අලුත් අවුරුද්දට අපි එකිනෙකා මහත් සොම්නසකින් යුතුව සුබ පතා ගන්නෙමු. නිරෝගී බව, සතුට, සාමය, සෞභාග්‍යය මේ වැනි බොහෝ සුබ පැතුම් අප අතර හුවමාරු වෙයි. එසේ වුවද කවදාවත් ඔබේ ආර්ථිකය සරුවේවා, ආර්ථික ගැටලු විසඳේවා, ණය බරින් මිදේවා, ආදායම් වැඩිවේවා වැනි ප්‍රාර්ථනා සිරිතක් වශයෙන් සිදුකෙරෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ සියලු වැසියන් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වීම හේතුවෙන් එවැන්නක් සිදුවන බවක් එයින් හැඟී නොයයි. එහෙත් ආර්ථිකය පිළිබඳ අප කවුරුත් සුබ පතා ගැනීමට පෙළඹෙන්නේ නැත. නමුත් රට සම්බන්ධයෙන් එය එසේ නොවන බව සිහිපත් කිරීම නව වසරට අප කාගේත් යුතුකම බව අමතක නොකළ යුතුය.
රටේ සමස්ත ආර්ථිකයම කඩා වැඩීමට ආසන්න අවස්ථාවක පවතින බව එයින් ගම්‍ය වන්නේ නැත. එතරම් අසුබවාදී ලෙස රටේ ආර්ථිකය පිළිබඳ පුරෝකථනය සිදුකිරීම සුදුසු නැත. එය අනවශ්‍ය ක්‍රියාවකි. එහෙත් පවතින යථාර්ථය පිළිබඳ නිසි අවබෝධයකින් කටයුතු කරමින් මේ ලැබූ 2021 වසර යහපත් ආර්ථිකයක් සහිත රටක් වශයෙන් අවසන් කිරීම සියලු දෙනාගේ ප්‍රාර්ථනය විය යුතු බව පෙන්වා දිය යුතුය. ඒ සඳහා ඉහළම ආදර්ශය සැපයිය යුත්තේ ආණ්ඩුවේ බලධාරීන් විසිනි. රටේ සැබෑ ආර්ථික තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔවුන් සතුව තිබිය යුතුය. එම තත්ත්වය අයහපත් බවින් යහපත් බවට පෙරළා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ද සැලසුම් කළ යුතුය. ඒ සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට දේශපාලනයෙන් තොර වූ ඍජු, අවංක උත්සාහයක් ද තිබීම අවශ්‍යය.
රටේ ආර්ථිකය ගොඩනැගීමට කොතරම් සැලසුම් සහ උත්සාහ දැරීම් තිබුණද දැනට පවතින කොවිඩ් වසංගතය අමතක කොට කටයුතු කිරීමට නොහැකි බව පරම සත්‍යයයි. පසුගිය සිකුරාදා උදෑසන වන විට මෙරට තුළ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 43,284ක් දක්වා ඉහළ නැග තිබිණි. මරණ සංඛ්‍යාව ඒ වන විට 204ක් විය. සමස්ත ලෝකයේ තත්ත්වය ඒ වන විට රෝගීන් 82,322,170 (කෝටි 8ක් ඉක්මවා) ක්ද මරණ 1,796,292 (කෝටි 1ක් ඉක්මවා) ක්ද වශයෙන් සඳහන් විය. මේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ තත්ත්වය අප කවුරුත් හිතන තරම් පහසු නැති බවය. අපේ රටේ ආර්ථිකය ලොවේ සෙසු බොහොමයක් රටවල් සමඟ ගැටගැසී ඇති බැවින් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගැනීමකින් තොරව ආර්ථික වර්ධනය ගැන බලාපොරොත්තුවක් තැබිය නොහැකි බව පැහැදිලිය.
එසේ වුවද සියල්ල වෛරසයට බාර දී නිහඬව සිටීමට ද රටක් වශයෙන් අපට හැකියාවක් නැත. කොවිඩ් අස්සේම කෙසේ හෝ රිංගා යා හැකි තැන්වලින් ගොස් ආර්ථිකය පෝෂණය කර ගැනීමට තිබෙන සියලු අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට කටයුතු වහා සම්පාදනය කළ යුතු වෙයි. නව වසරේ ආර්ථික සැලසුම්වලදී ආණ්ඩුව මේ පිළිබඳව දැඩි අවධානයකින් යුතුව ක්‍රියා කළ යුතුය. නමුත් ප්‍රමුඛතා පටලවා ගතහොත් මේ තත්ත්වය තිබෙන මට්ටමින් තවදුරටත් පහළ වැටීම වළක්වාගත නොහැකි වනු ඇත.
අප එසේ කියන්නේ රටේ මේ වන විට ප්‍රමුඛත්වය දිය යුතු, ප්‍රමුඛත්වය ලැබිය යුතු වැදගත්ම කාරණා වෙනුවට මළසිරුරු ආදාහන, භූමදාන කටයුතු, පැණි වර්ග හඳුන්වා දීම, පළාත් සභා ඡන්දය හා මතවාද වැනි අනවශ්‍ය ප්‍රශ්නවලට මුල්තැනක් ලැබී ඇති බවක් පෙනෙන්නට තිබෙන බැවිනි. රටේ ජනතාවට සැබෑ ප්‍රශ්න අමතක කිරීමට රජය මෙවැනි මාතෘකා උඩට ගන්නා බව විපක්ෂයේ චෝදනාවකි. එය එසේ නොවන බව පෙන්වීම රජයේ වගකීමය. මළසිරුරු ආදාහන, භූමදාන ගැටලුව ගිය අවුරුද්දේ සිට මේ අවුරුද්දට ද දීර්ඝ වීම අවසනාවන්ත තත්ත්වයක් බවද එවැනි තත්ත්වයක් පවතිද්දී රටේ ආර්ථිකය ගොඩනැගීමට සැලසුම් සකස් කිරීම ගැන කතා කිරීමත් පළක් නැති බවද කෙනකුට තර්ක කළ හැකිය. මේ වසරේ වඩාත් අවධානය යොමුවිය යුත්තේ ආර්ථිකය කෙසේ හෝ වර්ධනය කර ගැනීම බව අමතක නොකළ යුතුය.
2020 වසර අප ආරම්භ කළේ මහත් බලාපොරොත්තු ඇතිව බවද මෙහිදී සිහිපත් කර ගැනීමට වටින්නේය. එය අලුත් ජනාධිපතිවරයකුගේ යටතේ අලුත් ආණ්ඩුවක් සමඟ තිබූ ආරම්භයක් විය. රට නිවැරදි දිශාවට තල්ලු වෙමින් සිටින බවට සුබ ලකුණු ගණනාවක්ම පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ඊළඟට පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව පිහිටුවන රජය යටතේ රටේ ආර්ථික සංවර්ධනයට මුල්තැනක් ලබා දීමට ප්‍රතිඥා ද විය. එහෙත් මාර්තුවේ පැමිණි කොවිඩ්-19 වෛරසය මේ සියල්ලට එරෙහි විය. නමුත් ගතවූ මාස කිහිපය තුළදී ලද අත්දැකීම් ඔස්සේ රට යහපත් තැනකට තල්ලු කිරීමට මාර්ග සොයා ගැනීමට රජයට හැකි විය යුතුය. කලින් පැවති රජය වැඩ නොකළ බවට කරන කතා තවදුරටත් වලංගු නැත.
2021 වසර අප ආරම්භ කරන්නේ කොවිඩ් වසංගතයේ බලපෑමෙන් රිදුණු සිත් වේදනා සහ බියවීම් සමගිනි. නමුත් සියල්ල කොවිඩ් වෛරසයට පවරා දී නිහඬව සිටීමට අප කාටත් හැකියාවක් නැත. රජය පමණක් නොව රටේ ජනතාව ද මේ පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතු කාලයක් එළඹ තිබේ. හැකි හැම ධෛර්යයම යොදවා දැනට වඩා යහපත් හෙට දවසක් උදා කර ගැනීමට අධිෂ්ඨානශීලීව කැප වී වැඩ කිරීමට හැකි නම් මේ වසර උද්‍යෝගයකින් යුතුව අවසන් කර ගැනීමට අමාරු නැත. එවැනි කැපවීමක් සහ අධිෂ්ඨානයක් සහිතව වැඩ කරමින් යහපත් ආර්ථිකයක් උදා කර ගැනීමට අපේ රටට වාසනාව ලැබේවා යන උදාර ප්‍රාර්ථනයෙන් යුතුව අපි මේ වසරට හොඳ ආරම්භයක් ලබා දීමට අදිටන් කර ගමු.