කඩපොළට ගොස් වෙළෙන්ඳාගෙන් සහල් මිල ගණන් ඇසූවිට ඔහු කියන මිල ගණන් අසන අපට දැනෙන්නේ එම මුදලාලිට දෙවියන්ගේ හාල් කැවිලා කියාය. නැත. ඔහුට එහෙම සිදුවී නැත. හැබෑවටම සිදුවී ඇත්තේ මිල පාලනයට යටත් කර ඇති කැකුළු සහල් පමණක් රුපියල් 98ට තිබියදී සෙසු සියලු සහල් වර්ග මිල ගණන් යමරෙට ඉහළ නැග තිබීමය. (කැකුළු සහල් ඇත්තේද සුළු වශයෙනි. සමහර වෙළෙඳුන් ඒවා විකුණන්නේද රැපියල් 100ට වැඩියෙනි.) මේ නිසා සහල් මිල ගණන අසන විට දෙවියන් මතක්වීම ගැන පුදුම නොවිය යුතුය.
සහල් මිල පමණක් නොවේ. බතක් උයාගෙන පොල් සම්බෝලයක් හදාගත් විට අප බොහෝ දෙනකුට එය සරල රසවත් ආහාරයකි. එහෙත් පොල් සම්බෝලයක් හදාගන්න නම් පොල් මිලට ගත යුතුය. පොල්ගෙඩියක සිල්ලර මිල දැන් රුපියල් 90ත් 100ත් අතරය. ඒ අනුව දැන් පොල් සම්බෝලයි බතුයි තවදුරටත් සරල ආහාරයක් නොවේ. මේ ආහාරවේලටම හරියටම ෆිට්වෙන තව අයිටම් එකක් වන්නේ කරවල බැදුමකි. එහෙත් කරවල මිල ගණන් සහ එයට එක්කරගත යුතු ලූනු, තුනපහ, මිරිස්වලද මිල දැන් ඉහළ ගොස් ඇති මට්ටම අනුව කරවල බැදුමක් යනු මිල අධික ආහාරයක් බවට පත්ව තිබේ. අපි මේ ආහාරවේලට එළවළු, මස්, මාළු හෝ බිත්තර එකතු කිරීමක් ගැන කතා නොකරමු. ඒවායේ මිල ගණන් එතරම් ඉහළය.
එළවළු මිල ගණන් සුපර් මාකට්වල සිට සතිපොළ දක්වා ඉහළ යමින් පවතී. සුපර් මාකට්වලට පුරුදුව සිටින පාරිභෝගිකයන්ද රට පුරා ඉතා විශාල පිරිසක් සිටින බැවින් ඒවායේ මිල ගණන් වැඩිවීම් කෙරෙහිද අපට සැලකිලිමත් වීමට සිදුවෙයි. දැන් සති කිහිපයක සිට සතියෙන් සතිය ඒවායේ අලෙවි වන එළවළු සහ මාළුවල මිල ගණන් ඉහළ යයි. විවිධ වෙළෙඳ උපක්‍රම හරහා තම අලෙවිය වැඩිකර ගැනීමට ඔවුන් කටයුතු කිරීමේදී කෘත්‍රිම මිල පහළ යාමක් පෙන්වූවත් සැබෑව නම් ඒවායේ මිල අධික බවය. එසේම සාමාන්‍ය කඩපොළේ සෙසු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ද ඉහළ යමින් පවතී.
ඉහළ යන ජීවන වියදම රටේ ජනතාවට දැඩි බලපෑමක් සිදුකර තිබෙන බව හැම අතින්ම අසන්නට ලැබෙයි. පසුගිය සතියේ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණේ වෙළෙඳපොළේ අලෙවි වන බත් පැකට් එකක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිදුවන බවය. එම ප්‍රකාශයේ පරිදි බත් පැකට්වල මිල ගණන් සංගමයට පාලනය කළ හැකිදැයි අපි නොදනිමු. එහෙත් බත් පැකට් පමණක් නොව උදේ - දිවා - රාත්‍රී සියලු ආහාරවේල් සඳහා වෙළෙඳපොළේ අලෙවි වන හැම ආහාර පැකට්ටුවකම පාහේ මිල වැඩි වී තිබේ. කොටින්ම මිල අඩු ආහාරයක් වශයෙන් සැලකෙන තෝසේ සහ වඩේ මිල ඉහළ ගොස් තිබේ. මෙය සීමිත ආදායමක් සහිත පොදු මහජනතාව මහත් පීඩාවට පත් කරන්නකි.
ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම පිළිබඳව බලධාරීන්ට විවිධ අර්ථකථන සැපයිය හැක. එහෙත් එම කරුණු දැක්වීම් මගින් මිල ඉහළ යාම නිසා ජනතාව මුහුණදෙන ගැටලු විසඳෙන්නේ නැත. මාසික වැටුප් ලබන සියලු දෙනාගේ ආදායම් කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් තවදුරටත් සීමා වී පවතින මේ කාලය තුළ සුළු හෝ ජීවන බර වැඩිවීමක් පවා ඔවුන්ට දැනෙන්නේ මහමෙරක් ලෙසිනි. මේ තත්ත්වය යථා පරිදි අවබෝධ කරගෙන අවශ්‍ය පිළියම් යෙදීම රජයේ බලධාරීන්ගේ වගකීම වෙයි. මිල ගණන් අධික වන විට ආහාර ඇතුළු වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ භාවිතය අඩුකිරීම හැර ජනතාවට වෙනත් විකල්පයක් නැත. එය කෙළින්ම පාසල් යන වයසේ දරැවන්ගේ පෝෂණ තත්ත්වයට පවා දැඩි බලපෑමක් එල්ල කරයි. එවැනි දරුවන් දෙතුන් දෙනකු සිටින සීමිත ආදායමක් පමණක් ඇති පවුල්වල මවුපියන්ට මෙය බලවත් පීඩාවකි.
රටේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම සඳහා කෙටිකාලීන සහ දීර්ඝකාලීන දෙආකාරයටම විසඳුම් අවශ්‍ය බව අපගේ වැටහීමය. එළවළු සහ මාළු හිඟ කාලයට ඒවායේ මිල ගණන් ඉහළ යන ක්‍රමයට තිතක් තැබීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. සහල් සම්බන්ධයෙන් වුවද කතාව වෙනස් නැත. මිල පාලනය යනු සාර්ථක විසඳුමක් නොවන බවට හොඳම උදාහරණය සහල් වෙළෙඳපොළය. එයින් සිදුවී ඇත්තේ සහල් සඳහා එළිපිටම කළු කඩයක් නිර්මාණය වීමය. රුපියල් 98 පාලන මිලට තිබිය යුතු සහල් වෙළෙඳපොළේ දැඩි හිඟයක් පවතී. එහෙත් වෙනත් සහල් වර්ග රුපියල් 105න් ඉහළට ඕනෑ තරම් තිබේ. ඒවා කළුකඩ මිලට විකිණීම සඳහා කළ යුත්තේ කුමක් හෝ සහල් වර්ගයක නමක් සඳහන් කිරීම පමණි. මුතුසම්බා, කීරිසම්බා, බාස්මතී සම්බා වැනි මෙවැනි නොයෙකුත් නම් අතරට දැන් බුරියානි සහල් වර්ගයක් ද එකතු වී තිබේ. එහි කිලෝවක මිල රුපියල් 350ක් බව පාරිභෝගිකයෝ කියති.
මෙවැනි ගැටලුවලට පහසු විසඳුම් නැත. රටේ ගැටලු සියල්ල විසඳීමට ප්‍රායෝගිකව හැකියාවක් නැති බව අපි දනිමු. එහෙත් දරාගත නොහැකි මට්ටමට මේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් තවදුරටත් ඉහළ යනතුරු බලා නොසිට ඉක්මනින් ඒ සඳහා විසඳුමක් ලැබිය යුතු බව සඳහන් කරමු. එය රටේ ජනතාව මේ වන විට මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නයක් බැවිනි.