධපුරයේත් කැලණියේත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙන විට මහනුවර ශ්‍රී දළදා මාලිගාව අමතක වී දැයි මහ නාහිමිවරුන්ට සිතුණාදැයි දන්නේ නැත. එහෙත් අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙන අවස්ථාව වෙද්දී නව අමාත්‍ය මණ්ඩලය 12 වැනිදා දිවුරුම් දෙන්නේ මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණි. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කෙරුණේ ජනාධිපතිවරයාගේත් අග්‍රාමාත්‍යවරයාගේත් අධීක්ෂණය යටතේය. ඒ වෙනුවෙන් ඊට කලින් දවසේ (11) මේ දෙදෙනාම මහනුවරට ගියහ.
නව ආණ්ඩුවේ ප්‍රධානම කාර්යය වන අලුත් කැබිනට් මණ්ඩලය දිවුරැම් දීම ඒ අනුව පසුගිය බදාදා (12) පෙරවරුවේ මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී සිදුකෙරිණි. එම උත්සවයද ගාම්භීර වුවත් චාම් රාජ්‍ය උත්සවයක් විය. දිවුරැම් දුන් අවස්ථාව වනවිට කැබිනට් ඇමැති පදවි බලාපොරොත්තුවෙන් සිටි කිහිපදෙනකුගේ මුහුණු ඇඹුල් වී තිබිණි. අමාත්‍යංශ නාමලේඛනය ඊට කලින් ප්‍රකාශයට පත්වී තිබූ අතර ඒ බොහොමයක් අමාත්‍යංශ තනි වචනයෙන් හැඳින්වෙන විෂයකට පමණක් සීමා විය. රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් බොහොමයක් පැවරී තිබූ අතර එතරම් විස්තරාත්මක විෂයන් බෙදාදීමක් අවශ්‍යදැයි ඇතැම් දේශපාලන විචාරකයන් පසුව විමසා තිබිණි. එය නිසැකවම ඔවුන්ට පැහැදිලිව කාර්යභාරය පැවරීමක් බවත් ජනාධිපතිට සහ අගමැතිට ඒවා පසුවිපරමකදී වැදගත් වන බවත් තවත් සමහරුන්ගේ මතය විය. එහි සාර්ථකත්වය බලාගැනීමට තව කාලයක් සිටිය යුතුය.
ඇමැති පදවි ලබාදීමේදී හිටපු ජනපති මෛත්‍රීපාලට ඇමැතිකමක් නොලැබීම රටේ දැඩි කතාබහට ලක්වුණේය. ඒ සම්බන්ධයෙන් ශ්‍රීලනිපය දැඩි නිහඬ බවක් දැක්වීමද කැපී පෙනෙයි. ශ්‍රිලනිප මහලේකම් දයාසිරිටද රාජ්‍ය ඇමැති තනතුරකින් සෑහීමට පත්වීමට සිදුවිය. ඔහුගේ විෂය කරුණු යටතේ මුලින්ම කියැවෙන්නේ බතික් කර්මාන්තයයි. දයාසිරි බතික් ඇඳුමින් සැරසී සින්දුවක් කියන කාටුන්ද පළ වී තිබෙනු දැකිය හැකි විය. මෛත්‍රීපාලට ඇමැති පදවියක් නොතිබීම ගැන ආණ්ඩුවද කතා කරන්නේ නැත. එහෙත් ඉක්මණින්ම සිදුවන ව්‍යවස්ථා සංශෝධනයට පසුව ඔහුට ඇමැති පදවියට හිමිවන බවද දැනගන්නට තිබේ.
එසේ වුවද ආණ්ඩුවේ මුල්ම පියවර වන 19 වැනි සංශෝධනය ඉවත් කිරීම ඉදිරි සති අට තුළදී සිදුකරන බව ආණ්ඩුව කියයි. ආණ්ඩුව ලැබූ ඓතිහාසික විශාල ජයග්‍රහණයේ නියමුවා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව කළ ප්‍රකාශයක සඳහන් වූයේ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමකින් තොරව රජයට ඉදිරි ගමනක් නැති බවය. හැකි ඉක්මණින් 19 සංශෝධනය ඉවත් කිරීමත් ඒ සමඟ ක්‍රියාත්මක වන 18 වැනි සංශෝධනයේ රටට අහිතකර වගන්ති ඉවත් කිරීමත් සිදුවන බවද බැසිල් කියා තිබිණි. ආණ්ඩුවේ පළමු ප්‍රමුඛතාව වී ඇත්තේ 19 ඉවත් කිරීම බවට වෙනත් කතා අවශ්‍ය නැත.
ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීමට ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙයි. එම බහුතරය දැන් ආණ්ඩුව අතේ තිබේ. එහෙත් එම බහුතරය හැදෙන්නේ ශ්‍රීලනිපය ලබාගෙන තිබෙන මන්ත්‍රීධුර 17ත් සමඟිනි. ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇමැතිකමක් හිමිවන බවට ඇති කතාව එම බහුතරයට සම්බන්ධදැයි කියන්න බැරිය. කෙසේ වුවද ඉතාම ශක්තිමත් ආණ්ඩුවක ආරම්භයේදීම ගැටුම් ඇතිකර ගැනීමට තරම් ශ්‍රීලනිප නායකයන් ඉක්මන් වනු ඇතැයි සිතන්නත් අමාරුය.
ඒ කෙසේ වෙතත් ඇමැති පදවි ලැබූ ඇතැම් දෙනා තමන්ට පැවරුණු විෂය සම්බන්ධයෙන් සිටින්නේ කැමැත්තකින් නොවන බවද නිරීක්ෂණය කළ හැකිය. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් තමන්ට කැමැති විෂයක් ලබාගැනීමට නායකත්වයට බලපෑම් කිරීම එදා සිටම දැකිය හැකි තත්ත්වයකි. ජ්‍යෙෂ්ඨයන්ට සාමාන්‍යයෙන් හිමිවන්නේත් විෂයයන් ගණනාවක් ඒකාබද්ධ වූ අමාත්‍යංශයි. එහෙත් මෙවර එය වෙනස් වී තිබේ. හැමදාමත් විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය වශයෙන් තිබූ විෂයය දෙක මෙවර දෙකට බෙදා විදුලිබලය ඩලස් අලහප්පෙරුමටත් බලශක්තිය උදය ගම්මන්පිලටත් පවරා තිබීම එයට හොඳම උදාහරණයයි. එහි අරමුණු කුමක් වුවත් මේ දෙදෙනාගෙන් වඩාත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා වන ඩලස් නම් ඊට කැමැති නොවන බව පැහැදිලිය.
කැබිනට් මණ්ඩලය සකස් කිරීමේදී කිසිම ආණ්ඩුවකට සියලුදෙනා සතුටු කළ නොහැක. රාජ්‍ය ඇමැති හෝ නියෝජ්‍ය ඇමැති හෝ වශයෙන් සෙසු තනතුරු ලබාදීමේ දී ද තත්ත්වය ඊට වෙනසක් නැත. සියල්ල සතුටු කිරීමට නම් සියලුදෙනාටම තනතුරු ලබාදීම අවශ්‍ය වෙයි. එය කළ නොහැක්කකි. මේ රටේ ජනගහනයට සාපේක්ෂව පත්කෙරෙන ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව හැමදාමත් ජනතාවගේ දැඩි විරෝධයට හේතුවක් විය. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ කැබිනට් ඇමැතිවරුන් 45ක්ද නියෝජ්‍ය ඇමැතිවරුන් 45ක්ද රාජ්‍ය ඇමැතිවරුන් 44ක්ද වශයෙන් ඇමැතිවරු 134ක් පත්කරනු ලැබ සිටියහ. එහෙම සිටියත් අඩුම තරමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට එම ආණ්ඩුව අසමත් විය. ආර්ථිකය ගොඩගන්නා බවට බොහෝ පොරොන්දු දුන්නත් අඩුම තරමින් මහ බැංකුවේ බැඳුම්කර මගඩිය හෝ වළක්වා ගැනීමට නොහැකි විය. ආණ්ඩුවක කාර්යක්ෂම බව මැන බැලීමේදී අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව නොගිණිය හැකි සාධකයක් බවට වෙනත් උදාහරණ අවශ්‍ය නැත. තනතුරු නැතිව හෝ ලැබූ තනතුරු නොසෑහීම නිසා මුහුණු එල්ලාගෙන සිටින සියලු මැති ඇමැතිවරැන් මේ සත්‍යය තේරුම් ගැනීම වැදගත්ය.
එය තේරුම් ගැනීම වඩාත් පහසු වීමට ආණ්ඩුවේ නායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන ක්‍රමයේ වෙනස පිළිබඳව කිසියම් අවබෝධයක් තිබිය යුතුය. ජනාධිපතිවරයා දිවුරුම් දීමේ පටන් මේ දක්වා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළේ පැහැදිලි වෙනසක් තිබේ. එය ජනතාව විසින් හොඳින්ම අවබෝධ කරගෙන ඇති බවත් එය අනුමත කරන බවත් පහුගිය මහමැතිවරණ ප්‍රතිඵලවලින් පෙනුණේය. ඔහු ජනතාව හමුවට ගිය විටදී ලැබුණු ප්‍රතිචාරවලින්ද එය දැකගත හැකිවිය. මේ වෙනසට අනුගත වීමට නොහැකි මැති ඇමැතිවරැන්ට ඉදිරි කාලය යහපත් නොවනු ඇති බව පැහැදිලිය.
මෙවර ඇමැති පදවි දැරීමේදී අනුගමනය කළයුතු පිළිවෙත් ගණනාවක්ද හඳුන්වාදී තිබේ. අලුත් වාහන ගෙන්වා ගැනීමට හැකියාවක් නැත. අමාත්‍යංශ කාර්යාල සඳහා අලුත් ගොඩනැගිලි මිලදී ගැනීමට අනුමැතියක් නොලැබෙයි. කාර්යාල උපකරණ මිලදී ගැනීමේදී පවා ඒවා පිටරටවලින් ගෙන්වා ගැනීම තහනම්ය. වියදම් හැම අතින්ම අඩුකළ යුතුය. මේ කටයුතුවලදී ජනාධිපතිවරයා ලබාදී ඇත්තේ ඉහළම ආදර්ශයකි. අලුත් ඇමැතිවරුන්ටද එම ආදර්ශය අනුව යනවා හැර වෙනත් විකල්පයක් නැත. විශේෂයෙන්ම ඇමැති පදවිවලින් හම්බ කරගැනීමට පෙරැම් පුරන කිසිවකු හෝ සිටී නම් එය සාර්ථක කර ගැනීමට නොහැකි බව ජනාධිපතිවරයා පැහැදිලිවම පෙන්වා දී තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් 16 වැනිදා සිට මහමැතිවරණය පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ඇතුළු සියලුදෙනා ජනතාවගෙන් ඉල්ලා සිටියේ තමන්ට තුනෙන් දෙකක පැහැදිලි ජනවරමක් ලබාදෙන ලෙසටය. දැන් ජනතාව ඊට ඉහළම ප්‍රතිචාරය දක්වා තිබේ. රජය දැන් කළයුත්තේ ජනතාවගේ විශ්වාසය රඳවා ගනිමින් පොරොන්දු ඉටු කිරීමට පියවර ගැනීමය. ඇමැතිවරුන් සිටින්නේ එම අරමුණු ජයගැනීමට උදව් වීමට මිස තමන්ට වැඩකර ගැනීමට නොවේ. ඉහළ බලාපොරොත්තු තිබෙන ජනතාවක් බොරුවෙන් රැවටීමට කරන උත්සාහයක ප්‍රතිඵල ඉතාම භයානක විය හැකි බව මුලසිටම තේරැම් ගැනීම ආණ්ඩුවට බාරය.
- ශශීන්ද්‍ර