2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

ජනපතිගේ චක්‍රලේඛ කතාවේ අගමුල

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114


“ජනපති ගම සමඟ පිළිසඳර” වැඩසටහන අරඹමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මුලින්ම ගියේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල වෙලංවිට ගමටය. හපුතලේ ගමක් වූ වෙලංවිට අක්කර 100 ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේදී මේ හමුව පැවැති අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලද පිළිතුරක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව විවේචනයට ලක්විය. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිලධාරියකු ගම්වැසියකු සහ ජනාධිපතිවරයා අතර සිදු වූ එම සාකච්ඡාවේ එක් තැනකදී මැටි කර්මාන්තයේ නියුතු අයට බලපත්‍ර ලබාගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවිය.

බලපත්‍ර ලබාදීම සඳහා විශාල මුදලක් සහ කාලයක් වැයවන බව ගම්වැසියා පැවසූ විට නිලධාරියා ප්‍රකාශ කළේ පුරාවිද්‍යා ඇතුළු ආයතනවලට ගෙවීම් කිරීමට සිදුවන නිසා ගාස්තු ගෙවීමට සිදුවන බවයි. ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ පහසුවෙන් බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් හැදිය යුතු බවය. ඒ සඳහා චක්‍රලේඛයක් අවශ්‍ය බවට නිලධාරියා පැවසූ විට “ජනාධිපතිවරයා කී පසු ඒ තමයි චක්‍රලේඛය. විධායක ජනාධිපති කියන්නේ ඒකයි. ජනාධිපතිවරයා මේ චක්‍රලේඛය අහවල් දවසේ නිකුත් කළා කියලා ඔබේ උසස් නිලධාරීන්ට ලියා තීරණයක් ගන්න. අපි යුද්ධයක් කරද්දී චක්‍රලේඛ යැව්වානම් තාමත් යුද්ධ කරනවා. ජනතාව ජීවත් කරවනවා කියන්නේ යුද්ධයක්. මම ජනතාව වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා” යනුවෙන් ජනාධිපතිවරයා දුන් පිළිතුරේ සඳහන් විය.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සහ විපක්ෂ ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචන පළවෙද්දී මෙරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් පරිපාලන නීතිය පිළිබඳ විශාරදයකු වන ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියකුගෙන් ජනාධිපතිවරයා ලබා දී ඇති පිළිතුරේ හරි වැරැද්ද පිළිබඳ විමසුවේය. එහිදී එම ඉහළ නිලධාරියා ප්‍රකාශ කළේ විධායක ජනාධිපතිවරයකු නිලධාරියාට ලබාදෙන වාචික නියෝගය චක්‍රලේඛයක් සේ සලකා ක්‍රියා කළ හැකි බව ආයතන සංග්‍රහයේ සඳහන් වන බවය. එය ජේ. ආර්. ජයවර්ධනගේ යුගයේදී ඇතුළු කරන ලද වගන්තියක් බවද ඔහු සඳහන් කළේය.

පත්වීම් ගත් උපාධිධාරියෝ කනස්සල්ලෙන්

මෑතකදී රජයේ අලුතින් පත්වීම් ලැබූ උපාධිධාරීන්ගෙන් පිරිසක් තමන් උපාධියක් ලබාගැනීම සඳහා විශ්ව විද්‍යාලවල වසර ගණන් ගතකළ කාලය පිළිබඳව තමන් පසුතැවෙන බව කියමින් සිටිති. එයට හේතුව අඩු අධ්‍යාපන මට්ටමක් ඇති තරුණ තරුණියන් පිරිසකට විවිධ ක්ෂේත්‍රවල ලබාදෙන රැකියා පුහුණුවේදී උපාධිධාරී රැකියා පුහුණුවීම්වල යෙදෙන පිරිසට වඩා වැටුපක් ලැබීම හේතුවෙනි. එම අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති අය තෝරාගනු ලැබුවේ අඩු වරප්‍රසාද සහිත දිළිඳු පවුල් අතුරිනි.

උපාධිධාරීන්ට ලැබෙන මාසික වැටුප වශයෙන් ඔවුන්ගේ පත්වීම් ලිපියේ සඳහන් වන්නේ රුපියල් 20,000කි. ඒ වසරක පුහුණු කාලය තුළදීය. එහෙත් සාමාන්‍යපෙළ සුදුසුකම් හෝ නැතිව බඳවාගත් දිළිඳු පවුල්වල රුකියාලාභීන්ගේ හය මසක පුහුණු කාලය තුළදී ඔවුන්ට මාසිකව රුපියල් 22,500ක වැටුපක් ලැබේ. ඉන්පසුව සියලු දීමනා ද සහිතව 32,500ක වැටුපක් හිමිවෙයි. එහෙත් උපාධිධාරීන්ට එසේ නැත.

තමන්ට හමුදා කඳවුරුවලදී නායකත්ව පුහුණුව ලබාදෙන බව පවසන ඇතැම් උපාධිධාරීන්ගේ මැසිවිල්ල වී ඇත්තේ තමන් වෙහෙස මහන්සි වී උපාධියක් ලබාගෙන යළිත් පුහුණුවක් ලැබුවත් ඒ කිසිවක් නැති අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති අය වැඩි වැටුපක් ලබන බවටය.

- සන්ඩේ ටයිම්ස්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00