► ආයෝජකයන්ගේ සියලු අවශ්‍යතා අපි ඉටුකර දෙනවා
► එදා ආණ්ඩුව කිව්ව සමහර කතා අපටත් කියන්න වෙලා
► අපේ පාක්ෂිකයන් කලකිරිලා බව පිළිගන්න වෙනවා
► මේ ආණ්ඩුවේ වැඩ කෙරෙන්නේ විනිවිදභාවයකින්
► ඡන්දෙ ගැන හිතලා සමෘද්ධිය දෙන එකට තිත තැබිය යුතුයි
► වැඩේ වුණාට පස්සේ කට්ටිය පැත්තකින් තියන්න හොඳ නෑ
► ලක්ෂ 69 ආපු හැටි අමතක කරන්න හොඳ නෑ
සුර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක
වර්තමාන ආණ්ඩුවෙන් කිසිම ආණ්ඩුවක නැති විදිහේ පුනර්ජනනීය විදුලිය සඳහා අලුත් අමාත්‍යංශයක් පිහිටෙව්වා. ඒක අලුත් අත්දැකීමක් වගේම විශාල අභියෝගයක්. ඒ අභියෝගය ගැන ඔබට මොකද හිතෙන්නේ?
දැනෙන්න තරම් අභියෝගයක් ඒකේ නෑ ඉතිං.
සුළං බලාගාර, සූර්ය බලාගාර වගේ ඒවායින් පුනර්ජනනීය බල ශක්තිය ලබාගත් අවස්ථා ඉතාම අඩුයි. එවැනි ව්‍යාපෘතිත් අඩුයි. ඉතිං ඒක අභියෝගයක් නෙමෙයිද?
ඉතිහාසය ගත්තාම අපි 100%ක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබාගත්ත ජාතියක්. ජනගහනය වැඩිවීමත් සමඟයි තෙල්, අඟුරුවලින් විදුලිය ලබාගත්තේ. ඊට පස්සේ 30%ක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ගත්තා. ආයේ 2008 ඉඳලා තමයි අපි පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරන්නේ.
එතකොට පහුගිය සතියේ විවෘත කළ මන්නාරම් සුළං බල ව්‍යාපෘතිය ගිය ආණ්ඩුවේ වැඩක් නේද?
නෑ ඒක වැරදියි. ඒ ව්‍යාපෘතියට අදාළව කැබිනට් පේපර් එක ඉදිරිපත් වෙන්නේ 2014 දී. වැඩ පටන්ගන්නේ 2019දී විවෘත කරන්නේ 2020 දී. ඒකෙන් පේන දේ තමයි ඒ ව්‍යාපෘතිවලට විශේෂ කාලයක් ගතවෙලා තියෙනවා.
ආණ්ඩුවේ අරමුණ මොකක්ද මේ පුනර්ජනනීය බලශක්තිය ගැන?
අපේ අරමුණ 2030 වෙද්දී ජාතික විදුලිබල පද්ධතියට 70%ක විදුලියක් එක් කරන්න. මේ ළඟදී ජනාධිපතිතුමා එක්ක කළ කතාවකදී එතුමා කිව්වේ 70%ක් නෙමෙයි 100%ක්ම ගන්න පුළුවන් නම් හොඳයි කියලා. රටේ රාජ්‍ය නායකයගේ විතරක් නෙමෙයි, ජනතාවගේ හිතෙත් ඇතිවෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් උනන්දුවක්. අර ඔබ මුලදී ඇහුවා වගේ මේ තුළ තියෙන එකම අභියෝගය ජනතාවගේ ඉල්ලුම. විශේෂයෙන් කවදාවත් මේ ක්ෂේත්‍රයෙන් ඉහළට යන්න අවශ්‍යතාවයක් හෝ නායකත්වයක් තිබුණේ නෑ.
ඔය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට විදෙස් ආයෝජකයෝ වැඩියි. ඒ අය එනවා අලුත් ව්‍යාපෘති අරගෙන. හැබැයි එක ව්‍යාපෘතියක්වත් මේ මහපොළවේ සාර්ථක වෙන්නේ නෑ. ඔවුන් ආ පයින් යනවා. ඒකට හේතුව කොමිස් ප්‍රශ්න. ඉතිහාසයේ පවා එහෙමයි. ඔබට ඒවා හෙළිවෙලා නැද්ද?
ඉතිහාසය ගැන මම කතා කරන්න කැමති නෑ. හේතුව ඔය පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලි බල පද්ධතියට එකතු කරගන්න ඕන කියලා රටේ සංවාදයක් තිබ්බේ නැති නිසා ඉතිහාසයේ. හැබැයි මට කියන්න පුළුවන් මේ රජයේ යටතේ ඉතාම විනිවිදි භාවයකින් යුතුව කටයුතු කරන්න අපි සියල්ල හදලා ඉවරයි.
ලංකාවේ පුනර්ජනනීය බලාගාර කීයක් හදන්න සැලසුම් කරනවද?
අපි දැනටම තුනක් හදන්න සැලසුම් කරලා ඉවරයි. ඒකේ පළවෙනි එක තමයි පසුගියදා මන්නාරමේදී සුළං බලාගාරයක් හැටියට විවෘත වුණේ. ඒකේ මෙගාවොට් 100ක්. ඒ වගේම සියඹලාණ්ඩුව අපි ජනවාරි මාසයේ ටෙන්ඩර් කරනවා තවත් මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා, ඒක මුල්මාස තුනෙන් ඉවර කරන්න. ඒ වගේම පුනරීන්වල අපි බලාපොරොත්තු වෙනවා 240ක් සුළං බලයෙනුත්, තවත් 150ක් සූර්ය බලයෙනුත් ලබාගන්න. ඒ නිසා අපිට ඉතිහාසය ගැන වගකියන්න බෑ.
ආයෝජකයෝ එන්නේ ඉක්මනින් වැඩ කරන්න, ඒත් මේ රටේ ආයෝජකයෝ රට වටේ යනවා. දේශපාලකයෝ පස්සේ යනවා. ඒ නිසා හැරිලා යනවා. ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද එහෙම වෙන්නේ නෑ කියලා?
මේ ව්‍යාපෘති තුනම අපි ගේන්නේ &රෙඩි ටු ඉන්වෙස්ට්* කියන තේමාව යටතේ. මේ වෙනුවෙන් ආයෝජනය කරන අයෝජකයන්ට ඔවුන් අවශ්‍ය සියලුම වටපිටාව අපි මැදිහත් වෙලා ඉෂ්ට කරනවා. මොකද විශාල තැන් ගණනකින් අවසර ගන්න ඕන. ඒ සියල්ල අපි කරනවා. විශේෂයෙන් තරඟකාරී ටෙන්ඩර් ක්‍රමයකින් අවසර ලැබෙන ඕනෑම ආයෝජකයෙක් වෙනුවෙන් හෙට ඉඳලා වැඩ පටන්ගන්න අපි සියල්ල සුදානම් කරලා ඉවරයි. ඉඩම ඇතුළු සියලු අවසරයන් එක්කයි මේ පාර සියල්ල වෙන්නේ. ඒකයි අපේ තේමාව &රෙඩි ටු ඉන්වෙස්ට්* කියලා කියන්නේ. ඒ වගේම මෙයින් ලැබෙන ලාබය කොච්චරක්ද කියලා ඒ ක්ෂේත්‍රයේ අය දන්නවා.
ඔබගෙ පක්ෂයෙන් ඈත්වෙලා දේශපාලනයට ආවත් ඔබ මේ ආණ්ඩුව සමඟ ගතකළ කාලය ගැන තෘප්තිමත්ද?
ඉතාමත් පැහැදිලිව.
ඒත් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාවන් සම්බන්ධයෙන් පාක්ෂිකයෝ කලකිරීමක ඉන්නේ. ඔබ පිළිගන්නවද එහෙම කලකිරීමකින් ඉන්න බව?
ඒ කලකිරීම කියන එක අපි පිළිගත යුතුයි. මොකද අපි මහ පොළවේ ජීවත්වෙන මිනිස්සු හැටියට. මම ඒකෙදී දකින කාරණය තමයි මේ කලකිරීම් සාධාරණද අසාධාරණද, ප්‍රායෝගිකද යන්න කවුරුත් රජයේ පාර්ශ්වයෙන් පැහැදිලි කිරීමක් කරන්නේ නෑ. අපි ඡන්දයේදී ජනතාවට පොරොන්දු රාශියක් දුන්නා. ඒවා ඉෂ්ට කරගන්න අපි ජනතාවගෙන් කරුණු දෙකක් ඉල්ලුවා. එකක් විශාල ඡන්ද ප්‍රමාණයකින් ජනාධිපතිවරයා දිනවන්න, දෙක 2/3ක බහුතර බලයක් එක්ක ආණ්ඩුවක් දෙන්න කියලා. ඒක දුන්නා. හැබැයි මේ බලය ඉල්ලුවේ අවුරුදු පහක සැලැස්මක් සඳහා කියන එක ගැන අවබෝධයක් නෑ. ජනතාව කැමති අවුරුද්දෙන් ප්‍රශ්න විසඳන්න. ඒත් කවුරුත් පැහැදිලි කරලා දෙන්නේ නෑ මේ අවුරුදු පහක සැලසුමක් කියලා. හිතන්නකෝ පාරවල් කිලෝමීටර් ලක්ෂයක් හදන්න ආරම්භ කළ වැඩේ. මුල් ප්‍රමාණය පටන් ගත්තම අන්තිමට ලක්ෂය ඉවර වෙන්න අවුරුදු පහක් යන්න පුළුවන්. අර අන්තිමට ඉන්න කෙනාට හිතෙන්න පුළුවන් කෝ අපිට කිසිදෙයක් නෑ කියලා. ඒත් නිසා වසර පහක සැලැස්ම ගැන පැහැදිලි කිරීමක් නෑ. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්න කිසිම දේශපාලඥයෙක් නෑ.
ඉතිං ඇයි ජනතාවට උත්තර නොදෙන්නේ පාලකයෝ. දැන් වැඩක් නැති නිසාද?
මේකයි ඡන්දය ගන්නකල් කට්ටිය එකතුවෙලා ගේම ගැහුවට ඡන්දයෙන් පස්සේ ඒක නෑ. ඡන්දයෙන් පස්සේ තම තමන්ගේ ආයතන, අමාත්‍යංශවල වැඩ කරනකොට මේක මග හැරෙනවා. ඒ මගහැරීමේ අඩුව තමයි මේ පේන්නේ. ඔය සමාජ මාධ්‍යවල ආණ්ඩුවට රුල්ලට එල්ලවෙන පුංචි චෝදනාවලට පවා උත්තරයක් නොදෙන තැනට ඇවිත් තියෙනවා.
ඉතිං එහෙම නම් තව අවුරුදු පහකින් ඊට දරුණු ප්‍රතිපල ලැබෙන්න පුළුවන්නේ?
නෑ ඒක අපි තේරුම් අරන් ඉන්නවා. අපි ජනතාවත් එක්ක මේක විසඳාගත යුතුයි. අපි ජනාධිපතිවරයා පවා දැනුවත් කළා. එතුමත් ඒක පිළිගත්තා. ඒ නිසා ඉක්මනින් ඒ ප්‍රශ්නය විසඳෙයි.
වර්තමානයේ මිනිස්සුන්ගේ දුප්පත්කම වැඩිවෙලා අසරණවෙලා ඉන්නේ කියලා චෝදනා එල්ලවෙනවා විපක්ෂයෙන්. ආණ්ඩුව අසාර්ථකයි කියනවා. ඔබ පිළිගන්නවද ඒක?
පැහැදිලිවම. අපි ඡන්ද කාලවලදී කිව්ව දේවල්වලට පෙන්නුව දේවල්වලට අද ජනතාව අපෙන් ප්‍රශ්න අහද්දී ඒ දේවල්වලට අපිට දෙන්න උත්තරයක් නෑ. එදා දේශපාලන වාසියක් ගන්න පාවිච්ච් කළ කරුණුම අද අපිට එද්දී එදා හිටිය ආණ්ඩුව කිව්ව කතා අපිට අද කියන්න වෙලා. සමහර වෙලාවට දෙන්න හරි උත්තරයක් නෑ. ඔබට මතක ඇතිනේ අපි අපේ ඇමතිවරු ඒ කාලේ පොල් බෑය ගෙනල්ලා පෙන්නලා කතා කළා. ඒත් අද පොල්ගෙඩිය 120-140යි. දැන් අපිට ඒකට දෙන්න උත්තරයක් නෑ. අද අපිට බූමරංග වෙලා.
ඔබ ළඟදී කිව්වා නේද සමෘද්ධිය අඩුකරන හැටි පෙන්නන්න, ඔබට බාරදෙන්න කියලා. කොහොමද ඕක අඩු කරන්නේ?
සමෘද්ධි පවුල් ලක්ෂ 18ක් ඉන්නවා. ජනාධිපතිතුමා දුප්පත් පවුල් ලක්ෂයකට රජයේ රුකියා දුන්නා වගේම, නිවාස ලබාදීමේදී දුප්පත් පවුල් ලක්ෂයක් මට බාරදෙන්න. මම ඒ අයට සූර්ය පැනල සවිකරලා ඔවුන්ට සමෘද්ධියක් වෙනුවට ඔවුන්ගේම ව්‍යාපාරයකින් ඔවුන්ව දුප්පත්කමින් මුදවන්න කටයුතු කරන්නම් කියලා කිව්වේ. එතකොට ඒ ලක්ෂයම සමෘද්ධියෙන් ඉවත් කරන්න පුළුවන්.
ඒත් ආණ්ඩුවේ ඇමතිවරු කියන්නේ සමෘද්ධිය තව වැඩිකරනවා කියලා?
මම අහන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ 18 ලක්ෂයක සමෘද්ධිලාභීන් 25 ලක්ෂයක්ද කරන්න ඕන නැත්තන් ශක්තිමත් ආර්ථික හයියක් තියෙන පවුල් ගොඩනගලා සමෘද්ධිය අත්‍යවශ්‍ය අයට දෙන එකද? අපි හැමදාමත් කරන්න ඕනද දුප්පත් මිනිස්සු බිහිකරන එක. ඒක නෙමෙයි අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ. අපි කරන්න ඕන සමෘද්ධි අඩුකරන එක. අපි කරන්න ඕන අවුරුදු හතරකට දෙන සමෘද්ධිය හරහා ඒ අවුරුදු හතරෙන් ඒ මනුස්සයා ආදායම් ලාභියෙක් කරන එක. ඒකට අපි අරමුණක් දෙන්න ඕන ඒ මිනිස්සුන්ට. දැන් වෙලා තියෙන්නේ බයික් එකක්වත් තමන්ගේ නමට ගන්නේ නෑ සමෘද්ධිය නැතිවෙයි කියලා. පවුලෙන් පවුලට සමෘද්ධිය යනව. අපේ දේශපාලඥයොත් ඔවුන්ගේ ඡන්ද පදනම රුකගන්න හැමකෙනාටම සමෘද්ධිය දෙනවා. ඒ නිසා මම කියන්නේ මේ ක්‍රමය නවත්තලා විධිමත් ක්‍රමයක් හදන්න ඕන.
අපි පසුගිය අයවැයේදී දැක්ක දෙයක් තමයි ආදායමට වඩා වියදම වැඩියි. එහෙම තියාගෙන ආණ්ඩුව ඉස්සරහට අරන් යන්න පුළුවන්ද?
ඒක මුදල් අමාත්‍යංශයට අයිති දෙයක්. මොකද හැමදේම කරන්න ගියොත් අපිට වරදිනවා. අර ගෙදරක වගේ අපි ඒ ඒ දේවල් ඒ ඒ අයට දෙන්න ඕන. ඒ නිසා අපිට පුළුවන් එකම දේ ඒ අවශ්‍ය සහාය දෙන එක විතරයි.
විපක්ෂය කියන්නේ ඒ ආදායම නැති නිසා තමයි වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට වික්කේ කියලා. දැන් මේ ආණ්ඩුවත් රාජ්‍ය දේපළ විකුණනවද?
පෞද්ගලිකව මගේ මතය ගත්තොත් නැගෙනහිර ජැටිය කාටවත් දෙනවට මම විරුද්ධයි. ඒකට හේතුව අනාගතයේදී අපිට කිසිම ආදායමක් නැතිවෙනව ඔය දේවල්වලින්. උදාහරණයක් හැටියට ගත්තම දැනටමත් වරායේ අංශ පෞද්ගලික අංශයට ලබාදීලා තියෙනවා. ඒඅය අද දියුණුයි. ඒත් ඒ දියුණුව අපිට නෑ. අදායමක් නෑ.
ඒ වගේම නැගෙනහිර ජැටිය අපි තියාගෙන ඉඳලා තේරුමකුත් නෑ. තියාගන්නවා නම් ආණ්ඩුවෙන් සල්ලි වියදම් කරලා තරගකාරී මිල ගණන් එක්ක හැප්පෙනන්න පුළුවන් හයිය තියෙන්නත් ඕන. මගේ තීරණය නම් මේ වරායට මුදල් යොදවන එකේ පාඩුවක් නෑ. හේතුව ආදායම හොඳ නිසා. ඒ නිසා එවැනි දේවල් අපේ වියදමින් ගොඩනගන්න ඕන.
එකපාර මොකද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙයි, පොහොට්ටුවෙයි බෙදීමක් වෙන්න පටන් අරන් තියෙන්නේ?
මම ඉස්සෙල්ලා කිව්ව විදිහට මේක සන්ධානයක් හැටියට ආණ්ඩුවක් කරගෙන යනකොට පහළ ඉන්න අපේ මන්ත්‍රීවරු සංවිධායකවරු ආණ්ඩුවක් හැටියට අපෙන් හැමදේම බලාපොරොත්තු වෙනවා. හැබැයි අද අපිට වඩා කලකිරීමෙන් ඉන්නවා පොහොට්ටුවේ මන්ත්‍රීවරු. ඒ ක්ෂණික දේවල් නොවීම නිසා. ඒ නිසා මේක අපි රණ්ඩු කරගන්න වෙලාවක් නෙමෙයි.
ඒ කියන්නේ ආණ්ඩුවේ සැලකීම ශ්‍රීලනිපයට හොඳයි?
නෑ. සමහර දේවල් ඉෂ්ට වුණේ නෑ. 100%ක්ම ලබාදීලා නෑ. හැබැයි ඒවා ගැන හොයලා බලද්දී මේ තියෙන තත්ත්වයත් එක්ක 100%ක දේවල් ලබාදෙන්න බෑ. හැබැයි මම දරණ මතය තමයි මීට වඩා ආණ්ඩුව තුළ ඉන්න පක්ෂ එක්ක මීට වඩා එකමුතු බවක් කතිකාවතක් තියෙන්න ඕන කියලා.
දයාසිරි ඇමතිතුම කිව්වා ආණ්ඩුවේ ප්‍රධානියො පවා හම්බවෙලා කතා කරගන්න බැරි තැනකට ඇවිත් තියෙන්නේ කියලා. ඇත්තටම ඇතුළේ කැපිල්ලද?
නෑ නෑ කැපිල්ලක් නෑ. මේ ආණ්ඩුව තුළ මේ වෙනකොට ඇතිවෙලා තියෙන කාර්යබහුලතාවය නිසා අර පක්ෂ අතර සාකච්ඡා කරල තීන්දු ගන්න ඕන කියන එක මගහැරිලා. ඒක පිළිගන්න ඕන. අපි විතරක් නෙමෙයි. අනෙක් අයත් කියනවා. අඩුම ගානේ පක්ෂ රුස්වීමත් තියාගන්න බැරිවුණා කියන කලකිරීම තියෙනවා. ඒ වගේම පොහොට්ටුවේ අයගේ තියෙන්න පුළුවන් අපිට තමයි වැඩිම ඡන්ද තියෙන්නේ, ඒ නිසා කතා අවශ්‍ය නෑ කියලා.
ඒ කියන්නේ නායකයොත් ඉන්නේ ඒ මට්ටමේද?
නෑ නෑ නායකයො නෑ. අනෙකුත් අයට හිතෙන්න පුළුවන්නේ. හැබැයි මම මංගල රුලියෙදී කිව්වා පොහොට්ටුවට පළාත් පාලනේදී ලැබුණේ ඡන්ද ලක්ෂ 50යි. අපිට 17යි. ඒ දෙක එකතු වුණාම දිනන්න පුළුවන් කිව්වා. ඒත් අපිට ලක්ෂ 69ක් ආවා. ඒ නිසා මේවා අපි අමතක කරන්න වුවමනාවක් නෑ කවුරුත්. ඒ වගේම පහුගිය 2/3 ගන්න වෙලාවේ පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප 14 දෙනා ඡන්දය නොදුන්නා නම් ඒක ගන්නත් බැරි වෙනවා අපි නැතුව. ඒ නිසා අපි කරන්න ඕන මේ වෙලාවේ මේ ජයග්‍රහණය රටේ යහපත වෙනුවෙන් යොදනවා, මිසක් කකුලෙන් අදින එක නෙමෙයි. අපේ වැඩේ වුණාම හැබැයි කට්ටිය පැත්තකින් තියන එක හොඳ දෙයක් නෙමෙයි. හැබැයි නායකයෝ අතර එහෙම ප්‍රශ්නයක් නෑ.
පළාත් සභා ඡන්දය ඔබලා වෙනමද ඉල්ලන්න හදන්නේ? එහෙම කතාවක් යනවා?
නෑ. එහෙම තරග වදින්න උවමනාවක් නෑ. ජනාධිපතිවරණයත් එකට ඉල්ලලා, මහ මැතිවරණයත් එකට ඉල්ලලා, පළාත් සභා වෙනම ඉල්ලන්න උවනාවක් නෑ. මේ සන්ධානයට ලබාදිය හැකි උපරිම ශක්තිය අපි ශ්‍රීලනිපය හැටියට දිගටම ලබාදෙනවා.
I ගයාන් ගාල්ලගේ