2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

ඩයනා ගමගේ සහ පුරවැසිකම

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 201

ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත්වී කෙටි කලකින්ම පුවත් මවන්නියක් බවට පත්වූවාය. සමගි ජන බලවේගයට තමන්ගේ “අපේ ජාතික පෙරමුණ” පක්ෂය දන්දුන් ඩයනා ඒ දානයේ අනුහසින් එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් පිදුම් ලැබුවාය. අගෝස්තු 05 වැනිදා පැවැති මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයේ මන්ත්‍රීවරියක් වශයෙන් අගෝස්තු 20 වැනිදා දිව්රුම් දුන් ඇය ඔක්තෝබර් 22 වැනිදා වන විට ආණ්ඩු පක්ෂයට සහාය දක්වන මන්ත්‍රීවරියක බවට පත්ව සිටියාය. දින 62ක් වැනි කෙටි කාලයක් තුළදී විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට මාරු වූ, පළමු වරට මන්ත්‍රී ධූරයක් ලද වෙනත් මන්ත්‍රීවරයකු සිටීදැයි යන්න සොයා බැලීමත් වටින්නේය.

කෙසේ වුවද පක්ෂය මාරු කළ ඩයනා ගමගේ ද 20 වැනි සංශෝධනයට සම්බන්ධකමක් දක්වයි. ඒ පුරවැසිභාවය සම්බන්ධයෙනි. ඇය පසුගියදා මාධ්‍ය හමුවේ කියා තිබුණේ පූර්ණකාලීනව දේශපාලනයේ නියැලීම සඳහා තමන් 2015 වසරේදී තමන්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හළ බවය. 20 වැනි සංශෝධනයේ වඩාත්ම විවාදයට ලක්වූ වගන්තිය වූයේද ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ තහංචිය ඉවත් කිරීමය. 19 වැනි ව්‍යවස්ථාව යටතේ ඇයට මන්ත්‍රී ධූරයකට හිමිකම් කීමට ඉඩක් නොතිබිණි.

1965 දෙසැම්බර් 18 වැනිදා කොළඹදී උපත ලබා සිටියත් ඇය අධ්‍යාපනය ලැබූ බව සඳහන් වන්නේ එංගලන්තයේ නව බකිංහැම්ෂයර් විශ්වවිද්‍යාලයෙනි. යූ.එන්.පී. ප්‍රමුඛ යහපාලන රජය කාලයේ 2017 වසරේදී රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපතිනිය වශයෙන් කටයුතු කරමින් සිටියදී තමන් ශ්‍රී ලංකාවේ නිල ගමන් බලපත්‍රය ලබාගත් බවද ඇය ප්‍රකාශ කර තිබිණි.

තමන් බ්‍රිතාන්‍ය ජාතිකයකුව සිටිමින් පාර්ලිමේන්තුවට පැමිණි බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඇය මේ කරුණු පෞද්ගලික රූපවාහිනී නාළිකාවකදී ප්‍රකාශ කළාය. තමන්ගේ මව උපතින් බ්‍රිතාන්‍ය පුරවැසියකු වූ බැවින් තමන්ට ද බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් හිමිවූ බවද ඇය සඳහන් කළාය. 2005 – 2015 කාලයේදී තමන් මෙරට නේවාසික වීසා ලබාගත් බවද පැවසූ ඇය බ්‍රිතාන්‍ය පුරවැසිකම අත්හළේ ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වීම සඳහා බවද කීවාය. ද්විත්ව පුරවැසිභාවයක් ලබාගැනීමේ අවශ්‍යතාවක් තමන්ට නොතිබූ බවද ඇය ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටියදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක වූ බවට නැගෙන චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරමිනි.

කෙසේ වුවද ඩයනා ගමගේ මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසුව ඒ ප්‍රීතිය නිමිත්තෙන් පැවැත්වූ ප්‍රිය සම්භාෂණයට ආණ්ඩුවේ ප්‍රබලම පුද්ගලයන් සහභාගි වී සිටි බවද එම අවස්ථාවට ඇරියුම් ලැබ පැමිණෙමින් සිටි සජබ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ඒ බව දැනගෙන අතරමගදී ආපසු හැරී ගිය බවද සජබ ආරංචිමාර්ග කියයි. සමගි ජන බලවේගය පිහිටුවීම සඳහා ඩයනා ගමගේ ගේ අපේ ජාතික පෙරමුණ ලබාගැනීමට සිදුවූයේ ඒ සඳහා යෝජනා වී තිබූ වෙනත් පක්ෂයක් ලබාගැනීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු විරෝධය දැක්වීම නිසා බවත් එම ආරංචි මාර්ග කියයි.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00