ශ්‍රී ලංකාවේ 08 වැනි ජනාධිපතිවරයා වශයෙන් මේ රටේ මහජනතාව විසින් තෝරා පත්කරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා තම ජනාධිපති පදවියේ ප්‍රථම වසර සම්පූර්ණ කරයි. 2005 වසරේ නොවැම්බර් මාසයේ සිට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය මහතා 2010 සිට ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ධුරය දරා 2015 ජනවාරි 08 වැනිදා එම ධුරවලින් ඉවත් විය. ඉන්පසුව 2019 වසරේ නොවැම්බර් 18 වැනිදා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව පරාජය කරමින් ලක්ෂ 14කට ආසන්න වැඩි ඡන්ද සංඛ්‍යාවක්ද 52.3%ක ප්‍රතිශතයක්ද ලබා ජනාධිපතිවරයා වශයෙන් පත්විය.
තම ප්‍රථම වසර සම්පූර්ණ කරන ජනාධිපතිවරයාගේ මේ දිනවල කාලය ගතවෙන්නේ රටම වෙලා ගනිමින් පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය මර්දනය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයටය. මෙරට සෞඛ්‍ය බලධාරීන් සහ හමුදාව පොලීසිය ඇතුළු ආරක්ෂක අංශද එකතු කරගෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේද සහායෙන් කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා ජනාධිපතිවරයා විවිධ පියවර ගනිමින් සිටියි. ඒ සඳහා කොවිඩ් වෛරස මර්දන කාර්යසාධක බලකායක්ද පිහිටුවනු ලැබූ අතර එම බලකාය දිනපතාම රැස්වී කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය පියවර සැලසුම් කරයි. මේ හේතු නිසා කාර්යබහුල තත්ත්වයක සිටින ජනාධිපතිවරයා සිය පළමු පදවි ප්‍රාප්තිය කෙසේ සමරනු ඇතිදැයි යන්න අවිනිශ්චිතය. එය බොහෝදුරට ආගමික වතාවත්වලට මුල්තැනක් දෙන චාම් උත්සවයක් වීමට ඉඩ තිබේ.
කෙසේ වුවද ජනාධිපති පදවියේ ප්‍රථම වසර සපුරන්නේ අනපේක්ෂිත අභියෝග කිහිපයක් මැද බව පැහැදිලිය. පසුගිය වසරේ ජනාධිපතිවරණයට පෙර රට තුළ ප්‍රධාන කතිකාව පාස්කු ඉරිදා ප්‍රහාරය සහ එයින් මතුවූ රටේ ආරක්ෂක අංශවල කඩාවැටීම නම් වසරක් සම්පූර්ණ වනවිට එම කතිකාව උඩ යට මාරු වී ඒ වනවිට අහන්නටත් නොතිබූ ඇසට නොපෙනෙනා වෛරසයක් මර්දනය කිරීම දක්වා මාරු වී තිබේ. පාස්කු ප්‍රහාරය මෙරටට පමණක් අදාළ ගැටලුවක් වන විට කොවිඩ් වෛරසය ලොවම වෙලාගත් මාරකයක් බවට පත්ව තිබේ. නමුත් කොවිඩ් වෛරසය පළමු වටයේදී මර්දනය කිරීමෙන් ලද සාර්ථකත්වයේ අභිමානය සමඟ පදවි ප්‍රාප්තිය සැමරීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබුණා නම් එය ඉතා උත්කර්ෂවත් අවස්ථාවක් වීමට ඉඩ තිබුණි. එහෙත් කොවිඩ් 2 වැනි රැල්ල එම තත්ත්වය වෙනස් කළේය.
දෙවැනි රැල්ල ඇතිවීමට පෙර සහ ඇතිවීමෙන් පසුවද තීරණ ගැනීමේදී යම් යම් ප්‍රමාද සිදුවූ බවට චෝදනා නැගෙන්නට විය. විශේෂයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවස්ථා ගණනාවකදීම මේ බව පෙන්වා දී තිබුණි. ගෝඨාභය රජය බලයට පත් කිරීමට පුරෝගාමී වූ වෘත්තීය සංවිධානයක් වන වෛද්‍ය සංගමය තුළද මේ සම්බන්ධයෙන් මත කිහිපයක් පවතින බවද බැලූ බැල්මට පෙනී යයි. එම සංගමයේ වත්මන් ලේකම්වරයාට වඩා දැඩිව රජයේ කොවිඩ් පාලන වැඩපිළිවෙළේ අඩුපාඩු සම්බන්ධ චෝදනා එල්ල කරන්නේ එහි සංස්කාරක වශයෙන් කටයුතු කරන හිටපු ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේය. සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය රජයේ පිළිවෙත සම්බන්ධයෙන් විවේචනයක නොයෙදෙන අතරම මෑතකදී ඔහු වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා බෝධි පූජා වැනි ආගමික වත්පිළිවෙත් සම්බන්ධයෙන් රටේ ජනතාවගේ අවධානය යොමුකිරීමට උත්සාහ දැරීමද බොහෝ දෙනකුගේ විමතියට හේතු විය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පමණක් නොව රජය බලයට පත්කිරීම සඳහා ප්‍රබල ලෙස දායක වූ මහා සඟරුවනේ ඇතැම් භික්ෂූන් වහන්සේලාද වසරක් ගතවීමටත් පෙර රජය සමඟ විරසක වීමද කැපී පෙනෙන්නකි. 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා රජය උත්සාහ දැරූ අවස්ථාවේ එහි තිබූ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් උන්වහන්සේලාට තදබල විවේචනයක් තිබිණි. විශේෂයෙන් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තියට ඒ හිමිවරු දැඩිව විරෝධය දැක්වූහ. අවසානයේ ජනාධිපතිවරයා එම හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව 20 වැනි සංශෝධනයට උන්වහන්සේලාගේ තිබූ විරෝධය ඉවත් කර ගැනීමට සමත් විය.
එහෙත් ඉන්පසුව යළිත් වරක් මේ ප්‍රශ්නය මතුවූයේ මුස්ලිම් ජාතිකයන්ගේ කොවිඩ් මරණ සිදුවීමෙන් පසුව එම සිරුරු භූමදානය නොකර ආදාහනය කිරීමට තීන්දු කර තිබීම හේතුවෙනි. එම තීන්දුව රජය මගින් ගනු ලැබූ තීන්දුවක් නොව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ගනු ලැබීමට නියමිත තීන්දුවක් බව පැවසුණි. කෙසේ වුවද කොවිඩ් පළමු රැල්ලේදී මේ ගැටලුව මතු වූ විට මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සෙසු මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහායද ඇතිව මුස්ලිම් ආගමානුකූලව එම සිරුරු මිහිදන් කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ දැඩි විරෝධයට හේතුවූ අතර කොවිඩ් මරණවලට ගොදුරුවන සියලුදෙනාගේ අවසන් කටයුතු එකම ආකාරයකට සිදුකළ යුතු බවට හඬ නැගුණි. නමුත් එහිදී ක්‍රම ක්‍රමයෙන් කොවිඩ් වෛරසය ව්‍යාප්තියද පාලනය වූ අතර මරණ සංඛ්‍යාවද 13කට පමණක් සීමාවීම නිසා ඒ පිළිබඳ මතභේදාත්මක තත්ත්වයද යටපත් විය. එසේ වුවද මහ මැතිවරණයෙන් පසුව බලයට පත්වූ ආණ්ඩුවේ අලි සබ්‍රි කැබිනට් ඇමැතිවරයකු වශයෙන් පත්වීමෙන් පසුව කැබිනට් මණ්ඩලය තුළදී මේ ගැටලුව මතු කළ බව දැනගන්නට ලැබුණත් ඒ සාකච්ඡා පැවැතියේ අප්‍රසිද්ධියේ වීම නිසා විස්තර හෙළිදරව් වූයේ නැත. එය හදිසියේම එළියට ආවේ කොවිඩ් වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් රජයට ස්තූතිය පළකරමින් තවුහිද් ජමාත් නම් සංවිධානයක් මගින් ලිපියක් මාධ්‍යයට නිකුත් කිරීම හේතුවෙනි. ඇතැම් ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව දැඩි ලෙස කෝපයට පත්ව ආවේගාත්මක ලෙස අදහස් දැක්වූ බවද පෙනිණි.
ඒ සමඟ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් ප්‍රකාශ වූයේ එවැනි තීන්දුවක් රජය මගින්නොගත් බවය. එහෙත් එවැන්නකට අවසර ඉල්ලා අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇති බවත් එය සාකච්ඡාවට ගැනීමෙන් අනතුරැව සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය සඳහා යොමුකර ඇති බවත් ප්‍රකාශ විය. කෙසේ වුවද අලිසබ්‍රි මහතා ඒ සම්බන්ධයෙන් සිටින්නේ නිහඬ පිළිවෙතකය. ඒ සමඟ රජයට ස්තූතිය පළ කරමින් මාධ්‍යයට ලිපියක් මුදාහළ තව්හිද් ජමාත් සංවිධානයේ නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ජනාධිපතිවරයා විසින් නියෝගයක්ද නිකුත් කරන තරමට වැඩේ දුරදිග ගියේය. එම පරීක්ෂණය පවත්වන ලෙසට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතාට පවරා ඇතැයිද සඳහන්ය.
කොවිඩ් මළසිරුරු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශයට පත් කෙරුණේ මුල් අවධියේමය. එහි නිර්ණායකවලට අනුව එම සිරුරු ආදාහනය හෝ භූමදානය කළ හැකිය. එහෙත් භූමදානය සිදුකිරීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ගණනාවක්ද තිබෙන බවද කියයි. විශේෂයෙන් භූගත ජලය සමඟ මුසුවිය හැකි භූමියක එම මළසිරුරු මිහිදන් කිරීම බරපතළ අවදානම් සාධකයක් හැටියට හඳුන්වාදී තිබෙන බවද සඳහන්ය.
මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියා ඇත්තේ කොරෝනා වයිරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු භූමාදනය කිරීමෙන් එම වයිරසය භූගත ජලයට එක්වීමේ අවදානමක් මතුවිය හැකි බවය. ඒ සම්බන්ධයෙන් ස්ථීරව ප්‍රකාශ කිරීමට මෙතෙක් විද්‍යාත්මක දත්ත නැති නමුත් එහි යම් අවදානමක් තිබෙන බව ඇයගේ මතයයි. ශ්‍රී ලංකාවේ භූගත ජලය පොළොව මට්ටමේ සිට ඉතා සීමිත ගැඹුරකින් පවතින බවට තහවුරු වී ඇති බැවින් එවැනි අවදානමක් මතුවිය හැකි බවද මහාචාර්ය විතානගේ මහත්මියගේ ප්‍රකාශයේ සඳහන් විය.
කොරෝනා වෛරසය ආසාදිත පුද්ගල මළසිරුරු භූමදානය කිරීමෙන් සිදුවිය හැකි තත්ත්වය පිළිබඳ සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ කමිටුවක්ද පත්කර තිබේ. කෙසේ වුවත් මෙරට දේශපාලනයේ තිරය පිටුපස සිදුවන අලජ්ජිත ක්‍රියා පිළිබඳ හරස්කඩක් මේ සිද්ධියෙන් පැහැදිලි වෙයි. එක් අවස්ථාවකදී විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරයකු විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් දැඩිව ප්‍රතික්ෂේප කිරීමත් තවත් අවස්ථාවකදී ආණ්ඩුවේ ඇමැතිවරයකුගෙන් ඉදිරිපත් වන එවැනි ඉල්ලීමකට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීමත් මේ සිද්ධියට හේතු වී තිබේ. එහෙත් මේ සමස්ත සිද්ධියම මෙරට ඇතැම් භික්ෂූන් වහන්සේලා තුළත් වත්මන් රජය බලයට පත් කිරීමට සහාය දැක්වූ දැඩි මතධාරී කොටස්වලත් අප්‍රසාදයට හේතු වී ඇති බව නම් පැහැදිලිය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉටුකරගත් එක් ප්‍රධාන අරමුණක් වූ 20 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව දැන් එය ක්‍රියාවට නැංවෙමින් පවතී. කලින් තිබූ ව්‍යවස්ථාදායක සභාව වෙනුවට දැන් පාර්ලිමේන්තු සභාව ක්‍රියාත්මකය. ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනාධිකරණයේත් විනිශ්චයකාර ධුර සංඛ්‍යාව පුළුල් කෙරුණු අතර ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් යෝජිත නම්වලට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ලැබී තිබේ. එසේම දැනගන්නට ඇති අන්දමට සම්පූර්ණයෙන්ම සැකසෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළ සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට ආදේශ කළ හැකි නව ඡන්ද ක්‍රමයක්ද සාකච්ඡා වී තිබේ. එයද රජය මගින් ප්‍රකාශ කර තිබූ වෙනස්කමක් වන අතර ඒ පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් පවතී.
20 වැනි සංශෝධනය සම්මත වෙද්දී වඩාත්ම කතාබහට ලක්වූ ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු මැතිවරණ තරග කිරීමට නුසුදුස්සකු වන බවට තිබූ වගන්තිය සංශෝධනය වීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට දැන් බාධාවක් නැත. ඔහුගේ පැමිණීම වෙනුවෙන් තම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය අත්හැරීමට ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා සූදානමින් සිටී. එසේ වුවත් බැසිල් අද හෙටම පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බවත් බොහෝදුරට එය ජනවාරි මාසයේදී සිදුවීමට ඉඩ ඇති බවත් සඳහන් වෙයි. ජනාධිපතිවරයා මේ වනවිටද පාර්ලිමේන්තුවට හැකිතරම් ඉක්මණින් පැමිණෙන්නැයි බැසිල්ට ආරාධනා කර ඇතැයිද කසුකුසු පැතිර යද්දී ඒ සම්බන්ධයෙන් බැසිල්ගේ ප්‍රතිචාර කුමක්දැයි දැනගැනීමට මාධ්‍ය කළ විමසීමකදී ඒ සම්බන්ධයෙන් තමන් කතා කළ යුතු නැතැයි යනුවෙන් පිළිතුරු දී ඇති බවද සඳහන්ය. තවත් ආරංචි මාර්ගයක් ප්‍රකාශ කර තිබුණේ ඔහු වඩාත් හොඳින් සූදානම් වී මිස පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බවය.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුව ඔහුට කැබිනට් අමාත්‍ය ධුරයක් පිරිනැමෙනු ඇති අතර එය බොහෝදුරට ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වන බව පැහැදිලිය. ඒ සමඟ තවත් ඇමැති ධුර කිහිපයක විෂයන් වෙනස්වීමටත් අලුතින් අමාත්‍යවරයකු හෝ දෙදෙනකු පත් වීමටත් ඉඩ තිබේ. ගෝඨාභය ජනාධිපතිවරයාගේ වියත්මග වැඩපිළිවෙළේ ප්‍රධානම කොටස්කරුවකු වූ සරත් වීරසේකර මහතාට කැබිනට් ඇමැති ධුරයක් ලැබෙන බවද සඳහන්ය. එය ඇතැම්විට නීතිය හා සාමය වැනි විෂයයන් සහිත අමාත්‍ය ධුරයක් වීමටද ඉඩ ඇති බවත් සඳහන්ය. මේ වෙනස්කම් සිදුවුවත් නැතත් සියලු කැබිනට් ඇමැතිවරුන්ට දැන් වඩාත් වගකීම් සහිතව හරි හරියට වැඩ කිරීමට සිදුව තිබේ. 20 වැනි සංශෝධනයට අනුව ඕනෑම අමාත්‍යවරයකු අස් කිරීමටත් පත් කිරීමටත් ජනාධිපතිවරයාට බලය පවරා ඇති බැවිනි.
කොවිඩ් 19 මර්දන කටයුතු කිසියම් පාලනයකට යටත් කරගැනීමෙන් පසුව ජනාධිපතිවරයාගේ අවධානය දැඩිව යොමුවනු ඇත්තේ ආර්ථික ගැටලු විසඳා ගැනීම කෙරෙහි බව පැහැදිලිය. ලබන 17 වැනිදා ජනපති ගෝඨාභයගේ පළමු අයවැය ඉදිරිපත් වෙයි. එහි යෝජනා කුමක් තිබුණත් කොවිඩ් හේතුවෙන් රට තුළ වඩාත් බරපතළ තත්ත්වයට පත් වී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩනයට පත්ව සිටින ජනතාවට සහනයක් ලැබේද යන්න නම් සැකසහිතය. තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් අතැතිව රට මෙහෙයවීමට අවශ්‍ය බව කියූ 20 වැනි සංශෝධනයේ බලයද තිබෙන විට රටේ ජනතාව ජනාධිපතිවරයාගෙන් බොහෝ දේ බලාපොරොත්තු වීම ගැන පුදුම වෙන්න දෙයක් නැත.
- ශශීන්ද්‍ර