2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

ව්‍යවස්ථාවේ ඇද ඇරීම

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි සංශෝධනය ගෙන ඒමට ආණ්ඩුව ප්‍රමුඛත්වය ලබාදී තිබේ. නව ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් ඒ සඳහා ආණ්ඩුව ලබාදී ඇති ප්‍රමුඛත්වය හොඳින් පෙන්නුම් කරයි.

19 අහෝසි කරමින් 20 ආදේශ කිරීම සති 08 කාලයක් තුළදී සිදුකිරීම ආණ්ඩුවේ බලාපොරොත්තුවය. එතරම් කෙටි කාලයක් තුළදී මේ කාර්යය සිදුකිරීම ප්‍රායෝගික නොවන බව දැන් පෙනෙන්නට තිබේ. ඒ බව පෙනී ගියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා 20 වැනි සංශෝධනය ගෙන ඒමට ගතවන කාලය පිළිබඳව කළ විමසීමේදීය. ඔහුගේ කැබිනට් සගයෙක් ඒ අවස්ථාවේදී පෙන්වා දී තිබුණේ එය සංකීර්ණ ක්‍රියාදාමයක් බවයි. සම කැබිනට් ප්‍රකාශකවරුන් වන කෙහෙළිය සහ උදය ඇමැතිවරුන් දෙදෙනාද දැරූ අදහස වී තිබුණේ ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව විස්තර කිසිවක් අධිකරණ අමාත්‍යවරයා විසින් අනාවරණය නොකළ බවය. අමාත්‍ය නිමල් සිරිපාල ද ප්‍රකාශ කර තිබුණේ මේ කාරණය ප්‍රමාද කළ නොහැකි බවත් ක්‍රියාදාමය දිගටම ගෙන යායුතු බවත්ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලිවම කියා සිටියේ 19 ව්‍යවස්ථාව වගන්ති කිහිපයක් හැර මුළුමනින්ම අහෝසි කෙරෙන බවය. තොරතුරු දැනගැනීමේ පනතට අදාළ සහ සෙසු කරුණු කිහිපයකට අදාළ වගන්ති පමණක් තබාගත යුතු බවට ඉඟියක්ද කෙරිණි.

අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා පෙන්වා දී තිබුණේ 19 ඉවත් කිරීම කාලයක් තිස්සේ පැවැති අවශ්‍යතාවක් බවය. එය සංශෝධනය කිරීම හෝ අලුත් වගන්ති ඇතුළු කිරීම ප්‍රමුඛත්වය ලැබිය යුතු කාර්යයන් බවද ඉන්පසුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම කළයුතු බවද ඔහු සඳහන් කර තිබිණි.

මුලින් සිදුකෙරෙන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිගේ ධුර කාල වසර 05කට සීමා කිරීමද, ජනාධිපති ධුරය දැමීමේ වාර ගණන 02කට සීමා කිරීමද වෙනස් නොකර දිගටම පවත්වාගෙන යා යුතු බවටද මතයක් පළ වී තිබේ. එසේම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමද අවශ්‍ය බව සඳහන් කර තිබේ.

ඉහත නිර්දේශ තුන සම්බන්ධයෙන් කටයුතු කිරීම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට පවරා තිබෙන අතර අධිකරණ ඇමැතිවරයා ඒ සඳහා උපදෙස් ලබාදීම සිදුකරනු ඇත. විශේෂඥ කමිටුව මගින් කෙටුම්පත් කරන අලුත් ව්‍යවස්ථාව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් සඳහා ඉදිරිපත් කිරීමෙන් පසුව එය ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් වෙනු ඇත.

යෝජිත නව ව්‍යවස්ථාවට ඉදිරිපත් වන යෝජනා අධ්‍යයනය සඳහා ඇමැතිවරුන් පස් දෙනකුගෙන් යුත් කමිටුවක්ද පත් කිරීමට පියවර ගනු ලැබූ අතර මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, අලි සබ්‍රි සහ උදය ගම්මන්පිල එහි සාමාජිකයෝ වෙති. ඔවුන් කැබිනට් මණ්ඩලයට නව ව්‍යවස්ථා යෝජනා සම්බන්ධයෙන් සිය නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.

ආණ්ඩුව මෙසේ ව්‍යවස්ථා සංශෝධනයට සූදානම් වනවිට විපක්ෂය එය තමන්ගේ දේශපාලන තුරුම්පුවක් බවට පත්කර ගැනීමට කැසකවමින් සිටියි. 19 මුළුමනින්ම අහෝසි කිරීමට කටයුතු කළහොත් එහි තිබෙන ජනතාවට සංවේදී කාරණා එම තුරුම්පු වශයෙන් භාවිත කිරීමට ඔවුන් සූදානම් වන බව පෙනෙන්නට තිබේ. 19 සංශෝධනයෙන් බලාත්මක කෙරුණු ස්වාධීන කොමිෂන් සභාද තොරතුරු දැන ගැනීමේ පනතද මහජනතාවගේ අයිතිවාසිකම් රැකදීම සඳහා ඇතුළත් කෙරුණු යෝජනා විය. එසේ වුවද ඒවා හඳුන්වා දුන් යහපාලන රජයේ ඇතැම් අත්තනෝමතික ක්‍රියාවන් සහ තීරණ ගැනීම් හේතුවෙන් ඒවායේ වැදගත්කම හෑල්ලු වී ගියේය.

මේ සඳහා හොඳම උදාහරණය මැතිවරණ කොමිසමය. එය ස්ථාපිත කිරීම මහජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය තහවුරු කිරීමට හේතුවුවද එහි සංයුතිය තිදෙනකුට පමණක් සීමා කිරීමත් ඝනපූරණයක් පිළිබඳ සඳහන් නොවීමත් ප්‍රබල අඩුපාඩුවකි. මේ හේතුවෙන් කොමිසම විසින් තීන්දුවක් ගැනීමේදී සාමාජිකයන් තිදෙනාම සිටිය යුතු විය. එසේම විවිධ දේශපාලන සබඳතා තිබෙන සහ දේශපාලන මතවාද වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ටද කොමිසමේ සාමාජික තනතුරු දැරීමට අවහිරයක් නොතිබීමද කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳව ප්‍රශ්න කිරීමට ඉඩක් තබා ඇත. ව්‍යවස්ථා සභාව හරහා ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් නම් කිරීමේදී සුදුසුම අයට තනතුරු නොලැබී ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ අයට තනතුරු හිමිවීම වැළැක්වීමට ක්‍රමවේදයක් නොතිබීමද සමහරුන් පෙන්වා දෙන අඩුපාඩුවකි. විගණන කොමිෂන් සභාවේ බලතලද සෑහෙන පමණකින් කප්පාදු කර තිබීමත් එවැනිම අඩුවකි.

මේ අඩුපාඩු සකස් කිරීම නව සංශෝධනය හරහා සිදුවන්නේ නම් එයට කිසිවකුටත් විරුද්ධ විය නොහැක. එසේ නොකර ස්වාධීන කොමිෂන් සභා මුළුමනින්ම අහෝසි කිරීම මහජනතාවගේ අයිතිවාසිකම් අහිමි කිරීමක් වශයෙන් සලකා සටනක් දියත් කිරීමට විපක්ෂයට මඟ පාදා දීමක් වනු ඇත. සමගි ජනවේගය පසුගිය බදාදා (26) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබුණේ ජනතා අයිතීන් තහවුරු කළ පළමු ව්‍යවස්ථා සංශෝධන වූ 19 අහෝසි කරමින් එම අයිතිය උදුරා ගැනීමට සැරසෙනවා නම් ජනතාව සමඟ එක්ව අරගලයක් දියත් කරන බවය. 19 ඉවත් කිරීම බැසිල් රාජපක්ෂගේ උවමනාව මත සිදුවන දෙයක් බවත් මෙය අමෙරිකානු පුරවැසියකු වෙනුවෙන් ලක්ෂ 210ක් වන ජනතාවගේ වරප්‍රසාද නැති කිරීමක් බවත් එහිදී ප්‍රකාශ විය.

කෙසේ වුවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නවක මන්ත්‍රීන් සඳහා පැවැති වැඩමුළුවේදී ප්‍රකාශ කර තිබුණේ ජනතාව දැවැන්ත ව්‍යවස්ථා වෙනසක් අපේක්ෂා කරන බවය. “1977 සිට මේ දක්වා අඩසියවසකට ආසන්න කාලයක් රට පාලනය කළ මේ ව්‍යවස්ථාව කාලීනව සංශෝධනය විය යුතුයි. අලුත් ව්‍යවස්ථාවෙන් ඉතිහාසය සිදුවූ වැරදි නිවැරදි කරගනු ඇතැයි ජනතාව තුළ බලාපොරොත්තුවක් තිබෙනවා. ජනතාව ඉල්ලා සිටින ව්‍යවස්ථාව හදන ක්‍රියාවලියේදී දේශපාලන පක්ෂ භේදයක් තියාගන්න එපා. මෙතෙක් තිබුණු ව්‍යවස්ථාවේ සාධනීය සියලු දේ අපි උරාගන්න ඕනෑ.” යැයිද අග්‍රාමාත්‍යවරයාගේ කතාවේ සඳහන් විය.

ව්‍යවස්ථාව සංශේධනය සඳහා රජය දැඩි තීන්දුවක පිහිටා කටයුතු කරන බව මෙයින් පැහැදිලි වෙයි. ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කාලසීමාව පැමිණෙන විට ජනතාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්නවලට විසඳුම් ද ලැබෙමින් තිබීම අවශ්‍ය වනු ඇත. විසඳුම් නැතත් රජය හරි පාරේ යන බවට හැඟීමක් සහ බලාපොරොත්තුවක් ජනතාව තුළ ගොඩනැංවී තිබිය යුතුය. එසේ නොවුණොත් ව්‍යවස්ථා සංශෝධනය රජයට දේශපාලන පාරා වළල්ලක් බවට පත්වීමටද ඉඩ තිබේ.

19 අහෝසි කිරීම උතුරේ දෙමළ සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂවලටද ගැටලුවක් වී තිබෙන බව පැහැදිලිය. සම්පන්දන්ලා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවට ගොස් මෙරට දෙමළ ජාතීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නැයි ඉල්ලීමක්ද කර තිබිණි. එහිදී මහ කොමසාරිස්වරයා කියා තිබුණේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව පෙනී සිටින බවය. මේ ගැටලුව පිළිබඳව කරුණු සොයාබැලීම සඳහා ඉන්දියාව විශේෂ නියෝජිතයකු නම්කරනු ඇති බවද දැනගන්නට තිබේ.

ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමේදී තුනෙන් දෙකේ බලය රජයට ශක්තියක් බව සැබෑය. එහෙත් ඒ මත පිහිටා තීරණ ගැනීමේදී ජාත්‍යන්තරය අමනාප කර ගැනීමෙන් වැළකී සිටීම යහපත් වනු ඇත. ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රටවලට සමීප මිත්‍රයකු බව බටහිර සහ යුරෝපය ප්‍රමුඛ බලවත් රටවල් දැන සිටියි. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේදී රටේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොවීය. මේ නිසා අනුමාන කළ හැක්කේ 2015ට පෙර රාජපක්ෂ පාලනය කාලයේ තිබූ විදේශ ප්‍රතිපත්තියට සමානව ක්‍රියාකරනු ඇති බවය. එහෙත් එම කාලය තුළදී වරද්දාගත් තැන් පිළිබඳව පැහැදිලි අවබෝධයකින් කටයුතු කිරීම වැදගත් වෙයි. රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ වලදී බටහිර සහ යුරෝපයද වැදගත් වන බැවිනි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් නොවී ඉදිරි ගමනක යෙදීමට කිසිදු අවස්ථාවක් නැති බව යථාර්ථයයි. එසේ ශක්තිමත් වීමට අපනයනය වැඩි කොට වැඩි වැඩියෙන් ඩොලර් උපයාගත යුතු වෙයි. එහිදී ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වනු ඇත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිර සහ යුරෝපයේ වෙළෙඳපොළයි. අපගේ අපනයන ආදායමෙන් ප්‍රධානම කොටස රැඳී ඇත්තේ එම වෙළෙඳපොළ තුළය. එහි වටිනාකම අමතක කර කටයුතු කිරීම ප්‍රායෝගික නොවනු ඇත.

රටේ පොදු මහජනතාව රජයට තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ රජය කෙරෙහි දැඩි විශ්වාසයක් තබමින් බව පැහැදිලිය. එම විශ්වාසයට ප්‍රබලම හේතුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් පසුව ඔහු විසින් ගෙනගිය පාලන රටාවය. එම රටාව රටේ ජනතාවගේ විශ්වාසය දැඩිව ආකර්ෂණය කරගෙන තිබේ. මේ ආකර්ෂණය සහ විශ්වාසය අතර හොඳ සමබරතාවක් පවත්වා ගැනීමේ වගකීම ඇත්තේ ආණ්ඩුව අතේමය.

- ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00