2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට අමෙරිකානු තානාපතිනිය සුමන්තිරන් හමුවෙයි

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

ලබන මාර්තු මාසයේදී ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි රැස්වීම් වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙනඒම සඳහා අමෙරිකාව මේ වනවිටද පසුබිම සකස් කරමින් සිටී.

අමෙරිකාව සමඟ මේ කාර්යයේදී අත්වැල් බැඳගෙන සිටින්නේ එංගලන්තයයි. 2015 වසරේදී එවකට පැවැති යහපාලන රජය මගින් අමෙරිකාව සමඟ සම අනුග්‍රාහකත්වයෙන් ඉදිරිපත් කෙරුණු 30/1 දරණ එක්සත් ජාතීන්ගේ යෝජනාව ඉවත් කරගන්නා බව වත්මන් රජය ප්‍රකාශ කිරීමෙන් පසුව මේ නව යෝජනාව සැකසීමේ කාර්යයට මුලපුරනු ලැබීය. යහපාලන රජයේ එකී යෝජනාව එයින් පසුව 34/1 සහ 40/1 වශයෙන් වාර දෙකකදී යළි යළිත් සම්මත කරගැනිණි. එම යෝජනාව යුද්ධ කාලයේ වගවීම් සහ ප්‍රතිසංධාන කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් විය.

නව යෝජනාව පිළිබඳ ක්‍රියාවලියේ අලුත්ම වර්ධනය වූයේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිස්ට් සහ දෙමළ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ.) මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් අතර ඉකුත් සතියේදී පැවැති හදිසි හමුවීමය. තානාපතිනියගේ නිවෙසේදී මේ හමුව පැවැත්විණි.

අදාළ යෝජනාව ගෙන ඒම සඳහා ටී.එන්.ඒ. සහාය ලබාදෙන බව සහතික කරමින් සුමන්තිරන් ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා අතගසා සිටින බැවින් යෝජනාවේදී ඒ සම්බන්ධයෙන් මතවාද ඇතුළු විය යුතු බවය. ඒ හරහා ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලබාදීම පිළිබඳ සහතිකයක් තිබිය යුතු බවද ඔහු කියා තිබිණි.

සුමන්තිරන් මේ වනවිට උතුරේ තම දෙමළ දේශපාලන පක්ෂ සගයන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ විශ්‍රාමික විනිසුරු සී.වී. විග්නේෂ්වරන්ද හමු වී ඇති අතර ඒ දෙදෙනාගේ අදහස වී ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණවිය යුතු බවය. මීට කලින් ගෙන ආ යුද කාලයේ වගවීම් පැහැර හැරීම පිළිබඳ යෝජනාව කිසිදු විසඳුමක් ලබාදීමට අසමත් වීම නිසා මෙය සිදුවිය යුතු බව ඔවුන්ගේ අදහස විය.

ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන නව යෝජනාවට ආරම්භයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ දේශපාලන සහ සාමය ගොඩනැගීමේ කටයුතු පිළිබඳ ලේකම්වරයා වන රෝස්මරී ඒ. ඩිකාර්ලෝ විසින් නව වසර මුලදී සිදුකෙරෙන සංචාරය සඳහා පහසුකම් සැපයීමට මෙරට රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම් කටයුතු කරමින් සිටී.

බටහිර රටවල් නියෝජනය කරන සෙසු බලවත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ද තිරය පිටුපස සිදුවන ක්‍රියා පිළිබඳව දැනුවත් කර තිබෙන අතර රුපියල් බිලියන 89ක එම්.සී.සී. ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබාදීමේ තීරණය අත්හිටුවන බව අමෙරිකාව පසුගියදා නිවේදනය කළේ “පාර්ශ්වකාර රට උනන්දුවක් නොදැක්වීම” යන කාරණාව ගෙනහැර දක්වමිනි.

අපි කරන විදියට නොවේ: අපි කියන විදියට කරන්න
- බ්‍රිතාන්‍යය

ප්‍රජාතන්ත්‍රවාදී බොහොමයක් රටවල දේශපාලන පක්ෂ විපක්ෂයේ සිටියදී කියන්නේ එකකි. එහෙත් බලයට පැමිණි පසුව කරන්නේ තමන් විසින් එදා විවේචනයට ලක්කළ දේමය. වෙනසකට ඇත්තේ බලවත් රටවල් ඔවුන්ගේ මේ ක්‍රියාව තම රටේ දේශසීමාවෙන් එපිටටද ගෙන යාමය. ඒ සඳහා ඔවුන් යොදාගන්නා ඇස්බැන්දුම වන්නේ “විදේශ ප්‍රතිපත්තිය යනු දේශීය ප්‍රතිපත්තියේම දිගුවකි” යන්නය. ජාත්‍යන්තර කටයුතුවලදී එකී රටවල් අප්‍රකාශිත නීතියක් වශයෙන් මෙය යොදාගනිමින් එකට එක්වී අපේක්ෂා ඉටුකර ගනී. එය බලවත් ජාතීන් අතර පවතින “මාෆියා” වර්ගයේ කටයුත්තකි.

මෑතකදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ දිගහැරුණු නඩුවක් මේ මාෆියාවට හොඳම උදාහරණයකි. බ්‍රිතාන්‍ය හමුදා 2003 සහ 2009 අතර කාලයේ ඉරාකයේදී යුද අපරාධ සිදුකළ බවට එම අධිකරණයට ඉදිරිපත් වූ පිටු 180කින් යුත් වාර්තාවක් මගින් සනාථ කර තිබිණි. ඒ අතර සිය ගණනක් ඉරාක සෙබළුන් රඳවාගෙන වධහිංසා පැමිණවීම, සමහරැන් මරාදැමීම සහ ස්ත්‍රී දූෂණ සිදුකිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය හමුදාවට ප්‍රබල චෝදනා එල්ල වී තිබිණි. කෙසේ වුවද ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රකාශ කළේ කොතරම් සාක්ෂි තිබුණත් බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට එරෙහිව නඩු නොපවරන බවය.

බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේ තම සොල්දාදුවන් කිසිවකුත් ජාත්‍යන්තර අධිකරණ ඉදිරියේ තබා කුරැසියේ ඇනගැසීමට ඉඩ නොදෙන බවය. බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට එරෙහිව නඩු දැමීම වඩාත් දුෂ්කර ව්‍යායාමයක් බවට පත්කරන නව නීති හඳුන්වාදීමට ක්‍රියාකරන බවද බ්‍රිතාන්‍ය රජය කීය. 2009 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව සිදුකළ යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලාංකික සොල්දාදුවන් යුද අපරාධ සිදුකළාදැයි සොයාබැලීමට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් පිහිටුවිය යුතු බවට වන යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ මේ කියන බ්‍රිතාන්‍ය ආණ්ඩුවමය. “අපි කියන විදියට කරන්න.... අපි කරන විදියට නොවේ” යන්නට මෙය තවත් කදිම උදාහරණයකි.

- සන්ඩේ ටයිම්ස්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00