මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හල සහ පෑලියගොඩ මාළු මාර්කට් එක මූලික කර ගනිමින් ඇතිවූ මෙරට දෙවැනි කොවිඩ් රැල්ල රටේ අන් සියලු වැඩ යටපත් කරමින් නැගී සිටිමින් තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා (04) වනවිට ඉහත පොකුරු දෙකින් පමණක් හඳුනාගෙන තිබූ ආසාදිතයන් සංඛ්‍යාව 9092 දක්වා ඉහළ නැග තිබූ අතර එදින තුළ පමණක් පොසිටිව් රෝගීන් 383 දෙනකු හඳුනාගනු ලැබ තිබිණි. සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට දොළොස් දහසද ඉක්මවා ගොස් තිබේ.
මේ පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය ආණ්ඩුවට බරපතළ හිසරදයක් බවට පත්වෙමින් තිබෙන බව පැහැදිලිය. සෞඛ්‍ය අමාත්‍යංශයද මේ වනවිට හදිසි ප්‍රතිකාර මට්ටම් පිළිබඳව උපදෙස් මාලාවක් නිකුත්කර තිබේ. රට තුළ කොවිඩ් ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් එම උපදෙස් නිකුත් කර තිබුණි. ඒ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සියලු අදාළ අංශවල අවධානය යොමු කිරීමට උපදෙස් ලබාදෙමින් සිටියි. නිරෝධායන ක්‍රියාවලිය කෙරෙහි උපරිම අවධානයකින් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ජනාධිපතිවරයා රට ලොක්ඩවුන් තත්ත්වයට යා නොදී කටයුතු සාමාන්‍ය අන්දමින් සිදුවීමට ඉඩ හැරිය යුතු බව ප්‍රකාශ කරයි. කොවිඩ් 19 පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා බස්නාහිර පළාතේ රෝග ව්‍යාප්තිය හොඳින් පාලනය වී ඇතැයි ප්‍රකාශ කරමින් ඇඳිරි නිතිය හෙට (09) අලුයම 05ට ඉවත් කරන බව සඳහන් කළේ මේ පසුබිමේය.
බස්නාහිර පළාත තුළ කොවිඩ් හොඳින් පාලනය වී තිබේදැයි යන්න පිළිබඳව දැන්ම නිගමනය කිරීම පහසු නැත. රෝග ව්‍යාප්තිය පාලනය වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් විසින්ම ජනතාවට සහතිකයක් ලබාදෙනවා නම් වඩාත් සුදුසු බවට මතයක්ද තිබේ. විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ ශ්‍රී ලංකාව තුළ පවතින කොවිඩ් තත්ත්වය භයානක පැත්තකට නැඹුරු වීමේ අවදානමක් පවතින බවය. රෝග ව්‍යාප්තිය සිතියම් ගතකොට අවදානම් කලාප හඳුනා ගනිමින් තීරණ ගැනීමේ ක්‍රමවේදයකට යා යුතු බවත් සතියක් ඇතුළත එම ක්‍රමවේදයට නොගියොත් තමන් කොවිඩ් පාලන මෙහෙයුම් කමිටුවලින් ඉවත්වන බවටත් වෛද්‍ය සංගමය ප්‍රකාශ කර තිබිණි. අදාළ කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය සංගමය නිකුත් කළ නිවේදනයේත් මාධ්‍ය සාකච්ඡාවේත් ඔවුන්ගේ හැසිරීම් අනුව පෙනී යන්නේ රජයේ ඇතැම් බලධාරීන් රෝග පාලන කටයුතු සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සියල්ල අනුමත කිරීමට ඔවුන් සූදානම් නැති බවය. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ඇතැම් පාර්ශ්ව සහ රජයේ ඇතැම් බලධාරීන් අතර මතගැටුම් පවතින බවද එයින් පෙනීයයි. මේ රජය බලයට පත්කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීමය අංශවලින් සිදුකෙරෙන බලපෑම් මුළුමනින්ම නොසලකා හැර කටයුතු කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැත. ඔවුන්ගේ මතවාද සහ රජය මගින් ගනු ලබන තීරණ අතර කිසියම් සමබරතාවයක් පවත්වා ගැනීම අපහසු වුවහොත් නැති ප්‍රශ්න ඇතිවීමටද ඉඩ තිබේ. එය රටේ සෞඛ්‍යයට පමණක් නොව ආණ්ඩුවේ සෞඛ්‍යයටද එතරම් යහපත් නොවනු ඇත.
කෙසේ වුවද රට ඇතුළෙන් නැගෙන ජනතාවගේ හඬට කන් නොදී සිටීමටද රජයට මේ අවස්ථාවේදී හැකියාවක් නැත. පසුගිය බ්‍රහස්පතින්දා (05) ධීවර සමිති මගින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුන් දිගටම ප්‍රකාශ කළේ රටේ ධීවරයන් විශාල පිරිසක් තම ජීවනෝපාය අහිමිව සිටින බවය. තමන් විසින් රැගෙන පැමිණි සහ ඉදිරි දිනවලදී ගොඩබිමට පැමිණීමට නියමිත මාළු තොග මිලදී ගැනීමට හෝ අලෙවි කර ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් යොදා නැතැයි ඔවුහු රජයට චෝදනා කළහ. ධීවර ජනතාව මේ හේතු නිසා විශාල පීඩාවකට පත්ව සිටින බවද ඔවුන් වෙනුවෙන් රජයෙන් කිසියම් සහන වැඩපිළිවෙළක් අවශ්‍ය බවද පෙන්වා දී තිබිණි.
ඇත්තවශයෙන් ධීවර ජනතාව මේ ගැටලුවට මුහුණදෙනු ඇති බවත් ඒ වෙනුවෙන් කිසියම් ඵලදායී සැලැස්මක් සැකසිය යුතු බවත් රජය දැන සිටිය යුතුව තිබුණේ පෑලියගොඩ කොරෝනා පොකුර පත්තු වූ දිනයේමය. එහෙම වුණත් සති කිහිපයක් ගත වනවිටත් ධීවරයන්ගේ ගැටලු විසඳී නැත. මුල් දින කිහිපයේදී මාළු තොග ධීවර සංස්ථාව විසින් මිලදී ගන්නා බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. ඒ කෙසේ වෙතත් තවමත් ධීවර ජනතාවගේ ගැටලු විසඳී නැති බව පැහැදිලිය.
ධීවර ක්ෂේත්‍රයේ පමණක් නොව එළවළු, පළතුරු සහ සිල්ලර වෙළෙඳුන්ගේ ගැටලුද තවමත් පවතින්නේ නොවිසඳුණු තත්ත්වයකිනි. විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ වෛරසය ව්‍යාප්තිය අවම කර ගැනීමට ක්ෂණිකව පියවර නොගැනිම හේතුවෙන් මේ ගැටලු ගොඩගැසුණු බව පැහැදිලිය. මාර්තු මාසයේ කොවිඩ් පළමු රැල්ල අවස්ථාවේ සියලු තීරණ වහාම ගනු ලැබීමත් කල්යල් නොයවා රටම ලොක්ඩවුන් කිරීමත් සිදුවිය. සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක හමුදා, පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක පොදියට වෛරස මර්දන ක්‍රියාවලිය තුළ සක්‍රීයව කටයුතු කරනු දැකිය හැකි විය. විශේෂයෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර තුළට වෛරසය කාන්දු වීම ඉක්මණින්ම වළක්වා ගත හැකි විය. පළමු කොරෝනා රෝගියා වාර්තා වූයේ කොට්ටාවේ මත්තෙගොඩ ප්‍රදේශයෙනි. එසේ වුවද ඔහු ආසාදිතයකු බව හඳුනාගන්නා විට දඹුල්ල, අනුරාධපුර ආදී ප්‍රදේශ ගණනාවක සංචාරය කර තිබිණි. එහෙත් සෙසු අයට බෝවීම වළක්වා ගත හැකි විය. අඩුම තරමින් ඔහුගේ පවුලේ කිසිවකුට හෝ රෝගය බෝ වුණේ නැත. සිය සංචාරය තුළ ඔහුගේ සහායකයකු වශයෙන් කටයුතු කළ අයකුට පමණක් රෝගය බෝ වී තිබිණි. නමුත් මේ වනවිට එක දිනක් තුළ රෝගීන් පස් දෙනකු මියගිය, සතියක් තුළ මරණ 11ක් සිදුවූ බරපතළ තත්ත්වයක් පැන නැගි තිබේ. තීන්දු ගැනීමේ කිසියම් ප්‍රමාදයක් සිදුවීම ඊට හේතුව දැයි හරිහැටි කිව නොහැක.
එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දා පැවැති ඔවුන්ගේ මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කර තිබුණේ බ්‍රැන්ඩික්ස් පොකුර පිළිබඳ තොරතුරු දැනගත් වහාම ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය පැනවීමට ක්ෂණිකව පියවර නොගැනීම තත්ත්වය ව්‍යාකූල වීමට හේතු වූ බවය. ඉන්පසුව පෑලියගොඩ පොකුර ක්‍රියාත්මක වූ විටද තීරණ ගැනීම ප්‍රමාද වූ බවය. දින කිහිපයක් ප්‍රමාද වී තීරණ ගැනීමේ ප්‍රතිඵලය වූයේ රටපුරා එම වෛරසය බෝ කිරීමට ආසාදිතයන්ට අවස්ථාව උදාවීම බවද ඒ පිළිබඳව තම සංගමය විසින් සිදුකළ අනතුරු ඇඟවීම් නොසලකා ක්‍රියාකිරීමේ ආදීනව අද පෙනෙන්නට තිබෙන බවද ඔවුන්ගේ කතාවෙන් ඇඟවී තිබිණි. තීන්දු ගැනීම සහ අලුතින් හඳුන්වා දිය යුතු ක්‍රමවේද පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ස්ථාවරයක් ගන්නට ඇත්තේ මේ පසුබිම හේතුවෙන් විය යුතුය. බස්නාහිර පළාතෙන් ඇඳිරි නීතිය ඉවත්කර මුළුරටම ලොක්ඩවුන් නොකිරීම සඳහා රජය ගෙන ඇති තීරණය ලොකු අවදානමක් ගැනීමක් වශයෙන් වෛද්‍ය සංගමය තීරණය කර ඇති බවක්ද පෙනී යයි.
මේ සමඟම උද්ගතව තිබෙන වෛරස ව්‍යාප්තියෙන් රට ගලවා ගැනීම සඳහා විද්‍යාත්මක නොවන කටයුතු කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කිරීම පිළිබඳව ඇතැමුන්ගේ ප්‍රසාදයක් නැත. මහා සඟරුවනේ ඇතැම් ස්වාමීන් වහන්සේලාද අවිද්‍යාත්මක දේ කෙරෙහි රටේ අවධානය යොමුකිරීම පිළිබඳව කැමැත්තක් නොදක්වා මත පළකර තිබිණි. සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පිරිත් පැන් කළයක් ගඟට අතහැරීම රටපුරා දැඩි විවේචනයට ලක්වූයේ එබැවිනි. එම ක්‍රියාව ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේද විවේචනයට ලක්වූ අතර විපක්ෂය එය හැඳින්වූයේ ජනතාවට විහිළු සැපයීමක් හැටියටය. සමාජ මාධ්‍ය ඔස්සේද එම ක්‍රියාව නිර්දය ලෙස විවේචනය කෙරුණ අතර මැතිසබය තුළදී අමාත්‍යවරිය ඒ සඳහා පිළිතුර දීමට ගොස් කොරෝනාව ඉවර වෙනවා නම් තමන් මුහුදට බිලිවීමට වුවද සූදානම් බවට කළ ප්‍රකාශයද විවේචනයට ලක්විය. ඇතැමුන් කියා තිබුණේ සෞඛ්‍ය ඇමැතිනිය වශයෙන් එතුමිය කළ යුත්තේ ගඟට මුට්ටි අතහැරීම හෝ මුහුදට බිලිවෙන කතා කීම හෝ නොව කොරෝනා මර්දනයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම බවය.
පාර්ලිමේන්තුව රුස් වූ විට කොවිඩ් පාලනය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන වැඩපිළිවෙළට විපක්ෂයේ බරපතළ විවේචන එල්ල විය. මෙහිදී තමන් රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය දීමට ඉදිරිපත් වන නමුත් රජය නිසි පියවර නොගන්නා බවට චෝදනා කළේය. පසුගිය මාස හය කිසිසේත්ම ඉදිරියේදී ඇතිවිය හැකි දෙවැනි රැල්ලක් පිළිබඳව සූදානමකින් රජය කටයුතු නොකළ බවද අඩුම තරමින් ප්‍රමාණවත් තරම් වෙන්ටිලේටර් උපකරණ ගෙන්වා තැබීමට හෝ රජය අසමත් වූ බවද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. එහිදී පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය පිළිතුරක් ලබාදුන් නමුත් එය ප්‍රමාණවත් වූයේ නැත. අනුර කුමාර දිසානායකගෙන්ද රජයට විවේචන එල්ල විය. රජය බස්නාහිර ඇඳිරිය ඉවත් කිරීමෙන් පසුව තත්ත්වය පාලනය කර ගැනීමට සමත් වුවහොත් හොඳය. එසේ නොවී පාර වරද්දා ගත්තොත් උද්ගතවන තත්ත්වය විපක්ෂයට සටන් පාඨයක් ලියාදීමක් වනු ඇත.
කෙසේ වුවත් පසුගිය සතියේදී ආණ්ඩුව ගත් එක් යහපත් තීරණයක් වූයේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම වශයෙන් උසස් පෙළ සම්මාන දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් (සී දෙකයි එස් එකයි) තිබිය යුතු බවට නීතිය සම්මත කිරීමය. මේ පිළිබඳ වසර ගණනාවක් තිස්සේ කතාබහ සහ කඹ ඇදිලි පැවතියද තීරණය නීතිගත කළේ වත්මන් රජයයි. එය රජයට ප්ලස් ලකුණකි.
ආණ්ඩුව අයවැය ගෙන එන්නේ මෙම පසුබිමේය. කොවිඩ් ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතුද සීමා වී ඇති තත්ත්වයක් තිබුණද රටේ ජනතාවගේ අවධානය යොමුවනු ඇත්තේ තමන්ට ලැබෙන සහන මොනවාද සම්බන්ධයෙන් පමණි. අලුත් ආණ්ඩුවේ පළමු අයවැය වීම හේතුවෙන් ජනතාවගේ බලාපොරොත්තුද ඇත්තේ ඉහළ මට්ටමනි. එහෙම වුණත් පවතින තත්ත්වය යටතේ ආණ්ඩුවට එම බලාපොරොත්තු ඉටුකළ හැකිවනු ඇතිදැයි යන්න නම් ප්‍රශ්නාර්ථයකි.
මේ සමඟම කැබිනට් ඇමැතිවරුද තමන්ගේ අමාත්‍යංශවලට වෙන්කරනු ලබන මුදල් ප්‍රමාණය පිළිබඳව විමසිලිමත්ව සිටිනු ඇත. රාජ්‍ය ඇමැතිවරුද මේ ගැන ඉහළ බලාපොරොත්තු රඳවාගෙන සිටිනවාට සැක නැත. එහෙත් රටට ඉදිරි වසර තුළදී ගෙවීමට තිබෙන අධික ණය ප්‍රමාණය සහ කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් අහිමි වන ආදායමදරජයේ සැලසුම්වලට හරස් වනු ඇත. අපනයන ආදායම් යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබීම රජයට යම් තරමක අස්වැසිල්ලක් වුවද ආර්ථික ගැටලු විසඳා ගැනීමට එය කිසිසේත් ප්‍රමාණවත් නොවනු ඇත.
කොවිඩ් තර්ජනය මැද ගෙන එන අයවැය ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරනවාද කඩ කරනවාද යන්න ඉදිරි සතිය තුළදී බලාගත හැකිවනු ඇත.
- ශශීන්ද්‍ර