ගෙවුණු සතියේ දේශපාලන උණුසුම විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම් අතර දෝලනය වෙමින් පැවතුණි. අලුත් මාතෘකා විරල වූ අතර පරණ මාතෘකා උදෙසාම කතා සාද පැවැත්විණි. විස්සේ කතාවේ තවත් පරිච්ඡේදයක් ඇරඹුණු අතර සියල්ලෝම අධිකරණය දෙස නෙත් අයා බලා සිටියෝය.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින හතක් ගෙවී ගියේය. ඒ අනුව අඟහරුවාදා වනවිට විස්සට එරෙහිව පෙත්සම් 39ක් ඉදිරිපත් වී තිබිණි. අනතුරුව අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය ආරම්භ වූයේය. පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥවරුන් ඉදිරිපත් කළ තර්ක දේශපාලන කරළියේ සංවාදයට ලක්විය. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක්ද මෙම පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශ්ව අතර විය. විස්ස සම්මත වීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය බව පොදුවේ මෙම පාර්ශ්ව රැසක් කියා සිටියෝය. ගෙවුණු දින කිහිපයම මෙම අධිකරණ කටයුත්ත මෙරට දේශපාලන කරළියේ ප්‍රමුඛ පුවත විය.
අඟහරුවාදා (29) තවත් සුවිශේෂී සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. මෙය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැත්වූ හමුවකි. මෙහිදී මාධ්‍යවේදීන් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇතිවූ සංවාද වැදගත් දේශපාලන කරුණු රැසක් හෙළිදරව් කළේය. මෙතෙක් විසිවැනි සංශෝධනය පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ පැහැදිලි කිරීමක් නොවුණෙන් ඒ පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු ප්‍රශ්න කරන්නට වූහ.
ආණ්ඩුවක් වුණාම, ආණ්ඩුව ගන්න මතය තමයි මගේ මතය වෙන්නෙ. 20 වැනි සංශෝධනයට කිසි ගැටලුවක් වෙන්නෙ නැහැ යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නේය. විසිවැනි සංශෝධනයෙන් පසුව අග්‍රාමාත්‍යතුමා නාමික වෙනවාද? යනුවෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට නෑ... නාමික වෙන්නෙ නෑ. අග්‍රාමාත්‍යතුමා අතේ තමයි ඒක තියෙන්නෙ. යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මේ අතර විස්ස සම්මත කරගැනීමේදී අත උස්සන මන්ත්‍රීවරුන්ට තනතුරු දීම පිළිබඳ සැක සංකා පහළ වූයේය. ආණ්ඩුවට 150 තිබෙන බවත් තනතුරුවලට එන මන්ත්‍රීවරුන් දැන් නැති බවත් කී මහින්ද රාජපක්ෂ මහතා තමන් 19ට ඡන්දෙ නොදුන් බවද සිහි කළේය. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා කී කතාවක් කාගේත් අවධානය දිනා ගත්තේය. වීරවංශ මහතා ප්‍රකාශ කළේ 20ට විරෝධය දක්වන්න පාර්ලිමේන්තු විරෝධයට ආපු නැති අය ගැන හෙව්වොත් කවුද අපට සහාය දෙන්නෙ කියලා හොයාගන්න පුළුවන් වෙයි යනුවෙනි.
විස්ස සම්මත කිරීමට මන්ත්‍රීවරු 150කට වැඩි පිරිසක් සොයාගැනීමේ මෙහෙයුම පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා දියත් කර ඇත. සුළු ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ද සහිතව මන්ත්‍රීවරු 14ක් පමණ ඔහු විසින් විස්සට ඡන්දය ප්‍රකාශ කිරීමට එකඟ කරවාගෙන ඇති බව කියැවේ. කෙසේ වෙතත් රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් ආදී පක්ෂ ප්‍රධානීන්ගේ සහාය ලබා ගන්නේද යන්න තවම පැහැදිලි නැත. එසේම විජේදාස රාජපක්ෂ මහතාගේ හැසිරීමද පොදුජන පෙරමුණ ජ්‍යෙෂ්ඨයන්ගේ අවධානයට ලක්ව ඇති බව කියැවෙයි. එසේම චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පසුගිය සතියේ සිදුකළ ප්‍රකාශයක්ද දේශපාලන කසුකුසුවක් නිර්මාණය කළේය. ඔහු කියා තිබුණේ ජනාධිපතිට හෝ අගමැතිට කිසිදු ලෙසකින් ඒකාධිපති ගමනකට අවස්ථාවක් බිහිකරන ව්‍යවස්ථාවකට තමන් එකඟ නොවන බවයි.
සමගි ජන බලවේගය විස්සට එරෙහිව තීරණාත්මක ලෙස සටනට අවතීර්ණ වීමට ගෙවුණු සතිය යොදා ගත්තේය. එහෙත් ඒ අතර අනපේක්ෂිත අකරතැබ්බයකට මුහුණුදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සිදුවිය. පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දය දුන් පාක්ෂිකයන්ට ස්තූතියි කිරීමේ ජනහමුවක් රත්මලානේදී පැවැත්විණි. සජිත් ප්‍රේමදාස මහතා ජනහමුව ආමන්ත්‍රණය කරමින් සිටින විට වේදිකාවට ගල් ප්‍රහාරයක් එල්ල විය. මෙහි සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය ඇතුළු පිරිස ප්‍රේමදාස මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට සූදානම් වූහ. එහිදී තමා ප්‍රේමදාසගේ පුතා බවත් ගල් මුල්වලට බය නැති බවත් ජනතාව වෙනුවෙන් උණ්‍ඩයකට වුවත් මුහුණ දීමට සූදානම් බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා දිගටම ජනහමුව ඇමතුවේය. කෙසේ වෙතත් මෙම ගල් ප්‍රහාරයට සම්බන්ධ පිරිස පසුදා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් එම ගල් ප්‍රහාරය බීමතින් සිටියදී සිදුකරන ලද්දක් බව කියැවුණි.
හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළේය. ඉදිරියේදී තමන් තම ව්‍යාපාර කටයුතු සිදුකරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවත් නැවතත් දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු සඳහන් කර තිබුණි. එසේම ලබන වසරේ සිට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා යොමුවීමට අදහස් කර සිටින බවද ඔහු කියා සිටියේය.
මීට අමතරව මාතර කුරුඳු පොලු නඩු පහෙන් දෙකක් පසුගිය සතියේ අවසන් විය. 30 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර ඇතිවූ එකඟත්වය මත සියලුදෙනා නිදොස් කොට නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය. හිටපු ඇමැති මංගල සමරවීර ඇතුළු එම නඩුවට අදාළ සියලුම පාර්ශවකරුවෝ මෙදින අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සමගි ජන බලවේගය විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා උද්ඝෝෂණ සහ විරෝධතා රුලි මාලාවක් සංවිධානය කරන්නට යන බව දේශපාලන ආරංචි මාර්ග අතර වෙයි. මේ වනවිටත් ඊට අදාළ සැලසුම් සකස් කර අවසන් බව කියැවේ. ඒ අනුව &19න් ඉදිරියට* තේමාව කොටගෙන ජනතා විරෝධතාවයන් කිහිපයක් ඉදිරි සතියේ දැකගත හැකි වෙනු ඇත. මීට අමතරව සමගි ජන බලවේගයේ නම වෙනස්වීම පිළිබඳවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මුස්ලිම් කොංග්‍රසය ඇතුළු හවුල්කාර පක්ෂ පසුගිය දිනවල මතුකළ විරෝධය හමුවේ මෙම කටයුත්ත සිදුවනු ඇත. ඒ අනුව නායකත්ව මණ්ඩලයක් මගින් පාලනය වන නව සන්ධානයට එජාපයද හවුල් කරගැනීම් සූදානමක් ඇති බව කියැවේ. මේ අතර සමගි ජන බලවේගය බිම් මට්ටමේ ශාඛා ජාලයක් සැකසීමට මෙන්ම ඔවුන්ටම අනන්‍ය වෘත්තීය සමිති ජාලයක් ගොඩනැගීමටද බලාපොරොත්තු වන බව කියැවේ. තිස්ස අත්තනායක මහතා මෙම වැඩපිළිවෙළට නායකත්වය දෙමින් සිටියි.
විස්ස හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය තවමත් එතරම් පැහැදිලි නැත. එහෙත් පක්ෂ අභ්‍යන්තරයේ විස්සට සහයෝගය දීම සම්බන්ධව සාකච්ඡා කිහිපයක්ම පැවැති බව කියැවෙයි. දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපයට සිදුවන අකටයුතුකම් ගැන දැඩිව අදහස් පළකර තිබිණි. පක්ෂයේ බිම් මට්ටමේ සෝදාපාළුවක් සිදුවන බවටද පිරිසක් පෙන්වා දී ඇත. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ සංවිධායකයන්ට ලැබිය යුතු ප්‍රතිපාදන මෙන්ම ගෞරවයද ආණ්ඩුවෙන් නොලැබීමයි.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධවද ශ්‍රීලනිපය තුළ විවිධ මත ඇති බව කියැවේ. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් ආණ්ඩුවට හිතවත් ලෙස කතාබහ කරමින් සිටිති. එහෙත් විස්සේ අඩුපාඩු පෙන්වා දී කේවල් කිරීමකට යා යුතුය යන තැන සිටින පිරිසක්ද ශ්‍රීලනිපය තුළ සිටිති. කෙසේ වෙතත් මේ වනවිට 20 අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කමිටුවක් පත්කර ඇත. මෙම කමිටුවේ නිර්දේශ විමසා බලා පක්ෂයේ අදහස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති.
ජනපති ගම සමඟ පිළිසඳර වැඩසටහන හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමින් ගමට යමින් ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකසා ඇත. මෙම වැඩසටහන අතරතුරදී ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයක් ගෙවුණු සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්විය. බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේදී මෙම සිදුවීම සිදුවිය. මැටි කර්මාන්තයේ යෙදීමේදී ලබා ගත යුතු බලපත්‍ර සම්බන්ධව ඇති වී තිබෙන ගැටලුවක් ගම්වැසියෙක් ජනපති හමුවේ තැබුවේය. ජනපති එය විසඳීමට නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එවිට නිලධාරියා ගැටලුව විසඳීමට චක්‍රලේඛනයක් අවශ්‍ය බව පැවසීය. ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී නිලධාරීන්ට අවධාරණය කළේය.
විපක්ෂය මෙම ප්‍රකාශ විවේචනය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාකිරීම අනතුරුදායක ක්‍රියාවක් බවත්, එය වැරදි පූර්වාදර්ශයක් බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. රටේ ප්‍රශ්න සඳහා නායකයන් මැදිහත්වීමේදී පවතින නීත්‍යනුකූල රාමුව රුකගත යුතු බවද ඔහු පැවසීය. මේ සමඟම විවිධ පාර්ශ්ව ජනපතිගේ ප්‍රකාශය විවේචනය කරනු දක්නට ලැබුණි.
ශ්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරුන් සිවුදෙනෙකුට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවක් ගෙවුණු සතියේ උදාවිය. කොරියාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, වතිකානුව යන රටවල තානාපතිවරු ජනාධිපතිවරයා වෙත අක්ත පත්‍ර භාර දුන්හ. මෙම අවස්ථාවේදී ජනාධිපති සිදුකළ ප්‍රකාශයක් ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක්විය. චීනයේ මූල්‍යාධාර ඇතිව හම්බන්තොට වරාය ඉදිකිරීම ‘ණය උගුලක සිරවීමක්’ ලෙස ඇතැම් පාර්ශ්ව හැඳින්වුවද හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක. ඒ නිසාම අපේ රට බොහෝ පාර්ශ්වයන්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙනවා. මේ වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව. මේ රට විදේශ ආයෝජන සඳහා විවෘතයි* යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී අසුන සම්බන්ධ ගැටලු නොවිසඳුණු දේශපාලන රහසක්ම වූයේය. ගෙවුණු සතියේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගැනීම එම පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. එසේම වික්‍රමසිංහ මහතා සිදුකළ බව කියැවෙන විශේෂ ප්‍රකාශයක් ද එම ආරංචි අතර විය. ඊට අනුව දීර්ඝ කාලයක් දේශපාලන සිටි තමන් තාරුණ්‍යයට අවස්ථාව දී තම පෞද්ගලික නිදහස භුක්ති විඳීමට සූදානම් බවද ඔහු සඳහන් කර ඇත. එසේම ගතවූ දශක කිහිපය පසුබිම් කරගෙන පොතක් ලිවීමට තමන් අදහස් කරගෙන සිටින බවද ඒ සඳහා දැනටමත් සූදානමින් සිටින බවද වික්‍රමසිංහ මහතා පවසා ඇති බව කියැවේ.
දේශපාලන නිහැඬියාවකට පසු හිටපු කථානායක කරු ජයසූරිය මහතාද ගෙවුණු සතියේ දේශපාලන වශයෙන් අවදිවනු දක්නට ලැබුණි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සාමාජික පිරිසක් සමග පසුගිය බදාදා (30) මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දෙනම බැහැදැකීමට කරු ජයසූරිය මහතා ගියේය. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇතිවිය හැකි අර්බුද සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කිරීමට කරු ජයසූරිය මහතා කටයුතු කළේය. නිවහල් දේශයක ප්‍රාර්ථනය හා විසිවැනි සංශෝධනයේ අභිමතාර්ථ මැයෙන් ලියවිල්ලක්ද මෙහිදී ඔහු විසින් මහ නාහිමිවරුන්ට පිළිගන්වනු ලැබීය.
මෙම සිදුවීමද හේතු කොටගෙන තවත් නොනිල ආරංචියක් දේශපාලන කරළියේ පැතිර ගියේය. ඊට අනුව කියැවුණේ හිටපු කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමග නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සූදානම් වන බවයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනෙකු මේ වනවිට මෙම නව පක්ෂය සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතා සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඒ සමඟම කියැවුණි. කෙසේ වෙතත් මෙය අසත්‍ය ප්‍රචාරයක් බවද කරු ජයසූරිය පාර්ශ්වය ප්‍රකාශ කළේය.
මේ අතර ජාතික ජන බලවේගය &20 කාගෙද? කාටද? යන මැයෙන් සම්මන්ත්‍රණය මාලාවක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් වෙබ් අඩවි කිහිපයක්ම 20 වැනි සංශෝධනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ හෝ එම පක්ෂය නියෝජනය සහිත ජාතික ජන බලවේගය මෙතෙක් අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට යොමුව නැති බව වාර්තා කර තිබුණි. කෙසේ නමුත් විස්ස සම්බන්ධ විවේචන ජාතික ජන බලවේගය පාර්ශ්වයෙන්ද එල්ලවනු දක්නට ලැබුණි. මාධ්‍ය හමුවක්ද පසුගිය සතියේ ඔවුන් විසින් පවත්වනු ලැබීය. එහිදී 20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත් වන බවත් හිටපු ‘කෝප්’ කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දී තිබුණි.
ගෙවුණු සතියේ සමාජ මාධ්‍යයේ සංසරණය වූ ලිපියක් හේතුවෙන් ද යම් ආන්දෝලනයක් ඇති විය. මෙම ලිපිය හේතුවෙන් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය දැඩි ලෙස අපහසුතාවට පත්විය. අමාත්‍යවරියගේ පරිහරණය සඳහා ඇපල් iPhone දුරකථනයක් සහ iPad පරිගණක යන්ත්‍රයක් ලබා ගැනීමට ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලා ඇගේ පෞද්ගලික ලේකම්වරයා විසින් අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා වෙත මෙම ලිපිය යොමු කොට ඇත. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරියගේ නිල රථය සඳහා විදුලි ලාම්පුවක්, කුඩයක් සහ පසුගමන් ආරක්ෂක රථය සඳහා VIP විදුලි බල්බයක් ද එම ලිපිය හරහා ඉල්ලුම් කර තිබිණි.
කවුරුන් හෝ එම ලිපිය ජායාරූප ගතකොට සාමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි. ඒ සමඟ මහජන මුදල් නාස්තිය පිළිබඳ චෝදනා රැසක් සාමජ මාධ්‍යයේ පැතිර ගියේය. කෙසේවෙතත් මෙම ලිපිය සමාජ මාධ්‍ය ජාලා වෙත යොමු වීමත් සමඟ අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ භාණ්ඩ මීට පෙර අමාත්‍යාංශයේ අමාත්‍ය ධූර දැරූ අමාත්‍යවරුන් විසින් භාවිත කර අමාත්‍යාංශයට නැවත භාරදුන් භාණ්ඩ වන බවයි. එම භාණ්ඩ නැවත ලබා ගැනීම වෙනුවෙන් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව පෞද්ගලික කාර්ය මණ්ඩලය විසින් මෙම ලිපිය යොමු කර ඇති බවද එම මාධ්‍ය නිවේදනයේ සඳහන් විය.
උතුරුකරයෙන් ද කලකට පසුව සංවිධානාත්මක විරෝධයක් සඳුදා 28 දිනයේදී දියත් විය. උතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීමට විරෝධය පාමින් ක්‍රියාත්මක වූ මෙම හර්තාලය මෙවර සාර්ථක වී තිබිණි. පසුගියදා හිටපු කොටි නායකයකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තාගේ ගුණ සැමරුම සැමරීමට නොදී පොලීසිය විසින් අධිකරණ තහනම් නියෝගයක් ගැනීම හර්තාලයට ආසන්නතම හේතුව විය. ඉලංගෙයි තමිල් අරැසකච්චි පක්ෂය ඇතුළු දෙමළ පක්ෂ කිහිපයක් විසින් මෙය සංවිධානය කර තිබූ අතර උතුරේ වෙළෙඳ සංගම්, පෞද්ගලික බස් සංගම් සහය ඊට හිමිවිය. වෙළඳසැල් වසා දැමුණු අතර බස් ගමනාගමනය නැවතිණි.
හර්තාලයට සමගාමීව උතුරේ ස්ථාන කිහිපයකින් දේශපාලන නියෝජිතයන් හා සිවිල් සංවිධානයන්හි විරෝධතාවන් සංවිධානය කොට තිබුණි. මිය ගිය වැසියන් සිහිකිරීමට ඕනෑම අයකුට අයිතියක් ඇති බවටත් වත්මන් බලධාරීන් විසින් දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංගනය කරමින් දෙමළ ජනතාව පීඩාවට පත් කිරීමේ උත්සාහයක නිරත වන බව ඔවුහු ප්‍රකාශ කළහ.
පාස්කු කොමිසමේ සාක්ෂි විමසීම් සතිය පුරා පුවත් මවන්නට සමත් විය. ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව විවෘත පරීක්ෂණ සිදු නොකරන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබියදීත් ප්‍රහාරයට පෙර ලද අනතුරු ඇඟවීමේ ලිපිය සම්බන්ධයෙන්, හැකි උපරිම දේ කළ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු කොමිසම හමුවේ කීය. මෙම ප්‍රකාශ සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. ඒ අනුව ඉදිරියේ සිරිසේන මහතාව කොමිසම හමුවට කැඳවූ විට හෙතෙම මෙම ප්‍රකාශ සඳහා පිළිතුරු ලබාදීමට සූදනමින් සිටියි.
ගෙවුණු සතිය අවසානයේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ලබන මස 08 වැනිදා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතා රුළියක් පිළිබඳවද තොරතුරු දැනගන්නට ලබුණි. සමගි ජනබලවේගය විපක්ෂයේ සියලු පාර්ශ්ව එක්කර ගනිමින් මෙම විරෝධය සංවිධානය කිරීමට උත්සාහ ගනිමින් සිටිති. ඊට අමතරව ඔක්තෝබර්05 වැනිදා රට පුරා කළු කොඩි ඔසවා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විරෝධතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් සුදානම් වන බවට තොරතුරු ඇත.
චමිඳු නිසල්