2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

දෙමළ සන්ධානය ජිනීවා සෙල්ලමට බසී

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

  • දයාසිරිගෙන් කහ එළියක්
  • තමන්ගේ ඉදිරි සැලසුම් 30දා ජනපති හෙළිකරයි
  • ආණ්ඩුවත් ගැස්සුණු කෙහෙළියගේ සමාජ මාධ්‍ය කතාව
  • ලලිත් වීරතුංගට එන්නත් වැඩේ භාරවෙයි
  • ජ.වී.පෙ ඩෝසරයට නගී
  • විපක්ෂයේ බොක්කටම වැදුණු මංගලගේ මාතර කතාව
  • ශ්‍රීලනිපය ඇතුළේ මත දෙකක්

 

 

වෙනදා අසිරිමත් වූ නත්තල් සතිය මෙවර කොවිඩ් නිසාවෙන් ඈලිමෑලි වූයේය. ඒ අතර නත්තල් සීතල පරයමින් මෙරට යටිබිම් ගත දේශපාලනය තුළ නව උණුසුම් නිර්මාණය වන්නට විය. ඒ අතර මුස්ලිම් භූමදාන ඉල්ලීම දේශපාලන කරළියේ එකම රැඟුම් පෙළහරක් නිර්මාණය කළේය. ඒ අතර ආණ්ඩුවද නව වැඩසටහන් රුසක් ඔස්සේ සිය ජනප්‍රිත්වය රැකගැනීමට උත්සුක වූයේය.

යටිබිම් ගත දේශපාලනය උණුසුම් කළ නත්තල් සීත බිඳදැමූ දේශපාලන උණුසුමට හේතුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධව කතාවකි. ඒ කතාව අනුව අසන්නට ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳ සැලසුමක සිටින බවයි. තවද සමගි ජනබලවේගය සමඟ ඔවුන් රහසේ සාකච්ඡා කර ඇති බවද කියැවුණි. මෙය වූ කලී සත්‍යයත් අසත්‍යයත් අතර දෝලනය වූ පුවතක් විය. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙම පුවතට පූර්වයේ පොදුජන පෙරමුණ දේශපාලන භාවිතාව සම්බන්ධව ප්‍රබල ප්‍රකාශයක් කර තිබුණි. එය අනතුරු හැඟවීමකි.

කෙසේ වෙතත් ශ්‍රීලනිප ඉහළ ක්‍රියාකාරීත්වය අවස්ථා ගණනාවකදී ආණ්ඩුවෙන් සිදුවන කෙනෙහිලිකම් පිළිබඳ සාකච්ඡාවල නිරත වී ඇත. ඒ අනුව ආණ්ඩුව තම කණ්ඩායමට දක්වන නොසැලකිල්ලට යම් රැඩිකල් ප‍්‍රතිචාරයක් දැක්විය යුතු බවට ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කර තිබේ. දේශපාලන ආරංචි මාර්ග අනුව මෙම සාකච්ඡාවලදී ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධව යම් කරුණුද සාකච්ඡා වී තිබේ. එහෙත් පොදුවේ පක්ෂක් ලෙස ආණ්ඩුවේ හැරයාම සම්බන්ධව කරුණට බහුතරය එකඟ නොවූ බව කියැවේ.

නිමල් සිරිපාල, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ජෝන් සෙනෙවිරත්න ආදීහු ආණ්ඩුවට යම් පක්ෂ පාතීත්වයක් පෙන්නුම් කර ඇති බව කියැවේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් 14 දෙනාගෙන් සජිත් පිලට එක්විය යුතුය යන මතය දරන්නේ තිදෙනකු පමණක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් පෞද්ගලික මට්ටමින් සමගි ජනබලවේගයේ සිය හිතවතුන් සමඟ සාකච්ඡා කර ඇති බවද කියැවේ. කෙසේ වෙතත් රුඩිකල් තීන්දුවක් හරහා තම වටිනාකම ආණ්ඩුවට දැනෙන්නට සැලැසීම ප්‍රමාද කිරීමටත් ශ්‍රීලනිපයට හේතුවක් තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ කිසිවක් සම්බන්ධව සෘජුව සිය මතය ප්‍රකාශ නොකිරීම ඊට හේතුවයි. ඒ අනුව මෛත්‍රී නිහඬ වී සිටින්නේ පාස්කු ප්‍රහාර සම්බන්ධව පරීක්ෂා කිරීමට පත්කළ කමිටුවට තමන්හට අවාසි සහගත වාර්තාවක් ඉදිරිපත් කරනු ඇතැයි යන සැකයෙන් බව කියැවේ. එය එක්තරා ආකරයකට පක්ෂ අභ්‍යන්තරයේ නැගෙන චෝදනාවකි. ඒ කෙසේ නමුත් මෙම කොමිසමේ වාර්තාව පැමිණීම සමඟ ශ්‍රීලනිප දේශපාලනයේ යම් වෙනසක් ඇතිවනු ඇති බව දේශපාලන ආරංචි අනුව පැහැදිලිවේ.

තත්ත්වය එසේ වුවද මෙම ශ්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත් නොවන බවට තහවුරු කරන පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රමුඛයෙකි. අපි පක්ෂයක් විදිහට සිටිය යුතු නිවැරදි තැන තීරණය කරලා තිබෙනවා. රජයෙන් ඉවත්වීම සම්බන්ධ කිසිදු සාකච්ඡා අපි පක්ෂ තුළ සිදුකරලා නෑ. අපි ජනතාව වෙනුවෙන් රජයත් එක්ක දිගටම කටයුතු කරනවා. යනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබේ. එසේම අමාත්‍ය මහින්ද අමරවීර මහතාද මේ හා සම්බන්ධව අදහස් දක්වා ඇත. ඔහුද කියා ඇත්තේ දාහත් ලක්ෂයක ඡන්දයක් එක්ක ආණ්ඩුවට එකතු වී එකසිතින්ම ආණ්ඩුවේ ජයග්‍රහණය සඳහා වැඩකළ ශ්‍රීලනිපය කිසිසේත්ම සමගි ජනබලවේගයට හෝ එජාපයට එකතු නොවන බවයි.

බැසිල් රාජපක්ෂ චරිතය දේශපාලන කරළියේ නොනැවතුණු දැවැන්ත ගමනක ආරම්භය ගෙවුණු සති කිහිප තුළදී ඇරඹුවේය. එහි සුවිශේෂී සිදුවීමක් පසුගිය 21 වැනිදා සිදුවිය. අයවැය ගමට ගෙන “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහනේ බස්නාහිර පළාත් සාකච්ඡා මෙදින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. බස්නාහිර පළාත නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකි විය. එහෙත් බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනෙකුගේ මෙහිදී කැපී පෙනිණි. ඒ අනුව මෙම රැස්වීමට අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය උදය ගම්මන්පිල යන කැබිනට් අමාත්‍යවරුන් දෙපොළ පමණක් සහභාගී නොවූහ. ඛනිජ තෙල් සංස්ථාවේ කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා උදය එක් නොවූ බව පසුව කියැවිනි. 

මෙම රැස්වීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතාගේ තනතුර පිළිබඳවත් ඉහළ පෙළේ දේශපාලනඥයන් කිහිප දෙනකු අතර කතිකාවක් නිර්මාණය වී තිබුණි. බැසිල් රාජපක්ෂ මහතා දැනට දරණ තනතුර ජාතික ආර්ථිකය ගොඩනැගීමට නිෂ්පාදන හා සේවා අපනයනය, ඍජු විදේශ ආයෝජන හා සංචාරක කර්මාන්තය මූලිකව වන අතරම ජාතික ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාතේ සංවර්ධනයද ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමද සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති කමයි. මේ අනුව 2015 සිටි බැසිල් ආපසු පැමිණ ඇති බව රජයේ ඉහළ තනතුරක් දරණ දේශපාලනඥයෙක් ප්‍රකාශ කර තිබුණි.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා හේතුකොට ගෙන තවත් අපූරු සිදුවීමක් පසුගියදා සිදුවිය. එය දේශපාලන කරළියේ අහුමුළුවල සංවාදයට ලක්විය. එය ජ්‍යොතීර්වේදියකු කී අනාවැකියකි. බැසිල් රාජපක්ෂ මහතා 2023 වසරේදී මෙරට ඉහළම තනතුරකට පත්වන බව ඔහු කියා තිබුණි.  ඒ අතර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පරිත්‍යාග කිරීමට ඕනෑම මොහොතක සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ කී කතාව නැගී එන බැසිල් කතාන්දර අතර සුවිශේෂී විය.

ගෙවුණු සතියේ පටලවා ගැනීම් අතර ඉහළින්ම වූයේ ෆේස් බුක් ලියාපදිංචි පිළිබඳ මාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කතාවයි. මහනුවර ප්‍රදේශයේ දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සමාජ මාධ්‍ය පරිශීලකයන් හා මුහුණු පොතේ සැරිසරන්නන් ලියාපදිංචි කළ යුතු බවට පළකර අදහසක් මාධ්‍යයේ පළවිය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ, ‘ “සමාජ මාධ්‍ය හරහා ඇතිවෙලා තියෙන විශාල විෂමතාවයන් සහ පෙළක් වෙලාවට ඉතාම නීතිවිරෝධී අන්දමින් කෙරෙන කටයුතු පාලනය කළයුතුයි කියලා අපෙ මතයක් තියෙනවා. ඒ අනුව සියලුම සමාජ මාධ්‍ය සහ මුහුණු පොතේ සැරිසරන අය ලියාපදිංචි වීමේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා ” යනුවෙන්ය.

මෙම ප්‍රකාශ සමඟම සමාජ මාධ්‍ය තුළ ක්ෂණික ගින්නක් ඇවිලී ගියේය. එල්ලවූයේ දැඩි විරෝධයකි. ඒ අතර විපක්ෂය මෙය බර අවියක් බවට පරිවර්තන කර ගත්තේ සැනෙකිනි. සමාජ මාධ්‍ය ලියාපදිංචි කිරීමකට මුවා වී ආණ්ඩුව සමාජ මාධ්‍ය මර්දනයකට සැරසෙන බවත්, මාධ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශ තුළින් ඒ බව ගම්‍ය වන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මාධ්‍ය නිදහස වෙනුවෙන් කොන්දේසි විරහිතව තමන් සහ සමගි ජනබලවේගය පෙනී සිටින බව පැවසූ හෙතෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් භාෂණයේ, ලේඛනයේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කිරීමට ආණ්ඩුව සැරසෙන්නේ නම් ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන බවද කීවේය.

මෙය කිසිසේත්ම ආණ්ඩුව බලාපොරොත්තු නොවූ තත්ත්වයක් විය සමාජ මාධ්‍ය තුළ ගොඩනැගෙමින් තිබූ ආණ්ඩු විරෝධී නම් ගින්නට මෙය පිදුරු දැමීමක් බව ආණ්ඩුවේ ඉහළ තැන්වලට අවබෝධ විය. ඔවුන් ඇමැති කෙහෙළියගෙන් ප්‍රශ්න කළ අතර මේ නඩුව නිරාකරණය කර ගැනීමේ වගකීමද ඔහු වෙත පැවරිණි. ඒ අනුව සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් නියාමනය සම්බන්ධයෙන් තමා දැක්වූ අදහස් ඇතැම් පාර්ශ්ව විසින් විකෘති කර ප්‍රචාරය කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිවේදනයක් නිකුත් කළේය. රජයේ අරමුණ වන්නේ සමාජ මාධ්‍ය පරිශීලකයන් ලියාපදිංචිය නොවන බව ඔහු එහි දක්වා තිබුණි.

මහා පරිමාණ බහුජාතික සමාගම්වල ඩිජිටල් මෙහෙයුම් හේතුවෙන් මධ්‍යම ප්‍රමාණයේ දේශීය සමාගම්වලට බලපෑම් එල්ලවන බවත් ඒ පිළිබඳව විදෙස් රටවල්වලින් පවා අදහස් පළකර ඇති බවත් අමාත්‍යවරයා නිවේදනය මඟින් පැහැදිලි කළේය. එම හේතුවෙන්, ශ්‍රී ලංකාවෙන් විශාල මුදලක් විදෙස් රටවල්වලට ඇදී යන බවත් එය අරමුණු කර ගනිමින් විදේශීය ඩිජිටල් මෙහෙයුම් සිදුකරන්නන් පමණක් ලියාපදිංචියට රජය සලකා බලන බව එම නිවේදනයේ සඳහන් විය.

සතියේ දේශපාලන කතාන්දර අතර මංගලයේ මාතර සමාජයේ කතාව සුවිශේෂී විය. එක්සත් ජාතික පක්ෂ රටට ඕනෑ බව එහිදී සමරවීර මහතා කියා තිබුණි. එසේම රට ගොඩනැගීමට විකල්ප මතවාදයක අවශ්‍යතාවය ඔහු අවධාරණය කර සිටියේය. විපක්ෂයේ සිටින සමහරුන් සර් ෆේල් නිසා, සර්ගේ සපත්තු දෙකම දාගෙන සර්ටත් වඩා තනි සිංහල ආණ්ඩුවක් වෙනුවෙන් දැන් ඉඳලම දත් මදිනවා. යනුවෙන් ඔහු කී කතාව සමගි ජනබලවේගයේ පිරිසකට තදබල ලෙස වැදී තිබිණි. විශේෂන්ම පාඨලී චම්පික හිතවාදීන් මංගලට සමාජ මාධ්‍ය ප්‍රහාරයක් දියත් කරන ලදී. කෙසේ නමුත් මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයෙන් පසු සර් ෆේල් යැයි ඇතැමුන් ප්‍රකාශ කළත්, සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ මතවාදයේ ෆේල් වීමක් බවය.

පසුගිය දිනවල අසනීප වී සිටි දෙමළ ජාතික සංවිධානයේ නායක ආර්. සම්පන්දන් මහතා නැවතත් හඬනගන්නට පටන් ගෙන තිබුණි. 46 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ඒමට සූදානම් වන නව යෝජනාව හා දෙමළ ජාතික සන්ධානයේ උත්සාහය සම්බන්ධයෙන් ඔහු පසුගිය 22 වැනිදා විශේෂ හෙළිදරව්වක් කළේය. එළැඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සැරසෙන ජාත්‍යන්තර යෝජනාව වගවීමෙන් මිදිය නොහැකි දරදඬු යෝජනාවක් යැයි ඔහු කීවේය. මේ වනවිටත් දෙමළ ජාතික සංධානයේ ලංකාව සම්බන්ධයෙන් ගත යුතු ස්ථාවරය ගැන දෙමළ ජාතික සන්ධානය යෝජනා හා අදහස් මාලාවක් විදේශීය රටවල් වෙත ඉදිරිපත් කර තිබේ.

හෙළිදරව් වන තොරතුරු අනුව ලබන වසරේ (2021) මාර්තු මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සූදානම් වේ. ශ්‍රී ලංකාවට එරෙහි මෙම නව යෝජනාව ඉදිරිපත් කිරීමේ ‘සැලැසුම්කරු’ ලෙස කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ දේශපාලන හා සාමය ගොඩනැංවීමේ කටයුතු පිළිබඳ මහ ලේකම් රෝස්මරී ඒ. ඩිකාලෝය.

කොවිඩ් එන්නත් ගෙන්වීම පිළිබඳ රජයේ වැඩපිළිවෙළ සම්බන්ධව සාකච්ඡා කිහිපයක් පසුගිය සතියේ පැවැත්විණි. දේශපාලන ආරංචි මාර්ග අනුව එන්නත් වැඩසටහන සම්බන්ධව ජාත්‍යන්තර සම්බන්ධීකරණයේ වගකීම ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා හට ජනාධිපති විසින් පවරා තිබේ. ඒ අනුව ඇමරිකාව, එංගලන්තය, චීනය ප්‍රමුඛ රටවල් කිහිපයක් නිපදවා ඇති කොවිඩ් එන්නත් පිළිබඳ සවිස්තර අධ්‍යයනයකින් පසු අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ වනු ඇත. මේ අතර කොවිඩ් එන්නත ගෙන්වීම සඳහා ලෝක බැංකුවෙන් රුපියල් බිලියන 10ක ණය මුදලක් ලබා ගැනීම සඳහාද රජය සාකච්ඡා අරඹා ඇති බව කියැවේ.

සමගි ජන බලවේගයේ මුස්ලිම් ආදහන විරෝධය සතියේ දේශපාලනය උච්චතම තැනකට ඔසවා තැබූ සිදුවීම විය. බොරුල්ල කනත්ත ඉදිරිපිට දී 23 වැනිදා පැවති මෙම විරෝධයේ දී &අවසන් කටයුතු තීරණය කිරීමට පවුලේ ඥාතීන්ට අවස්ථාව අහිමි කිරීම* බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ඔවුහු කියා සිටියහ. එහෙත් මෙම විරෝධතාව පිරිසකගේ දෝෂදර්ශනයට ලක්වනු සමාජ මාධ්‍ය තුළ පෙනෙන්නට තිබුණි. මුස්ලිම් ආදහන කතාව සමගි ජන බලවේගයේ පළමු පෙළ කතාව වුවත් සතිය පුරා මෙම විපක්ෂ කඳවුරු අභ්‍යන්තරයේ බොහෝ දේ සිදුවෙමින් පැවති අතර එය පොදු ජනයාට විෂය නොවුණි.

සමගි  ජන බලවේගයේ විධායක  සභාව බණ්ඩාරවෙල  ප්‍රදේශයේදී 19 වැනිදා රුස් වූයේ සුවිශේෂී කටයුත්තක් වෙනුවෙනි. මුලදී අභ්‍යන්තරය දෙදරුම් කෑ සමගි ජන බලවේග ව්‍යවස්ථාව සම්මත කර ගැනීම ඔවුන්ගේ අරමුණ විය. මෙවර සංශෝධනය සහිත සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව ඒක ඡන්දයෙන් සම්මත විය. පක්ෂයේ නිලධාරී මණ්ඩලය පත් කිරීම ඇතුළු නව ව්‍යවස්ථාවේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම ජනවාරියේ පටන් සිදු කිරීමට ඔවුහු තීරණය කළහ. 

මෙම ව්‍යවස්ථාව පිළිබඳ නිල නොවන ආරංචි පැතිර ගිය අතර දැනගන්නට ලැබුණු පරිදි මනෝ ගනේෂන්, චම්පික රණවක, රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන පක්ෂ නායකයන් මෙම ව්‍යවස්ථා කාර්යයට සම්බන්ධව වී නැත. පක්ෂය සහ සන්ධානය වෙන් වෙන්ව තැබීමට ප්‍රේමදාස මහතා ගත් තීරණය ඊට හේතුව බව කියැවිණි. ඒ කෙසේ නමුත් දේශපාලන ආරංචි මාර්ග අනුව පක්ෂ ව්‍යවස්ථා පක්ෂ සංවිධාන ව්‍යුහය ඉතා විශාල වපසරියකට පැතිර ඇත. එහි නායකයා ඇතුළු නිලධාරී මණ්ඩලය 23ක් වන බව කියැවේ. එසේම ඊට උප සභාපති ධූර හතරක් හා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූර හතක් ඇතුළත් බව දැනගන්නට ලැබේ. කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා සාමාජිකයන් 75ක් ඇතුළත් බවද දේශපාලන ආරංචි මාර්ගවලින් කියැවේ.

මේ අතර පසුගිය සතියේ සමගි ජන බලවේගය ගොඩනගා ගැනීමට සැරසෙන දේශපාලන සන්ධානය පිළිබඳව ද තොරතුරු දේශපාලන ආරංචි මාර්ග අතර විය. සජිත් ප්‍රේමදාස මහතා ඊට නමක් ද යෝජනා කර තිබේ. ඒ අනුව නව සන්ධානය ‘සමගි ජන සන්ධානය’ නමින් හඳුන්වනු ඇති බව කියැවේ. නව සන්ධානය පිහිටුවීමට අදාළව අදහස්, යෝජනා හා කෙටුම්පත සකස් කිරීම උදෙසා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සහ තිස්ස අත්තනායක මහතාගේ  ප්‍රධානත්වයෙන් දස දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. ඒ අනුව සමගි ජන බලවේගය ඉදිරියේ දී කොටස් දෙකකින් දේශපාලන ප්‍රවාහයක් ලෙස කටයුතු කරනු ඇති බව පෙනී යයි

සති අන්තය වන විට ආණ්ඩු පාර්ශ්වයේ ද වැදගත් කටයුතු රැසක් සිදුවෙමින් පැවතුණි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා විදෙස් රටවල් කිහිපයක් සමඟ කොවිඩ් එන්නත සම්බන්ධව සාකච්ඡා ආරම්භ කළේය. මෙහි සුවිශේෂී සිදුවීම වූයේ ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමය. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සිදුවන මෙම සාකච්ඡා හරහා කඩිනමින් එන්නත සම්බන්ධව කටයුතු මෙහෙයවීමට වීරතුංග මහතා ඇතුළු පිරිස උත්සුක වූහ. ඒ අතර දෙසැම්බර් 30 වැනිදා ආණ්ඩුවේ ලබන වසරේ සැලසුම් දැනුම් දීමේ හමුවක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කළේය. ඒ සඳහා ආණ්ඩුවේ සියලු පක්ෂ නායකයන්ට 30 වැනිදා අරලියගහ මැඳුරට ආරාධනා ලැබී තිබේ. මෙය සුවිශේෂී සාකච්ඡාවකි. ආණ්ඩුවේ 2021 වැඩ සැලැස්ම පිළිබඳ මෙහිදී ජනාධිපති අගමැති ප්‍රමුඛ පක්ෂ නායකයන් පුළුල්ව සාකච්ඡා කිරීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ගෙවුණු සතියේ ඉතා කාර්යබහුලව සිටියේය. එක්සත් රාජධානියේ පැතිර යන වෛරසය සම්බන්ධව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වී තිබිණි. කොවිඩ් කමිටුව කැඳවූ ජනාධිපතිවරයා තත්ත්වය සමාලෝචනය කර තීරණ කිහිපයකට එළඹියේය. එක්සත් රාජධානියේ සිට මෙරටට මගීන් පැමිණීම 22දා සිට තාවකාලිකව නතර කිරීමට ජනපතිවරයා තීරණය කළේය. එසේම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත දැනට එංගලන්තයේ සිට දිවයිනට ළඟා වූ මගීන් PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු, හෝටල්වල නතර කොට දින 14ක කාලයක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය ඇතිව නිරෝධායනය කළ යුතු බවට ජනපතිවරයා නියෝග කළේය. එසේම ඔවුන් සිය නිවෙස්වල තවත් දින 14ක කාලයක් නිරෝධායනය විය යුතුය. ලන්ඩනයේ සිට එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවල කාර්යමණ්ඩලය ද නිරෝධායන ක්‍රියාවලියට යටත් කෙරිණි.

මේ අතර 24දා පස්වරුවේ 7 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී බෞද්ධ උපදේශක සභාව රුස්විය. උපදේශක සහාව අමතමින් ජනාධිපතිවරයා වර්තමාන සමාජ දේශපාලන වටපිටාව පිළිබඳ පැහැදිලි කළේය. බාධක සහ අභියෝග මැද ගෙවී ගිය වසර තුළ ජාතික ප්‍රතිපත්ති සමූහයකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමත්ව ඇතැයි බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය ප්‍රකාශ කළහ. රටේ ඇතිවී ඇති තත්ත්වයන් කිහිපයක් නිසා මෙම හමුව සුවිශේෂී විය. ඒවා පිළිබඳ සංඝයා වහන්සේලා සිය මතය ප්‍රකාශ කර තිබුණි. මේ සඳහා බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මහා සංඝරත්නයට අමතරව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ නිලධාරීහු එක්ව සිටියහ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය 2021 වසර වෙනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ තබා ගැනීමට තීරණය කළ බව පසුගිය සතියේ අසන්නට ලැබුණි. පසුගිය 23 වැනිදා රුස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණය ගත් බව කියවුණද මේ පිටුපස වෙනස් කතාවක් විය. එජාප ව්‍යවස්ථාව අනුව සෑම වසරක් අවසානයේදීම පක්ෂයේ සියලු තනතුරු අහෝසි වේ. දැන් සිදුවී ඇත්තේ එයයි. එහෙත් ව්‍යවස්ථාවට අනුව  සියලු තනතුරු වසර අවසානයේදී අහෝසි වුවද පක්ෂයේ නායකත්වය පමණක් වෙනස් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා සිය කැමැත්තෙන් ඉල්ලා අස් වුවහොත් මිස 2023 වන තුරු ඔහුව ඉවත් කිරීමට පක්ෂයේ කිසිවකුටත් හැකියාවක් නොමැත.

දේශපාලන ආරංචි අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී වික්‍රමසිංහ මහතා පක්ෂයේ තනතුරු බෙදා ගැනීමට පෙර පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සිදු කළ යුතු බව ප්‍රකාශ කර තිබේ. මාතර සමාජය රැස්වීමේදී මංගල සමරවීර කළ ප්‍රකාශය වික්‍රමසිංහ මහතා ප්‍රශංසාත්මකව භාරගෙන ඇති බවද කියැවේ. ඒ අනුව පැතිර යමින් ඇති තවත් කතාවකි. ඒ අනුව රනිල්-මංගල සුසංයෝගය යටතේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු වීමට යන බව කියැවේ. ඒ අතර සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායකට නව සන්ධානය හා එක්වීමට එජාපය ආරාධනා කර තිබේ. එසේම එජාපයේ ප්‍රබලයන් පිරිසක් සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් පෞද්ගලිකව සාකච්ඡා කරමින් සිටින බවද කියැවේ.

ගෙවුණු සතියේ කොවිඩ් හේතුවෙන් රජයේ මැති ඇමැතිවරුන් පිරිසක් අමාරුවේ වැටුණහ. කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පසුගියදා හඳුනාගත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ සමීපතම ආශ්‍රිතයකු වීම හේතුවෙන් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කෙරිණි. අමාත්‍ය සී.බී. රත්නායක මහතා ද කදීර් සෙල්වම් මහතාගේ ආශ්‍රිතයෙක් විය. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස හා මරුදපාණ්ඩි රමේෂ්වරන් යන මහත්වරුන් ද නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති බව කියැවේ. ඊට අමතරව අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැමිණ සිටි රැස්වීමකට සහභාගි වීම හේතුවෙන් මේ දිනවල තමා ද හුදෙකලාව සිටින බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසා ඇති බවද මාධ්‍ය වාර්තා කරයි.

ජනතා විමුක්ති පෙරමුණ ද ගෙවුණු සතියේ නව දේශපාලන ව්‍යාපෘති කිහිපයකට අත ගසා තිබුණි. ඩෝසරයට එරෙහිව පරිසරය වෙත යළි හැරෙන්න* මැයෙන් ඔවුන් එම වැඩසටහන නම් කර ඇත. සමාජ මාධ්‍ය හරහා මෙම වැඩසටහනට පුළුල් ප්‍රචාරයක් ලබා දීමට ජවිපෙ ක්‍රියාකාරීන් උත්සුක වන බව පෙනී යයි. ඒ අතර බඩු මිල ඉහළ යෑම පිළිබඳව ද ඔවුහු දැඩි විරෝධයක් පෑමට සූදානම් වෙති. ජෝතිපාල කැසට් ගහනවාට වැඩි වේගයෙන් ආණ්ඩුව ගැසට් ගහන බවත්, එහෙත් බඩු මිලේ කිසිම වෙනසක් වී නැති බවත් විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. කොරෝනා මර්දනය සඳහා විද්‍යාත්මක පදනමක් මත ක්‍රියාකාරී සැලැස්මක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කර තිබුණි.

මේ අතර ජනාධිපති, අගමැති, විපක්ෂ නායක නත්තල වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කරනු ලැබූහ. ඒ අනුව  මෙරට කිතුනු ජනතාව නත්තල සමරන්නේ මින් වසරකට වැඩි කාලකට පෙර පාස්කු ඉරු දින සිදු කළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන බව අප අමතක නොකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබුණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හදවත් සාමයෙන් සහ නිරෝගී බවින් සපිරෙන නත්තලක් ප්‍රාර්ථනා කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හැකි පමණ අනෙකාට උදව් කිරීමට මේ නත්තල යොදාගත යුතු බව ප්‍රකාශ කර තිබුණි. 

 චමිදු නිසල්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00