වත්මන් රජයේ පළමු අයවැය පසුගිය අඟහරුවාදා (17) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය. ආණ්ඩු පක්ෂයෙන් මල් ද විපක්ෂයේ ගල් ද හිමිවෙන වාර්ෂික ලියැවිල්ලක් බවට පත්ව තිබෙන මේ රටේ අයවැය කතාව මෙවර ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට සිදු වූයේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය මගින් රටේ වෙළෙඳ නගරය වන කොළඹ ඇතුළු බස්නාහිර පළාතම අඩපණ කරන ලද අවස්ථාවකය. කොවිඩ් වසංගතය මර්දනය ආණ්ඩුවේ ලොකුම සටන බවට පත්ව තිබෙන අවස්ථාවක ජනතාවට සහන සලසන අයවැයක් ඉදිරිපත් වෙනු ඇතැයි බලාපොරොත්තු වීම නිෂ්ඵලය. එහෙත් කොවිඩ් අභියෝගය මෙන්ම ආර්ථික අභියෝගය ද ජය ගැනීම සඳහා මුළු රටම දැඩිව ක්‍රියාත්මක විය යුතු කාලයක් එළඹ තිබෙන බව අයවැය යෝජනා මගින් පෙන්වා දී තිබේ. පොදු පහසුකම් සංවර්ධනය, පානීය ජල සම්පාදනය වැනි තේමාවන්ද ජනතා අපේක්ෂ දල්වා තිබේ.
මොනම ආණ්ඩුවකින් වුවද ඉදිරිපත්වෙන අයවැයක ජයග්‍රාහකයා විය යුත්තේ ආණ්ඩුව හෝ විපක්ෂය හෝ නොව පොදු මහජනතාවය. එසේ වුවද නිදහස ලබා ගෙවී ගිය පසුගිය වසර 72ක කාලය තුළදී අයවැයක් මගින් ඉදිරිපත් කෙරෙන යෝජනා හරහා මේ රටේ පොදු මහජනතාව ලබා ඇති ජයග්‍රහණ මොනවාදැයි සොයා බැලීමක් කළහොත් ලැබෙන ප්‍රතිඵලය අප කිසිවකුටත් සෑහීමකට පත්විය හැකි එකක් නොවන බව කිව යුත්තේ කනගාටුවෙනි. ජනතාවට එසේ උදම් ඇනිය හැකි ආර්ථික ජයග්‍රහණ ලැබී තිබුණා නම් පනහ දශකයේ මුල් භාගයේ දී කොරියාවට සහ සිංගප්පූරුවටත් වඩා ශක්තිමත් ආර්ථිකයක හිමිකරුවන් වූ අපට මේ වන විට ආර්ථික වශයෙන් දණින් වැටී සිටීමට සිදුවන්නේ නැත. එදා බින්දුවට වැටී සිටි කොරියාව සහ සිංගප්පූරුව අද සිටින තැන සහ අපේ රට එදා හිටපු තැන සහ අද වැටී සිටින තැන පිළිබඳ සුළු සංසන්දනයක් කිරීම පමණක් යථාර්ථය තේරැම් ගැනීමට සෑහෙයි.
අවාසනාවකට මෙන් අපේ රටේ බොහොමයක් අයවැය කතා සොඳුරු අවසානයක් ඇති සුරංගනා කතාවලට දෙවැනි නැත. වැටුප් වැඩිකර, බදු අඩු කරන, රැකියා සුලබ වෙන, ජීවන වියදම පහත හෙළන වැනි අවසානයක් සහිත කතා අසා නින්දට වැටෙන රටේ ජනතාව යළි අවදි වන්නේ ඊළඟ අයවැයේදීය. මේ යථාර්ථය හොඳින් දන්නා බලයේ සිටින ආණ්ඩු ද ජනතාවට නිදාගන්නට ඉඩදෙනවා හැර ඔවුන් අවදි කරන්න යන්නේ ද නැත. ඉඳහිට මතක්වෙන වෙලාවට ජනතාවට ඇඟිල්ලෙන් අනින විපක්ෂයක් සිටින විට මේ කාර්යය ආණ්ඩුවකට වඩාත් පහසු වෙයි. මෙවර 2021 සඳහා ඉදිරිපත් කරන ලද අයවැයට ද එවැනි ඉරණමක් අත්නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.
මෙවර ඉදිරිපත් කරන ලද අයවැයේ යෝජනා අතර තිබූ උපයන විට ගෙවීමේ සහ රඳවා ගැනීමේ බදු අහෝසි කිරීමත් පෞද්ගලික ආදායම් බදු සීමාව ඉහළ දැමීමත් බදු ගෙවන ජනතාවට අස්වැසිල්ලක් වනු ඇති බව කිව හැකිය. කෙසේ වුවද බොහොමයක් අවස්ථාවලදී අප දැක ඇත්තේ එක් අතකින් ප්‍රසිද්ධියේ ලබා දෙන බදු සහ ආර්ථික සහන තවත් අතකින් අප්‍රසිද්ධියේම ආපසු අයකර ගන්නා ක්‍රමයකි. එවැනි වැඩකට ඉදිරි වසර තුළදී ආණ්ඩුව අත නොගසනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එසේම කොවිඩ් හේතුවෙන් රටේ ජනතාව ද වැටුප් වැඩිවීම් වැනි තමන්ගේ බඩ කට පිරෙන යෝජනා බලාපොරොත්තු නොවුණද තමන් පිට පැටවී තිබෙන ජීවන බර තරමක් දුරට හෝ සැහැල්ලු වන ආර්ථික පිළිවෙත් ඉදිරි වසර තුළදී ක්‍රියාත්මක කරනු දැකීමට කැමැත්තෙන් සිටින බවද ආණ්ඩුව දැන සිටීම අවශ්‍යය.
අයවැය විවාදය ආණ්ඩුවත් විපක්ෂයත් අතර මඩගසා ගැනීම් බවට පත් වුණොත් එයින් රටට ලබා දෙන පණිවුඩය වන්නේ රටේ ජනතාව විඳින දුක් පීඩා පිළිබඳව මේ දෙපාර්ශ්වයටම හැඟීමක් දැනීමක් නැති බවය. තමන්ගේ පාලන කාල තුළදී ටොප් එකට ආර්ථිකය මෙහෙයවූ බවටත් හිටපු ආණ්ඩු මුළු ආර්ථිකයම අල කරගත් බවටත් කෙරෙන කතා දැන් මේ රටේ ජනතාවට අහලාම එපා වී ඇති බව සඳහන් කළ යුතුය. ජනතාවට තේරෙන මේ සරල කාරණය පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරුන්ට පමණක් නොතේරී සිටීමට හේතුවක් නැත.
ඉලක්කම් එහා මෙහා කර ඉදිරිපත් කරන අයවැයකින් ජනතාව තුළ කප්පරක් බලාපොරොත්තු ඇති කිරීමෙන් ද රටක් ආර්ථිකය දියුණු කළ නොහැක. ඉලක්කම්වලට එසේ කිරීමට හැකියාවක් තිබුණා නම් අපේ රට මේ වන විට තිබිය යුත්තේ සිංගප්පූරුවට සහ දකුණු කොරියාවටත් ඉහළිනි. මෙතෙක් කලක් බලයේ සිටි ආණ්ඩු සියල්ලම එම ක්‍රම අත්හදා බලා තිබිණි. එහෙත් දිනෙන් දිනම රට ආර්ථික වශයෙන් පල්ලම් බැස්සා මිස ඉහළ වර්ධනයක් අත්කර ගත්තේ නැත. එවැනි තත්ත්වයක් පවතිද්දී 6%ක ආර්ථික වර්ධනයක් පිළිබඳව මෙවර අයවැය තුළින් බලාපොරොත්තුවක් ඇතිකර තිබීම අපේක්ෂාවක් පමණක් නොවේවායි පතමු. අයවැය පරතරය ඉදිරි වසර 05 තුළදී 4% දක්වා අඩු කරන බවට කරන ප්‍රකාශය ද එවැනිමය. මුළු ලොවම කොවිඩ් ව්‍යසනය හේතුවෙන් මතු වී ඇති තත්ත්වයන් මත ඍණ ආර්ථික වර්ධනයක් පිළිබඳව කතා කරද්දී අපට පමණක් 5% ඉක්මවන ආර්ථික වර්ධනයක් ඇතිකරගත හැකි නම් එය විශ්වකර්ම වැඩකි. එහෙත් ඉලක්කම්වලින් පමණක් විශ්වකර්ම වැඩ කළ නොහැක.
මෙවර ඉදිරිපත් කෙරුණේ වත්මන් ආණ්ඩුවේ පළමු අයවැය වීම නිසා එතුළ අප්‍රමාණ බලාපොරොත්තු සහිත යෝජනා ඉදිරිපත් වී තිබීම පුදුමයක් නොවේ. අවශ්‍ය වන්නේ එම යෝජනාවලින් අඩක්වත් වචනවලට සීමා නොකර යථාර්ථයක් දක්වා ගෙන යාමය. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය ද ශක්තිය ද මේ රජයට ඇතැයි අපි විශ්වාස කරමු.