2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

පළාත් සභා වෙනුවට රුහුණු - මායා - පිහිටි! අගමැතිගේ අලුත් අදහසක්

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 245

20 වැනි සංශෝධනය බලාත්මක වීමෙන් පසුව අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කාර්යයට රජයේ දැඩි අවධානයක් යොමුවනු ඇත. මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන කටයුතු ආණ්ඩුවේ නීති විශාරදයන් පිරිසක් විසින් දැනටම ආරම්භ කර තිබේ. මේ ක්‍රියාදාමය තුළදී 13 වැනි සංශෝධනයේ අනාගතය කෙසේ වනු ඇතිදැයි බොහෝදෙනා විමසති. පළාත් සභා නිර්මාණය වූයේ 13 සංශෝධනයේ ප්‍රතිඵලයක් වශයෙනි.

ආණ්ඩුවේම එක් පාර්ශ්වයක් පළාත් සභා ක්‍රමයට විරෝධය දක්වන අතර එය අහෝසි කර දැමීම අරමුණු කරගෙන සිටී. එහෙත් තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ එම ක්‍රමය පවත්වාගෙන යා යුතු බවය. ආණ්ඩුවේ ඊළඟ නායකයන් බිහි කිරීමට අඩිතාලම වැටෙන්නේ පළාත් සභා ක්‍රමය තුළින් බව එම පිරිසේ විශ්වාසයයි.

මේ අතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පළාත් සභා ක්‍රමයට වෙනම විකල්පයක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අතීතයේදී ක්‍රියාත්මක වූ රුහුණු, මායා සහ පිහිටි ඓතිහාසික රාජධානි තිබූ පළාත්වල සීමා ලකුණු පැවැති ආකාරයෙන් යළි පළාත් ඇති කිරීමය. අග්‍රාමාත්‍යවරයා මේ වනවිටද එම අදහස ඉදිරියට ගනිමින් සිටී. ශ්‍රී ලංකාව යළි තුන් සිංහලේ වීම මේ අදහසේ ඉලක්කය වනු ඇත.

- ඩේලි මිරර්

පාර අයිනේ වොයිස් කට්: ගම්මන්පිල ඇමැතිගෙන් උත්තරයක්

කැබිනට් රැස්වීම් අවසන් වූ වහාම පිටතට පැමිණෙන ඇමැතිවරුන්ගෙන් මාධ්‍යවේදීන් විසින් පාර අයිනේ සිට ප්‍රශ්න විමසීම නවත්වන්නේ නම් හොඳ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. එසේ ප්‍රශ්න විමසීම නවත්වන බවට මාධ්‍යවේදීන්ම කලින් ලබාදුන් සහතිකයට ගරු කරන්නැයි ඇමැතිවරයා මාධ්‍යවේදීන්ට සිහිපත් කළේය.

ඉකුත් සතියේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී එක් මාධ්‍යවේදියකු විසින් මේ ආකාරයට කැබිනට් මාධ්‍ය සාකච්ඡාව හරහා කරැණු දැක්වීම ප්‍රශංසාවට ලක්කරමින් කතා කළ අවස්ථාවේදී ඇමැතිවරයා එසේ පැවසීය.

ඊට පෙර පාර අයිනේ සිට වොයිස් කට් ලබාදෙමින් කරුණු දැක්වීම සිදු නොකරන්නැයි ඇමැතිවරුන්ගෙන් මාධ්‍ය මගින් ඉල්ලීමක් කර තිබිණි. කැබිනට් රැස්වීම පිළිබඳ විවිධ අදහස් පළවීම එම ඉල්ලීම සිදු කිරීමට හේතු විය.

ගම්මන්පිල ඇමැතිවරයා ප්‍රකාශ කළේ රජයේ පාර්ශ්වයෙන් එම පොරොන්දුව ඉටු කිරීමට ක්‍රියා කළත් මාධ්‍යවේදීන් අතින් එම පොරොන්දුව ඉටු නොවූ බවය. ඔහු සඳහන් කළේ මයික්‍රොෆෝන් සහ රෙකෝඩර් අතින් ගත් වාර්තාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ ඇමැතිවරුන්ගෙන් වොයිස්කට් ලබාගැනීමට රැඳී සිටින බවය.

ඇමැතිවරයා කියා සිටියේ කැබිනට් රැස්වීමේදී සිදු වූ දේ දැනගැනීම සඳහා මාධ්‍ය මගින් එක් ඇමැතිවරයකු දිගටම වටකර ගන්නා බවය. එහෙත් කැබිනට් ප්‍රකාශකවරුන්ගෙන් ලබාගැනීමට හැකි එකම පිළිතුර “කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාව සිදුවනතුරු බලා සිටින්න” යන්න පමණක් බවත් ඔහු කීය. “ඉතින් දැන් මාධ්‍යවේදීන්ගේ අතේ තමයි තිබෙන්නේ පාර අයිනෙ ඉඳගෙන වොයිස්කට් ලබාගැනීමෙන් වළකින එක” යැයිද ඔහු කීය.

- සන්ඩේ ටයිම්ස්

20 ගැන මත පළකිරීම: පොහොට්ටු මන්ත්‍රීන්ට තහංචියක්

20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කරමින් සිටී. විපක්ෂයේ පක්ෂ සියල්ලම එම සංශෝධනයට එකඟ නොවන බවත් පාර්ලිමේන්තුව තුළදී එය පරාජය කිරීමට කටයුතු කරන බවත් පවසයි. ඇතැම් දේශපාලන පක්ෂ මේ වනවිටද තම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ. 

මේ අතර ආණ්ඩුවේ පක්ෂ ඇතුළේද අදහස් විවිධ බවට මත පළවෙමින් තිබේ. එහි හවුල්කාර පක්ෂවල නායකයෝ 20 සංශෝධනය තුළ අඩංගු යම් යම් වගන්ති කෙරෙහි විරෝධය දක්වන බවට ඇඟවෙන ප්‍රකාශ පළකරමින් සිටිති. ආණ්ඩුවේ ප්‍රධානීන් ප්‍රකාශ කරන්නේ 20 සංශෝධනය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගැනීම තමන්ට කිසිම ආකාරයකින් ගැටලුවක් නොවන බවය. තුනෙන් දෙකකටත් වඩා මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහාය තමන්ට හිමිවන බවද ආණ්ඩුවේ මැති ඇමැතිවරු කියති.

කෙසේ වුවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) මන්ත්‍රීවරුන් 20 වැනි සංශෝධනයට එරෙහිව පෞද්ගලික මත ප්‍රකාශ කිරීමෙන් වළක්වා තිබේ. ඇතැම් මන්ත්‍රීවරුන් නොනිල මට්ටමින් ඇතැම් වගන්ති විවේචනයට ලක්කිරීම එයට හේතුව වශයෙන් සඳහන් වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට (හවුල්කාර පක්ෂවලට හැර) පසුගියදා ලියුමක් යවනු ලැබීය. එහි සඳහන් වූයේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තමන්ට ගැටලු පවතින්නේ නම් ඒ සම්බන්ධව ප්‍රසිද්ධියේ මත පළකිරීමෙන් වැළකිය යුතු බවත් තම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් තුළදී එම ගැටලු සාකච්ඡා කළ යුතු බවත්ය. ඒ හැර පිටතදී සංශෝධනයට එරෙහිව මත පළකිරීම පක්ෂයේ විනය නීති උල්ලංඝනය කිරීමක් වශයෙන් සලකන බවද එම ලිපිය මගින් මන්ත්‍රීවරැන්ට දැනුම් දී තිබේ.