2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

වෙනස් ගමනක්!

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

සිතූ පරිදිම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර සැමරීම පුහු ආටෝපවලින් තොරව සිදුවිය. ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ කතාවේදී සඳහන් කළ පරිදිම ඔහුගේ පාලනය තුළ කැපී පෙනෙන නාස්තිකාර වියදම් නැති බොරු සෝබනවලින් තොර වැඩපිළිවෙළ එහිදීද ක්‍රියාත්මකව තිබිණි. ජනාධිපතිවරයාට සුදුහුණු ගාමින් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට වෙරදරණ විවිධ පිරිස්වලට ජනපති පදවියේ පළමු වසර සැමරීම චාම් අන්දමින් සිදුකිරීම බලාපොරොත්තු සුන් කිරීමක් වන්නට ඇත. එහෙත් ජීවන බරින් දැඩි ලෙස මිරිකෙමින් සිටින බහුතරයක් පොදු ජනතාවට නම් එය කදිම ආදර්ශයක් වූ බවට සැකයක් නැත.

ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් මේ රටට වෙනස් නායකයකු වන බවට ජනතාවට ලබාදී තිබූ බලාපොරොත්තුව පළමු වසර තුළදී ඉටු වූ බව පැහැදිලිය. ඔහු රාජ්‍ය ඇමැතිවරුන්ට පවා වටිනාකමක් ලබාදීම සහ ඒ තුළින් රටේ විවිධ ගැටලු සහිත ස්ථානවලට තම පාලනය දීර්ඝ කිරීමට පියවර ගැනීමත් රාජ්‍ය ආයතන සහ ව්‍යවසායවලට වඩාත් කාර්යක්ෂම සහ බුද්ධිමත් පිරිසක් පත් කිරීමට වැඩපිළිවෙළක් සැකසීමත් ජනතාව තුළ බලාපොරොත්තු දල්වන්නක් විය. හැකිතරම් දුරකට දූෂණය සහ නාස්තිය අවම කිරීමට කටයුතු කිරීමද ගෝඨා පාලනයේ කැපී පෙනෙන ලක්ෂණයකි. මේ සියල්ල පළමු වසර තුළදී ගෝඨාභය මහතා ලබාගත් ජයග්‍රහණ අතර වෙයි. එහෙත් ගැටලුව ඇත්තේ එම පියවර පමණක් රටේ ඉදිරි ගමන තීරණය කිරීමට ප්‍රමාණවත් වනු ඇතිද යන්නය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69ක් වූ රටේ ජනතාව 52.3%ක ජයග්‍රහණයක් ලබාදුන්නේ මහත් බලාපොරොත්තු ඇතිව බව රහසක් නොවීය. එම ලක්ෂ 69 තුළ සිටින්නේ ඔහු නියෝජනය කරන, ඔහුගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ මහතා විසින් නිර්මාණය කරන ලද මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - පොහොට්ටුව නියෝජනය කරන එහි පාක්ෂිකයන් පමණක් නොවන බව තේරැම් ගැනීම වඩාත්ම වැදගත් සාධකයයි. එතුළ පාක්ෂිකයන් සේම මධ්‍යස්ථ මතධාරී ලක්ෂ ගණනක පිරිසක්ද සිටින බවත් ඔවුන් හිටපු ආණ්ඩුව වන යහපාලනය කෙරෙහි පමණක් නොව ඊට කලින් පැවැති මහින්ද රාජපක්ෂ පාලනය කෙරෙහිද දැඩිව කලකිරුණු පිරිසක් බවත් යන්න ඉවත දැමිය නොහැකි සත්‍යයයි. ජනාධිපති පදවියේ පළමු වසර තුළ මේ දෙපිරිසේම සහයෝගය සහ විශ්වාසය ජනාධිපතිවරයා කෙරෙහි උපරිමව පවතී. හැබැයි එළඹෙන ඊළඟ වසරේදීත් එහෙම පවතිනු ඇතිදැයි යන්න තීරණය වන්නේ ජනාධිපතිවරයා විසින් ඊළඟ මාස කිහිපය තුළ රට මෙහෙයවන ආකාරය අනුවය.

ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීන්දු තීරණ කෙරෙහි වඩාත්ම විවේචනාත්මකව බලන්නේ පොහොට්ටු පාක්ෂිකයන් නොවේ. තීන්දු තීරණ සම්බන්ධයෙන් පොහොට්ටු පාක්ෂිකයන් තුළද විවේචනයක් තිබිය හැකි වුවද ඔවුන් “අපේ ජනාධිපතිතුමා මොනව කළත් කිව්වත් අපි ඉන්නේ එතුමා එක්කයි” යන න්‍යායට අනුව ක්‍රියාත්මක වන පිරිසකි. ඔවුන්ගෙන් තවදුරටත් දිනාගත යුතු විශ්වාසයක් නොමැත. එහෙත් ගෝඨාභය මහතාගේ නායකත්වය වරක් නොව දෙවරක්ම සහතික කළ ජනතාව අතර සිටින පාලන යුග දෙක කෙරෙහිම කලකිරුණු ලක්ෂ ගණනක් වන ජනතාව එසේ නැත. ඔවුන් ඉදිරියේදී බලා සිටින්නේ තමන් පත්කරගත් ජනාධිපතිවරයා වැඩ පෙන්වන තුරුය. 20 වැනි අධිබලැති ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී පවා රට තුළින් විපක්ෂය අපේක්ෂ කළ ලොකු විරෝධයක් මතු නොවූයේද තමන් තෝරාගත් ජනාධිපතිවරයා වැඩ පෙන්වනු ඇති බවට එම ජනතාව අතර පවතින විශ්වාසය හේතුවෙනි. එම විශ්වාසය කඩ නොකර ඉදිරියට පවත්වාගෙන යාම විශාල අභියෝගයකි. එයට සාර්ථකව මුහුණ දෙන බව පැවසීම පාක්ෂිකයා දිරිගන්වන්නකි. එහෙත් ඒ සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් ගෝඨාභය මහතා සතු විය යුතුය. ජනාධිපති පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණයේදී මධ්‍යස්ථ ඡන්දදායකයන් වැඩි පිරිසකගේ විශ්වාසය දිනාගැනීමට ජනාධිපතිවරයා සමත් වී සිටියොත් වැඩේ ගොඩය. එසේ නොවුණොත් තුන්වැනි වසරට යාමට සිදුවනු ඇත්තේ ගැටලු රුසක් මැදින් බව කල්තබාම කිව හැකිය.

කෙසේ වුවද එම අභියෝගය ජය ගැනීමට නම් ආර්ථිකය පවතින තත්ත්වයෙන් පියවර කිහිපයක් හෝ ඉහළට එසවීම අවශ්‍යය. ඒ සඳහා වඩාත් ප්‍රායෝගික වූත් නවීන වූත් අදහස් ක්‍රියාවට නැංවීම අවශ්‍යය. සියලුම ආනයන නවතා දමා මුදල් ඉතිරි කිරීම කොතරම් දුරට ප්‍රායෝගිකදැයි විමසා බැලීමට කාලය පැමිණ තිබේ. ඒ බවට යුරෝපා සංගමය විසින් පසුගියදා නිකුත් කරන ලද නිවේදනය ප්‍රබල සංඥාවකි. විමල් වීරවංශ ලවා එම ප්‍රකාශයට පහරදීම ඉතාම පහසුය. නමුත් එහි යටිපෙළ කතාව හරිහැටි කියවා ගැනීමට නොහැකි වුවහොත් හෝ එය ගණන් නොගෙන “අපිට යුරෝපා සංගමයෙන් වැඩක් නෑ” වැනි ආකල්පයකින් ක්‍රියා කිරීමට පියවර ගතහොත් හෝ එය පරණ පුරුදු පාරේ යාමකි. කවුරුන් කෙසේ කීවත් යුරෝපා සංගමය මේ රටට විදේශ විනිමය උපයා දෙන ආර්ථිකයේ ප්‍රබල සහකරුවෙකි. යුරෝපා සංගමය සහ බටහිර රටවල් අමනාප කර ගැනීමේ පරණ ක්‍රමය හේතුවෙන් 2013-14 වනවිට මේ රටේ ආර්ථිකය තුළ සිදුවූ කඩාවැටීමද මහින්ද රාජපක්ෂ රජයේ පිරිහීමට හේතුවිය. රටේ ජනතාව ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන්නේ අලුත් ප්‍රවේශයකි. නව කළමනාකරණයකි. එහි තෝරාගැනීම ඇත්තේ ජනාධිපතිවරයා අතේමය.

එහෙම වුණත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ කැපී පෙනුණේ ඔහුගේ පාලනය සම්පූර්ණයෙන් දේශපාලනික සහ සිවිල් යාන්ත්‍රණයක් හරහා ක්‍රියාත්මක වීමය. යුද්ධය තුළදී ඔහුගේ දේශපාලනය අවශ්‍ය තරමට මිලිටරිකරණය සමඟ හොඳින් ගලපා ගත්තේය. එහෙත් රටේ පාලනය මුළුමනින්ම “සිවිල්” විය. පාර්ලිමේන්තු, ප්‍රජාතන්ත්‍රවාදය ඔහුගේ පාලනය තුළ ඉහළින්ම කැපී පෙනුණේය. යුද්ධය නිම කිරීමෙන් පසුව මහින්දට රටේ දියුණුව උදෙසා බොහෝ වැඩසටහන් තිබිණි. ඒ ඇතැම් ඒවා ක්‍රියාත්මක කිරීමටද මහින්දට හැකියාව ලැබිණි. එසේ වුවද පවුලේ සාමාජිකයන් පාලනයට වැඩිපුර හවුල්කර ගැනීමත් දැඩි මතධාරී අන්තවාදී කොටස්වල බලපෑම්වලට හසුවීමත් හේතුවෙන් මහින්ද මේ රට අළු මතින් යළි ගොඩගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථාව අහිමි කර ගත්තේය. එහෙත් යුද්ධය ජයගැනීමට ලබාදුන් දේශපාලන නායකත්වයත් රටේ යම් යම් සංවර්ධන ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමත් හරහා ඔහු ලබාගත් ජනප්‍රියත්වය සහ පිළිගැනීම අදටත් වලංගුය. රටේ බොහොමයක් දේශපාලන විචාරකයන්ට අනුව මහින්ද රාජපක්ෂ ලබාගත් එම තත්ත්වය මේ රටේ මෙතෙක් පහළ වූ කිසිදු නායකයකුට අත්පත් කරගත නොහැකි වූවකි. මහින්ද වත්මන් පාලනයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනතාව විසින් යළි ඔසවා තබනු ලැබුවේද එම ජනප්‍රිය සාධකයේ බල මහිමයෙනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගමන ඊට වෙනස්ය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළ ස්ථාපිත වෙමින් ගෙනයන පාලනය තුළට හමුදාවේ සිටි දක්ෂ නිලධාරීන් පිරිසක්ද එක්කර ගනිමින් නව අත්හදා බැලීමකට යමින් සිටින බව පෙනේ. එවැනි පාලන ක්‍රමයක හොඳ නරක තීරණය වනු ඇත්තේ ජනතාවට එහි ප්‍රතිඵල දැනෙන ආකාරයටය. එය අනාගතය විසින් තීරණය කරනු ඇත.

තම පාලන කාලය තුළ මාස 09ක් වැනි දීර්ඝ කාලයක්ම ජනාධිපතිවරයාට ගත කිරීමට සිදුවූයේ කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය සමඟ වීමද කැපී පෙනෙයි. එහි පළමු අවස්ථාව තුළදී ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කෙරුණු වැඩපිළිවෙළ රටේ සියලු පාර්ශ්වවල, විපක්ෂයද ඇතුළුව, ප්‍රබල පිළිගැනීමකට ලක්විය. ඒ සඳහා ජනාධිපතිවරයාට ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාරය අගෝස්තු 05 මහ මැතිවරණයේදී ඡන්ද බවට හැරී තිබුණේය. එසේ වුවත් දෙවැනි රැල්ල පාලනය තුළදී යම් යම් තීන්දු ගැනීම ප්‍රමාද වූ බවට චෝදනා කරන්නේද එසේ ඡන්දයෙන් ප්‍රතිචාර දැක්වූ ජනතාවමය. දැනටද බස්නාහිර පළාත තුළින් දිනකට රෝගීන් දළ වශයෙන් 400 ඉක්මවා හමුවන තත්ත්වයක් පැවතීමෙන් පෙන්නුම් කරන්නේ එය තවම පාලනය කරගත නොහැකි තත්ත්වයක පවතින බවය. කොවිඩ් වසංගතය මුළු ලොවටම බලපාන තත්ත්වයක් වුවද දැන් රටේ පවතින්නේ ජාතික ව්‍යසනයක් බව තේරුම් ගැනීම අවශ්‍යය. පළමු රැල්ලේදී ලැබුණු යහපත් ප්‍රතිචාර දිනාගැනීමට රජය දෙවැනි රැල්ලේදී අපොහොසත් වී සිටින බව දැනට තිබෙන තත්ත්වයයි.

සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයද කොවිඩ් මර්දනය සඳහා විවේචනාත්මක සහායක් ලබාදෙන තත්ත්වයක් තුළ එයින් ප්‍රයෝජන ගැනීමටද රජය සමත් වී නැත. පළමු අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් මූලිකත්වය ගනිමින් ක්‍රියාත්මක කළ දින 52 “ලොක්ඩවුන් ඔපරේෂන්”එක සාර්ථක විය. එහෙත් මේ අවස්ථාවේදී මුල් වැඩපිළිවෙළින් බැහැරව ගිය බවක් පෙනෙන්නට තිබේ. අවාසනාව නම් වසංගතය පාලනයෙන් තොරව යාමේ වගකීම මහජනතාව පිට පැටවීමය. රටේ ජනතාව එක් අතකින් වෛරසයෙන් බැටකමින් සිටියදී අනෙක් අතින් චෝදනාවලටද මුහුණ දෙමින් සිටී. මේ තත්ත්වය හැකි ඉක්මණින් පාලනය කරගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට වඩාත් ප්‍රමුඛත්වය දිය යුතු බවට රජය තීරණය කර ඇති බව පෙනී යන්නේ හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කොවිඩ් මර්දන බළකායට සම්බන්ධ කර ගැනීමට ගත් තීරණය හේතුවෙනි. රටට ජනතාවට අවශ්‍ය වන්නේ කුමන ක්‍රමයකින් හෝ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීම බව සියලු බලධාරීන් විසින් තේරුම් ගත යුතුය. ජනතාව මේ කාරණයේදී වඩාත් විශ්වාසය රඳවන්නේ වෛද්‍ය විශේෂඥයන් විසින් ප්‍රකාශිත කරුණුවලට යන්න ප්‍රධානම සාධකයයි.

ආණ්ඩුවේ කටයුතු වසරක් සම්පූර්ණ කෙරෙන විට විපක්ෂයද තම කටයුතුවල වසරක ප්‍රගතිය සමාලෝචනය කිරීම සුදුසුය. මෙහි වඩාත්ම කැපී පෙනෙන්නේ යූ.එන්.පී.යට සහ රතන හිමිලාගේ පක්ෂයට තවමත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරවා ගැනීමට හෝ හැකියාවක් නොතිබීමය. හාමුදුරුවන්ගේ පක්ෂය කෙසේ වෙතත් මේ රටේ පැරණිතම දේශපාලන පක්ෂය වන යූ.එන්.පී.යට නම් එය තමන් සියලුදෙනාම කනගාටුවට පත්විය යුතු තත්ත්වයකි. එම “පුරප්පාඩුව” නොපුරවා එය වටේ ගෙනයාම යූ.එන්.පී.ය වැනි පක්ෂයකට තරම් නොවේ. එසේම පක්ෂයේ නායකත්වය විසින් දෙසැම්බර් 31 වැනිදායින් පසුව ගනු ලබන පක්ෂ නායකත්වය පිළිබඳ තීරණය සම්බන්ධයෙන්ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විමසිල්ලෙන් පසුවන බවද සඳහන් වෙයි.
සජිත්ලාගේ සජබ 20ත් සමඟ 08 දෙනකුම අහිමි කරගත් අතර අයවැය සම්මත කිරීමේදී තවත් කී දෙනකු අහිමිවනු ඇතිදැයි කියන්න දන්නේ නැත. මේ නිර්ලජ්ජිත දේශපාලන ක්‍රමයට තිත තැබීමට පාර්ලිමේන්තුව තුළින් පනතක් සම්මත කර ගැනීමට කිසිම පක්ෂයකටම උනන්දුවක් නොතිබීම හැම පැත්තෙන්ම බැටකන ජනතාවට නම් කරුමයකි.

 ශශීන්ද්‍ර