2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

කළගුණ සැලකීම

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 454

ගිය අවුරුද්දේ මේ කාලයේ ආණ්ඩුව හරිම “බිසී” වී සිටියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වී යාන්තම් මාසයක් ගතවූවා පමණි. එම ජයග්‍රහණයේ උණුසුම උතුරු සහ තරමක් දුරට නැගෙනහිර පළාත් හැර සෙසු සෑම පළාතකම ඒ වනවිට දැනෙමින් තිබුණේය. එම උණුසුම තවදුරටත් වර්ධනය වී තිබුණාද විය හැකිය.  බලයට පත්වූ පසුව ජාතිය අමතා කළ ප්‍රකාශයත් තමන්ටම ආවේණික වූ, මීට කලින් බලයේ සිටි ජනාධිපතිවරුන්ට වඩා වෙනස් ගති ස්වභාවයන් තමන් තුළ පවතින බව පෙන්නුම් කරමින් ගනු ලැබූ පියවර ගණනාවකුත් හේතුවෙන් රටම ජනාධිපතිවරයා සමඟ දැඩිව බැඳී සිටියේය. එයින් වසරකට පසුව එම උණුසුම සහ බැඳීම එලෙසම පවතීද යන්න ගැන පොඩි සෙවීමක් බැලීමක් කිරීමට මේ හොඳ අවස්ථාවකි.
ඒ වනවිට මහමැතිවරණය පැවැත්වීම පිළිබඳව රට තුළ තිබුණේ විශාල උද්‍යෝගයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නියෝජනය කළ පාක්ෂිකයන් සහ ඡන්දෙට ඉදිරිපත් වීමට සූදානම්ව නාමයෝජනා බලාපොරොත්තුවෙන් සිටි අය තුළ විශාල පිබිදීමක් තිබුණේය. ඔවුන්ට රට තුළ විශාල පිළිගැනීමක්ද තිබුණේය. නාමයෝජනා ලබාගැනීම ඇතැමුන්ට විශාල අභියෝගයක් වන ලකුණු පහළ වී තිබිණි. එළැඹෙමින් තිබුණේ මහ මැතිවරණයට දින නියම කිරීමත් පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් පමණි. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට අත්වැල් බැඳගත් සියලු බලවේග වඩාත් ශක්තිමත්ව මහ මැතිවරණයට සූදානම් විය. ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප සහායද ලැබීම හේතුවෙන් ගෝඨාභය මහතාගේ ජයග්‍රහණය වඩාත් තහවුරැ විය. වඩාත් ශක්තිමත් විය.

සියල්ල කනපිට හැරුණේ මාර්තු මාසයේ පාර්ලිමේන්තුවද විසුරුවා හැර මහමැතිවරණයට දින නියම කිරීම පමණක් ඉතිරිව තිබියදීය. මුළු ලොවටම කඩාපාත් වූ කොවිඩ් වෛරසයෙන් ශ්‍රී ලංකාවටද ගැලවීමක් නොවුණි. මහ මැතිවරණය කල් දැමීමට සිදුවිය හැකි බවට එවකට තිබූ මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් මැතිවරණ කොමිසම විටින් විට කළ ප්‍රකාශ ආණ්ඩුවට කොහෙත්ම දිරෙව්වේ නැත. කොමිසම යූ.එන්.පී.යේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බවට චෝදනා කිරීමට තරම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ඇතැම් හිටපු මන්ත්‍රීවරු කලබල වූහ. මහමැතිවරණය පැවැත්වීම කල් යන තරමට තමන්ට අවාසියක් විය හැකි බවට වන දුර්මතයක්ද තිරය පිටුපසින් ප්‍රචාරය වෙමින් තිබුණේය. යූ.එන්.පී.යද දෙකට කැඩීම වැළැක්විය නොහැකි අර්බුදයක් කරා ගමන් කරමින් සිටීමේ වාසියද පොහොට්ටුවේ නායකයන්ගේ ගණන් බැලීම්වලට හසුවන්නට ඇත.

කෙසේ වුවද පොහොට්ටුව ඒ අවස්ථාවේදී තමන්ගේ හිරි ඇර ගැනීමට මැතිවරණ කොමිසමට දැඩිව පහර දුන්නත් කොමිසම ඒ අවස්ථාවේදී නිවැරදිව ක්‍රියාකර තිබූ බව සියල්ල අවසානයේ පෙනී ගියේය. ඡන්දය පැවැත්වීමද ඒ හැටි කල්ගියේ නැත. අප්‍රේල් මාසයේ තුන්වැනි සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ ඡන්දය අගෝස්තුවේ පළමු සතියේදී පවත්වා සාර්ථකව එහි අවසානයක් දැකීමටත් රටම පෙළමින් තිබූ සහ බරපතළ ප්‍රශ්නයක් බවට පත්විය හැකිව තිබූ කොවිඩ් වසංගත ව්‍යාප්තියද වළක්වා ගනිමින් ඡන්ද ක්‍රියාවලිය මෙහෙයවීමටත් මැතිවරණ කොමිසම සමත් විය. හැකි ඉක්මනින් මහමැතිවරණය පවත්වා අවසාන කිරීමට ඕනෑම මිලක් ගෙවීමට සූදානමින් සිටි ආණ්ඩුව මැතිවරණ කොමිසම ඉල්ලා සිටි මුදල් ලබාදීමට කටයුතු කළේය. කෙසේ වුවද එම මුදලින් අඩක් පමණ වැයකොට වැඩේ අවසාන කිරීමටද කොමිසම සමත් වී තිබිණි. (ඒ පිළිබඳව “පුංචි කෑලි” තීරයේ වෙනම පළවෙයි.)

ආණ්ඩුව අපේක්ෂා කළාටත් වඩා ඉහළින් ජය ගත්තේය. පොහොට්ටුව ලබාගත් මේ සියලු දේශපාලන ජයග්‍රහණ පසුපස සිටි මහමොළකරු වන බැසිල් රාජපක්ෂ මහතා පවා ඡන්දයට සතියකට පමණ පෙර පළකර තිබූ අනාවැකිය වූයේ තුනෙන් දෙකකට ආසන්න ආසන සංඛ්‍යාවක් ලබාගැනීමට හැකිවනු ඇති බවටය. නමුත් තුනෙන් දෙකකට වඩා අඩුවුණේ එක් ආසනයක් පමණි.

ආණ්ඩුවත් එක්ක මේ සියලු බර කරට ගෙන ක්‍රියා කළ ශ්‍රීලනිපය ඇතුළු සෙසු දේශපාලන පක්ෂද ජනාධිපතිවරණයේදී සහාය පළකළ මහ සංඝරත්නය ඇතුළු වෙනත් සමාජයීය සහ ආගමික බලවේගද ආණ්ඩුවේ ජයග්‍රහණයට එක්ව සිටියේය. ජනාධිපතිවරයා විසින් තමන්ගේ පාලනය පිළිබඳව ජනතාව තුළ ඇතිකර තිබූ වෙනස් නායකත්වයක් පිළිබඳ විශ්වාසයත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ කිසිදා අඩු නොවන ජනප්‍රියත්වයත්, බැසිල් රාජපක්ෂගේ අභියෝග කළ නොහැකි සංවිධාන ශක්තියත් එම ජයග්‍රහණයේ ප්‍රධාන බලවේග බවට පත්ව තිබුණි. ඊළඟට සිදුවූයේ පොරොන්දුවක් වූ 19 වැනි සංශෝධනය බල රහිත කොට වඩාත් ශක්තිමත් 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමය. එයද තුනෙන් දෙකක බහුතරයකින් සිදුවූ පසුව අයවැයද සම්මත කරගැනීමට ගැටලුවක් නොවීය. ඒ වනවිට විපක්ෂයේ සජිත්ගේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද ආණ්ඩුවට එකතු වී සිටීම නිසා සියල්ල පහසුවෙන් සිදුවිය. 2019 දෙසැම්බරයේ සිට 2020 දෙසැම්බරය දක්වා කතාව එහෙමය. එහෙම වුණත් ආණ්ඩුව එදා දෙසැම්බරයත් මෙදා දෙසැම්බරයත් අතරතුරදී එම ජනප්‍රියත්වය සහ ජවය එසේම පවත්වා ගැනීමට සමත්වූයේද යන්න නම් ප්‍රශ්නාර්ථයකි.

ඒ පිළිබඳව විමසා බලන්නට ප්‍රබල සංඥාවක් පසුගියදා ලැබුණේ ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයාගෙනි.

දයාසිරි මාධ්‍ය සාකච්ඡාවක් තබා පසුගිය බදාදා (17) කිව්වේ මෙහෙමය.

“මේ ආණ්ඩුව හදන්න මහන්සි වෙච්ච පක්ෂයක් හැටියට ශ්‍රීලනිපයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මීට වඩා ශක්තියක් මේ ආණ්ඩුව ලබාදිය යුතුයි. අපි ආණ්ඩුවේ බලධාරීන්ගෙන් කිහිපවතාවක් මේක ඉල්ලලා තියෙනවා. ඒ අයව පැත්තකට විසිකරලා වැඩ කරන්න බෑ. පක්ෂයක් විදියට අපි බෝඩ් ලෑල්ලකට මේ ආණ්ඩුවත් එක්ක එකතු වුණේ නෑ. අපේ අපේක්ෂකවරු සංවිධායකවරු ඉන්නේ විශාල කලකිරීමකින්. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙනුත් විශේෂයෙන් පොදුජන පෙරමුණේ නායකයන්ගෙනුත් ඉල්ලන්න කැමැතියි කරුණාකරලා කෙළෙහිගුණ සැලකීමේ කටයුත්ත දැන්වත් ඉෂ්ට කරන්න කියලා.

අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා වට ගණනාවක් ඉල්ලුවා. එකක්වත් ලැබුණේ නෑ. බැසිල් රාජපක්ෂ මහතා එක්ක සාකච්ඡා කළා. නමුත් ඒ සාකච්ඡාවල කිසි හරයක් දකින්නේ නෑ. ප්‍රශ්න ටික එහෙමමයි. අපි ඉතාමත් අසරණ වෙලයි ඉන්නේ. අපට ශක්තිය නොදුන්නොත් කියන්න වෙන්නේ ශ්‍රීලනිපය දියකරන වැඩපිළිවෙළක් තමයි මේ ආණ්ඩුව ඇතුළෙන් සිද්ධවෙන්නේ කියලයි.”

ආණ්ඩුවට පසුගිය අවුරුද්දේ එකතුවෙලා හිටිය බලවේග අතුරින් මෙහෙම කලකිරිලා කතා කරන්නේ දයාසිරි විතරද? හරියටම කිව්වොත් ශ්‍රීලනිපය විතරද? එහෙම නොවන බව 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට රජය උත්සාහ දරනු විටද පෙනෙන්නට තිබිණි. එහිදී රජයේම තවත් පක්ෂ දෙකක නායකයන් වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැතිවරුන්ද දැරුවේ වෙනම මතයකි. එසේම රජයට ප්‍රබල සහායක් ලබාදුන් මුරුත්තෙට්ටුවේ ආනන්ද, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස වැනි හිමිවරුද ආණ්ඩුවේ මතය අනුමත නොකරන බව පැවසුවේ ප්‍රසිද්ධියේමය. ඊටත් අමතරව මේ ඇතැම් හිමිවරුන් දැන් රජයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් හොඳ නරක නොකියන තත්ත්වයක නිහඬව සිටින අතර එය කුණාටුවක පෙර නිමිත්තක් දැයි කියන්නත් දන්නේ නැත.

මෙයට සමගාමීව පසුගියදා ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කළේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමාය. පාස්කු ප්‍රහාරයෙන් දැඩිව අසරණභාවයට පත්වූ බැතිමතුන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ නොවන බවටද එම ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වන බවටද උන්වහන්සේ චෝදනා කළහ. එහෙත් පසුගිය දිනක අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා බැහැදැකීමෙන් පසුව අගරද ගුරුතුමන්ගේ ප්‍රශංසාව රජයට හිමිවිය. “පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණ ජනතාවට සහන සලසලා ඒ අයගේ ප්‍රශ්න විසඳීමට ලබාදුන් සහයෝගය ගැන මම අගමැතිතුමාටත් රජයටත් පෞද්ගලිකව ස්තූතිය හා ප්‍රශංසාව පුද කරනවා. මැදිහත් වුණ ඇමැතිවරුන්ටත් රාජ්‍ය ඇමැතිවරුන්ටත් ස්තූතිය පුදකරනවා. අපි මේ හැමදෙයක්ම කරන්නේ පීඩාවට පත්වුණ අපේ ජනතාව වෙනුවෙනුයි. ඔබතුමාගේත් ජනාධිපතිතුමාගේත් මැදිහත්වීම තුළ රටේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.”

මේ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙමින් කියා තිබුණේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්ව විවිධ ණයවාරික ගෙවාගත නොහැකිව සිටින හා ඒ වෙනුවෙන් ඉල්ලීම් කර ඇති පුද්ගලයන් සඳහා ණය සහන ලබාදීමටත් කටුවාපිටිය දහම්පාසල රුපියල් කෝටි 6ක මුදලින් ඉදිකර අවසන් කළයුතු බවටත් කොච්චිකඩේ දේවස්ථානය කලින් සැලසුම් කළ පරිදි ඉදිකර අවසන් කරන ලෙසටත්ය. පසුගිය ආණ්ඩුව පොරොන්දු දීම් පමණක් සිදුකළත් තමන් ඒ සියල්ල අවශ්‍ය ආකාරයට ඉටුකර දෙන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී කියා තිබුණි.

මේ කලගුණ නොසැලකීම් සහ සැලකීම් හමුවේ ආණ්ඩුවට තවත් සංඥාවක් එල්ලවූයේ ඇහැලියගොඩ ප්‍රදේශයේදීය. එයට මුහුණ දුන්නේ ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාරය. එහිදී ජල ව්‍යාපෘතියකට මුල්ගල් තැබීමට ගිය වාසුදේව ඇමැතිවරයාට එරෙහිව ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන් එම මුල්ගල නොතබාම රුස්ව සිටි පිරිසෙන් හූ හඬ මධ්‍යයේ ආපසු හැරීමට ඇමැතිවරයාට සිදුවිය. තම ගම් ප්‍රදේශයේ පවුල් දහසක් පමණ උග්‍ර ජල හිඟයකින් පීඩා විඳිද්දී ඇහැලියගොඩ නගරයට ජලය ලබාදීමට ක්‍රියා කිරීම ඔවුන්ගේ දැඩි විරෝධයට හේතු වී තිබිණි. වාසුදේව මහතා පසුව කියා තිබුණේ විරැද්ධවාදී දේශපාලන උසි ගැන්වීමකින් බෙදුම්වාදී අදහස් ඇති කණ්ඩායමක් මේ විරෝධය සිදුකළ බවය.

එසේ කිව්වත් හේතුව කුමක් වුවත් අලුත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුට සංවර්ධන ව්‍යාපෘතියකට මුල්ගලක් තැබීමට නොහැකි වීම යට විරුද්ධවාදීන්ගේ පමණක් නොව පාක්ෂිකයන්ගේද කලකිරීම තිබෙන බවට පැහැදිලි සංඥාවක් එහිදී ලැබී තිබෙන බව පෙනී යයි. මෙවැනි සංඥා මුලදී නොසලකා කටයුතු කිරීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ පාක්ෂිකයන්ද විරුද්ධවාදීන්ගේ ගොඩටම තල්ලු වීමය. එම ගොඩ ලොකුවෙන විට ආණ්ඩුවත් සමඟ කලින් සිටි ප්‍රධාන බලවේගද එවැනි ගොඩවල් සමඟ එකතු වීමට තිබෙන ඉඩකඩ ගැනද රජය හොඳ තක්සේරුවක සිටිය යුතුය.

අවුරුද්දක් යනු ආණ්ඩුවක හොඳ නරක ගැන විනිශ්චය කිරීමට තරම් ලොකු කාලයක් නොවේ. එහෙම වුණත් හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙන කතාවට උල්පන්දම් දෙන ආකාරයට වැඩ කළ යුතු නැත. විශේෂයෙන්ම ආණ්ඩුවේ ගමන්මගට හරහට හිටි කොවිඩ් ව්‍යාප්තිය පළමු රැල්ලේදී ඉතාම සාර්ථකව පාලනය කළත් එය දෙවැනි රැල්ලේදී “අනාගත්” බවට රට තුළින් නැගෙන හඬ යහපත් තත්ත්වයක් නොවේ. ඒ සමඟ වැඩිවෙන ආර්ථික ගැටලුද මේ හඬ තවදුරටත් මුවහත් කරනු මිස එය යටපත් කිරීමට උදව් වන්නේ නැත. කළගුණ සැලකීමේ වැදගත්කම ආණ්ඩුවට මතක් වෙනවිට අශ්වයා පැනගොස් තිබෙන්නත් බැරි නැත.

- ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00