2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

මේක කොරෝනාවවත් පාලනය කරගන්න බැරි ආණ්ඩුවක්

2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:0058

සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

  • පක්ෂ දෙකකට ආණ්ඩු කරන්න බැහැ
  • ගම්පහින් මනාප ලක්ෂ ගණන් ගත්ත අය පළාතේ නැහැ
  • 20 වැනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට කණකොකා අඬනවා
  • එෆ්.සී.අයි.ඩී. නීත්‍යානුකූල නැත්නම් වරදක්
  • පාස්කු ප්‍රහාරයේ වගකීම අපේ රජයට ගන්න බැහැ
  • ඩයනා ගිහින් කළේ වරදක්

ඔබ නියෝජනය කරන්නේ කොරෝනා ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ ලංකාවේ වැඩිම අවදානමකට ලක්වුණ දිස්ත්‍රික්කය. මේ රෝගය මර්දනය සහ පාලනය ගැන රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ ඔබ සෑහීමකට පත්වෙනවද?

ඇත්තටම රජය පළවෙනි රැල්ල පාලනය කිරීම පිළිබඳව සෑහීමකට පත්වුණා. නමුත් කනගාටුයි. දෙවැනි රුල්ල ඒ විදිහට පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකි වීම පිළිබඳව. රජයේ අසාර්ථකභාවය නිසා තමයි කොරෝනා දෙවැනි රැල්ලක් මේ විදිහට රට පුරා පැතිරුණේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර පාර්ලිමේන්තු ඡන්දයේ වැඩිම මනාප ලබාගත්ත මන්ත්‍රීවරුන් ගණනාවක් ඉන්නවා. මොවුන් මේ කාර්යයේදී මැදිහත් වෙන්නේ නැද්ද?

කියන්න කනගාටුයි. ගම්පහ ජනතාවගෙන් ලක්ෂ ගණනක් මනාප ගත්ත ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිසිවකු තවමත් මෙයට නිසි ලෙස මැදිහත් වෙලා නැහැ. විපක්ෂයට තමයි නිරතුරුවම මේ පිළිබඳව හඬ නගන්න සිදුවෙලා තියෙන්නේ. එය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මේ වනවිටත් දන්නවා.

ඔබ කියන්නේ ආණ්ඩුවේ අධි තක්සේරුව රට ව්‍යසනයක් කරා රැගෙන ගියා කියලද?

අනිවාර්යයෙන්ම. ආණ්ඩුවේ අධි තක්සේරුවක් තිබුණා කොරෝනා පාලනය කිරීමේදී ලංකාව ලෝකයෙන්ම දෙවැනි තැනට ඉන්නවා කියලා. නමුත්, එකවරම රෝගීන් මතුවුණා. පළවෙනි රුල්ල තිබූ අවධියේදී සිදු කළා මෙන් වගකීමෙන් යුතුව කටයුතු කළානම් මෙය වළක්වා ගන්න තිබුණා. 

ආණ්ඩුව මේ කොරෝනා නිසා අවතැන් වූ ජනතාවට රුපියල් පන්දහසක දීමනාව ලබාදෙන්න යනවා. ඔබ මෙය දකින්නේ කොහොමද?

මේ රුපියල් පන්දාහ ලබාදෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය තිබෙන පොලිස් බලප්‍රදේශ දහ නවයටම නෙවෙයි. පොලිස් බල ප්‍රදේශ තුනකට විතරයි. මොවුන් මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශවලට පමණයි මේ පන්දාහ ලබාදෙන්නේ. එය කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි කරුණක් නෙවෙයි. විශේෂයෙන්ම මෙම දීමනාව ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බලප්‍රදේශ 19ටම ලබාදිය යුතුයි. එය ප්‍රදේශ තුනකට පමණක් ලබාදීම අසාධාරණ කාරණාවක්. 

කොරෝනා වසංගතය වගේම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් දේශපාලනය උණුසුම් කළ මාතෘකාවක්. ඔබ ඇයි විස්සට විරුද්ධ?

20 කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ඒකාධිපති පාලනයක් බිහිකිරීමේ නීත්‍යානුකූල පනතක්. එම නිසා පක්ෂයක් හැටියට විසිවැනි සංශෝධනයට විරුද්ධයි. ඒක මේ රට විනාශය කරා ගෙන යන පනතක් හැටියට තමයි අපි දකින්නේ. 

පසුගිය යහපාලන රජය කාලේ පිහිට වූ එෆ්.සී.අයි.ඩී. ආයතනය නීත්‍යානුකූල නැති බවත් එය නීති විරෝධී ගැසට්ටුවකින් ස්ථාපිත කර ඇති බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා  පසුගිය දිනෙක කිව්වා. ඔබ හිතනවද මේක හරි වැඩක් කියලා?

එම ආයතනය නීත්‍යානුකූල නොවන ආයතනයක් කියලා තවම හරියට දැනගන්න ලැබිලා නෑ. එය නීත්‍යානුකූල ආයතනයක් නොවී හිතුමතේට වැඩ කරලා තියෙනවනම් ඒ කාරණය වැරදියි. අපි කවදාවත් වැරදි පිළිගන්න පසුබට වෙන්නේ නැහැ. 

එෆ්.සී.අයි.ඩීය මගින් හිටපු ජනාධිපති ලේකම්වරු, මන්ත්‍රීවරු, ඇමැතිවරු බන්ධනාගාරගත කළා. නඩු දැම්මා. එතකොට මේ නීති විරෝධී ගැසට්ටුවක් මගින් කළ දේවල් ඔබලා කියූ යහපාලනයද?

එෆ්.සී.අයි.ඩීය තුළින් වූ අධිකරණ ක්‍රියාවලියකින් තමයි මේ අයට නීතිමය පියවර ගත්තේ. එම අධිකරණ ක්‍රියාවලිය සාධාරණව ඉටු කළා කියලා මම විශ්වාස කරනවා. කොයි පොලීසියකින් දැම්මත් අධිකරණ හරහා තමයි එය ක්‍රියාත්මක වෙන්නේ. යහපාලනය කාලේ අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් තිබුණා.

ඔබතුමන්ලගේ යහපාලන රජය කාලේ කොමිෂන් සභාවලින් දීපු ඇතැම් පත්වීම් සමාජයේ කතාබහට වගේම හාස්‍යයට ලක්වුණා. පොලිස්පති තනතුර, විනිශ්චයකාර තනතුර ඇතුළු වෙනත් උසස් තනතුරු මෙලෙස ප්‍රශ්නයට තුඩු දුන් කාරණා බවට පත්වුණා. යහපාලනය යටතේ ඇයි මේ වගේ දේවල් සිදුවුණේ?

මම හිතන්නේ නැහැ යහපාලන රජය තුළ සෑම දෙයක්ම 100%ක් නිසි ලෙස ඉටු වුණා කියලා. එහෙම වුණානම් මෙවර ජනාධිපතිවරණයේත්, මහ මැතිවරණයේත් අපි පරාජයට පත්වෙන්නේ නැහැ. නමුත්, යහපාලන රජය කාලේ යම් යම් සාධනීය කරුණු ඉටු වෙලා තියෙනවා. නමුත්, එහෙම කියලා 20 වැනි සංශෝධනය ගේන එක නෙවෙයි මේකට තියෙන විසඳුම. මම කියන්නේ 19 වැනි සංශෝධනයේ තියෙන යම් යම් කරුණු සංශෝධනය කරලා අපි රටක් හැටියට ඉදිරියට යන්න ඕනේ කියලා. 

පාස්කු කොමිසමෙන් හා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමෙන් හෙළි වන කරුණු දිහා බැලුවම ඔබලගේ කාලයේ ආණ්ඩුව කරපු ඇතැම් වැරදි ගැන ඔබලට දැන්වත් පේන්නේ නැද්ද?

ඕනම දේක පොඩි හරි වැරුද්දක් තියෙනවා. ඒකයි මම කලිනුත් කිව්වේ යහපාලනයෙන් සියල්ලක්ම ඉටු නොවූ බව. මේ පාස්කු ප්‍රහාරයටත් සම්පූර්ණ වගකීම පහුගිය රජය බාරගත යුතුයි. ඒක මම නැහැ කියන්නේ නැහැ. දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදු කෙරෙනවා. අනිවාර්යයෙන්ම තරාතිරම කුමක් වුවත් චූදිතයන්ට දඬුවම් ලබාදිය යුතුයි.

ආගමික සහජීවනය ඉදිරියට දාලා ත්‍රස්තවාදී කණ්ඩායම්වලට බාධාවකින් තොරව වැඩ කරගෙන යන්න යහපාලන ආණ්ඩුව ඉඩ දුන්නා කියලා චෝදනාවක් තියෙනවා නේද?

අපි පැහැදිලිවම ඕනෑම අන්තවාදයකට විරුද්ධයි. යම් අවාසනාවන්ත සිදුවීමක් සිදුවුණොත් එය පිළිබඳව පරීක්ෂණය කරලා නීතිය ක්‍රියාත්මක විය යුතුයි. කොහොමත් රටේ ජනතාවගේ සහජීවනය පිළිබඳව අපේ ආණ්ඩුව යහපාලන රජය කටයුතු කළා. යම් පුද්ගලයන් එයින් වාසි ලබාගෙන මෙම ත්‍රස්තවාදී කටයුත්ත සිදුකළා. අන්තවාදීන්ට කොහොමත් අපි විරුද්ධයි. නමුත් අවාසනාවකට එම කටයුත්ත සිදුවුණා. 

දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසමේදී හිටපු අගමැතිතුමත්, ජනාධිපතිතුමත් හෙළි කළ කරුණු හැටියට පක්ෂ දෙකකට ආණ්ඩු කරන්න බැරි තත්ත්වයක් තිබුණ බව පේන්න තියෙනවා. ඔබ පිළිගන්නවද පක්ෂ දෙකකට ආණ්ඩු කරන්න බැහැ කියලා?

කොහොමත් පක්ෂ දෙකකට ආණ්ඩු කරන්න බැහැ. මොකද ඒ ඒ පක්ෂවල තියෙන්නේ විවිධ මතයන් සහ විවිධ අදහස්. පසුගිය යහපාලන රජය කාලේ ඇතැම් ප්‍රශ්න ඇතිවෙන්නත් හේතුව වුණේ පක්ෂ දෙකක මන්ත්‍රීවරු කැබිනට්ටුව තුළ සිටීම. පාස්කු ප්‍රහාරයටත් මෙය බලපෑවා. ඇත්තටම ජනතාවට යහපාලන රජය කෙරෙහි අවිශ්වාසයක් ඇතිවුණේ ඉන්පස්සේ.

ඔබතුමන්ලගේ කාලයේ ගෙනා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමන්ගේ පක්ෂය මර්දනය කිරීමට ගෙන ආ එකක් කියලා වර්තමාන ආණ්ඩුව කියනවා. 

කිසිම පක්ෂයක් මර්දනය කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගේන්න අපිට උවමනාවක් නෑ. මේ ව්‍යවස්ථාව අපි සම්මත කළේ රටේ පොදු ජනතාව ගැන හිතලා. යම් යම් අඩුපාඩු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබුණත් එම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වුණා. නමුත්, 20 වැනි සංශෝධනය තුළින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්වෙනවා. ඇත්තටම එය කනගාටුවට කාරණයක්.

වර්තමාන ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඇවිත් මේ වනවිට මාස කිහිපයක් ගතවෙලා තිබෙනවා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සිය ධූරයේ වැඩ බාර අරගෙන අවුරුද්දකට කිට්ටුයි. කොරෝනා වසංගතය මධ්‍යයේ රටේ ප්‍රශ්නවලට ආණ්ඩුව හරි විසඳුම් දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්ද?

ඇත්තටම කියන්න කනගාටුයි රටේ ලක්ෂ 69ක ජනතාව බලාපොරොත්තු වුණු කිසි දෙයක් මේ වනතෙක්ම ඉටු වෙලා නැහැ. ජනාධිපතිවරණයට ඡන්දය ලබාදුන් සියලුම ජනතාව මේ වනවිටත් මේ ආණ්ඩුව පිළිබඳව කලකිරීමෙන් ඉන්නේ. ජනතාවට සහන ලබාදෙනවා කිව්වත් ලබා දුන් කිසිම සහනයක් නැහැ. යහපාලන රජය තුළ අපි ජනතාවට අවශ්‍ය සියලු සහන ලබාදුන්නා. වත්මන් රජය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා කියලා කියනවා. නමුත්, ඔවුන් එලෙස ක්‍රියාත්මක කරන්නේ යහපාලන රජය මගින් ක්‍රියාත්මක කළ මැතිවරණ හේතුවෙන් අතරමගදී නැවතුණු සංවර්ධන කටයුතු. එසේ නොමැතිව ඔවුන්ගේ මූලිකත්වයෙන් කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කෙරෙන්නේ නැහැ.

ආණ්ඩුව පැත්තෙන් කියන්නේ අපි මේ කොරෝනා පාලනය කළා. ඒ වගේම රට තුළ පැතිරෙමින් තිබෙන දෙවැනි කොරෝනා රුල්ලත් අපි පාලනය කරනවා සහ මත් කුඩු, පාතාලය මර්දනය කරනවා කියලා. ජනතාවට සහන රුසක් ලබාදුන් බවත් ඔවුන් නිරතුරුවම කියනවා. එතකොට මේවා බොරුද?

කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දීලා තියෙනවනම් මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්නේ නෑ. පාතාලය සහ කුඩු රුල්ල මර්දනය කරනවද නැද්ද කියන එක මේ ජනතාව දන්නවා. හැබැයි මොනවා නැතත් අපිට වගකීමෙන් කියන්න පුළුවන් මේ ආණ්ඩුව ජනතාවට සහන ලබාදුන්නේ නැහැ කියලා.

සමහරු චෝදනා කරනවා රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධව විපක්ෂය හරියට මැදිහත් වෙන්නේ නැහැ කියලා. ඔබලා 20ට විරෝධය පළකළා. නමුත්, ඊට එරෙහි වැඩපිළිවෙළකට යන්න ඔබලට බැරි වුණා. 

අපිට කරන්න පුළුවන් උපරිමය 20ට එරෙහිව අපි පාර්ලිමේන්තුව තුළදී ඉටු කළා. සමගි  ජනබලවේගය 20ට එරෙහිව සංවිධානය කරලා තිබුණු වැඩසටහන් රාශියක් මේ කොවිඩ් හේතුව නිසා අතරමග නතර වුණා. ජනතාව පීඩාවට පත් කරන්න කිසිවිටෙකත් සමගි ජනබලවේගය සූදානම් නෑ. 

ඔබලගේ මව් පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීමට ඔබලගේ සමගි ජනබලවේගයේ සූදානමක් නැද්ද?

එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීමට අපිට කිසි ගැටලුවක් නෑ. නමුත්, ඔවුන් ඊට කලින් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ තියෙන ප්‍රධාන ගැටලු විසඳාගත යුතුයි. ඒ ප්‍රශ්න විසඳුනට පස්සේ අපේ සමගි ජනබලවේගයේ කොටස්කරුවෙක් ලෙස සන්ධානගත වීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් තිබෙනවා.

නමුත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කියන්නේ එකතු වෙනවනම් එකතු වෙන්නේ කොන්දේසි විරහිතව කියලා.

කොන්දේසි විරහිතවද නැද්ද කියන එක ඒ අය එක්ක සාකච්ඡා කරලා කියන්න ඕන දෙයක්. නමුත්, තවම එක්සත් ජාතික පක්ෂය සූදානමක් නැහැ ඔවුන්ගේ ප්‍රශ්න විසඳගන්න. නායකත්ව ප්‍රශ්නයවත් තවම විසඳගන්න බැරි වෙලා තියෙනවා. ඒ අයගේ ප්‍රශ්න විසඳගත්තම අපි සූදානම් ඔවුන් සමඟ සාකච්ඡා කරන්න.

විපක්ෂය කෙතරම් විරුද්ධ වුණත් ආණ්ඩුව මේ 20 වැනි සංශෝධනය 2/3කින් සම්මත කර ගත්තා. මෙතනින් එහාට මොකද වෙන්නෙ?

දැන් තමයි මේ රටේ ජනතාවට දැනගන්න ලැබෙන්නේ ඉදිරියට මොකද වෙන්නේ කියලා. මේ ආණ්ඩුව මොවුන්ට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථාව සම්මත කර ගත්තා. ඔය ව්‍යවස්ථාවට විරුද්ධව කෑගහපු සියල්ලන්ම 20ට ඡන්දය දුන්නා. රටට ආදරේ කියාගෙන හිටපු උදවියත් මේකට ඡන්දය දුන්නා. දැන් ජනතාවට තේරෙයි සැබැවින්ම රටට ආදරේ කවුද කියලා.

ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය ආණ්ඩුවට සහාය පළ කළා. එතුමිය ඔබලාගේ පක්ෂයේ අයිතිකාරිය. මෙතනින් එහාට මොකද වෙන්නෙ?

අපි මේ 20 වැනි සංශෝධනය එන්න පෙරම මන්ත්‍රී කණ්ඩායම රුස්වෙලා සාකච්ඡා කරලා කරන්න ඕන මොකක්ද කියලා තීරණය කළා. එතුමිය අපේ පක්ෂයේ තීරණයට පිටින් ගිහින් තියෙනවා. ඒක වැරදි ක්‍රියාවක්. ඇයට එරෙහිව පක්ෂය විසින් යම් පියවරක් ගනියි කියලා විශ්වාස කරනවා.

දැන් ඔබලා මීට පෙර කිව්වා මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීවරු සහාය දෙන්නේ නැහැ කියලා දැන් මොකද මේ වුණේ?

සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසක් තමයි එලෙස ආණ්ඩුවට සහාය පළකර තියෙන්නේ. ඒ ඒ පක්ෂවලින් ඔවුන්ට එරෙහිව පියවර ගනියි කියලා විශ්වාස කරනවා.

මෙතනින් එහාට ආණ්ඩුව කියන්නේ නව ව්‍යවස්ථා සංශෝධනයක් අවුරුද්දක් ඇතුළත ගේනවා කියලා. ඒකෙ මොනවා තිබුණත් මේ ප්‍රතිඵලයම නේද එන්නෙ?

අපි ඒක ඒ වෙලාවට බලමු.

 සටහන - හසිත් අංජන

2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00