ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” රජයේ ඉදිරි ගමන් මග පෙන්නුම් කරන පත්වීම් කිහිපයක්ම පසුගිය සතියේදී සිදුවිය. ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අනාවැකි පළවී තිබුණේ අලුත් කැබිනට් ඇමැතිවරුන් පත්කිරීම ලබන ජනවාරියේදී පමණ සිදුවනු ඇති බවය. එහෙත් මහජන ආරක්ෂක ඇමැති වශයෙන් රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පසුගිය බ්‍රහස්පතින්දා (26) පෙරවරුවේ දිව්රුම් දුන්නේ පොලීසිය සහ සිවිල් ආරක්ෂක විෂයයන් භාරවය. මේ නිසා එතෙක් පොලීසිය භාරව සිටි චමල් රාජපක්ෂ මහතා ද කැබිනට් ධූරයට අමතරව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති වශයෙන් යළි දිව්රුම් දීමට සිදුවිය. ඉන්පසුව ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කරන ලද නිවේදනයෙන් පැවසුණේ ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගෙන ඇති බවය.
තාක්ෂණ අමාත්‍යාංශයක් ස්ථාපිත කොට එය ජනාධිපතිවරයා යටතට පත්කිරීම අනාගත ශ්‍රී ලංකාව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහිකිරීම අරමුණු කර ගනිමින් සිදුවන කාර්යයක් බව හඳුනාගත හැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම තාක්ෂණික වශයෙන් ද දැනුමැති රට තාක්ෂණික වශයෙන් ඉදිරියට ගැනීමට දැඩි අධිෂ්ඨානයකින් ක්‍රියා කරන නායකයකු බව කල් තබාම රටේ ජනතාව දැන සිටියහ. රට ඉහළ තාක්ෂණික සේවා සපයන රටක් වශයෙන් ඉදිරියට ගැනීමට හැකි වුවහොත් එය සැබැවින්ම සෞභාග්‍යයේ දොරටු හැර දීමක් වන බව අවිවාදිතය. එහෙත් ඒ සඳහා යා යුතු ගමන බොහෝ දුර බවත් මාර්ග බාධක රැසක් ඇති බවත් අවබෝධ කර ගැනීම ද අවශ්‍යය. ඒ අතරවාරයේ විසඳාගත යුතු ගැටලු රාශියක් තිබේ.
මෙහිදී ප්‍රධානම ගැටලුවක් වන්නේ වර්තමානයේ රටම අනතුරේ හෙළා තිබෙන කොවිඩ් මර්දනය සාර්ථක කර ගැනීමේ සටන ජය ගැනීමය. මේ වන විට කොවිඩ් හේතුවෙන් සිදුව තිබෙන මරණ සංඛ්‍යාව 100 ඉක්මවා යමින් තිබේ. වැදගත්ම සාධකය වන්නේ පළමු මරණ 13 මාස 4ක් තුළ පළමු රැල්ලේදී සිදුවීමත් ඊළඟ මරණ 80 දෙවැනි රැල්ලේදී සති හතරක පමණ කාලයක් තුළදී සිදුවීමත්ය. ලෝකයේ මරණ ප්‍රතිශතය අනුව සලකන විට ශ්‍රී ලංකාව තවමත් ඇත්තේ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් අවදානම් අවස්ථාවක නොවේ. එහෙත් කොළඹ සහ අවට කේන්ද්‍ර කර ගනිමින් රෝගීන් විශාල වශයෙන් වාර්තා වීමත් මරණ ද ඒ ප්‍රදේශ ආශ්‍රිතව බහුලව සිදුවීමත් ආණ්ඩුවේ කනස්සල්ලට හේතු වී තිබෙනවාට සැකයක් නැත. ජනාධිපතිවරයාට තම පදවිප්‍රාප්තියේ වර්ෂ පූර්ණ කතාව කිරීමට සිදුවී තිබුණේ මේ වාතාවරණය යටතේ වීම ඔහු බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවන බව පැහැදිලිය. ජනාධිපතිවරයා විසින් තම පාලන කාලය තුළ තමන් විසින් සිදුකළ සහ සිදුකිරීමට අපේක්ෂිත බොහෝ කරැණු මැනවින් හැඩගස්වමින් ස්ථිර අදිටනකින් යුතුව ඉදිරිපත් කරන ලද එම කතාවේ කොවිඩ් සම්බන්ධයෙන් කතා කිරීම ඇරඹුවේ පළමු විනාඩි 20න් පසුව බව එක් ප්‍රකට දේශපාලන විචාරකයෙක් විසින් හඳුන්වා දී තිබිණි. පවතින කොවිඩ් තත්ත්වය පාලනය කෙරෙන ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා තෘප්තියකින් නොසිටින බවට එය සලකුණකි.
කෙසේ වුවද එයින් පසුව ස්වාධීන කොමිෂන් සභාවලට සිදුකරන ලද පත්වීම් සම්බන්ධයෙන් විවේචන එල්ලවෙමින් තිබේ. 19 වැනි ව්‍යවස්ථාව තුළින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා ඒවාට පත්වීම් සිදු කළත් ඒ බොහොමයක් කොමිෂන් සභා තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් යොදාගත් බවට යහපාලන ආණ්ඩුවට ද එකල ප්‍රබල විවේචන එල්ල විය. එසේ වුවද එම ඒ ඇතැම් පත්වීම් බොහෝ දුරට ස්වාධීන කොමිෂන් සභාවකින් ඉටුවිය යුතු වගකීම් තේරැම් ගෙන ක්‍රියා කිරීමට සහාය වූ බව පැහැදිලිය.
විශේෂයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ මානව හිමිකම් කොමිෂන් සභාවට සිදුකර තිබූ පත්වීම් බොහෝ දුරට බලාපොරොත්තු ඉටුකරන තත්ත්වයක තිබිණි. ඒ අවස්ථාවේදී ස්වාධීන කොමිෂන් සභා ඇතිකිරීම රටේ පාලනයට අලුත් අත්දැකීමක් සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක මූලාරම්භය වූ බැවින් එහි අඩුපාඩු තිබීම ස්වභාවිකය. එම ස්වාධීන කොමිෂන් සභා ඇතිකළ යහපාලන රජයේම ඇතැම් නායකයන් විසින් සිදුකළ අනවශ්‍ය ඇඟිලිගැසීම් හේතුවෙන් ඒ තුළින් බලාපොරොත්තු වූ අරමුණු කරා ළඟාවීමට නොහැකි විය. එහෙත් එසේ වූ පමණින් එම සංකල්පයට කුළුගෙඩි පහර එල්ල කර ඒවා විනාශ කර දැමීම රටේ මහජනතාවගේ අයිතිවාසිකම්වලට එරෙහිව යාමකි. ස්වාධීන කොමිෂන් සභාවලට වත්මන් රජය සිදුකර ඇති පත්වීම්වලින් පෙනෙන්නේ එම කොමිෂන්වල අදහස් මත රැඳෙමින් තීන්දු ගැනීමට රජය සූදානම් නැති බවය.
මෙහිදී වඩාත්ම කැපීපෙනුණු සිද්ධියක් වූයේ මුලදි මේ එකම ස්වාධීන කොමිෂන් සභාවකට හෝ දෙමළ ජාතිකයකු නම් නොකිරීමය. පසුව දැනගන්නට ලැබුණේ එම කොමිසමට දෙමළ සහ මුස්ලිම් සාමාජිකයන් දෙදෙනකු පත් කිරීමට නියමිත බවය. විශේෂයෙන් මානව හිමිකම් කොමිසමට එකම සුළු ජාතිකයකු හෝ නියෝජනය නොවීම එම කොමිසමේ වැදගත්කම නොසලකා හැරීමක් බව පෙනෙන්නට තිබේ. ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමේදී ලොවේ පවතින ප්‍රවණතා කෙරෙහි සංවේදී නොවී කටයුතු කිරීම බොහෝ අතුරු විපාකවලට හේතුවන බව අතීතයේ අත්දැකීම්වලින් පහසුවෙන් කියවා ගත හැකිය. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී පසුගිය බ්‍රහස්පතින්දා (26) කතාබහක් ද ඇතිවිය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා එහිදී යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමේ යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්ව ඇති හෙයින්, ලබන මාර්තුවේ ලංකාවට එරෙහි යෝජනාවක් ගෙන ඒමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගෙන ඇතැයි ප්‍රකාශ කළේය. රටට ඉතා වැදගත් කාරණාවක් බැවින් ඒ සම්බන්ධව වහා පියවර ගත යුතු බවත් ඔහු සඳහන් කළේ අයවැය දෙවැනි වර කියවීමේ කාරක සභා අවස්ථා විවාදයේදීය. “ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් ආවොත් එය රටට ගැටලුවක් විය හැකියි. මම මීට පෙරත් මේ ගැන අනතුරු ඇඟෙව්වා” යැයි ඔහු කීය. මේ ගැන රජය දරණ මතය කුමක්දැයි දැනගැනීමට නැත.
මෙවැනි අවස්ථාවකදී මානව හිමිකම් කොමිසමට කළ හැකි කාර්යභාරයක් තිබේ. එහෙත් ඒ සඳහා එම කොමිසමේ සංයුතිය තුළ සුළු ජාතික නියෝජනය වැදගත් සාධකයක් වෙයි. පසුගිය යහපාලන රජය යටතේ ආචාර්ය දීපිකා උඩගම ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර සහ යුරෝපීය රටවලින් එල්ලවෙමින් තිබූ බලපෑම් ලිහිල් කර ගැනීමට කිසියම් දායකත්වයක් සැපයීය. අමෙරිකාව සමඟ ශ්‍රී ලංකාව ද එක්ව ජිනීවාහිදී සම්මත කරගත් “ද්විපාර්ශ්වික” සම්මුතියට ද මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරීත්වය උත්තේජනයක් සැපයූ බවද ඒ දිනවල සඳහන් විය. එම සම්මුතිය රාජපක්ෂ පාලනයේ සියලු ජ්‍යෙෂ්ඨයන්ගේ දැඩි විරෝධයට හේතු වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකත්වයට පත්වීමෙන් පසුව එම සම්මුතියෙන් ඉවත් වීමට තීරණයක් ගනු ලැබීය. එකී සම්මුතියට කොතරම් විවේචන එල්ල වුවද යහපාලන රජය පැවැති කාලය තුළ බලවත් රටවලින් එල්ලවෙමින් තිබූ බලපෑම් ක්ෂය වූ අතර යුරෝපා සංගමය සමඟ යළි වෙළෙඳ ගිවිසුම් අලුත් කර ගැනීමට ද ශ්‍රී ලංකාවට මග පෑදිණි.
මත්ස්‍ය වෙළෙඳාමට පනවා තිබූ තහනම ඉවත්වීම නිසා රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ද ගලා ආවේය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන අපනයන ක්ෂේත්‍රයේ දෙවැනියා වන්නේ යුරෝපා සංගමයයි. ඇඟලුම් කර්මාන්තයේදී අමෙරිකා වෙළෙඳපොළ අංක එකට එයි. මේ සියලු බලවතුන් හරිහැටි බැලන්ස් කර ගැනීමට නොහැකි වුවහොත් ආර්ථික වශයෙන් රට තවත් ප්‍රපාතයට තල්ලුවීම වැළැක්විය නොහැකි වනු ඇත. ශ්‍රී ලංකාවට වඩාත් සමීපව කටයුතු කරන චීනය සහ ඉන්දියාව සමඟ සිදු කරන ගනුදෙනුවලින් වර්තමානයේදී උපයාගන්නා විදේශ විනිමය පිළිබඳව ගණන් හදා බැලීමෙන් මෙහි බරපතළකම වටහාගත හැකිවනු ඇත. විදේශ විනිමය උපයා ගැනීමේ වැඩපිළිවෙළක අප නොසිටින්නේ නම් අයවැය හිඟය පියවා ගැනීමට කළ හැක්කේ තව තවත් ණය වීම පමණක් බව බැලූ බැල්මට පෙනේ. එවැනි අවදානමක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂකයන් විසින් අනතුරැ ඇඟවීම් ගණනාවක් සිදුකර තිබෙන බවද සැලකිය යුතුය.
ආර්ථිකය රටේ කොවිඩ් හැරුණුවිට බරපතළම ප්‍රමුඛත්වය ලැබිය යුතු විෂය බව පැහැදිලිය. විශේෂයෙන් රටේ මහජනතාව භාණ්ඩ මිල හමුවේ බරපතළ ගැටලුවලට මුහුණදෙමින් සිටිති. රජය මගින් ගැසට් පිට ගැසට් ගසා පාලන මිලට යට කළ සැමන්, ලොකු ලූනු, සීනි, පරිප්පු, සහල් සහ පොල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ පාලන මිලට ලබාගැනීමට නොහැකි බවට වාර්තා පළවෙයි. පොල්තෙල්, කරවල පමණක් නොව උයා පිහා ගැනීමට අත්‍යවශ්‍ය තුනපහ, මිරිස් ද මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන වාසුදේව පසුගිය බ්‍රහස්පතින්දා (26) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ රජය උපරිම සිල්ලර මිලක් නියම කළ ද සහල් සහ සීනි ඒ මිලට ගත නොහැකි බවය. රජය බදු අයකිරීම අඩු කළ නිසා රජයේ ආදායම පහළ වැටුණත් බඩු මිල අඩු වී නැතැයි ද මේ නිසා ජීවන වියදම වැඩි වී ඇතැයි ද ඇමැතිවරයා එහිදී කියා තිබිණි. රටේ පාරිභෝගිකයන්ගේ චෝදනාව ද එයමය.
මෙහිදී රජයට ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ තවත් චෝදනාවක් වූයේ රටේ ආනයනය සීමා කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙනි. මේ චෝදනාව එල්ල වූයේ යුරෝපා සංගමයට අයත් රටවල් මගිනි. කෙසේ වුවද මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් පසුගියදා (26) ප්‍රකාශ කළේ යුරෝපා සංගමයේ එම හැසිරීම “අධි ප්‍රතිචාර” දැක්වීමක් වශයෙනි. කාරණය කුමක් වුවද සාකච්ඡා මගින් ඒවාට විසඳුම් සොයාගත හැකි බවද ඔහු ප්‍රකාශ කර තිබුණි. රටේ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා ආනයනික සීමා තිබීම අවශ්‍ය බවද ඔහු කියා තිබුණි. ඔන්ලයින් හරහා පැවැති එකී මාධ්‍ය සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා සමඟ සම්බන්ධව සිටි සෙසු නිලධාරීන් ද ප්‍රකාශ කළේ අතරමැදි භාණ්ඩ වශයෙන් සැලකෙන 65%ක් වන ආනයනවලට සීමා පනවා නැති බවත් විශාල වශයෙන් විනිමය වැයවෙන වාහන වැනි භාණ්ඩ පමණක් ආනයනය අත්හිටුවා ඇති බවත්ය.
මේ කාරණා කෙසේ වුවද ඉදිරි මාස හය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් රජයට වැදගත් කාලයක් බව හඳුනාගැනීම අපහසු නැත. කොවිඩ් වසංගතය ඒ වන විට පාලනය වී ඇතැයි උපකල්පනය කළහොත් රටේ නව සාමාන්‍යකරණය යටතේ වුවද ජනතාවගේ අවශ්‍යතා තවදුරටත් ඉදිරියට පැමිණ තිබෙනු ඇත. ඒ වන විට ආර්ථිකය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාව ලැබුණොත් එය ආණ්ඩුවේ සමත්කමක් වන බවට සැකයක් නැත. එහෙත් එය එසේ වීමට නම් ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂක ආයතනවල අනාවැකි ද බොරු විය යුතුය.
රටේ ස්වාධීන බව සහ ස්වෛරීත්වය රැකගනිමින් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට රජයට පැහැදිලි යාන්ත්‍රණයක් තිබිය යුතු වන්නේ එබැවිනි. එවැන්නක් මේ වනතුරු නැතිනම් ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කොමිෂන් සැසිවාරයට පෙර හෝ එය සකස් කර ගැනීම හැම අතින්ම සුදුසුය. එහෙම වුණොත් “හාල් අඩු මිලට ගන්න නම් කරළ පැහෙනකම් ඉන්න* වැනි කතා කීමට ඇමැතිවරුන්ට සිදු නොවනු ඇත. එසේම ගැසට් පිට ගැසට් ගැසීමෙන් වාර්තා පිහිටුවීමද අවශ්‍ය නොවනු ඇත. අපට අවශ්‍ය “ගැසට්” නොව “රිසල්ට්ස්” බව තව ටික කලකින්ම ජනතාව රජයට කියනු ඇත.
ශශීන්ද්‍ර