ප්‍රමුඛ පෙළේ අපනයන ව්‍යාපාරිකයකු සහ කර්මාන්තකරුවකු වන ප්‍රභාෂ් සුබසිංහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ධූරයෙන් දෙසැම්බර් මස අවසානයේදී ඉල්ලා අස්වන බැව් ප්‍රකාශයට පත් කර තිබේ. පෞද්ගලික හේතූන් මත තමන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇති සුබසිංහ මහතා තමන් මේ ධූරය භාරගත්තේ ජාතික අවශ්‍යතාවක් සේ සලකා වසරක කාලයකට බව ධූරය භාරගත් අවස්ථාවේදී ප්‍රකාශ කර තිබිණි.
ප්‍රභාෂ් සුබසිංහ මහතාගේ ඉල්ලා අස්වීම පසුගිය සතියේ ප්‍රකාශයට පත්වූ රජයේ ප්‍රධාන තනතුරුවලින් ඉල්ලා අස්වීමේ දෙවැන්න විය. ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු සහ ජෝන් කීල්ස් ගෝල්ඩිංස් හිටපු සභාපති සුසන්ත රත්නායක මහතා තමන් දැරූ ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයෙන් සතිය මුලදී ඉල්ලා අස්විය. තමන් එම තනතුර භාරගත්තේ වසරක කාලය සඳහා බව තනතුර භාරගත් අවස්ථාවේදී රත්නායක මහතා සඳහන් කර තිබිණි.
රත්නායක සහ සුබසිංහ මහත්වරුන් දෙදෙනාම තමන්ගේ කෙටිකාලීන ධූර කාලය තුළදී ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය සහ පහසුකම් සැපයීම අතින් වැදගත් බලපෑමක් සිදු කිරීමට සමත් වූ බව පෞද්ගලික අංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
සුබසිංහ මහතා ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් සමාගම් සමූහයේ සභාපති වශයෙන් ටයර් නිෂ්පාදනය කොට අපනයනය කළ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වූ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුහුදු ආහාර අපනයනකරුවෙක් ද වෙයි. සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ විශාලම කොටස් හිමිකරු ද වන ඔහුගේ එහි කොටස් ප්‍රතිශතය 22%කි.
ඩේලි එෆ්.ටී.
නව ව්‍යවස්ථාව: පළාත් සභා ගැන මතභේදයක්
ශ්‍රී ලංකාව සඳහා අලුතින් සකස් කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩාත් පුළුල් ආකෘතියක් ලබාගැනීමේ අරමුණින් ඒ සඳහා වැඩිදුරටත් මහජනතාවගෙන් අදහස් ලබාගැනීමට ඒ සඳහා පත් කර ඇති විද්වත් කමිටුව කටයුතු කරමින් සිටියි.
මෙතෙක් අවසන් නිගමනවලට එළඹී නැති වුවද විද්වත් කමිටුවේ අවධානය වඩාත් මතභේදකාරී විය හැකි අංශ කෙරෙහි යොමු වී තිබේ. වත්මන් ව්‍යවස්ථාවේ පවතින 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය එයින් එක් අවස්ථාවකි. අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අදාළ කාරණාව පිළිබඳ සාකච්ඡා එක් අවස්ථාවකදී ඉතා උණුසුම් තත්ත්වයකට පත්වූ බවද ඒ හේතුවෙන් ඒ පිළිබඳ තීරණයකට එළඹීම සඳහා ඡන්දයක් ගැනීමට සිදු වූ බවය. ඒ සම්බන්ධයෙන් වෙනසක් කිරීම අවශ්‍ය යැයි මතයේ සිටි පිරිසට එහිදී වැඩි කැමැත්තක් හිමි වූ බවද දැනගන්නට තිබේ.
එසේ වුවහොත් 13 වැනි සංශෝධනයෙන් උපත ලැබූ පළාත් සභාවලට වෙන්නේ මොකක්ද? එක් ආරංචි මාර්ගයකට අනුව පළාත් සභා රැකෙන නමුත් එහි ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිකිරීමට යෝජනා කෙරෙනු ඇති බවයි. “නියත වශයෙන්ම තමන් කිසිම කරුණක් සම්බන්ධව අවසන් නිගමනයක් නෑ” එම ආරංචි මාර්ගය ප්‍රකාශ කරයි.
මෙම විද්වත් කමිටුවේ සභාපතිත්වය දරන්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාය. සෙසු සාමාජිකයන් වන්නේ ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන, මනෝහර ද සිල්වා, සංජීව ජයවර්ධන, සමන්ත රත්වත්ත සහ මහාචාර්ය නාසිමා කමර්දීන්, ආචාර්ය ඒ. සර්වේන්වරන්, මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න, මහාචාර්ය ජී.එච්. පීරිස් යන මහත්ම මහත්මීන්ය.
සන්ඩේ ටයිම්ස්
කොළඹින් ගෙවල් ඉල්ලන ඇමැතිවරු!
අමාත්‍යවරුන්ට කොළඹින් නිවාස ලබාදීම කාලයක් තිස්සේ මේ රටේ සිදුවෙමින් පවතී. සෑම රජයක් යටතේම කිසිදු වෙනසකින් තොරව මේ නිවාස ලබාදීම සිදුකෙරෙන අතර ඒ සඳහා රජය සතු නිවාස නොමැති නම් කුලියට හෝ බද්දට ලබාගන්නා නිවාස ඇමැතිවරුන් සඳහා වෙන් කෙරෙයි. කොළඹ නගරය තුළ ඇමැතිවරුන්ට ලැඟුම් ගැනීමට සුදුසු මට්ටමේ නිවාසවල කුලිය පිළිබඳ කතා කිරීම ද පළක් නැත. ඒවා එතරම් ඉහළ බැවිනි. ඒ සඳහා වැය කෙරෙන්නේ මේ රටේ මහජනතාවගේ බදු මුදල්ය. එම නිවාස ලබාගැනීමෙන් පසුව ඒ තුළ බොහෝදුරට ප්‍රතිසංස්කරණ, අලුත්වැඩියා කටයුතු ද සිදු කෙරෙයි. ඒ සඳහා ද ලක්ෂ ගණනින් වැය කෙරෙන්නේ මහජනතාවගේ බදු මුදල්ය. නිවාස නොලැබෙන ඇමැතිවරුන්ට රුපියල් 50,000ක ගෙවල් කුලී දීමනාවක් ගෙවීමට ද මේ රටේ මහජනතාව බැඳී සිටිති. කිසිදු රජයක් මේ තත්ත්වය වෙනස් කිරීමට උනන්දු වී නැත.
එසේ වුවද වත්මන් රජය බලයට පැමිණීමේදී නාස්තිකාර වියදම් අඩු කරන බවට ජනතාව හමුවේ ලබා දුන් පොරොන්දුව ආකර්ශනීය එකක් විය. මැති ඇමැතිවරුන්ට අලුත් අමාත්‍යාංශ ගොඩනැගිලිවලට යාමත් අලුත් වාහන ගෙන්වා ගැනීමට තහංචි පැනවීමත් රජයේ පිටත වාහන සංචිතවලින් අවශ්‍යතා පිරිමසා ගත යුතු බවටත් කෙරුණු නියෝග ද රටේ ජනතාවගේ සතුටට සහ පිළිගැනීමට හේතු විය. එහෙත් නිවාස සම්බන්ධයෙන් පවතින්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක් වීම මේ සියල්ල කනපිට හරවා තිබේ.
දැන් දැනගන්නට තිබෙන්නේ කැබිනට් බණ්ඩලයේ සිටින බහුතරයක් ඇමැතිවරුන් කොළඹින් නිල නිවාස ඉල්ලා ඇති බවකි. සාමාන්‍යයෙන් මේ ඉල්ලීම කෙරෙන්නේ දුර බැහැර ඇමැතිවරුන්ගෙන් පමණක් වුවද මෙවර කොළඹ සිටින සියලුම ඇමැතිවරුන් පවා නිවාස ඉල්ලා ඇති බවද ඒ අතර නාමල් රාජපක්ෂ ඇමැතිවරයා පවා සිටින බවද සඳහන්ය. මේ ඇමැතිවරුන්ට නිවාස නොලැබුණොත් ඔවුන්ට ඊට අදාළ 50,000 දීමනාව ලැබෙනු ඇත.