2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

මිතුරන්ගේ කෝන්තර

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේදී ආණ්ඩුව ගැටලු ගණනාවකට මුහුණ දෙමින් සිටින බව පැහැදිලිය. එය සම්මත කර ගැනීමට අවශ්‍ය කරන මන්ත්‍රීන් සංඛ්‍යාව වන 150 හෝ ඊටත් වැඩි සංඛ්‍යාවක් ලබාගැනීමේ අභියෝගය ජයගැනීම ආණ්ඩුවට අපහසු නැත. එහෙත් 20 හේතුවෙන් ආණ්ඩුව ඇතුළත ප්‍රතිවිරුද්ධ මතධාරීන් පිරිසක් බිහිවීම වළක්වා ගත නොහැකි වන බව පෙනෙන්නට තිබේ.

මේ මත ගැටුම්වල ස්වභාවය තේරුම් ගැනීමට පසුගිය දිනවල ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබඳ සොයාබැලිය යුතුය. 20 කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එය අධ්‍යයනයට තමන්ට කාලයක් අවශ්‍ය බව ආණ්ඩුව ඇතුළේ මතයක් මුලින්ම ඇතිවිය. එහෙත් මුලින් අනුමැතිය ලබාදී පසුව විවාදය අවස්ථාවේදී අවශ්‍ය වෙනස්කම් කරමු යැයි ජනාධිපතිවරයා පළකළ අදහසට එකඟත්වයක් ඇතිවිය. එසේ වුවද ඉන්පසුව එම කෙටුම්පතේ සඳහන් කරුණු ගණනාවකට තමන්ට එකඟවීම අපහසු බව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ගණනාවක්ම පෙන්වා දී තිබිණි. ආණ්ඩුව බලයට පත්කිරීමේදී විශාලම දායකත්වයක් ලබාදුන් මහ සඟරුවනේ ඇතැම් භික්ෂූන් වහන්සේලාද 20 වගන්ති ගණනාවකට තමන්ගේ කැමැත්තක් නැති බව ප්‍රකාශ කර තිබීමද විශේෂයකි.

මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය පළකරමින් ජනාධිපතිවරයාට ලිපියක් සකස් කර ඇති බවද ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් ප්‍රකාශ කර තිබිණි. විගණන කොමිසම අහෝසි කිරීම සහ රාජ්‍ය ආයතන ගණනාවක් විගණනය කිරීමෙන් මුදාහැර තැබීම පිළිබඳව උන්වහන්සේ තම විරෝධය ප්‍රකාශ කර තිබිණි. මේ බව ප්‍රකාශ වූයේ උදය ගම්මන්පිල ඇමැතිවරයා උන්වහන්සේ බැහැදැකීමට පසුගිය 15දා ගිය අවස්ථාවේය.

මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ 20 වැනි සංශෝධනය කෙටුම්පත් කළේ කවුදැයි ආණ්ඩුවේම මැති ඇමැතිවරුන් පිරිසක් ප්‍රශ්න කිරීමය. එයට හේතුවූයේ 20 ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව මැති ඇමැතින් පිරිසක් එය ඉදිරිපත් කළ අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතාගෙන් කළ විමසීම්වලදී ඒ පිළිබඳ නිසි පිළිතුරක් නොලැබීමය. ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන් එහි අන්තර්ගතය නොදන්නා බවය. ඉන්පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිදුවූයේ එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කිරීමටය. එම කමිටුව සිය වාර්තාව දින දෙකකදී අග්‍රාමාත්‍යවරයාට ලබාදුන්නේය. එහෙත් එහි නිර්දේශ පිළිබඳ කිසිවක් මාධ්‍යයට හෙළි කළේ නැත. එය කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ඇති බව පමණක් ප්‍රකාශ විය.
කෙසේ වුවද 16 වැනිදා බදාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට එම කමිටු වාර්තාව ඉදිරිපත් නොකළ බව සඳහන් විය. තවත් ආරංචි මාර්ගයකින් කියැවුණේ එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණත් එය සාකච්ඡාවට නොගත් බවය. පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීම එය පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අවස්ථාවේදී සිදුකිරීමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවූ බවද සඳහන් විය.

කැබිනට් මණ්ඩලයේදී කමිටු වාර්තාව සාකච්ඡාවට නොගැනීම ආණ්ඩුව ඇතුළේ 20 සම්බන්ධ මත ගැටුම පෙන්නුම් කරයි. එය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ පවතින මතභේදාත්මක තත්ත්වයක් මතුවීම හැටියටද සැලකිය හැකිය. එහෙත් මෙවැනි සංකීර්ණ පනත් කෙටුම්පතක් ගැසට් කිරීමෙන් පසුව එයට වරින්වර සංශෝධන එකතු කිරීම ප්‍රායෝගික නොවන කාරණයක් වශයෙන් සැලකෙයි. එවැනි සංශෝධන එකතු කිරීමෙන් පසුව යළිත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සිදුවන අතර එහි ප්‍රතිඵලය වනු ඇත්තේ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම කල් දැමීමට සිදුවීමය. දැන් එසේ වීමට ඉඩක් නැත.

මේ නිසා කැබිනට් අනුමැතිය ලැබූ 20 පනත් කෙටුම්පත ලබන 22 වැනිදා - අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන්පසුව නොවැම්බර් මුල් සතියේදී විවාද කොට සම්මත කර ගැනීම ආණ්ඩුවේ බලාපොරොත්තුවය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට යාමට අවශ්‍ය පාර්ශ්වයකට ඒ සඳහා දින 07ක කාලයක් හිමිවෙයි. එසේ අධිකරණයේදී කෙටුම්පත අභියෝගයට ලක්කරනු ලැබුවොත් එහි තීන්දුව සති තුනක් තුළදී ලබාදෙනු ඇතැයි විශ්වාස කෙරේ.

20 වැනි සංශෝධනය දැනට පවතින මට්ටමේදී විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඇමැතිවරුන් තිදෙනා කරුණු කිහිපයකට විරෝධය පා ඇතැයි සඳහන් වෙයි. ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තකුට මැතිවරණයකට ඉදිරිපත් වීමේ තහනම ඉවත් කිරීම, විගණන කොමිෂන් සභාව අහෝසි කිරීම වැනි වගන්ති කිහිපයක් මේ විරෝධයට හේතු වී ඇතැයි කියති.

තත්ත්වය මෙසේ වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රට හැදීම සඳහා ජනතාව විසින් තමන්ට වරමක් දී ඇති බැවින් එම අවස්ථාව තමන්ට හිමිවිය යුතු බවය. එයට අකැමැති නම් 19 වැනි සංශෝධනය තබාගන්නා ලෙසද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවද කියයි. ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇතිවීමට ජනාධිපති ධුරය දෙවරකට වඩා දැරීමට නොහැකි වීම සහ ජනාධිපතිගේ පාර්ලිමේන්තුවේත් නිල කාලය වසර පහකට වඩා නොවැඩි විය යුතු යන වගන්ති වෙනස් කිරීම හේතුවිය හැකි යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයිද සඳහන්ය.

මේ අනුව පෙනෙන්නේ 20 සංශෝධනය හේතුවෙන් ආණ්ඩුව ඇතුළේ මතවාදී ගැටුම් හට ගනිමින් තිබෙන බවය. මෙවැනි සංශෝධන හැකි ඉක්මණින් සම්මත කිරීම හොඳ උපාය මාර්ගයකි. එහෙත් එම හදිසියම නැති ප්‍රශ්න ඇති කිරීමටද හේතු විය හැකිය. ආණ්ඩුව ගැටලුවලින් තොරව 20 ගොඩ දා ගනීද යන්න ඉදිරි සති කිහිපය තුළදී තීරණය වනු ඇත.

මේ අතර යූ.එන්.පී. නියෝජ්‍ය නායක ධුරය රුවන් විජයවර්ධනට හිමිවීම පක්ෂය තුළ පැවැති නායකත්ව අර්බුදයේ උණුසුම තරමකට සිසිල් කිරීමට හේතු වී තිබේ. එම ධුරය රුවන්ට හිමිවූයේ නායකයා විසින් නම්කරනු ලැබීමෙන් නොව කෘත්‍යාධිකාරී කමිටුවේ රහස් ඡන්ද විමසීමකිනි. එම රැස්වීමට කමිටු සාමාජිකයන් 38 දෙනකු සහභාගි වී සිටි බවත් විජයකලා මහේෂ්වරන් රැස්වීමට සහභාගී නොවන බව කල් තබා ප්‍රකාශ කර තිබූ බවත් සඳහන්ය.

රහස් ඡන්දයක් විමසීමට සිදුවූයේ පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා සුදුස්සකු තෝරාපත් කරගත යුතු බවට කෘත්‍යාධිකාරී කමිටු රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ දැනුම්දීමට රවි කරුණානායක සහ රුවන් විජයවර්ධන දෙදෙනාම ප්‍රතිචාර දැක්වීම හේතුවෙනි. නම් දෙකක් ඉදිරිපත් වූ බැවින් රහස් ඡන්දයකින් නියෝජ්‍ය නායකයා තෝරාගත යුතු බව තීරණය කෙරිණි. එහිදී රුවන්ට සාමාජිකයන් 28කගේද රවිට 10 දෙනකුගේද කැමැත්ත ලැබී තිබිණි. පක්ෂනායක රනිල් තම කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ඒ අනුව රැවන් යූ.එන්.පී. නියෝජ්‍ය නායකයා වශයෙන් තෝරාගනු ලැබීය.

කෙසේවුවද මේ අවස්ථාව උණුසුම් වූයේ කමිටු සාමාජිකයන් කිහිප දෙනකුම පක්ෂනායක රනිල්ට එළිපිටම දොස් පැවරීම හේතුවෙනි. කළුතර හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න, ජාතික ලැයිස්තුවෙන් පත් කෙරුණු හිටපු මන්ත්‍රීනී අනෝමා ගමගේ සහ පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මෙහිදී තරමක් දැඩිව අදහස් ප්‍රකාශ කර තිබිණි. ඔහු ඊට පසුදින අඟහරුවාදා (15) සිරිකොතට පැමිණ තම කාමරය අස්පස් කළ බවද සඳහන්ය.

මේ අතර අර්ජුන රණතුංගද ප්‍රකාශ කර තිබුණේ යූ.එන්.පී.යේ නායකත්වය නෑදෑයන් අතට පත්වීම පිළිබඳව තමා විරෝධය පළකරන බවය. පක්ෂ නායකත්වය බලාපොරොත්තුවෙන් සිටින වජිර අබේවර්ධන සහ දයා ගමගේ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැති වුවද ඒ දෙදෙනාද අසතුටින් පසුවන බව දැනගන්නට තිබේ. රවි කරුණානායක මහතාද ඡන්ද විමසීමෙන් පසුව නිහඬ විය. එහෙත් ඔහු දිගටම නිහඬව සිටීදැයි කියන්න දන්නේ නැත.

මේ පසුබිමේ රුවන් ඉදිරියේ ඇත්තේ භාරදූර වගකීමකි. ඔහු එක් අතකින් මේ සියලුදෙනා බැලන්ස් කරගත යුතුය. ඔහු ධුරයට පත්වීමෙන් පසුව කළ ප්‍රකාශවල සඳහන් වූයේ සියලුදෙනා එකතු කරගෙන පක්ෂය යළි ගොඩගැනීම තමන්ගේ බලාපොරොත්තුව බවය. පක්ෂයෙන් වෙන්ව ගිය පිරිස සමඟද සහයෝගයෙන් කටයුතු කිරීමද ඔහුගේ බලාපොරොත්තුවකි. කෙසේ වුවද රැවන්ගේ පත්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මෙතෙක් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත.
යූ.එන්.පී.යේ පැවැතියේ නායකත්වයේ අර්බුදයක් මිස වෙනත් අර්බුදයක් නොවන බව පක්ෂයට සම්බන්ධ තවත් පිරිසකගේ අදහසය. එක් ආරංචි මාර්ගයක් පැවසුවේ යූ.එන්.පී.යේ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා 2025 වනතුරු පක්ෂය මගින් යෝජනාවක් සම්මත කරගෙන තිබුණත් ඉදිරියේදී ඔහු නායකත්වය පිළිබඳව තීන්දුවක් ගනු ඇතිබවය. පක්ෂ ව්‍යවස්ථාව අනූව රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වුවොත් මිස නායක ධුරය පුරප්පාඩු වන්නේ නැත. මේ නිසා දැනට රුවන් විජයවර්ධන මහතාට සිදුවනු ඇත්තේ නියෝජ්‍ය නායක ධුරයේ සිටිමින් පක්ෂය යළි ගොඩනැංවීමට හැකි තරම් වෙහෙස වී කටයුතු කිරීමය. ඉදිරි මාස කිහිපය රුවන්ට තමන් පක්ෂයේ නායකත්වයට සුදුස්සකු බව පෙන්නුම් කරන පරිවාස කාල සීමාවක් වනු ඇත. එහි ප්‍රතිඵල දැකගැනීමට තව මාස කිහිපයක් බලා සිටිය යුතු වෙයි.

මේ අතර සමගි ජනබලවේගය ආණ්ඩුවේ 20 වැනි සංශෝධනයට එරෙහිව දැඩි ලෙස අදහස් දක්වමින් සිටියි. කෙසේ වුවද 20ට විරෝධය දක්වන අතරේ 19+ ගැන කතා කිරීම කොතරම් දුරකට ජනතාව බාරගනු ඇතිදැයි තීරණය කිරීම අපහසුය.
19 සංශෝධනය තුළ පැවති සාධනීය ලක්ෂණ තබා ගනිමින් 20 නිර්මාණය කරන බවට රජය මුලදී කළ ප්‍රකාශය එහි අන්තර්ගතය තුළ දකින්නට නොමැති බව ඇතැම් විචාරකයන්ගේ මතය වී තිබේ. ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේ බලතල ජනාධිපතිවරයාට පැවරෙන විට එම කොමිෂන් සභාවල ස්වාධීන භාවය රැකෙන්නේ කෙසේදැයි ඔවුහු ප්‍රශ්න කරති. 19 වැනි ව්‍යවස්ථාව යටතේ අධිකරණය ස්වාධීනව කටයුතු කළ බව අද ඇමැතිවරැන් වශයෙන් කටයුතු කරන කිහිපදෙනකු එවකට විපක්ෂයේ සිටියදී ප්‍රකාශ කළ බවද ඔවුහු සිහිපත් කරති.

දැන් පෙනෙන්න තිබෙන්නේ ආණ්ඩුව 20 වැනි සංශෝධනය හදිසියේ සම්මත කර ගැනීමට දරණ උත්සාහය විපක්ෂයට සටන් පාටයක් නිර්මාණය කර දී තිබෙන බවය. ස.ජ.බ. සහ යූ.එන්.පී.යද ජ.වි.පෙ.ද 20ට එරෙහිව දැඩි මහජන මතයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටිති. එයට වඩා ආණ්ඩුව වඩාත් සංවේදී වනු ඇත්තේ තම මැති ඇමැතිවරුන් අතරින් පැන නගින ප්‍රතිවිරුද්ධ මත බැලැන්ස් කර ගැනීමටය. මෙහිදී ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කරන බැවින් ආණ්ඩුවේ සෙසු සියලු දෙනාටත් සිදුවන්නේ ඔහුගේ දැක්ම අනුව ක්‍රියාකිරීම පමණි. එහෙත් පරස්පර විරෝධී මත තිබියදී 20 සම්මත කර ගැනීම එසේ ආණ්ඩුව ඇතුළේ දීර්ඝකාලීන සීතල යුද්ධයකට මුල පිරීමක් වීමටද හොඳටම ඉඩ තිබෙන බවට පෙරනිමිති පහළ වෙමින් තිබේ.

- ශශීන්ද්‍ර