බස්නාහිර පළාතටම ක්‍රියාත්මක කෙරුණු ඇඳිරි නීතිය හෙට (09) අලුයම ඉවත් කෙරෙනු ඇතැයි අපගේ දේශය පුවත්පතේ ප්‍රවෘත්තියක සඳහන් වෙයි. කොවිඩ් වෛරසය මර්දනය කිරීමට පිළියමක් සොයාගන්නාතුරු රට වසා තැබිය නොහැකි බවත් රට වසා දැමීම ප්‍රායෝගික නොවන සහ දුෂ්කර පියවරක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
බස්නාහිරෙන් ඇඳිරිය ඉවත් කෙරෙනු ඇත්තේ එම අදහසට අනුව විය යුතුය. ජනාධිපතිවරයා රටේ ජනතාවට කියා තිබුණේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් විය යුතු බවය. කෙසේ වුවද වෛරසය පාලනය සඳහා ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල එය තදින් ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා උපදෙස් දී තිබිණි.
ජනාධිපතිවරයාගේ පණිවුඩය පැහැදිලිය. රටම වසා දමා අතපය අකුලාගෙන සිටීම කොවිඩ් - 19 වෛරසයෙන් ගැලවීමට තිබෙන නියම විසඳුම නොවේ. එසේ කිරීමෙන් පමණක් වෛරසය මර්දනය වන්නේ නැත. එසේ නම් වෛරසය මර්දනයටද උපරිම කැපවීමෙන් ක්‍රියාකරන අතරම රටේ ජන ජීවිතය, ආර්ථිකය සහ අන් සියලු පැතිකඩ සමබරව පවත්වාගෙන යාමට සුදුසු පියවර ගැනීම අවස්ථාවේ හැටියට හොඳම විසඳුමය. එහි අවදානමක් නැතැයි එක එල්ලේම පැවැසිය නොහැක. නමුත් රටේ ජනතාව මුහුණදී සිටින දැඩි පීඩනයටද පිළිතුරක් තිබිය යුතුය. රට වසා දැමීම යනු බහුතරයක් ජනතාවගේ එදිනෙදා ආදායම මුළුමනින් අවහිර වීමකි. එවැනි තත්ත්වයකට මුහුණදීම අතිශය දුෂ්කර කටයුත්තකි.
එය එසේ නම් බස්නාහිර පළාතට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව ජනතාව අතින්ද ඉටුවිය යුතු යුතුකම් සහ වගකිම් ගණනාවක් තිබේ. ඇඳිරිය ඉවත් වී කඩසාප්පු ඇරෙන විට මෙලෝ සිහියකින් තොරව එම කඩ සාප්පු අසලට රැස්ව ලෝකාවසානයට පෙර බඩු එකතු කරන්නාක් මෙන් හැසිරිමෙන් වැළකීම ප්‍රධානම වගකිම්ය. ජනතාවගෙන් බහුතරයකට බඩු මිලදී ගැනිමට තඹ දොයිතුවක් අතේ නැති බවද සැබෑවකි. එහෙත් පුරුද්දකට මෙන් තම සන්තකයේ ඇති සියලු මුදල් සූරාගෙන අවශ්‍ය සහ අනවශ්‍ය සියලු බඩු මිලදී ගැනීමට පෙළඹීම ලොකු අනතුරකට අතවැනීමක් බව සිත්හි තබාගත යුතුය. කලබල වී කටයුතු කිරීම වෛරසය තමන්ට ඇටෑක් කිරීමට ආසන්නම අවස්ථා නිර්මාණය කරන බව දැන සිටිම අවශ්‍යය. සෞඛ්‍ය බලධාරීන් විසින් පවසන ආකාරයට අත්‍යවශ්‍යම නොවන කාරණයකට හැර නිවෙස්වලින් බැහැර නොයාමත් එසේ බැහැරක ගියත් රංචුගැසී සංචරණයේ නොයෙදීමත් ඉතාම වැදගත් බව සැලකිල්ලට ගතයුතු වෙයි.
මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ තමන් ප්‍රවේසම් වීමය. තමන් ප්‍රවේසම් වන්නේ නම් සෙසු සියලුදෙනා ආරක්ෂා වනු ඇත. මේ සඳහා අවශ්‍ය වන්නේ එකම දෙයකි. කොවිඩ් - 19 වෛරසය බෝවීම වළක්වා ගැනීම සඳහා පිළිපැදිය යුතු මූලික සෞඛ්‍යාරක්ෂක ක්‍රම භාවිත කිරීමය. මුහුණු වැස්ම පැළඳීම, නිතරම දෑත් සේදීම සහ විෂබීජහරණය කර ගැනීම, මීටරයකට දුර තබා ගැනීම, රංචු ගැසීමෙන් වැළකීම එම ප්‍රධාන ආරක්ෂක ක්‍රම වෙයි. ඇඳිරිය ඉවත් කළ පමණින් එම සෞඛ්‍යාරක්ෂක පියවර අනුගමනය කිරීම අත්‍හැර දැමීම දැන දැන අමාරුවේ වැටීමකි.
බස්නාහිර පළාත පුරාම වෛරසය පැතිරෙන වේගය අනුව දින 10කට පසුව වුවද ඇඳිරිය ඉවත් කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළද කිසියම් ගැටලු සහගත තත්ත්වයක් ඇති කරන බව කිව යුතුය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ රෝගීන්ගේ ව්‍යාප්තිය ජී.පී.එස්. තාක්ෂණය යටතේ සිතියම් ගතකොට වැඩිම අවදානම් පළාත් සභා දිස්ත්‍රික්ක මනාව අවබෝධ කරගත යුතු බවය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පවා එම ක්‍රමය යටතේ රෝගීන් මනාව හඳුනාගෙන හුදෙකලා කළයුතු ස්ථාන පිළිබඳ වඩාත් නිවැරදි තීරණ ගත හැකි බවද සංගමය පෙන්වා දී තිබිණි. කෙසේ වුවද රජය බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීන්දු කරන්නේ එවැනි ක්‍රමවේදයක් පිළිබඳ තීන්දුවකින් තොරවය. කොරෝනා ව්‍යාප්තිය සිතියම් ගත නොකළොත් රට භයානක තත්ත්වයකට යා හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරන අනතුරු ඇඟවීම කෙරෙහි රජය අවධානය යොමු කිරීම වැදගත් බවත් “ලොක්ඩවුන්” නොකර ඇඳිරි නීතිය ලිහිල් කරමින් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී සංගමය යෝජනා කරන ක්‍රමවේදයකට අනුගත වීම වඩාත් සුදුසු වනු ඇති බවත් අපගේ වැටහීම වෙයි.
බස්නාහිර පළාත යනු රටේ සමස්ත ජනගහණයෙන් තුනෙන් එකකට ආසන්න ජනතාවකගේ වාසභූමියයි. රටේ ආර්ථිකයේ හැසිරීම පාලනය වන ප්‍රධානම පළාතද වෙයි. මේ නිසා බස්නාහිර පළාත ලොක්ඩවුන් නොවී දිගටම පවත්වාගෙන යා හැකි නම් එය රටේ බහුතරයකගේ යහපත පිණිස වනු ඇත. එහෙත් එම පියවරේ පවතින අවදානම කිසිසේත් අවතක්සේරු නොකළ යුතුවෙයි. ජනතාවද තමන් අතින් ඉටුවිය යුතු වගකීම් පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීමද අවශ්‍යමය.