2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

ගෝඨාභයගේ “සී.සී.ටී.වී.”

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 317

අලුත් ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම පසුගිය 19 වැනිදා - බදාදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ කිසිදු උත්සවශ්‍රියකින් තොරවය. වියදම් දැරීමද සිදුවූයේ සීමාසහිතවය. ඊළඟට 20 වැනිදා බ්‍රහස්පතින්දා නව පාර්ලිමේන්තුව රැස්විය. එහි වෙනදා තිබූ රාජ්‍ය උත්සව සිරියාවක් තිබුණේ නැත. අශ්වාරෝහක ආචාර පෙළපාළි, පෙරහර, පිළිගැනීම් මේ කිසිවක් නොතිබිණි. එහෙත් කිසිම අඩුපාඩුවකින් තොරව සියල්ල යථා පරිදි සිදුවිය. වෙනසක් තිබුණේ නම් ඒ කවදාවත් සිදු නොවුණු ලෙසට එක් මන්ත්‍රීවරයකු බෝට්ටුවකින් දියවන්නාව තරණය කොට පාර්ලිමේන්තුවට පිවිසීම පමණි.

ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් ජයගෙන රටේ නායකයා වශයෙන් වැඩ බාරගැනීම සිදුවූයේද මෙවැනිම චාම් එහෙත් අභිමානවත් ආකාරයකටය. වඩාත්ම කැපී පෙනුණේ අධික ලෙස මුදල් වැයකරමින් සිදුකළ හැකි රාජ්‍ය උත්සව ඉතාම අඩු වියදමකින් සිදුකිරීමත් රටේ පොදු මහජනතාවට අවම බාධාවක් ගෙනදෙමින් කටයුතු සිදුකිරීමත්ය. පුහු ආටෝපවලින් තොර පාලන ක්‍රමයකට මුලසිටම රට හුරු කරවීම ජනාධිපතිවරයාගේ අරමුණක් බව පැහැදිලිය. සියලු මැති ඇමැතිවරුන් විසින්ද එම ක්‍රමය අනුගමනය කරනු මිස වෙනත් මඟක් නැත. ඒ බව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කළ කථාවේ යටිපෙළෙහි පැහැදිලිව සඳහන්ව තිබිණි.

අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමේදීද ගෝඨාභය ලකුණ ඉස්මතුව පෙනුණේය. අග්‍රාමාත්‍යවරයාගේද උපදෙස් මත සකස් වී ඇති ඇමැති මණ්ඩලයේ බහුතරයක් වන පත්වීම් හොඳ තේරීම් බවට විවාදයක් නැත. එහෙත් පත්වීම් කිහිපයක් සම්බන්ධයෙන් රටේ ජනතාවගේ එතරම් ප්‍රසාදයක් නැත. ප්‍රසාදයක් නැතත් මීට පෙර ආණ්ඩු කාල තුළදී සිදුකරන ලද වැරදි ඔවුන් අතින් මෙවර සිදුවීමට ඇත්තේ සුළු ඉඩකඩක් පමණක් වන බවට ඔවුන් තුළ විශ්වාසයක් පවතී. අමාත්‍යංශවලට පත්කරනු ලැබ සිටින ලේකම්වරුන් හේතුවෙන් එම විශ්වාසය ගොඩනැංවී තිබේ.

අමාත්‍යංශ ලේකම්වරුන් ඇමැතිවරුන් විසින් නැටවෙන රෑකඩ බවට පත්වීමට තිබෙන අවකාශය ඉතා අඩු බව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුව පෙනී යයි. පසුගිය කාලයේ බොහොමයක් ආණ්ඩුවල ඇමැතිවරුන්ට ඔවුන්ට අවශ්‍ය කරන ලේකම්වරුන් පත්කර ගැනීමට ඉඩ තිබුණි. ඒ හේතුවෙන්ම අමාරුවේ වැටුණු ලේකම්වරැද සිටියහ. අමාත්‍යංශයේ විෂයට අදාළව තීන්දු ගැනීමේදී අදාළ අමාත්‍යවරයා හරිහැටි දැනුවත් කර සියලු මූල්‍ය කටයුතු විධිමත් ආකාරයට සිදුවන බවට වගබලා ගත යුත්තේ අමාත්‍යංශ ලේකම්වරයාය. එහෙත් අතීතයේදී බොහෝ විට සිදුවී තිබුණේ ඇමැතිවරයා පවසන ආකාරයට වැඩකරන ලේකම්වරුන් පිරිසක් බිහිවීමය. ඇතැම් අතිශය දූෂිත ගනුදෙනුවලදී අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් අමාරැවේ වැටී ඇමැතිවරුන් ගැලවුණේ එවැනි ආකාරයට වැඩකටයුතු සිදුවීමෙනි. එහෙත් එම ක්‍රියාවලියට තවදුරටත් ඉඩක් නොලැබෙනු ඇති බව පෙනී යයි.

කෙසේ වුවද බැලූ බැල්මට රාජපක්ෂවරුන්ට රාජ්‍ය පාලනයේ වැඩිබරක් හිමිව තිබෙන බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. ජනාධිපති, අගමැති සහ වාරිමාර්ග ඇමැති ධුරය උසුලන්නෝ රාජපක්ෂ සහෝදරයෝ වෙති. පාර්ලිමේන්තුවේ නොසිටියද අනෙක් සහෝදරයා වන බැසිල්ට රටේ ආර්ථික සංවර්ධනයේ තීරණාත්මක බලපෑමක් කළ හැකි කාර්ය සාධන බලකායක ප්‍රධානියාය. ඊළඟට අග්‍රාමාත්‍ය පුත් නාමල් කැබිනට් ඇමැතිවරයෙකි. වාර්මාර්ග ඇමැති චමල් රාජපක්ෂයේ පුත් ශශීන්ද්‍ර රාජ්‍ය ඇමැතිවරයෙකි. රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු වන නිපුණ රාජපක්ෂ මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටුවේ සභාපතිවරයා වෙයි. මේ අනුව රටේ දිස්ත්‍රික්ක පහක රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ බල පිරමීඩයේ ඉදිරියෙන්ම සිටිති. මේ ආකාරයට එක් පවුලකට රටේ පාලන බලය කේන්ද්‍රගතව තිබෙන වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොතිබෙන්නට පුළුවන.

එහෙත් වඩාත් වැදගත් සාධකය රාජපක්ෂවරුන් සියලුදෙනාම (බැසිල් හැර) බලයට පත්ව සිටින්නේ මහජනතාවගේ ඡන්දයෙන් වීමය. මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් බරපතළ විවේචන ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් වුණත් රටේ මැතිවරණ ක්‍රියාදාමය නිදහස් සහ සාධාරණ අන්දමට සිදුවීමටත් මැතිවරණ දූෂණ බින්දුවක මට්ටමට ගෙනඒමටත් කොමිසම මගින් දියත් කළ වැඩපිළිවෙළ හේතු විය. එවැනි නිදහස්, සාධාරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක මහජන ඡන්දයෙන් තේරී පත්වීමට රාජපක්ෂවරුන්ට හැකිවීම කැපී පෙනෙන ලක්ෂණයක් වී තිබේ. දේශපාලන වශයෙන් මෙතරම් බලවත් සහ මහජන ආකර්ෂණය දිනාගත් වෙනත් පවුලක් වත්මන් ලෝකය තුළ දැකගත නොහැකිය. මෙවන් බලයක් උරැම වීම නිසාම රට ගොඩගැනීමේ කාර්යභාරය විශාල වගකීමක්ද ඔවුන් මත නිතැතින්ම පැවරෙයි.

රට ගොඩගැනීම වශයෙන් සඳහන් වන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින බරපතළ ආර්ථික කඩාවැටීමට සාර්ථකව මුහුණදිය හැකි වැඩපිළිවෙළක් සැකසීමය. කාලයක් තිස්සේ කඩා වැටෙමින් තිබූ ආර්ථිකයට කොවිඩ් 19 බලපෑමෙන් එල්ල වී ඇත්තේ මරු පහරකි. රටේ ආදායම අඩු වුණා පමණක් නොව රටේ ජනතාවගේ රැකියා අවස්ථාද ගිලිහී ගොස් තිබේ. ස්වයංරැකියා සහ සංචාරක ව්‍යාපාරය ඇනහිටීමෙන් රටේ ජනතාව අත මුදල් ගැවසීම බෙහෙවින් පහළ ගොස් තිබේ. ඒ සමඟ ශ්‍රී ලංකාව ඉදිරියේදී ගෙවීමට තිබෙන ණය කන්දරාවේ බලපෑමද තිබේ.

මෙරට එක් ආර්ථික විශ්ලේෂකයකුට අනුව ඉදිරි මාස 12ක කාලය තුළදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.6ක් වශයෙන් දැක්වෙයි. දැනට රටේ පවතින විදේශ සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 6.6ක් පමණි. ශ්‍රී ලංකාවට දැනට ඉතිරිව තිබෙන එකම විකල්පය තවදුරටත් විදෙස් ණය ගැනීම බවද පවසන ඔහු එය රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් නරක අතට හරවනු ඇති බවද කියයි. පසුගිය 2019 වසර අවසන් වනවිට ඩොලර් බිලියන 56ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය විසින් විදෙස් මූලාශ්‍රවලින් ලබාගෙන ඇති තත්ත්වයක් තුළ මෙය කොතරම් අසීරු තත්ත්වයක්ද යන්න වටහාගැනීම අමාරු නැත.

ආර්ථිකය කෙසේ හෝ ගොඩගැනීමේ මාර්ගයක් සොයාගැනීමට නම් මුලින්ම කළ යුත්තේ රට තුළ වියදම් හැකි තරමින් කපා දැමීමය. රටේ ජනතාවටද මෙහිදී විශාල කැප කිරීම් සිදුකිරීමට බලකෙරෙනු ඇත්තේ ඉදිරියේදී බදු වැඩිකිරීම් සිදුවිය හැකි බැවිනි. එහෙත් වියදම් කැපීම මුලින්ම කළ යුත්තේ ආණ්ඩුවයි. එය එසේ විය යුතු බව ජනාධිපතිවරයා මුලසිටම පෙන්වා දී තිබේ. අලුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ද කැපකිරීම්වලට සූදානමින් සිටීම අවශ්‍යය. අමාත්‍යාංශවලට සහ ආයතනවලට අතිරික්ත කාර්ය මණ්ඩල බඳවා නොගත යුතු බවට ජනාධිපතිවරයා තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරන්න ඇත්තේ එය මග පෙන්වීමක් වශයෙන් විය හැකිය. නෑකම්වලට, මිතුරුකම්වලට සහ පන්දම් ඇල්ලුවාට පත්වීම් නොදිය යුතු බවටත් ඉලක්ක ඉටුකර නොගත්තොත් තනතුරු වෙනස් විය හැකි බවටත් ජනාධිපතිවරයා කළ සඳහනද එයටම අදාළ බව පැහැදිලිය.

කෙසේ වුවද නව රජයේ පළමු කැබිනට් රැස්වීමේදී ඉදිරිපත්ව තිබූ කැබිනට් සංදේශ අතුරින් මූලික වී තිබුණේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමේ සංදේශයයි. එසේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කිරීමටද කැබිනට් අනුමැතිය ලැබිණි. දැනගන්නට ඇත්තේ ඉදිරි සති අටක කාලය තුළදී 19 අහෝසි වී 20 බලාත්මක වනු ඇති බවය. මේ සංශෝධනය මෙතරම් ඉක්මණින් ගෙන ඒමට රජය තීරණය කර ඇත්තේ පසුගිය ආණ්ඩුව මගින් හඳුන්වා දුන් 19 වැනි සංශෝධනයෙන් ජාතික ආරක්ෂාවට, ආර්ථික සංවර්ධනයට මෙන්ම රටේ සාමාන්‍ය ජන ජීවිතයටද දැඩි ලෙස බලපෑම් කර තිබෙන බැවින් යැයි ද සඳහන්ය. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර තිබීමත් මෙවර මහා මැතිවරණයේදී ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් හිමිවීමත් හේතුවෙන් ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව රජයේ ස්ථාවරය වී තිබේ.
මෙම ජාතික ඡන්ද දෙකේදීම 19 ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවට ආණ්ඩුව ජනතාව හමුවේ කිව්වේය. මේ නිසා එය සංශෝධනය කිරීම විය යුතුය. ඊට ජනතාවගේ අනුමැතිය හිමිව තිබේ. එහෙත් එම සංශෝධනය කරන බව පමණක් නොව රටේ ජනතාවට රජය ලබාදුන් වැදගත් පොරොන්දු තවත් ගණනාවක්ම තිබේ. ජනතාව ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අවධානය යොමුකරනු ඇති බවද අමතක නොකළ යුතුය.

තුනෙන් දෙකක බලයක් ලැබීම යනු මෙරට ආණ්ඩුවකට ලබාගත හැකි ඉහළම ජයග්‍රහණය වෙයි. මීට පෙර මෙවැනි බලයක් ලැබූ ආණ්ඩු තම ප්‍රමුඛත්ව පටලවා ගැනීම නිසා අමාරුවේ වැටුණේය. 70 දී සිරිමාවෝ මැතිනියගේ සමගි පෙරමුණු රජයට තුනෙන් දෙකක් ලැබුණු අතර වසර 5ක් යනවිට මහමැතිවරණයකට යාමට එම රජය බියවී සිටියේය. ඉන් වසර දෙකකට පසුව 77දී පැවැති මහ මැතිවරණයෙන් එම රජය අන්ත ලෙස පරාජය විය. එහිදී හයෙන් පහක ජයක් ලැබූ ජේ.ආර්.ගේ රජය මහ මැතිවරණය වෙනුවට ජනමත විචාරණයක් තබා කාලය දික්කරගත් අතර එම පාලනය අවසන් වූයේ රටේ දොකොණම යුද ගිනි වලින් ගිනියම් වී තිබියදීය. ඒ අතීතයයි.

මෑත කාලයේදී මෙවැනි බලයක් ලැබුණේ 2010දී මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවටය. එහිදී ආසන 144ක් ලබා ඉතා පහසුවෙන් වෙනත් පක්ෂ මන්ත්‍රීන් එකතුකරගෙන තුනෙන් දෙකක් ලබා 17 අහෝසි කර 18 වැනි සංශෝධනය ගෙනාවේය. එම ආණ්ඩුවට වසර 05ක් ඉක්ම යාමට පෙර බලය අහිමි විය. තුනෙන් දෙකක බලයක් ලැබීම යනු සදාකාලිකව බලයේ රැඳී සිටීමට ලැබෙන සහතිකයක් නොවන බවට වෙනත් උදාහරණයක් අවශ්‍ය නැත.

  ශශීන්ද්‍ර
ඡායාරූපය - ඉන්දික හඳුවල

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00