2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

යූ.එන්.පියේ නොනිමෙන අර්බුදය

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

යූ.එන්.පියේ අර්බුදය දැන් තවත් පැත්තකට හැරී ඇවිලෙමින් තිබේ. හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් යූ.එන්.පියේ නායකත්වයට තමා සුදුසු යැයි කළ ප්‍රකාශය එයට හේතු විය.

ඉතිහාසයේ දේශපාලනික වශයෙන් ලොකුම පරාජය ලද යූ.එන්.පිය යළිත් නායකත්ව අර්බුදයේ පැටලී තිබේ. මැතිවරණ ප්‍රතිඵල පිටවීමෙන් පසුව පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවට නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පැය 48ක් යාමටත් පෙර වෙනස් විය. හේතුව වශයෙන් දැක්වුණේ පක්ෂ නායකත්වය සඳහා ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අතර තරගයක් ඇතිවීම බවය. රවි කරුණානායක, දයා ගමගේ, අකිල විරාජ් සහ වජිර අබේවර්ධනගේ නම් ඒ සම්බන්ධයෙන් සඳහන් විය. පසුව රුවන් විජයවර්ධන මහතා ද පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ නම් නායකත්වය බාරගැනීමට සූදානම් බවට ප්‍රකාශයක් කළේය. කරු ජයසූරිය මහතාගේ ප්‍රකාශය එළියට ආවේ ඉන් පසුවය.

පෙර සතියේ බදාදා (19) සිරිකොතදී තීනියාවල පාලිත සහ බෝපිටියේ ධම්මිස්සර ප්‍රමුඛ හිමිවරැන් කිහිප දෙනකු හදිසියේම රනිල් වික්‍රමසිංහ මහතා හමුවී හිටපු කතානායක කරු ජයසූරිය මහතා වහාම පක්ෂයේ නායකත්වයට පත් කරන්නැයි දැනුම් දුන්හ. තීනියාවල පාලිත හිමියන් යහපාලන ආණ්ඩුව කාලයේ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වශයෙන් පත් කරනු ලැබ සිටි අතර එම පත්වීම සිදුකර තිබුණේ එවකට මුදල් ඇමැතිවරයාව සිටි රවි කරැණානායක මහතාය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුණේ මේ කාරණය කෘත්‍යාධිකාරී කමිටුව මගින් තීරණය කළ යුතු බවය. කෙසේ වුවද පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට බාරදී තමන් නායකත්වයෙන් අස්වන බව සඳහන්ව තිබූ ලිපියක් පෙන්වා එයට අත්සන් තබන ලෙසට එම හිමිවරුන් ඉල්ලා සිටි බවද රනිල් වික්‍රමසිංහ මහතා එම ලිපිය විසිකර දමා ඉවතට ගිය බවද “සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබිණි.

ඉන්පසුව කරු ජයසූරිය මහතාට පක්ෂයේ සාමාජිකත්වය සහ කෘත්‍යාධිකාරී කමිටු සාමාජිකත්වය නැතිවීම හේතුවෙන් පක්ෂ නායකත්වය දැරීමට සුදුසුකම් නැතැයි නිවේදනයක් නිකුත් වූ අතර එයට ප්‍රතිචාර දක්වමින් කරු ජයසූරිය මහතා කියා තිබුණේ එම ප්‍රකාශය විහිළුවක් බවය. ජයසූරිය මහතාගේ මාධ්‍ය අංශය මගින් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ කරු ජයසූරිය පක්ෂ සාමාජිකත්වය ලබා සිටින බවය. පසුගිය මහ මැතිවරණයෙන් එජාපය අන්ත පරාජයක් ලැබීමෙන් පසුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට පැහැදිලි ප්‍රකාශයක් කළ බවද ඒ අනුව සමාජයේ විවිධ විවිධ පාර්ශ්ව වලින් පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යයට නායකත්වය දෙන ලෙසට කරු ජයසූරිය මහතාට ඉල්ලීම් ලැබුණු බවද එහි සඳහන් විය. ඒ මහතා එම වගකීම බාරගැනීමට සූදානම් යැයි දැනුම් දුන් පසුව විවිධ අභූත සහ හාස්‍යජනක චෝදනා එල්ල වූ බවද කරු පාර්ශ්වය කියයි.

එයට පිළිතුරු වශයෙන් සන්දිත් සමරසිංහ හිටපු මන්ත්‍රීගේ නමින් යූ.එන්.පිය තවත් නිවේදනයක් නිකුත් කළ අතර එහි සඳහන් වූයේ කරු ජයසූරිය මහතා පවසන සාමාජික කතාව බොරුවක් බවය. ඒ මහතා 2020 වසර සඳහා පක්ෂ සාමාජිකත්වය ලබාගෙන නැති බවද යාවජීව සාමාජිකත්වයක් පක්ෂයේ නැති බවද එම නිවේදනයේ සඳහන් විය. එයට ද මේ සිකුරාදා (28) කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය අංශය මගින් පිළිතුරක් ලබාදෙමින් නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි සඳහන් වූයේ හිටපු කතානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට පක්ෂයේ වර්තමාන විනාශයට වගකිවයුතු පුද්ගලයන් කිහිප දෙනකු විසින් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කරන බවය. කරු ජයසූරිය මහතා විසින් 2020 වසර සඳහා ලබාගෙන ඇති 0459 අංක දරණ රුපියල් 20 සාමාජික කාඩ්පතෙහි පිටපතක් සහ 749047 දරණ රුපියල් 1000 සාමාජික කාඩ්පතෙහි පිටපතක් ද මාධ්‍ය වෙත ඒ සමඟ නිකුත් කර තිබේ.

මේ අනුව පෙනී යන්නේ යූ.එන්.පියේ නායකත්ව අර්බුදය දැන්ම විසඳෙන පාටක් නැති බවය. එය යූ.එන්.පියේ සහ සජබ දෙපාර්ශ්වයේම සිටින පක්ෂ දෙක එක්ව කටයුතු කළ යුතු බව සිතන සියලු පාක්ෂිකයන්ගේ කනස්සල්ලට හේතු වී තිබෙන බව පැහැදිලිය.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00