කොරෝනා පාලනය සහ දේශපාලනය ඇතැම් රටවල එකට ගැට ගැසී තිබේ. අමෙරිකාව එවැනි එක් රටකි. ලබන අඟහරුවාදා (03) පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රධානම සටන්පාඨය වී ඇත්තේ කොරෝනා පාලනයයි. වත්මන් ජනපති ට්‍රම්ප් පරාජය වුවොත් ඊට ප්‍රධානම හේතුව වනු ඇත්තේ කොරෝනා පාලනයේදී දැක්වූ අසමත් භාවය බවද කියති. අපේ රටද කොරෝනා පාලනය සමඟ දේශපාලනය අත්වැල් බැඳගත්තේ ජනාධිපතිවරණයත් ඉන්පසුව පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණයත් අතරට කොරෝනාව කඩා වැදීම හේතුවෙනි.
කෙසේ වුවද ඒ අවස්ථාවේදී නව ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පත්ව සිටියේ 19 වැනි ව්‍යවස්ථාව යටතේ පැවැති ජනාධිපතිවරණයෙනි. ඔහුට පාර්ලිමේන්තුවේ බලයක් නොතිබුණු අතර හිටපු රජය ඉල්ලා අස්වීමෙන් පසුව පත්කරගනු ලැබූ භාරකාර රජයක 15 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් මගින් පාලනය කරගෙන ගියේය. පාර්ලිමේන්තුවද මාර්තු 02 වැනිදා විසුරැවා හරිනු ලැබුවේ අප්‍රේල් මාසයේ තුන්වැනි සතියේදී මහමැතිවරණය පැවැත්වීමට දින නියම කරමිනි. පළමු කොරෝනා රෝගියා වාර්තා වූයේ මාර්තු මාසයේ 11 වැනිදාය.
ඉන්පසුව ජනාධිපතිවයාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා මර්දන ක්‍රියාවලිය ඇරැඹිණි. තීන්දු තීරණ අප්‍රමාදව ගනු ලැබීය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක වෙද්දී යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලීසියද ඇතුළුව සියලු ආරක්ෂක අංශ එම කාර්යභාරයට එක් විය. රටම ලොක්ඩවුන් කෙරිණි. දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් විය. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම දින කිහිපයක් තුළදී සාර්ථකව ක්‍රියාත්මක විය. ගෙවල්වලට කොටු වූ ජනතාවද වෛරසය මර්දනය සඳහා විශාල සහායක් ලබා දුන්හ. බඩු මලු සහ රුපියල් පන්දහසේ දීමනා ලබාදෙනු ලැබීය. මහමැතිවරණය කෙසේ හෝ පැවැත්වීමද ප්‍රධාන අරමුණක් වූ අතර ඊට පෙර වෛරස ව්‍යාපෘතිය මර්දනය කරගැනීම ආණ්ඩුවේ ඒකායන අරමුණ විය.
වැඩේ සාර්ථක විය. සති කිහිපයක් තුළදී වෛරස ව්‍යාප්තිය පාලනය කෙරුණ අතර මාස 04ක් ගතවෙද්දී රට යථා තත්ත්වයට පත්විය. තවත් මාසයක් ගතවෙද්දී මහ මැතිවරණයද පැවැත්විණි. ආණ්ඩුවට එයින් තුනෙන් දෙකක බලයක් ලැබිණි. එතරම් ජයග්‍රහණයක් ලැබීමට බලපෑ එක් මූලික සාධකයක් වී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කොරෝනාව මර්දනයේදී ලබාදුන් නායකත්වයේ සමත්කම බවද පැහැදිලිය. ඔහු පිළිබඳව ජනතාව තුළ විශාල විශ්වාසයක් ගොඩනැගීමටද එම වැඩපිළිවෙළ හේතුවිය.
එසේ වුවද දෙවැනි රැල්ල ඇති වී එය රටපුරා පැතිර යනතුරු ආණ්ඩුව එය මර්දනයට ප්‍රමාණවත් තරම් පියවර නොගත් බවට දැන් ජනතාවගෙන් චෝදනා එල්ල වෙමින් පවතී. ඔවුන් පෙන්වාදෙන එක් කරුණක් වන්නේ හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පුන පුනා කියන ලද සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වරින්වර ප්‍රකාශ කළ පරිදි රට ඉක්මනින් සාමාන්‍යකරණය වී ඇතැයි යන සහතිකය රටට නොදිය යුතු බවටත් කළ අවවාදය ගණන් නොගත් බවය. සැමවිටම අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරමින් පවතින යථා තත්ත්වය පිළිබඳව සැබෑ ලෙසම ගණන් බැලීමක් සිදුකළ යුතු වන බවටත් කරන ලද අනතුරු ඇඟවීම් සැලකිල්ලට නොගැනීම හේතුවෙන් වත්මන් තත්ත්වය රට මුහුණ පා සිටින බව ඔවුන්ගේ චෝදනාවය.
කොවිඩ් පළමු සහ දෙවැනි රැලි පිළිබඳව සංසන්දනයක් කරන නීතිවේදියෙක් මෙරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුට මෙසේ කියා තිබිණි. “කොවිඩ් - 19 මුලින් එනකොට රටේ තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනයක්. ඔහුගේ කිවහැකි පාර්ලිමේන්තුවක් තිබුණෙ නෑ. ඒ නිසාම මුදල් සම්මත කර ගැනීමේ අසීරු ඉලක්ක තිබුණා. ඇමැති මණ්ඩලයේ සිටියේ 15යි. 19 වැනි ව්‍යවස්ථාව යටතේ තිබූ පාලනයක් නිසා ප්‍රමාණවත් බලතල තිබුණේ නෑ. හැබැයි කොවිඩ් 19 ඉතාම සාර්ථකව පාලනය කළා. අවශ්‍ය තීරණ ඉතාම ඉක්මණින් ගත්තා. රටේ මහජනතාවගේ සහයෝගයද ඉහළින්ම දිනාගත්තා. ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සපුරාදීමටත් ආණ්ඩුව සමත් වුණා. ඒ වුණත් දෙවැනි රැල්ල එතකොට තිබුණේ කොහොම තත්ත්වයක්ද?
රටේ ඉතිහාසයේ ලොකුම බලයක් සහිත පාර්ලිමේන්තුවක් තිබෙනවා. ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. 20 වැනි සංශෝධනය සම්මත කරගෙන ජනාධිපතිවරයාට මෙතෙක් නොතිබූ බව කියන රට කරවීමට අවශ්‍ය සියලු බලතල ලැබී තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකුත් රජයට සහාය දෙනවා. මුදල් පනත් සම්මත කර ගැනීම තවදුරටත් ගැටලුවක් නොවෙයි. ඒත් කොවිඩ් දෙවැනි රැල්ල පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වෙලා. ජනතාවට කලින් ලැබුණු සහන නොලැබෙන බවට චෝදනා එල්ල වෙනවා. නිරෝධායනයට යන අයට කලින් ලබාදුන් පහසුකම් මෙවර ඉතාම අඩු බවට පැමිණිලි ලැබෙනවා. තවත් අයගේ චෝදනාවක් වන්නේ ආණ්ඩුව 20 සම්මත කර ගන්න තමන්ගේ සියලු අවධානය යොමුකළ නිසා ඒ ලැබුණු ඉඩකඩෙන් වෛරසය රටපුරාම ව්‍යාප්තවීමට දොර ඇරුණු බවය.
කෝවිඩ් - 19 පළමු සහ දෙවැනි රැලි පිළිබඳ මේ සංසන්දනය කොතරම් දුරට නිවැරදිදැයි යන්න තෝරා ගැනීම පහසු නැත. මේ ගැන රජයේ පිළිතුර පැහැදිලි කිරීම තුළින් සමබර මතවාදයක් ගොඩනගා ගැනීමට පහසු වෙයි.
පොම්පිඕ සමඟ සාකච්ඡාවට මහින්ද නොඑයි
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ මහතාගේ මෙරට චාරිකාවේදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමුවන බව මුලදී ප්‍රකාශ විය. එම හමුවට පෙර නිකුත් කෙරුණු වැඩසටහනේද ඒ බව සඳහන් වී තිබිණි. එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය බදාදා (28) පැවැති ගෝඨාභය - පොම්පිඕ සාකච්ඡාවට සහභාගි වී සිටියේ නැත.
- ඩේලි එෆ්.ටී.