“අපට 13ත් එපා.... 20ත් එපා.... වහාම අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. එහෙම නොවුණොත් අශ්වයන් රිංගන තැන්වලින් බූරුවන් රිංගන්න පුළුවන්. අර්ජුන් මහේන්ද්‍රන්ලා පාර්ලිමේන්තුවට පත්වීමට බැරිකමක් නෑ.”
මෙහෙම කියන්නේ විපක්ෂයේ කවුරුවත් නොවේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ය. උන්වහන්සේ මෙහෙම කිව්වේ කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පසුගිය අඟහරුවාදා (29) පැවැති සම්මන්ත්‍රණයකදීය. මේ සම්මන්ත්‍රණයේ මේ වේදිකාවේම සිටි අනෙක් පිරිස අතර ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, රාජ්‍ය ඇමැති සරත් වීරසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංගද සිටියහ. සම්මන්ත්‍රණය සංවිධානය කළ සිංහල වීරවිදහන නියෝජනය කළ සුරේන් අබේගුණසේකරද එහි සිටියේය.
මේ සියලු දෙනාම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහාත් ඉන්පසුව වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව පිහිටුවීම සඳහාත් දැඩිව පෙනී සිටි පිරිසකි. ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් පැවැත්වීමට පෙර සිටම අභයතිස්ස හිමියන් සහ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා රාජපක්ෂ ආණ්ඩුව පිහිටුවීමේ පුරෝගාමී වූ චරිත අතර සිටියහ. මේ මැතිවරණ දෙකේදීම 19 වැනි ව්‍යවස්ථාව අහෝසි කරන බවත් ඒ සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීමට තුනෙන් දෙකක බලයක් ලබාදෙන ලෙසත් කළ ඉල්ලීම ප්‍රබල ලෙස කැපී පෙනුණි. මහ මැතිවරණයෙන් තුනෙන් දෙකකට ඉතාම ආසන්න බලයක් ලැබීමෙන් පසුව ආණ්ඩුව කිව්වේ තමන්ට 19 ඉවත්කොට 20 ගෙන ඒම සඳහා ජනතාව තුනෙන් දෙකක බලයක් ලබාදී ඇති බවය.
එය එසේ නොවන බව රජය බලයට පත්කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ කිසිවකුත් පැවසුවේ නැත. 20 සම්බන්ධයෙන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියනුත් එසේම 13 වැනි ව්‍යවස්ථාවට එරෙහිව කිසියම් ක්‍රියාමාර්ගයක් ගතයුතු බවට ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වාත් අදහස් පළකළේ නැත. එහෙත් දැන් අභයතිස්ස හිමියන් කියන්නේ 13ත් එපා 20ත් එපා කියාය. 13 නොමැතිව නව ව්‍යවස්ථාවක් සකස් කිරීම ප්‍රබලම කරුණ වන බවද උන්වහන්සේගේ කතාවේ සඳහන් විය. මනෝහර ද සිල්වා මහතා කියන්නේ 13 වැනි ව්‍යවස්ථාව මේ රටට මහා කරුමයක් බවය. මේ රටේ සිටින දේශපාලනඥයන් අතුරින් 13ට එරෙහිව කතා කරන එකම දේශපාලනඥයා සරත් වීරසේකර මහතා පමණක් වීම අතිශය කනගාටුවක් බවද ඒ මහතා කිව්වේය.
මහාචාර්ය අභයතිස්ස හිමියන් සහ ජනාධිපති නීතිඥ මනෝහර එහෙම කිව්වත් 20 සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් රජය තුළ කිසිදු අවිශ්වාසයක් හෝ සැකයක් ඇති බවක් පෙනෙන්නට නැත. මහාචාර්ය මැදගොඩ හිමියන් ඇතුළු පිරස සම්මන්ත්‍රණය පැවැත්වූ පසුගිය අඟහරුවාදා (29) අග්‍රාමාත්‍යවරයා මෙරට පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති හමුවේදී ප්‍රකාශ කර තිබුණේ 20 වැනි සංශෝධනය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම ප්‍රශ්නයක් නොවන බවය. ආණ්ඩුවේ පාර්ශ්ව අතර වෙන වෙනම මතවාද පැවතිය හැකි වුවත් අවසානයේ පනත සම්මාත කර ගැනීමේදී සියලුම මන්ත්‍රීවරුන් එක මතයක සිට ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා කිව්වේය.
මේ අනුව පෙනෙන්නේ ආණ්ඩුව ගෙන ඒමට විශාල දායකත්වයක් සැපයූ පාර්ශ්වවල අදහස් ආණ්ඩුව විසින් 20 සම්මත කර ගැනීමේදී සැලකිල්ලට නොගන්නා බවය. 20 සම්මත කර ගැනීම ආණ්ඩුවේ බලවත් උවමනාවක් වී ඇති බව පැහැදිලිය. 20න් පසුව වසරක කාලයකදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවද ආණ්ඩුව කියා තිබිණි. මේ වනවිට එහි කටයුතු ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ලේකම් කාර්යාලයක්ද ආරම්භ කර ඇත. එය ආණ්ඩුවේ සැලැස්ම වුවද 20 තල්ලු කරන වේගයෙන්ම නව ව්‍යවස්ථාවද තල්ලු කිරීම අපහසු වනු ඇති බවට පෙරනිමිති පහළ වෙමින් තිබේ. ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් අගමැති මහින්ද රාජපක්ෂට දුරකථනය ඔස්සේ ද්විපාර්ශ්වික හමුවකට ඇරියුම් ලැබීමත් සමඟ එසේ තත්ත්වය වෙනස් විය. එය සාමාන්‍ය දෙරට අතර සුහද සාකච්ඡාවක් බවට අදහස් ආණ්ඩුව පැත්තෙන් පළ වුවද ඉන්දියාව එම සාකච්ඡාව සූදානම් කර ඇත්තේ සැලසුම් සහගතව බව එරට විදේශ අමාත්‍යංශය මගින් නිකුත් කළ නිවේදනය අනුව පැහැදිලිය.
මෙම නායක සමුළුවේදී 13 වැනි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිතාමතාම ශ්‍රී ලංකාව මගහැර තිබූ බව පෙනෙන්නට තිබිණි. එහිදී ඉන්දීය අගමැති මෝදි ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවය. දෙමළ ජනතාව තුළ පවතින එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ගෞරවය සම්බන්ධ අභිලාෂයන් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්නැයිද මෝදි එහිදී ඉල්ලා තිබිණි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ දෙමළ ජාතිකයන් ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂා ඉටුකිරීම සඳහා ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාව කටයුතු කරන බවය.
ඉන්දියාවේ මාධ්‍ය ප්‍රකාශ කර තිබුණේ අසල්වැසි රටක් සමඟ ඉන්දියාව මෙවැනි සාකච්ඡාවක් පැවැත්වූ පළමුවැනි අවස්ථාව බවය. දෙරටේ නායකයන් අතර මෙම සමුළුව පැවැත්වුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. එසේම දෙරට අතර පැවැති නායක සාකච්ඡාවකින් අනතුරුව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් වූයේ වසර 10කට පසුව බවද සඳහන්ය.
කෙසේ වුවද මෙම ඒකාබද්ධ ප්‍රකාශයෙන් 13 වැනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතු බවට එක එල්ලේ සඳහන් කර තිබීමත් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකර ගැනීමත් පිළිබඳව කර ඇති සඳහනත් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවැති සම්මන්ත්‍රණයේදී 13 වැනි ව්‍යවස්ථාව පිළිබඳව පළවූ අදහස් මෙසේ විය.
“13න් මේ රටට වූ සෙත මොකක්ද? ඒකෙන් වුණේ මේ රට පළාත් 09කට බෙදී දේශපාලනඥයන් පිරිසකගේ නඩත්තුව ජනතාවට පැවරීමයි. 13 මේ රටේ ආරක්ෂාවට හා පැවැත්මට විශාල තර්ජනයක්. ආණ්ඩුව හා විපක්ෂය එක්ව මේ 13 වහාම ඉවත් කළ යුතුයි.”
- ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
13 හෝ 13න් එහා දෙකම බෙදුම් වාදයයි. 13න් ගෙනා පළාත් සභා ක්‍රමය රට බෙදීමට ගෙනා මරාලයක් බව එදා ජේ.ආර්. පවා තේරුම් ගත්තා. 13 මුළුමනින්ම ක්‍රියාත්මක නොවීම සඳහා ඔහු සකස් කළ වැඩපිළිවෙළ වුණේ ඉඩම්, මුදල් සහ පොලිස් බලතල ඇතුළත් නොකිරීමයි.”
- මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
ආණ්ඩුව බලයට පත්කිරීමට උදව් කළ පාර්ශ්වකරැවන්ම මෙහෙම 20යි 13යි එකට තියලා පහර දෙන එකට ආණ්ඩුව කොහොම මුහුණ දෙයිද? නැත්නම් මේකත් දේශපාලනයේ හොඳට තෙම්පරාදු වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බැලන්ස් කිරීමක ප්‍රතිඵලයක්ද? ඒ ගැන කියන්න තව ටික දවසක් සිටිය යුතුය.
එය කෙසේ වුවද ඉන්දියාව හදිසියේම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාට කතාකොට 13 ක්‍රියාත්මක කිරීමට බලපෑම් කිරීම රටේ ව්‍යවස්ථා සංශෝධනය ජාත්‍යන්තරයට යාමක් හැටියටද පෙනී යා හැක. එය මේ රටේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිබඳව ඉන්දියාව දක්වන සංවේදී බව එලෙසම පවත්වා ගන්නා බවට සපථ කළ රාජ්‍යතාන්ත්‍රික සංඥාවක්ද විය හැකිය. ඉන්දියාවේ මෙවැනි සංඥා කෙරෙහි ශ්‍රී ලංකාව බලවත් ලෙස සිය අවධානය යොමුකිරීම අවශ්‍යය. ඒවායින් ලබාදෙන පණිවුඩය හරිහැටි ග්‍රහණය කරගැනීමට අසමත් වීම දෙරට අතර පවතින දීර්ඝකාලීන සමීප මිත්‍ර සබඳතාවලට හානියක් වීමටද ඉඩ තිබේ.
මෝදිගේ ඉන්දීය ආණ්ඩුවට දකුණු ඉන්දියාවේ විශේෂයෙන්ම මෙරට දෙමළ නායකයන් සබඳතා පවත්වන තමිල්නාඩු ප්‍රාන්තයේ බලය ඒ හැටි වැදගත්කමක් නැත. මෝදි තම ආණ්ඩුව පිහිටුවා ඇත්තේ තමිල්නාඩුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව මත රැඳෙමින් නොවේ. එහෙත් එසේ වූ පමණින් එම රජය උතුරේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිබඳව සැලකිලිමත් නොවන බවට නිගමනය කිරීම අපහසුය. ඉන්දියාව නිසැකවම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කිසිම අවධානයක් යොමු කරන්නේ නැත. එහෙත් දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳව සැලකිලිමත් වන බව අවබෝධ කරගෙන සිටීම වැදගත්ය. ආණ්ඩුව 20 වැනි සංශෝධනය සහ 13 වැනි සංශෝධනයද ඇතුළත් වන අලුත් ව්‍යවස්ථාව සැකසීම පිළිබඳව කටයුතු කළ යුත්තේ මේ පසුබිම සැලකිල්ලට ගනිමිනි.
මේ අතර විපක්ෂය 20ට එරෙහිව රටපුරා ක්‍රියාත්මක වන සේ ලොකු විරෝධතා ව්‍යාපෘතියක් සංවිධානය කරමින් සිටී. සජිත්ගේ නායකත්වයෙන් සජබ විසින් නායකත්වය ලබාදෙන එම විරෝධතාවට මහජනතාව දැනුවත් කරන රැස්වීම් සහ කළු කොඩි එසවීම්ද ඇතුළත්ය. එසේම ඔවුන් 20ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්ද ගොනුකර තිබේ.
එසේ වුවද සජබ තුළ සිටින මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීන් පිරිසක් රජයට සහාය පළකරමින් 20ට අත එසවීමට සූදානම් බවට ප්‍රබල මතයක් පැතිර යමින් පවතී. ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ හකීම්ගේ සහ රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිපදෙනකු මේ වනවිටද රජයේ නායකයන් හමුවී සාකච්ඡා කර ඇති බවය. පසුගියදා පැවැති වවුනියාවේ රැස්වීමේදී ආණ්ඩුවේ බලධාරීන්ගෙන් බදුයුදින්ට ලැබුණු “චරිත සහතිකය”එම ප්‍රවණතාවයේ ලකුණක් හැටියට සමහරු දකිති. කෙසේ වුවද ආණ්ඩුව බදුයුදීන්ට එසේ පිළිගැනීමක් ලබාදීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ. මේ පසුබිමේ ආණ්ඩුව 20 සම්මතයට අවශ්‍ය තුනෙන් දෙක ලබාගැනීම සඳහා බදුයුදීන් දෙසට හැරෙනවා නම් එය දේශපාලන වශයෙන් පාරා වළල්ලක් වීමටද ඉඩ ඇත. පොහොට්ටු වේදිකාවේ බදියුදීන් ප්‍රබල සටන් පාඨයක් වී තිබූ බවද අමතක නොකළ යුතුය.
මේ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයකට සූදානම් වෙයි. ඒ පිළිබඳව වාර්තාවක් සකස් කොට එය නායක රනිල් වික්‍රමසිංහට ඉදිරි සති කිහිපය තුළදී බාරදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව රුවන් ඉදිරි දිනවල මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සංචාරය කරනු ඇත. පසුගිය සතියේ ඔහු කතරගමට ගියේය.
ආණ්ඩුව සහ විපක්ෂය 20 සහ 13 එල්ලෙමින් සිටියත් රටේ ජනතාව නම් මේ දවස්වල ඉන්නේ එලොව පොල් දකිමින් බව ඒ දෙපාර්ශ්වයටම අමතක වී ඇතැයි පෙනෙන්නට තිබීම ලොකුම කනගාටුවයි.
- ශශීන්ද්‍ර