2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

පවිත්‍රාගේ භූමිකාව

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

කොවිඩ් වෛරසයට එරෙහි සටනේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන භූමිකාව රඟ දක්වන්නේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිය. පවිත්‍රා ඇමැතිනිය මහ මැතිවරණයට පෙර පැවැති අන්තර්කාලීන රජයේ 15 දෙනකුගෙන් යුත් කැබිනට්ටුවේ ද සිටියාය. එහිදී හිමිව තිබුණේද සෞඛ්‍ය ඇමැති ධූරයයි. කොවිඩ් සහ සෞඛ්‍ය අතර ඍජු සබඳතාවක් පැවතීම හේතුවෙන් මේ දිනවල පවිත්‍රා ඇමැතිනියට මාධ්‍යයේ ද ප්‍රධාන තැනක් වෙන්ව තිබේ.

මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ සෞඛ්‍ය ඇමැති ධූරය කාන්තාවන්ට හිමිවන ප්‍රවණතාවක් පවතින බව බැලූ බැල්මට පෙනී යයි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක රජයේ සෞඛ්‍ය ඇමැති ධූරය හිමිව තිබුණේ විමලා විජයවර්ධනටය. ඉන්පසුව සිරිමා බණ්ඩාරනායක සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා දුන්නේ ශිවා ඔබේසේකරටය. ජේ.ආර්. ජයවර්ධන රජයේ තෝරාගැනීම සුනේත්‍රා රණසිංහ වන විට ආර්. ප්‍රේමදාස රජයේ සෞඛ්‍ය ඇමැතිනිය වූයේ රේණුකා හේරත්ය. මේ හැම සෞඛ්‍ය අමාත්‍යවරියකටම වඩා භාරදූරම වගකීම පැවතී ඇත්තේ පවිත්‍රාට බව අවිවාදිතය. එසේම කතාබහට ද ලක් වූයේත් පවිත්‍රාය.

පළමුවෙන් පවිත්‍රා සෞඛ්‍ය ඇමැතිවරිය වශයෙන් වාර්තාවක් තැබුවේ පළමු කොරෝනා රැල්ල හමා යාම දරුණු වෙමින් රටම ලොක්ඩවුන් වූ අවස්ථාවේය. ඒ වන විට රටේ කොවිඩ් වසංගතය හැරුණුවිට ලොකුම මාතෘකාව වී තිබුණේ මහ මැතිවරණයට දින නියම කිරීමේ ප්‍රමාදයයි. ඒ එක් අවස්ථාවේදී පවිත්‍රා සෞඛ්‍ය ඇමැතිනිය වශයෙන් ප්‍රකාශයක් කරමින් කිව්වේ අප්‍රේල් 19 වැනිදාට මේ රටේ කොවිඩ් වසංගතය අවසාන වන බවය. ඒ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සිටියේ උතුර දකුණ මාරු වී තිබූ තත්ත්වයක පසුවෙමින් ලොවටම දිගට හරහට අනතුරු අඟවමින් සිටි අවධියකය. කොරෝනා අවසන් වන දිනයක් කල්තබා පැවසූ ලොවේ එකම සෞඛ්‍ය ඇමැති ද ඇය විය හැකිය. එසේ වාර්තාවක් තැබීම මගහැරී ගියේ අප්‍රේල් 19 පසුවන විට රටම කොවිඩ් වසංගතයෙන් අනතුරට පත්ව තිබීම හේතුවෙනි.

ඉන්පසුව ද පළමු කොවිඩ් පොකුර නිවී යමින් තිබියදී රට ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් පවතින බව අවස්ථා කිහිපයකදී පවිත්‍රා ප්‍රකාශ කළාය. ඉන්පසුව දෙවැනි රැල්ල ආරම්භ වී ටික දිනකදී කියා සිටියේ කොරෝනා එන්නත ඉතාම ළඟදීම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවය. එහෙත් කොරෝනා එන්නත් තවමත් ඇත්තේ අවසන් සායනික අත්හදා බැලීම්වලය. එසේම ඒවා ශ්‍රී ලංකාවට ලැබෙන දිනයක් ගැන කිසිම සහතිකයක් මෙතෙක් ලැබී නැත.

ඊළඟට සෞඛ්‍ය ඇමැතිනිය පුවත් සිරස්තල අතරට ආවේ එලියන්ත වයිට් විසින් සකස් කර දුන් බව කියන ශුද්ධ වූ ජලය රැගත් මුට්ටියක් කළු ගඟට අතහැරීමෙනි. එසේ මුට්ටිය අතහැර දෑත් නමස්කාර කළ පවිත්‍රා එතැනින් පිටට යාම රටේම මාතෘකාවක් බවට පත් විය. තවත් ඇමැතිවරුන් දෙදෙනකු ගඟට මුට්ටි අතහැරි බවක් ද දැකගන්නට ලැබිණි. කෙසේ වුවත් කොවිඩ් වසංගතයෙන් රට මුදාගැනීමට සියලු දෙනාටම අනුශාසනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් කැපීපෙනෙන නායකයන් ද මේ අවස්ථාවේ මුනිවත රැකීම නම් රටටම පුදුමයක් විය.

අවසානයේ පාර්ලිමේන්තුව තුළදී කොවිඩ් වසංගතය අවසන් වෙනවා නම් තමන් මුහුදට බිලිවීමට වුවද සූදානම් බවට ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය ඇමැති භූමිකාවෙන් විහාරමහා දේවි භූමිකාවට පණපෙවූ පවිත්‍රා එම කතාවට ද හොඳක් අහගත්තේ නැත. කෙසේ වුවද මේ කිසිවකින් නොසැලී තම සෞඛ්‍ය ඇමැති ධූරයේ රාජකාරි කරන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවසානයේ දී කළ ප්‍රකාශය නම් ඉතා අගනා බව සඳහන් කළ යුතුය. රජයේ කොවිඩ් මර්දන බළකායට හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එකතු කර ගන්නා බවට කළ ප්‍රකාශයයි. එය නම් අර්ථවත් පියවරක් බවත් ජනතාවගේ ද ප්‍රශංසාව හිමිකරගත් බවත් කිව යුතුය.