ශ්‍රිලනිප නායක, හිටපු ජනපති, වර්තමානයේ පොළොන්නරැවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පොළොන්නරැවේ රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමැතිවරයා අතර පවතින විරසකය රටපුරා ප්‍රසිද්ධියට පත්වූයේ පූර්ව මැතිවරණ සමයේදීය. ප්රචාරක රැලිවලදී සහ මාධ්‍ය සාකච්ඡාවලදී රොෂාන් රණසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට දැඩිව පහර දුන්නේය. වරක් දෙවරක් සිරිසේන මහතාද රොෂාන්ට පෙරළා වාග් ප්‍රහාර එල්ල කළේය.
මේ තත්ත්වය කොතරම් දුරදිග ගියාදැයි කිවහොත් පොළොන්නරුවේ ජනහමුවලට සහභාගි වීමට ගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දිවා භෝජනය ගත් අවස්ථාවේදී මේ දෙදෙනා දෙපසින් වාඩිකරවා ගත්තේය. දෙදෙනා සමඟම සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා රොෂාන්ට කිව්වේ හිටපු ජනපතිවරයා අපහසුවට පත්කරන ආකාරයට කටයුතු නොකරන ලෙසටය. එහිදී ඔහු ජනාධිපතිවරයා ඉදිරිපිටදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ආචාර සමාචාර කොට කතාබහ කරමින් ඔහු වාහනයට ඇරලවීම සඳහාද ගියේය.
එහෙත් ඊට පසුදිනම සිට යළිත් රොෂාන් රණසිංහ සුපුරුදු පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතාට දේශපාලන වේදිකාවේදී දැඩිව පහර දුන්නේය. මැතිවරණයේ ප්‍රතිඵල එනවිට මෛත්‍රීපාල මහතා පළමුවැනියා වී රොෂාන් රණසිංහ මහතා දෙවැනි තැනට තල්ලු වී සිටියේය. රොෂාන් රණසිංහ මහතා බලාපොරොත්තුව සිටි කැබිනට් ඇමැති ධුරයක්ද ඔහුට හිමි නොවීය. එහෙත් රාජ්‍ය ඇමැති පදවියකින් ඔහු පිදුම් ලද්දේය. නමුත් මෛත්‍රීපාල මහතාට තවමත් තනතුරක් ලැබී නැත.
මෙසේ කලක් විරසකව මුහුණට මුහුණ නොබලා සිටි මේ දෙදෙනා මෙසේ එක ළඟින් අසුන්ගෙන සතුටු සාමීචියේ යෙදී සිටියේ පසුගිය සිකුරාදා (04) පෙරවරුවේ පොළොන්නරුවේ ඇතුමල්පිටියේ පැවැති උත්සවයකදීය. මෛත්‍රීපාල මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද වැඩිහිටි නිවාසය විවෘත කිරීම උත්සවයට නිමිත්ත වී තිබිණි. මේ කතාබහ අතරතුරදී මැතිවරණයට පෙර සිදුකරගත් පහරදී ගැනීම් ගැනත් කතා වෙන්නට ඇතැයි බලා සිටි අයට සිතුණා නම් ඒ ගැන පුදුම විය යුතු නැත.