අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ කොළඹට පැමිණ ආපසු යාමෙන් දින ගණනාවකට පසුව මෙරට ආණ්ඩුවේ ප්‍රධානීන්ට එරෙහිව මානව හිමිකම් සම්බන්ධ කරැණු අවුස්සමින් ප්‍රකාශයක් නිකුත්ව තිබේ.
එය නිකුත්ව තිබුණේ නිව්යෝර්ක් මූලස්ථානය කරගත් “හියුමන් රයිට්ස් වොච්” නම් මානව හිමිකම් සංවිධානයෙනි. කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික කාර්යාල නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඔවුන් නිවේදනයක් නිකුත් කර තිබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සර උත්සවයේ ආරාධිත අමුත්තා වශයෙන් ආරාධනා කිරීමට එරෙහිවය.
ජිනීවාහිදී මානව හිමිකම් කඩකළ බවට සහ යුද අපරාධ සිදුකළ බවට චෝදනා නගමින් අමෙරිකාව මූලිකත්වයෙන් යෝජනා සම්මත කරගෙන තිබුණු බව සැබෑවකි. එහෙත් “හියුමන් රයිට්ස් වොච්” සංවිධානයේ නිලධාරීන් යැයි කියාගන්නා පුද්ගලයන්ට අමතක වී ඇත්තේ මහින්ද රාජපක්ෂ යනු මෙරට පාර්ලිමේන්තුව නීත්‍යානුකූල ලෙස තෝරා පත්කර ගනු ලැබූ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා බවය. ඔහු මේ ධූරයට පත්කරනු ලැබුවේ මහජනතාවගේ ඡන්දයෙනි.
මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයේදී විශාල ජනවරමකින් තෝරා පත්කර ගනු ලැබූ නායකයා වෙයි. “හියුමන් රයිට්ස් වොච්” සංවිධානය ජනාධිපතිවරයාට චෝදනා කර ඇත්තේ ඔහු පශ්චාත් යුද සමයේ ප්‍රතිසන්ධාන කටයුතු “යටගසන” බවටය.
අග්‍රාමාත්‍යවරයාට කළ ආරාධනය සම්බන්ධයෙන් එකී සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති ලියැවිල්ලේ සඳහන් වන්නේ එම ඇරියුම් “මානව හිමිකම් වින්දිතයන් විශාල පිරිසකට එල්ල කරන ලද අතුල් පහරක්” බවය.
කෙසේ වුවද මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාල නිලධාරියෙක් හියුමන් රයිට්ස් වොච් ප්‍රකාශය සිනහවට ලක් කළේය. “ඒ ගොල්ලන් දැන් එක්සත් ජාතීන් වෙනුවෙන් තීරණ ගැනීමත් පවරාගෙන. කෙනෙකුට මීටත් වඩා මෝඩ වෙන්න පුළුවන්ද” ඔහු ප්‍රශ්න කළේය.
- සන්ඩේ ටයිම්ස්
සජබෙන් ආණ්ඩුවට ආර්ථික රතුඑළි සහ චෝදනා
රට ඉදිරියේ දිගහැරෙමින් තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පසුගියදා මාධ්‍ය හමුවක් තබමින් රජය අනතුරු ඇඟවීය. ලබන 2021 වසර තුළදී දේශීය සහ විදේශීය ණය වශයෙන් ආසන්නව ඩොලර් බිලියන 06ක් ආපසු ගෙවීමට නියමිතව ඇති බව සැලකිල්ලට ගතයුතු බවද එහිදී අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
මෙම ණය ගෙවීම් සම්බන්ධයෙන් රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ සමඟද සාකච්ඡා ඇරැඹිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. එසේම ලබන වසර තුළ ආපසු ගෙවිය යුතු ණයවාරික මාස 24ක හෝ 36ක කාලයක් සඳහා කල්දැමීම සඳහා යළි සාකච්ඡා ආරම්භ කිරීම සුදුසු බවද ඔහු කීය.
රටේ ණය ගෙවීම් සම්බන්ධයෙන් තීරණ ගැනීම ප්‍රමාද කිරීම හේතුවෙන් රටේ මහජනතාවට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයිද මේ වසර ආරම්භයේදීම වැරදි උපදෙස් මත සිදුකළ බදු කප්පාදුව රජයේ ආදායම සැලකිය යුතු මට්ටමකින් අඩුකළ බවද එහිදී ප්‍රකාශ විය. එම ආදායම අහිමිවීමට සමගාමීව ආනයන සීමා පැනවීමත් කොවිඩ් - 19 ව්‍යාප්තියේ බලපෑමත් ආදායම් අඩුවීම තවදුරටත් තීව්‍ර කළ බවද සඳහන් විය.
ආර්ථිකය සම්බන්ධයෙන් නිවැරදි තීරණ නිවැරදි වේලාවේදී ගතයුතු බවද ණය සහ පොලියද යළි සැකසීම වැදගත් බවද ප්‍රකාශ කෙරිණි. එහිදී රජයට චෝදනාවක් එල්ල කළ ආචාර්ය හර්ෂ ද සිල්වා කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්බන්ධයෙන් ජනතාව නොමග යවා ඇතැයි කීය. එය විදෙස් රටකට නොදෙන බවට රජය ප්‍රකාශ කළත් ඉන්දියාවේ “අදානි” සමාගමට එය ලබාදෙනු ඇති බවට මාධ්‍ය වාර්තා කරන බවත් ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන බ්ලූම්බර්ග් පසුගිය අඟහරුවාදා (03) වාර්තා කර තිබුණේ දැනට වැඩ නැවතී ඇති නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගැනීමේ තරගයේ “අදානි” සමාගම ඉදිරියෙන්ම සිටින බවය.
කෙසේ වුවද පසුගිය අගෝස්තු මහ මැතිවරණයට පෙර වරායේ වෘත්තීය සමිතිවලින් කෙරුණු බලපෑම් හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූයේ පසුගිය රජය මගින් ඉන්දීය සහ ජපන් ආණ්ඩු සමඟ නැගෙනහිර ජැටිය සංවර්ධනයට අත්සන් කර තිබූ ඒකාබද්ධ අවබෝධාත්මක ගිවිසුමෙන් ඉවත් වෙන බවටය. එම ගිවිසුමට අනුව ජපානය අරමුදල් සැපයීමටත් ඉන්දියාව ජැටිය සංවර්ධනය කිරීමටත් නියමිත විය.
- ඩේලි එෆ්.ටී.