2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

නාමල්ගෙන් සාර්ථක ආරම්භයක්

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අලුත් ඇමැතිවරයකු වන නාමල් රාජපක්ෂ යනු හැදෙන ගහකි. “හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” යැයි පවතින උපමාවට හොඳින්ම ගැලපෙන ආකාරයට නාමල් අමාත්‍යාංශයේ තම පළමු වැදගත් තීන්දුව ගෙන තිබේ. ජාතික ක්‍රීඩා සභාවක් පිහිටුවා එහි සභාපති ධූරයට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වන මහේල ජයවර්ධන පත්කිරීමත් සෙසු සාමාජිකයන් වශයෙන් එම තත්ත්වයේම සිටින විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිළිගත් වෘත්තිකයන් පිරිසක් පත්කර ගැනීමත් හරහාය.

නාමල් තමන්ට හිමිවූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධූරය බාරගනිමින් මෙරට තවමත් ක්‍රියාත්මක පැරණි ක්‍රීඩා පනත වෙනස් කළ යුතු බවට මුලින්ම කළ ප්‍රකාශය ද ඉතා වැදගත් වෙයි. වර්තමානයට ගැලපෙන ආකාරයට යාවත්කාලීන නොවී ක්‍රීඩා සංගම්වල කිහිප දෙනකුට ආධිපත්‍යය දරා සිටීමට වරම් ලබාදෙන මේ පැරණි පනත වෙනස් කළ යුතු බවට මීට පෙර එම ධූරය ඉසිලූ ක්‍රීඩා ඇමැතිවරුන් ද ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඔවුන්ට වඩා බලවත් සෙසු චරිත කිහිපයක් විසින් එම සියලු උත්සාහයන් ව්‍යාර්ථ කිරීමට සමත් වූ බව මෙහි සඳහන් කරන්නේ නාමල් යටතේ එය සිදුනොවන බවට ඇති විශ්වාසය හේතුවෙනි.

මෙරට තුළ ක්‍රියාත්මක ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් සංඛ්‍යාව 60කට අධිකය. එහෙත් රට වෙනුවෙන් ඉදිරිපත්ව ජාත්‍යන්තරයේදී තරග කොට රන් පදක්කම් සහ කුසලාන දිනාගත හැකි මට්ටමේ ක්‍රීඩා නියෝජනය කරන්නේ මේ අතුරින් අතළොස්සක් පමණි. මේ සියලු සංගම් අමාත්‍යාංශයේ අරමුදල් බලාපොරොත්තු වන බව ප්‍රකට කරුණකි. වඩාත් වැදගත් වන්නේ බලාපොරොත්තු තබාගත හැකි ක්‍රීඩා හඳුනාගෙන ඒවායේ වර්ධනයට ඉහළම ප්‍රමුඛත්වය ලබා දීමය. ජාත්‍යන්තර තලයට නොයන පමණින් ඒ සියලු ක්‍රීඩා සංගම් අහෝසි කළ යුතු නැත. එවැනි ක්‍රීඩා නියෝජනය කරන විශාල පිරිසක් ද රට තුළ සිටින බැවිනි.

ක්‍රිකට් ක්‍රීඩාව රටේ අභිමානය ඉහළටම එසවූ තත්ත්වයක් අතීතයේ අපට තිබිණි. එම තත්ත්වය යළි ඇතිකර ගැනීමට අවශ්‍ය නම් එහි පරිපාලනය සුදුස්සන් අතට පත් කළ යුතුය. ඒ සඳහා දූෂිත පුද්ගලයන් හෝ ඔවුන්ගේ ඉත්තන්ට ක්‍රීඩා සමාජ ඡන්දවලට මුවාවී නිලතලවලට පත්වීමට තිබෙන සියලු ඉඩකඩ අහුරා දැමීම පමණක් ප්‍රමාණවත් වනු ඇත.

වෙනත් ක්‍රීඩා සමාජ පරිපාලනය ද පුද්ගල ප්‍රතිරූපවලින් මුදාගැනීමට කටයුතු කිරීම ද වැදගත් වනු ඇත. එකම පුද්ගලයන් පිරිසක් අතට පාලනය හුවමාරු වන එම ක්‍රමය තුළ අදාළ ක්‍රීඩාවට සිදුවන යහපතක් නැති බව දිගින් දිගටම පෙන්වා දී තිබේ. පසුගිය වසර 25 තිස්සේම ක්‍රිකට් පරිපාලනය පවුල් තුනක් අත රැඳී තිබිණි. පසුගිය කාලය තුළදී සිදුවූ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇදවැටීම එහි ප්‍රතිඵලයකි. ජාතික ඔලිම්පික් කමිටුව තවත් උදාහරණයකි. එය වසර 20ක් තිස්සේ පාලනය කෙරුණේ එක් පුද්ගලයකු විසිනි. එය වෙනස් වුණේ වසර 2කට පෙරදීය. මේ පාලන ක්‍රමවලින් රටේ ක්‍රීඩාවට සිදුවූ කිසිම යහපතක් නැත.

නාමල් රාජපක්ෂ ඇමැතිවරයා විසින් ජාතික ක්‍රීඩා සභාවක් පත්කිරීම වැදගත් වන්නේ ඉහත සඳහන් හේතු සාධක තවමත් පවතින බැවිනි. එය පත්කිරීමේ පරමාර්ථය වනු ඇත්තේ රට තුළ ක්‍රීඩාවන් වර්ධනය කිරීමට සහ ක්‍රීඩා ප්‍රතිපත්තියට සම්බන්ධ කාරණා පිළිබඳ ඇමැතිවරයාට උපදෙස් ලබාදීම පිණිස බව පැහැදිලිය. මූලිකවම මෙහි සාර්ථකත්වයක් දැකිය හැක්කේ මහේල ජයවර්ධන එහි සභාපති ධූරය බාරගැනීමට කැමැති වීමෙනි. මීට පෙර සිටි ක්‍රීඩා ඇමැතිවරැන් ගණනාවක් මහේලගේ මූලිකත්වයෙන් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට කමිටු පත්කිරීමට දැරූ සියලු උත්සාහයන් අසාර්ථක විය. එසේ වූයේ තමන්ගේ යෝජනා ක්‍රියාත්මක වනු ඇතිදැයි විශ්වාසයක් නොමැති බව හුවාදක්වමින් මහේල ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. කෙසේ වුවද ජාතික ක්‍රීඩා සභාවට මහේල ඇතුළු තෝරාගෙන ඇති එම විද්වත් පිරිස තුළ කිසියම් විශ්වාසයක් ඇතිකිරීමට නාමල් ඇමැතිවරයා සමත් වී සිටින බව පෙනෙන්නට තිබේ. ක්‍රීඩාවෙන් සහ වෙනත් අංශවලින් ඉහළටම ගොස් සිටින 15 දෙනකු තෝරාගැනීමට නාමල්ට හැකි වී ඇත්තේ එබැවිනි. 

ජාතික ක්‍රීඩා සභාවට පත් කරනු ලැබ සිටින 15 දෙනා මෙසේය.

මහේල ජයවර්ධන (සභාපති), ජූලියන් බෝලිං, කුමාර සංගක්කාර, ඩිලන්ත මාලගමුව, කස්තුරි චෙල්ලරාජා විල්සන්, සුපුන් වීරසිංහ, රොහාන් ප්‍රනාන්දු, රුවන් කෑරගල, සංජීව වික්‍රමනායක, මේජර් ජනරාල් රාජිත අම්පෙමොහොට්ටි, හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, රොවිනා සමරසිංහ, යස්වන්ත් මුත්තෙට්ටුවේගම, ඒ.ජේ.එස්.එස්. එදිරිසූරිය (කමිටු සාමාජිකයෝ), තියුමි අබේසිංහ (ලේකම්)