ඔබ මේ රටේ විද්වතෙක් එවන් අයෙක් කොහොමද මේ දේශපාලනයට තල්ලු වෙන්නේ?
ඒක දිග කතාවක්. මගේ පවුලෙ අය ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ පතාකයෝ. උදාහරණයක් හැටියට මගේ මාමා අලි දෙන්නෙක් හැදුවා එක්සත් ජාතික පක්ෂයට තියෙන කැමැත්ත නිසා. එයාට අලි නිලමේ කියලා කිව්වේ. හැබැයි තාත්තා දේශපාලනය පටන් ගත්තේ කොමියුනිස්ට් පක්ෂයෙන්. ඊට පස්සේ එයත් ආවා එක්සත් ජාතික පක්ෂයට.
එහෙම එ.ජා.ප. පරිසරයක හැදිච්ච ඔබ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවෙක් වෙන්නේ කොහොමද?
මම විශ්වවිද්‍යාලයට ආපු කාලයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටියා. ඒකට එකතු වෙන්න හේතු වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ සංගමයේ උප සභාපති, ලේකම්, සභාපති තනතුරු දරපු නිසා. ඒ නිසා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන එකම සංගමය වුණේ විද්‍යා පීඨ සංගමය. ඔය ජාතික චින්තන මතවාදයට විරුද්ධව හිටිය එකම කට්ටිය අපි. මේ නිසා ඒ අය අපිට ගහනවා. ඒ හරහා තමයි අපි දේශපාලන කරන්න යොමුවුණේ.
අන්තරේදී ඔබත් සමඟ හිටිය සමකාලීනයෝ කවුද?
සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා තමා ඒකාලේ කැඳවුම්කරු. අනුර කුමාර හිටියා කැලණියේ. ඔය වගේ සමකාලීනයෝ රෑනක් හිටියා. ඒ නිසා අපි ජේ.වී.පී. එකේ දේශපාලන මතවාදයන් එක්ක හිටියා.
ඔබත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ජේ.වී.පී. අතහරිනවා නේද?
නෑ. 1997 මම කැම්පස් එකෙන් ඉවත්වෙනවා. ඊට පස්සේ 1998 උසස් අධ්‍යාපනය සඳහා මම ජපානයට ගියා. ඒ ගිහිනුත් ජ.වි.පෙ. ශාඛාවත් සමඟ වැඩ කළා.
එතකොට ජ.වි.පෙ. අතහරින්නේ කොහොමද?
ජ.වි.පෙ. හිටියා හොඳ නායකයෙක්. ඔහු තමයි සෙනවි. සෙනවි පක්ෂයෙන් ඉවත් වුණෘ. එතකොට අපිත් නිහඬ වී හිටියා.
ඇත්තටම හේතුව මොකක්ද ජ.වි.පෙ.න් ඉවත්වෙන්න?
අපිට එකවරක් හම්බවුණානේ මන්ත්‍රීධූර තිස් ගාණක්. අමාත්‍ය ධූර හතරකුත් ලැබුණා. ඒ කාලයේදී අපි දැක්කා කියපු දේවල් එකක්වත් කරගන්න බැරිවුණා කියලා අපේ අයට. ප්‍රායෝගික දේශපාලනයේදී කියන දේ කරන්න බෑ කියන ප්‍රශ්නය අපිට පැන නැගුණා. ඒ විතරක් නෙමෙයි එතැනින් උඩට යන්න තිබ්බ ගමන ජ.වි.පෙ. පිරිස නැවත ආපසු හැරෙව්වා. මේ නිසා කළකිරීමක් ඇති වුණා.
ඔය කාලයේම නේද විමල් වීරවංශත් පක්ෂයෙන් ඉවත් වෙන්නේ?
ඔව්. අපි කතා කරලා අහනවා විමල්ගෙන් ඉදිරි වැඩපිළිවෙළ ගැන. එතකොට විමල් කියනවා ආයේ දේශපාලනය කරන්නේ නෑ කියලා ඔහු කියනවා නැවත, පත්තර රස්සාවට යනවා කියලා. ඒ වෙලාවේ අපි කිව්වා පත්තරේ රස්සාවට යන්න එපා, එකතුවෙලා අලුත් පක්ෂයක් හදමු කියලා. ඒ අනුව තමයි මමයි, නන්දනයි, සෙනවියි, විමලුයි එකතුවෙලා ජාතික නිදහස් පෙරමුණ හැදුවේ. එතනින් පස්සේ තමයි ජාතික නිදහස් පෙරමුණත් එක්ක ඉන්නේ.
ඉතිං ඔය විමලුත් ජ.වි.පෙ. නේ. කොහොමද ඔහු ගැන විශේෂ විශ්වාසයක් එන්නේ වැඩක් කරයි කියලා?
විමල් කියන්නේ පක්ෂයේ මාර්කටින් මැනේජර්. ඊට වඩා ලොකු විශ්වාසයක් තිබ්බා සෙනවි සහෝදරයා ගැන. මොකද 88 – 89 කාලයේ සෝමවංශ සහෝදරයා එංගලන්තයේ ඉන්නකොට මෙයා තමා පක්ෂය හැදුවේ. ඒ නිසා සෙනවි සහෝදරයා ගැන විශ්වාසයක් තිබ්බා. ඔය කිව්වා වගේ විමල් ගැන විශ්වාස කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තිබ්බා. ඒත් පක්ෂයට මාර්කටින් මැනේජර් කෙනෙක් ඕනනේ. ඒ නිසයි විමල් ගත්තේ.
එතකොට ඔබලගේ මූලික අරමුණ වුණේ ජ.වි.පෙ. අතඇරලා යන අයට ජීවත් වෙන්න පක්ෂයක් හදන එකද?
නැහැ. අපි දැක්කනේ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නකොට කරන්න බැරිවුණ දේවල්. ප්‍රායෝගික දේශපාලනය ජනතාව අතරට ගේන්නයි අපිට උවමනා වුණේ.
ඒක ජාතික නිදහස් පෙරමුණ කළාද?
නෑනේ. ඒනිසානේ ඉවත් වෙන්නේ.
ප්‍රතිපත්තිමය අවුලක්ද නැත්නන් විමල් සහෝදරයා එක්ක තිබ්බ ආරවුලක්ද?
දෙකක් තියෙනවා. ඒ දෙකටම බලපෑවේ විමල් සහෝදරයාගේ ක්‍රියාකලාපෙ. ඔහු දවල් මිගෙල් රෑ දනියෙල් චරිතයක් රඟපෑවේ. ඉන්නකොට තමයි ඒක අපි දැනගත්තේ සෙනවි සහෝදරය ඉවත් වෙන්නෙත් මේ නිසා. ඒවගේ ඇතැම් අය පත්කරන්න කියලා කිව්වා. ඒ දේවල්වලට මම විරුද්ධ වුණා.
එහෙම ප්‍රශ්න කියාගෙන ඇයි ඔබ ඉංජිනේරු සංස්ථාවේ සභාපති පුටුවේ වාඩිවෙන්නේ?
නෑ... මාව පත්කළේ මධ්‍යම කාරක සභාවේ සියලු දෙනාගේම තීරණයක් මත. ඒ නිසයි ඒක බාරගත්තේ.
එතකොට පක්ෂයේ පිරිසට රජයේ රස්සාවල් දුන්නේ මධ්‍යම කාරක සභාවේ තීරණ අරගෙනද? එහෙම කොහොමද රස්සාවල් දෙන්නේ?
ඔය රස්සාව මම ප්‍රතික්ෂේප කළා. ඒත් 2011 ලෝක කුසලානය සඳහා. ඛෙත්තරාමයත් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයක් ලබාදෙන්න ඕන වුණා. මට මතකයි 2010 අගෝස්තු මාසයේ අයි.සී.සී. එකේ ප්‍රධානියෙක් ඇවිත් කිව්වා මේක කරන්න බෑ කියලා. ඒ අය ඊට පිළියමක් හැටියට ඉන්දියාවේ ඊඩ්න් ගාර්ඩ්න් ග්‍රවුන්ඩ් එක නම් කළා. ඒක ලොකු අර්බුදයක් වුණා ඒ වෙලාවේ මගෙන් මේදේ කරලා දෙන්න කියලා ඉල්ලුවා. ඒ නිසා මම ඒදේ පිළිගත්තා. මම රෑ එකට දෙකටත් ග්‍රවුන්ඩ් එකේ හිටියේ. අපි වෙලාවට ඒකෙ වැඩකළා. ඔක්තෝම්බර් වෙනකොට සියයට 50ට එතැන වැඩ ඉවර වුණා. එවැනි වගකීමක් ගන්න මට ඉවසන්න වෙනවනේ.
ඊට පස්සේ පක්ෂයේ ආරවුල් එක්ක ඉවත් වුණා?
නෑ. ආසන්නම හේතුවක් තිබුණා. ඒ ඉංජිනේරු සංස්ථාව ඉතිහාසයේ ලංසු ඉදිරිපත් කරලා මිලියන 1054 ව්‍යාපෘතියක් ගත්ත. ඒක ජයිකා ආයතනයේ වැඩක්. මේ ව්‍යාපෘතියෙන් අයින්වෙන්න කියලා මට හිටපු ජනාධිපතිතුමා කතා කළා. මම බෑ කිව්වා. ඊට පස්සේ විමල් වීරවංශ මහත්තය කතා කළා. අයින්වෙන්න කියලා. මම බෑ කිව්වා. ඊට පස්සේ ඔහු තරහා ගිහිල්ලා කිව්වා එහෙනම් යන්න වෙයි කියලා. මම හා කිව්වා හැබැයි මම දැන්නුව මම යන්නේ ඛෙත්තාරාම පල්ලෙකැලේ වැඩේ ඉවරවෙලා කියල. මාර්තු අග වෙනකල් හිටියා. ඇතැම් දේවල්වලට මම දැඩි ලෙස විරුද්ධ වුණා. ඒ නිසා ප්‍රශ්න ආවා.
මේ ගැටුම විසඳගන්න හැදුවේ නැද්ද?
උත්සාහ කළා. පක්ෂ අභ්‍යන්තරයේදී මේ ගැන කතා කළා වසන්ත බණ්ඩාර සහෝදරයෝ එහෙම මා එක්ක හිටියේ. අවසාන සාකච්ඡාවට ආවා වසන්තයි, සුමිත් වන්නිආරච්චියි, කපිල ගමගේ සහෝදරයයි. ඒ වෙලාවේ ඔවුන් කිව්වා අපි විමල්ව බිත්තියට හේත්තු කරලා හරි මේ ප්‍රශ්නය විසඳගන්න ඕන කියලා. එහෙම අය අද ඉන්න තැන ගැටලුවක්.
ඔබත් විමල් වීරවංශත් එකම ආයතනයේ වැඩකරද්දී සිදුවුණා කියන රාජ්‍ය දේපළ අවභාවිතයක් නිසා තමයි අද විමල් බන්ධනාගාර ගතවෙලා ඉන්නේ? ඒ චෝදනාවෙන් ඔබ ගැලවුණේ කොහොමද?
නෑ. ඔය කියන දේවල් වෙලා තියෙන්නේ මම ඉවත් වුණාට පස්සේ. 2011 මැයිවලින් පස්සේ තමයි ඔය චෝදනා තියෙන්නේ.
ඒත් විපක්ෂයෙන් කියන්නේ ඔබත් ඒ වංචාවට සම්බන්ධයි බවත්, ඊට අනුබල දීලා තියෙනවා කියලා?
2010 ඉඳලනේ එයා ඇමතිවරයා වෙන්නේ. 2015 වෙනකල්ම එයා ඇමතිවරයා. මේ කාලය ඇතුළේ මම ඉන්නේ අවුරුද්දක කාලසීමාවක විතරයි. බලන්න ඕන අන්න ඒකාල සීමාවේ එවැනි දේවල් වෙලාද කියලා. ඒ කාලය තුළ වරදක් වෙලා නැත්තන් මම කොහොමද හිරේ යන්නේ? ඒක අභූත චෝදනාවක්. මම හරියට නීතියට රාජකාරි කරලා තියෙනවා. මම හයවතාවක් එෆ්.සී.අයි.ඩී.යට සාක්ෂි දුන්නා මේ ගැන.
ඔබ කිසිම වාහනයක් පවරන්න ලිඛිත ලේඛනයකට අත්සන් කරලා නැද්ද?
අත්සන් කරලා තියෙන්නේ නීත්‍යානුකූලව සිදුකළ පැවරීම්වලට විතරයි. මම එහෙම අත්සන් කරලා තියෙන්නෙත් මට මතක හැටියට දෙන්නටයි. ඒ පෞද්ගලික ලේකම් අචලටයි, මාධ්‍ය ලේකම්ටයි. මේ සියලු බලය බෝඩ් පේපර් එකකින් පවරලා තිබ්බා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වෙත. මම කරලා තියෙන්නේ අමාත්‍යවරයාගේ ඉල්ලීම් යොමුකිරීම පමණයි. ඒ අය තමයි අවශ්‍ය පියවර ගන්නේ.
ඒ කියන්නේ ඔබ ලස්සනට බේරිලා නේද?
බේරිලා නෙමෙයිනේ. නිත්‍යනුකූලව වැඩ කරලනේ තියෙන්නේ. මම රාජකාරිය නීති පොතට අනුව සිදුකරලා තියෙනවා.
ඒ කාරණය අත්හරිමුකෝ. දැන් කියන්නේ වමේ හිටිය ඔබ කොහොමද මේ එ.ජා.ප.ය.ට එකතු වෙන්නේ කියලා?
මට එ.ජා.ප.යේ උරුමයක් තිබෙනවා කියලා කිව්වනේ. ආසන්නම හේතුව වුණේ 2013 මාර්තු මාසයේ හිටපු ජනාධිපතිතුමා ජපානයට සංචාරය ගිය වෙලේ එතුමාගේ වැඩකටයුතුවලට මම සහභාගි වෙනවා ඉල්ලීමක් පරිදි. එතනදී දකින දේවල් එක්ක මට කළකිරීමක් ඇතිවෙනවා. ඊට පස්සේ මම එනවා එවකට විපක්ෂ නායක වර්තමානයේ අග්‍රාමාත්‍යවරයා හමුවන්න. ඇවිත් ඔහුත් සමඟ සාකච්ඡා කරනවා මේ පාලනය බිඳවට්ටන්න. ඊට පස්සේ තමයි එ.ජා.ප.යෙන් ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ.
ඒ ගත්ත තීරණය දැන් හරි කියලා හිතනවාද?
හරියට හරි.
වමේ හිටිය ඔබ දැන් ධනවාදී පක්ෂයක මන්ත්‍රීවරයෙක්. මේ පහළ පත්තියේ මිනිස්සු ජීවන අරගලයෙන් මිරිකිලා පීඩා විඳිනකොටත් ඔබ හිතනවාද මේ ආණ්ඩුව හරි කියලා?
මම හිතනවා මේ ආණ්ඩුව ජනතාව ගැන හිතනවා කියලා. ජනතාවගේ දුක හඳුනන ජනතාවාදී ආණ්ඩුවක් තමයි මේක. මේ රටේ ඉතිහාසය ගත්තත් අධ්‍යාපනයට සෞඛ්‍යයට සියල්ල කරලා තියෙන්නේ එ.ජා.ප.ය. එවැනි කාරණත් එක්ක මම හිතන්නේ ජනතාව එක්ක යන එකම ආණ්ඩුව මේක කියලා.
ඒ ඉස්සරනේ. දැන් ආණ්ඩුව එහෙම නෑනේ. මෙච්චර ජනතාවාදී ආණ්ඩුවට තවම ඡන්දයක්වත් තියාගන්න බෑනේ?
ඔය ඡන්ද කල්දැමීම කියන කාරණය ඉන්නේ සීමානිර්ණ ප්‍රශ්නයක් එක්ක. ඔය බැසිල් රාජපක්ෂ උන්නැහේගේ වැඩක්නේ. එයාට ඕන විදිහටනේ ඕවා හැදුවේ. ඒ ප්‍රශ්නය ටික විසඳුණාම වෙලාවට ඡන්දය තියයි.
ඇයි ඔය ජනතාවාදී ආණ්ඩුවට බඩුමිල පෙන්නෙ නැත්තේ. මිනිස්සු ජීවත්වෙන්නේ බොහොම අමාරුවෙන්?
ඉස්සර රජය එක්ක සංසන්ධනය කළොත් බඩුමිල අඩුවෙලා නැද්ද? ගෑස් අඩුවුණේ නැද්ද... මේ ඔක්කොම බලද්දී ඉස්සෙල්ලා ආණ්ඩුවට වඩා බඩුමිල අඩුයිනේ.
ඔබට නිකමට හිතෙන්නේ නැද්ද ඔබ වැනි විද්වතුන් මේ දේශපාලනය තුළ නියමට පාවිච්චි වෙනවා කියලා?
මම කවදාවත් හිතන්නේ නෑ භාවිතා වෙනවා කියලා. අපිට හැකියාවත් තියෙනවා අපි හිතන රටට හිතවාදී දේවල්වලට පිළිතුරු සොයන්න පුළුවන්. විසඳුම් හොයලා දෙන්න පුළුවන්.
එහෙම කිව්වට අණ්ඩුවේ ඇතුළේ සිදුවන දූෂණ වංචාවලටත් බෙල්ල තියන්න වෙලාතියෙන්නේ ඔබලාට විශේෂයෙන් බැඳුම්කර වංචාව වගේ දේවල්?
නෑ බැඳුම්කර වංචාවක් වෙලා තියෙනවද නැද්ද කියන එක තවම අනාවරණය වෙලා නෑ. හැබැයි වැරදි කරපු අය ඉන්නවා නම් දඬුවම් දෙන්න.
ඔබ වැනි අය භාවිතවෙනවා කියන එක පේනවනේ. දැන් ඔබ කියනවා එහෙම දෙයක් තවම වෙලා කියලා ඔප්පුවෙලා නෑ කියලා. ආණ්ඩුවේ ඉන්න අයම කියනවා වංචාවක් වෙලා කියලා ඇයි කියන්න බයද?
තවම ඔප්පුවෙලා නෑනේ. අපි බලමු අනාගතේ.
කෝ අර විදෙස් ආයෝජකයෝ ගෙනල්ලා බිහිකරනවා කිව්ව රුකියා දස ලක්ෂේ?
විදෙස් ආයෝජකයෝ ඇවිත් ඉන්නේ. ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා ක්‍රියාපටිපාටියේ. මම දන්න ජපන් ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් රුගෙන ආවා. ඒත් ඔවුන්ට ආයෝජනය කරන්න තවම විදිහක් නෑ. ඇයි අවසර ගන්න ඕන විවිධ තැන්වලින්. දැන් අවුරුදු දෙකක් මේක මහ පඹගාලක්. මම චෝදනා කරනවා ආයෝජන මණ්ඩලයට. කිසිදවසක ඒකෙන් වැඩක් කරගන්න බෑ. සියලු දේවල් තිබිලවත් මාසයක් ඇතුළත ආයෝජනය කරන්න අමාරුයි. සමහර නිලධාරින් නිසයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ.
ඔබතුමාලා කිව්වා නේද හබ්බන්තොට වරාය, ගුවන්තොටුපළ සුදු අලියෙක් කියලා?
ඔව් සුදු අලියෙක් නේන්නම්. නැව් එන්නේ නෑ. ගුවන්යානා එන්නේ නෑ. සුදු අලියෙක් නෙමෙයිද?
සුදු අලියට හොඳ මාර්කට් එකක් තියෙනවා නේද? දැන්වත් හිතෙන්නේ නැද්ද සුදු අලියා වටිනවා කියලා?
මේවා බදු දෙන්න වුණේ සුදු අලියෙක් නිසානේ. වරායක් හදලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් ගන්න කෙනකුට දෙන්න එපැයි. අපි විකුණන්නේ නෑනේ. මේක හවුල් ව්‍යාපාරයක් හැටියට යනවා විතරයි. විකුණුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා. පෝර්ට් සිටි එකම පේනවනේ.
දැන් අර කිව්ව චීන කොළනියක් පේන්නේ නැද්ද?
නෑ අපි රටක් හැටියට නෙමෙයි කිව්වේ. මේ ණය ගන්න ක්‍රමයේ වැරැද්ද කිව්වේ. මේ ගත්ත ණය හැටියට හිරවෙලා තියෙන්නේ. අපි ඒකටයි විරෝධය පෑවේ.
ඇයි ඔච්චර ණයක් තියන රටක් පොරකාලා බාරගත්තේ. ගොඩදාගන්නත් අමාරු නම්?
අපි ගත්තට පස්සෙනෙ දන්නේ මෙච්චර ණයක් තියනවා කියලා.
ඔබතුමාලා එදා කිව්වේ රට ආර්ථිකයෙන් ගොඩගන්නට ජනතාවට ජීවන බර දෙන්නේ නෑ කියලා?
ඒකනේ මේ ආර්ථික ක්‍රමයකට යන්නේ. ඒතුළින් ගොඩනගන්න පුළුවන්. අපි කිසිදෙයක් විකුණලා නෑනේ. විපක්ෂයේ කියන තරම් බිල්ලෝ නෑ.
ඔබ මහාචාර්යවරයෙක්. මට කියන්නෙ මොකක්ද මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය කියලා?
අපිට තියෙන්නේ බොහෝම පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක්. සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක අපි යන්නේ.
හැබැයි ආණ්ඩුවේ ඇමතිවරු කියන්නේ මේක ගොඩදාන්න බෑ කියලා?
ඔව් ඒ ණය නිසා. හැබැයි අපි පැනලා දුවන්නේ නෑ. මේක ගොඩදානවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු දෙකකට කළින් තියලා පැනලා දිව්වේ ඒකනේ. ණය ගත්තා ගත්තා ගෙව්වේ නෑ ඔහු පැනලා දිව්වා.
ගයාන් ගාල්ලගේ