2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

චීනෙත් එක්කම ලංකාවට එන අමෙරිකාවයි - ඉන්දියාවයි

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119


20 වැනි සංශෝධනය සහ හදිසියේ ඇති වූ දරුණු කොරෝනා හිස එසවීම හේතුවෙන් කාර්බහුල වී සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා හමුවීමට ලොවේ ප්‍රබලම රටවල් තුනක ඉහළම මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනකු පැමිණීමට නියමිත බව පසුගිය බ්‍රහස්පතින්දා (08) වනවිට දැනගන්නට ලැබිණි. මේ අතුරින් පළමුවැන්නා වන චීන රාජ්‍යයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හිටපු විදේශ ඇමැති යැං ජේචෙයි බ්‍රහස්පතින්දාම පැමිණි අතර ඔහු ඇතුළු දූත පිරිස සිකුරාදා (09) ජනාධිපති සහ අගමැති මුණගැසී සාකච්ඡා පැවැත්වීය. ඔවුහු එදිනම සවස රටින් පිටව ගියහ.

මේ අතර මේ දිනවල දකුණු ආසියානු රටවල සංචාරයක යෙදෙන අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන 28 වැනිදා එක්දින සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව සිටී. අමෙරිකාවේ බලවත් නිලධාරියකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ බොහෝ කාලයකට පසුව වීමත් ඔහුගේ පැමිණීම චීන බලවතාගේ පැමිණීමෙන් පසුව සිදුවීමත් දකුණු ආසියානු ජාත්‍යන්තර දේශපාලනය තුළ සුවිශේෂී කරුණක් වශයෙන් සැලකෙයි. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ න්‍යාය පත්‍රයේ මුලින් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව සඳහන් නොවූ බවත් චීන දූත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව දැනගත් වහාම හදිසියේ මේ ගමන යොදාගත් බවත් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි. ඔහුගේ පිටත්ව යාමෙන් පසුව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

දකුණු ආසියානු කලාපයේ පවතින චීන වෙළෙඳ ආධිපත්‍යය මේ බලවත් රටවල්වල දැඩි අවධානයට ලක්වී ඇති බවත් පොම්පියෝ මහතා ජපානයේ පැවැත්වෙන ඉහළ පෙළේ රැස්වීමකින් පසුව ඉන්දියාවට පැමිණෙන බවත් ඉන්පසුව එක් දිනක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් සඳහන් වෙයි.

ලොව ගිලගත් කොරෝනා වසංගතය පැතිරීමෙන් පසුව දකුණු ආසියානු කලාපයට පැමිණි ඉහළම පෙළේ චීන නිලධාරියා යැං ජේචෙයිය. මේ සංචාරය පිළිබඳව සඳහන් කරන (ඉන්දියන් එක්ස්ප්‍රස්) සහ (දි ඉකොනොමික්ස් ටයිම්ස්) යන ඉන්දීය පුවත්පත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවය. එම ණය (පැන්ඩා) බැඳුම්කර සහ ඒකාබද්ධ යෝජනා ක්‍රම හරහා ශ්‍රී ලංකාව ලබාගනු ඇතැයිද මෙහි මුල් කොටස වූ ඩොලර් මිලියන 500ක මුදල පසුගිය මාර්තු මාසයේදී ලබාගත් බවද සඳහන්ය.

මූඩිගේ ආර්ථික දර්ශකය විසින් ඒකක දෙකකින් ශ්‍රී ලංකාව පහත හෙලීමෙන් දුර්වල වූ ආර්ථිකය චීන ණය හේතුවෙන් ශක්තිමත් වනු ඇතැයිද විදේශ ණය ගෙවාගැනීමේ ප්‍රබල අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට එය වැදගත් වනු ඇතැයිද එහි සඳහන් වේ. මූඩීස් දර්ශකය අනුව ශ්‍රී ලංකාව ඉහළ ණය අවදානම් (B2) තත්ත්වයෙන් ඉතා ඉහළ ණය අවදානම් (CAAL) තත්ත්වයට පහත හෙළා තිබේ. ශ්‍රී ලංකාව චීනය විසින් ණය උගුලකට හසුකර ගනු ඇති බවට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විවේචන එල්ල වන බවද එම පුවත්පත් සඳහන් කරයි.

මේ අතර ඉන්දියාව (රිසර්ව්) බැංකුව මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක ණය ආධාර මුදල් හුවමාරු පහසුකම් යටතේ ලබාදීමේ ගිවිසුමක් පසුගිය ජූලි මාසයේදී ඇතිකරගත් බවද එම පුවත්පත් කියයි. 2022 නොවැම්බර් වනතුරු ක්‍රියාත්මක මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් වනු ඇතැයිද එම පුවත්පත් සඳහන් කරයි. ශ්‍රී ලංකාව දැඩි ආර්ථික ගැටලුවකට මැදිවීමට කොරෝනාවේ බලපෑමද හේතු වූ බවත් එම පුවත්පත් කියයි.