රටේම අවධානය 20 වැනි සංශෝධනය කෙරෙහි කේන්ද්‍රගත වෙද්දී 13 වැනි සංශෝධනය තවත් පැත්තකින් මතුවෙමින් තිබේ. 13 වැනි සංශෝධනය මේ රටට අනවශ්‍ය බවත් එය රටට මහත් කරැමයක් බවත් දකුණේ ඇතැම් දේශපාලනඥයන් සහ නීති විශාරදයන් විසින් ප්‍රකාශ කරන අතර උතුරේ දේශපාලනඥයන්ගේ සහ විද්වතුන්ගේ මතය වී ඇත්තේ 13 වැනි සංශෝධනයේ ප්‍රකාශිත කරුණු ස්ථාපිත කළයුතු බවය. එය ස්ථාපිත කිරීමට නම් පළාත් සභා ඡන්දය පවත්වා දැනට අක්‍රීයව පවතින පළාත් සභා 09ම යළිත් සක්‍රීය කිරීම අවශ්‍ය වනු ඇත.
පළාත් සභා අක්‍රීය වී ඇත්තේ එය පැවැත්වීම මැතිවරණ ක්‍රමයේ වෙනසක් සමඟම සිදුකිරීමට අදාළව යහපාලන ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ පළාත් සභා (සංශෝධිත) පනත් කෙටුම්පත හේතුවෙනි. මැතිවරණ ක්‍රමයේ වෙනස එම පනත ගෙන ඒමේ මතුපිට අරමුණු වුවද බොහෝ දෙනකුගේ අදහස වන්නේ පළාත් සභා ඡන්දයට මුහුණ දීමට යහපාලන ආණ්ඩුව දැඩිව අකමැති වීමේ ප්‍රතිඵලයක් ලෙස එම පනත ගෙනැවිත් මැතිවරණය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දැමූ බවය. හේතුව කුමක් වුවද දැන් රටේ පළාත් සභා ක්‍රියාත්මක නැත. පළාත් සභා සඳහා ලබන වසරේදී මැතිවරණයක් පැවැත්වීමට දින නියම කෙරෙනු ඇතැයි ඒ අතරේ වරින්වර රජයට සම්බන්ධ මැති ඇමැතිවරුන් විසින් කෙරෙන ප්‍රකාශ අපට ඇසෙයි. එහෙත් නිශ්චිතව පළාත් සභා මැතිවරණය පිළිබඳව රජය අදහසක් පළකර නැත. විපක්ෂය නම් ඒ ගැන කටක් අරින්නේ නැත. එහෙත් උතුරේ ටී.එන්.ඒ. ඇතුළු දේශපාලන පක්ෂ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට දැඩි මතයක සිටියි.
රජය කුමන මතයක සිටියත්, පළාත් සභා ක්‍රමය පිළිබඳව කොතරම් විවේචන පැවැතියත් එම ක්‍රමය නැතිව රට ඉදිරියට ගෙන යා හැකිද යන ගැටලුව දැන් පැන නගිමින් තිබේ. එයට ආසන්න ප්‍රධානම හේතුව වී ඇත්තේ ඉන්දීය රජය මෙරට රජය පළාත් සභා ක්‍රමය ඇතුළත් 13 වැනි ව්‍යවස්ථාව තරයේම ක්‍රියාත්මක කළයුතු බවට දරණ ස්ථාවරය හේතුවෙනි. පසුගිය සෙනසුරාදා (26) ඉන්දීය අගමැති මෝදි සහ ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර දුරකථන ඔස්සේ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී ඉන්දීය අගමැතිවරයා තදින්ම කියා තිබුණේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සක්‍රීයව ඉදිරියට පවත්වා ගනු දැකීම ඉන්දියාවේ අභිලාෂය බවය. එහි අර්ථය හැකි තරම් ඉක්මණින් පළාත් සභා මැතිවරණය පවත්වා උතුරේ දේශපාලන පක්ෂවලට බලය ලබාදිය යුතු බවය. එහෙත් යහපාලන රජය කාලයේ පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ පළාත් සභා විශේෂ විධිවිධාන (සංශෝධිත) පනත් කෙටුම්පතට අත් ඔසවා සහාය පළකර පළාත් සභා ඡන්දය දින නියමයකින් තොරව කල් දැමීමට අනුමැතිය පළකළ ටී.එන්.ඒ. එකට මෙවැනි ඉල්ලීමක් කළ හැකිද යන වග නම් ගැටලුවකි.
පළාත් සභා ක්‍රමය කෙරෙහි මෙරට පොදු මහජනතාව තුළ නම් ඇත්තේ කැමැත්තක් නොවන බව පෙනෙන්නට තිබේ. පළාත් සභා (සංශෝධිත) පනත් කෙටුම්පතට එරෙහිව කිසිවකුත් උසාවි ගියේ නැත. අඩුම තරමින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට ඉල්ලීමක් කිරීමට හෝ උසාවි යාමක් සිදු නොවීය. පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැත්තේ මන්දැයි මැතිවරණ කොමිසමෙන් විමසූ විට ඔවුන් දිගටම ප්‍රකාශ කළේ ඒ පිළිබඳ තීන්දුව ගත යුත්තේ පාර්ලිමේන්තුව බවය. එසේම පළාත් සභා ඡන්දය ඉල්ලා ජනතාවට උසාවි යාමට හැකි බවද ප්‍රකාශ වී තිබිණි. එහෙත් එය සිදුවූයේ නැත. පළාත් සභා ඡන්දය පැවැත්වුණේද නැත.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරටට බලෙන් පැටවූ එකක් බවට දිගින් දිගටම චෝදනා එල්ල වෙයි. එය ඉන්දියාව මගින් බලහත්කාරයෙන් ශ්‍රී ලංකාව මත පැටවූ බව සමහර විශාරදයන්ගේ මතයයි. එහෙත් රටේ වසර 30ක් තිස්සේ පැවැති යුද්ධය සහ එයට තුඩුදුන් ජාතික ගැටලු ඇතුළු කරුණු සම්පූර්ණයෙන් බැහැර කොට 13 වැනි ව්‍යවස්ථාවේ හොඳ නරක පිළිබඳ තීන්දු ලබාදීමට යාම සුදුසු නැත. එසේම මෙරට දමිළ ජනතාවගේ අභිලාෂයන් ඉන්දියාවට ඉතා සංවේදී කාරණා බව අමතක කොට මේ ගැටලුව පිළිබඳව කථා කළ නොහැක. ඒ සමඟ පිළිගත යුතු වන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටේ නීති පොතට ඇතුළු වුවත් එය යුද්ධයට විසඳුමක් නොවූ බවය. නමුත් උතුරේ ඇතුළු රටේ සෙසු ප්‍රදේශවල ජීවත්වන දමිළ ජනතාවගේ දේශපාලන නිදහස ඇතුළු ජාතික ගැටලුවලට නිසි විසඳුමක් ලැබෙන තුරු ඔවුන්ට තම අවශ්‍යතා ඉටුකර ගැනීමට කිසියම් බල ව්‍යුහයක් අවශ්‍යය යන යථාර්ථයට පිටුපෑමටද කිසිවකුටත් හැකියාවක් නැත.
පළාත් සභා ක්‍රමය යටතේ උතුරේ දේශපාලනයට ලැබුණු බලය සහ නිදහස ඔවුන් නිසි අවබෝධයකින් යුතුව භාවිත නොකළ බවටද ලොකු චෝදනාවක් තිබේ. පසුගිය ආණ්ඩු 02ම මගින් උතුරේ සංවර්ධනයට යැවූ මුදල් භාවිත නොකර ආපසු භාණ්ඩාගාරයට යොමුකළ අවස්ථාද වාර්තා විය. අඩුම තරමින් උතුරේ උග්‍ර ගැටලුවක් වන පානීය ජලය ලබාදීමට හෝ උතුරේ පළාත් සභාව අපොහොසත් විය.
පළාත් සභාවෙන් උතුරේ ජනතාවට ලැබුණු දෙයක් නැති බවට දකුණෙන් චෝදනා එල්ල වනවිට උතුරේ නායකයන් ප්‍රකාශ කළේ තමන්ට තම ජනතාවගෙන් ලැබුණු පළාත් සභා බලය නිසි ලෙස භාවිත කිරීමට රජය ඉඩ නොදුන් බවය. මෙවැනි ගැටලුවලට සරල විසඳුම් නැත. ඒවා ඉතාම සංකීර්ණ බව අමුතුවෙන් පැවසිය යුතු නැත. ඒ සඳහා දකුණේත් උතුරේත් නායකයන් අතර නිසි අවබෝධයක් ඇතිවිය යුතුය. පළාත් සභා එපා සහ 13 රටට විනාශයක් වැනි දකුණේ සටන් පාඨත් ඉන්දියාවට බලපෑම් කරන උතුරේ ක්‍රියාමාර්ගත් හරහා මේ ගැටලුවට විසඳුමක් සොයාගත නොහැකිය. අවශ්‍ය වන්නේ දෙපාර්ශ්වයම එකඟ වන විසඳුමකි. දේශපාලනඥයන් සතුටු කරවන නිකම්ම නිකම් පළාත් සභා මැතිවරණයක් පවත්වා ඔවුන්ට ජනතාවගේ බදු මුදලින් සැප විඳීමට සැලැස්වීම පමණක් එයට විසඳුමක් නොවේ.