2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

පොම්පිඕගේ චීන කොක්ක

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ ශ්‍රී ලංකාවට පැමිණ රැයක් ගතකොට ආපසු ගියේය. ඔහු සාකච්ඡා කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් සමඟ පමණි. ජනපති සමඟ විනාඩි 45ක සාකච්ඡාවක් තිබූ බවත් එය දෙරටටම අදාළ කාරණා සම්බන්ධයෙන් රාජ්‍ය ත්‍රාන්තික මට්ටමේ සුහද සාකච්ඡාවක් බවත් රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශ විය. අදාළ හමුව පිළිබඳව දෙරට විසින් සකස් කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් වීමක් සිදු නොවූ අතරම අමෙරිකානු තානාපතිනියද මේ සටහන තබන තුරු කිසිදු අදහසක් ප්‍රකාශ කර තිබුණේ නැත.

දෙරට අතර හමුවෙන් පසුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බොහෝ ප්‍රබෝධමත් ලෙසින් මාධ්‍යයට තොරතුරු ප්‍රකාශ කළ බව පෙනිණි.

දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදුකළ අදහස් දැක්වීමේදී වඩාත් වැදගත්ම කොටසක් වූයේ එහි අවසන් භාගයේදීය. දෙරට අතර පැවැති සාකච්ඡාවේදී තමන් අවධානය යොමුකළ කරුණු දැක්වීමත් එහිදී සිදුවිය.

ස්වෛරී, නිදහස් හා ස්වාධීන ජාතියක් වන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සෑමවිටම මධ්‍යස්ථ වන අතර නොබැඳි සහ මිත්‍රශීලී ප්‍රතිපත්තියක් බව නැවත නැවතත් කිව යුතුයි. අපගේ උපායමාර්ගික ස්ථානයේ වැදගත්කම සමඟ තිබෙන අවස්ථා සහ වගකීම් යනාදිය සම්බන්ධයෙන් ඉතා හොඳ අවබෝධයක් ඇතිව අපේ මුහුදේ නිදහසේ යාත්‍රා කිරීමේ වැදගත්කම, අපේ ගුවන් අවකාශය සහ මුහුද යටින් දිවෙන සන්නිවේදන රැහැන සහ සන්නිවේදනයේ සාගර මාර්ග ආරක්ෂා කිරීමට අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා.

සෑම රටක්ම ජාත්‍යන්තර නීතිය, මුහුද සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ නීතියට ගරු කළ යුතු යැයි අපි විශ්වාස කරනවා. බහුවිධ අංශවලට විහිදුණු සාගර සහයෝගීතාව සම්බන්ධයෙන් අපි අපගේ අදහස් බෙදාහදා ගන්නවා. එමෙන්ම එම අංශය තුළින් අපි ප්‍රගතියද බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ සියලු දෙනා වෙනුවෙන් මම ඔබට සුභ පතනවා” යැයි ද ඔහු කීවේය.

මයික් පොම්පිඕ මහතා නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් සඳහා ශක්තිමත් හා ස්වෛරී ශ්‍රී ලංකාවක් අත්‍යවශය බව ප්‍රකාශ කරමින් තම අදහස් පළ කළේය. එහිදී ආරක්ෂක සහයෝගය පිළිබඳවද සාකච්ඡා කළ බවත් තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සමඟ තමා ඉතා හොඳ සාකච්ඡා දෙකක් පැවැත්වූ බවත් එම සාකච්ඡා සාර්ථක බවත් පොම්පිඕ මහතා කීය. ඔහුගේ කතාවේ මෙසේද සඳහන් විය.

ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ලොව වඩාත් වැදගත් මුහුදු මාර්ග ආසන්නයේ බව සිහිපත් කළ යුතුයි. එම මුහුදු මාර්ග විවෘතව තබාගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී අමාත්‍යවරයාත් මමත් අවධානය යොමුකළා.

ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක් යනු ලෝක මට්ටමේදී ඇමෙරිකාවට බලවත් සහ උපාය මාර්ගික පාර්ශ්වකරැවෙක්. එමෙන්ම විශාල, විවෘත හා නිදහස් ඉන්දු - ශාන්තිකර කලාපයක් සඳහා ද එය ඉතා වැදගත්. එහෙත් එය චීනය අපේක්ෂා කරන දෙයට පරස්පර දෙයක් බවද කිව යුතුයි.

මෙම මාධ්‍ය හමුවේදී දෙපාර්ශ්වය විසින් දීර්ඝව අදහස් පලකිරීමෙන් පසුව ප්‍රශ්න ඇසීමේ වාරයට දැඩි සීමා පැනවීම් තිබූ බවද වාර්තා විය. එක් විදෙස් මාධ්‍යයක පළ වී තිබුණේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ඉතා උද්යෝගිමත් ලෙස මාධ්‍ය හමුවේ පිළිතුරු ලබාදුන්නත් පොම්පිඕ මහතාගෙන් ලැබුණේ උදාසීන පිළිතුරු බවය. එම්.සී.සී. සහ සෝෆා ගිවිසුම් පිළිබඳව කළ විමසීම්වලට ඍජු පිළිතුරක් නොලැබුණ බවද සඳහන් වී තිබිණි.

අමෙරිකා රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ සංචාරය සිදුවූයේ කාලයක් තිස්සේ සැලසුම් කළ රාජ්‍ය තාන්ත්‍රික දූත ගමනක් ලෙසින් නොවන බව විශේෂත්වයකි. ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ජපානයේ සංචාරයක් කළ අතර පසුව ඉන්දියාවට පැමිණියේය. එහිදී දෙරට අතර ආරක්ෂක ගිවිසුම් දෙකකට අත්සන් තැබූ පොම්පිඕ ශ්‍රී ලංකාවට ආවේය. කලින් කියා තිබුණේ ඔහු පැය කිහිපයක සංචාරයක් සඳහා පැමිණෙන බවය. එහෙත් පසුව කාලසටහන වෙනස් වී එය දෙදින සංචාරයක් බවට පත්විය. 

පොම්පිඕගේ නායකයා වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් අමෙරිකාවේ ජනාධිපතිවරයා වනු ඇත්දැයි තීරණය වනු ඇත්තේ ලබන 03 වැනිදායින් පසුවය. ට්‍රම්ප් පැරදුණොත් පොම්පිඕට කොහොමත් ජොබ් එක අහිමි වෙයි. ඇතැම්විට ඔහු දිනුවත් තනතුර වුවද වෙනස් වීමට ඉඩ තිබේ. එහෙත් එසේ වූ පමණින් අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු වෙනස්වනු ඇතැයි ගණන් බැලීම පොට වරද්දා ගැනීමකි. දකුණු ආසියාවේ රටවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන අමෙරිකානු ප්‍රතිපත්ති වෙනස් වන්නේ කලාතුරකිනි. ජනාධිපතිවරයා වෙනස් වුවත් ඔහු දකුණු ආසියාවේ රටවල් සමඟ පවත්වන සබඳතා පිළිබඳව රැඩිකල් තීරණ ගන්නේ නැත. බොහෝදුරට ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව තීරණ ගැනීමේදී අදාළ රටේ නායකයන් සමඟ පවත්නා සබඳතා සහ කලාපීය බලවතුන්ගේ ආකල්ප වඩාත් වැදගත් වෙයි. පොම්පිඕගේ ගමන් නිකම් ආවා-ගියා වශයෙන් සැලකීම බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට පවා හේතුවනු ඇත.

මෙහිදී ශ්‍රී ලංකාව වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඉන්දියාවේ හැඟීම් කෙරෙහි බව සැලකිය යුතුය. ඉන්දීය අගමැති මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභයගේත් අග්‍රාමාත්‍ය මහින්දගේත් දේශපාලන මිතුරෙකි. ඔහු රාජපක්ෂවරුන්ගේ රජය සමඟ අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය දක්වමින් මිත්‍රශීලී ලෙස කටයුතු කිරීමට ඍජුවම ඉදිරිපත්ව සිටින නායකයෙකි. මේ නිසා මෝදි ඉන්දීය සාගර කලාපයේ චීන බලපෑම් සම්බන්ධයෙන් දක්වන සංවේදී බව කෙරෙහි ශ්‍රී ලංකාවද දැනුවත්ව කටයුතු කිරීම අවශ්‍යය. 

ඉන්දියාවේද විදේශ ප්‍රතිපත්තිය, ආරක්ෂක ප්‍රතිපත්තිය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙන්නේ නැත. පොම්පිඕ පැමිණීම එරට දේශපාලනයට ප්‍රශ්නයක් වූයේ නැත. අමෙරිකාව සමඟ ඉතා ප්‍රබල ආරක්ෂක ගිවිසුම් දෙකක් අත්සන් කිරීමද ගැටලුවක් වූයේ නැත. එම ගිවිසුම්වලට අනුව ඉන්දීය සාගර කලාපය තුළ අමෙරිකාවේ උවමනා එපාකම් ඉටුකිරීමද සඳහන් වී නොතිබුණොත් පුදුමය. එම ගිවිසුම්වලට අනුව ඉන්දියාවට අමෙරිකාවෙන් අති නවීන ප්‍රහාරක ජෙට් යානා පවා ලබාදීමට කටයුතු කෙරෙනු ඇතැයිද ප්‍රකාශ වී තිබේ.

මොන භාෂාවෙන් කිව්වත් අමෙරිකාව හදිසියේම ශ්‍රී ලංකාවට තමන්ගේ ඉහළම දේශපාලනික නිලධාරියා එවන්නේ චීනය සමඟ තිබෙන “ජාත්‍යන්තර කොක්ක” හේතුවෙන් බව රහසක් නොවේ. එම ගමනේ කොතරම් ප්‍රබල සංඥාවක් ඒ පිළිබඳව තිබුණේද යත් මාධ්‍ය සාකච්ඡාවේදී පවා පොම්පිඕ චීනයේ නම සඳහන් කිරීමට පවා පසුබට නොවීය. සාමාන්‍යයෙන් දෙරටක් අතර නායක මට්ටමේ සාකච්ඡාවලින් පසුව පැවැත්වෙන ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී තුන්වැනි රටක නමක් සඳහන් කිරීම රාජ්‍ය තාන්ත්‍රික “යෙදවුමක්” නොවේ. එහෙත් අමෙරිකාව ශ්‍රී ලංකාවේදි එම “යෙදවුම” චීනයට එරෙහිව යොදාගත්තේය. චීනයද වහාම ඊට ප්‍රතිචාර දැක්වූයේ සැර සහ සරදම් වදන්වලින් සැකසුණු ට්විටර් පණිවුඩයකිනි.

කෙසේ වුවද පසුගිය දිනවලදී පැහැදිලිවම පෙනී ගියේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ සහ අමෙරිකාවේත් චීනයේත් බලඅරගල අච්චාරුවේ ගස්ලබු කෑල්ලක් බවට පත්වෙමින් සිටින බවය. ශ්‍රී ලංකාවට ඉන්දියාව ළඟම අසල්වැසි බලවතාය. එසේම කලාපයේ හොඳම මිතුරෙකි. චීනයද ශ්‍රී ලංකාවට දැඩිව මිතුරුව සිටින ආර්ථික වශයෙන්ද යුද්ධය පැවැති කාලයේ යුද්ධෝපකරණ සැපයීමෙන්ද ප්‍රබල දායකත්වයක් ලබාදුන් රටකි. අමෙරිකාවද ශ්‍රී ලංකාවට දිගින් දිගටම ආධාර ලබාදෙයි. ශ්‍රි ලංකාවට අපනයන ආදායමෙන් විශාල ප්‍රතිශතයක් උපයා දෙන යුද්ධය කාලයේත් විවිධ ආධාර දුන් අමෙරිකාවද ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිතුරෙකි. ශ්‍රී ලංකාව හිරවී සිටින්නේ මේ ලෝක බලවතුන් තිදෙනාගේ බල අරගලය තුළය. චීනය ඉන්දීය සාගරය හරහා කලාපීය රටවලට බලපෑම් එල්ල කරන බවට අමෙරිකාව එක එල්ලේත් ඉන්දියාව වක්‍රවත් චෝදනා කරයි. අමෙරිකාව දක්වන දැඩි චීන විරෝධී ආකල්පය නොසලකා කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට තිබෙන ඉඩකඩ පිළිබඳ නිසි තක්සේරැවක් කළයුතු කාලය එළඹෙමින් තිබෙන බව පැහැදිලිය.

එම්.සී.සී. ගිවිසුම සහ සෝෆා ගිවිසුම පිළිබඳව කතාකළ යුතු වන්නේ මේ යථාර්ථය සමඟ ගලපා ගනිමිනි. එම්.සී.සී. ගිවිසුමට සහ සෝෆා ගිවිසුමට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුව මුල් කාලයේ පටන්ම දැඩිව විරෝධය දැක්වූහ. යහපාලන ආණ්ඩුව එම ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බව පවසමින් රට තුළ ප්‍රබල මහජන විරෝධයක් ඇවිළවීමටද ඔවුහු විපක්ෂයේ සිටිමින් ක්‍රියා කළහ. එම විරෝධයේ පෙරමුණේ සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයෝ සමඟ මහ සඟරැවනේ ප්‍රබල චරිත කිහිපයක්ද සිටියහ. කෙසේ වුවද විපක්ෂයේ සිට ආණ්ඩුවට මාරැ වීමෙන් පසුව පොම්පිඕ කලින් නොදන්වාම මෙරටට ගොඩබසින විට මේ සියලු දෙනා නිහඬ වූහ.

හැබැයි පොම්පිඕ පිටත්ව ගිය පසුව සුපුරුදු පරිදි විමල් වීරවංශ මහතා විපක්ෂයට දැඩිව පහර දුන්නේය. පොම්පිඕ නොව මොන ලොක්කා ආවත් රටේ ගෞරවය රැකදෙන ස්වාධීනත්වය පාවා නොදෙන නායකත්වයක් රටේ තිබෙන බවට දැඩි ප්‍රකාශයක් කළේය. එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා රජයේ වගකීමක් මිස තමන්ගේ තීරණයක් නොවන බව පොම්පිඕ පැවසූ බවද විමල් කිව්වේය.

මේ රටේ මධ්‍යස්ථ පුද්ගලයන්ටත් තිබෙන ප්‍රශ්නය ඕකය. එම්.සී.සී. ගිවිසුම හෝ සෝෆා ගිවිසුම හෝ පිළිබඳ වචනයක්වත් නොපවසා එය අපේ වගකීමක් නොවේ යැයි පොම්පිඕ කීවේ නිකම් වෙන්න බැරිය. එවැනි උදාසීන පිළිතුරක් නොදී අප එවැනි සාකච්ඡාවක් කළේ නැතැයි කියා හෝ එම ගිවිසුම් අත්සන් කළ යුතු යැයි කියා හෝ ප්‍රකාශ කර ගියා නම් මීට වඩා හොඳය. ලොකුම දේ එම්.සී.සී. ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකාවට දැඩිව බලපෑමක් කළ අමෙරිකානු තානාපතිනියද දැඩි නිහඬ බවක සිටීමය. මේ නිහඬ බව ලොකු ජාත්‍යන්තර කුණාටුවක පෙරනිමිත්තක්දැයි කියන්න නම් දන්නේ නැත.

- ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00