2021 ජනවාරි 02 වන සෙනසුරාදා

යුක්රේන සංචාරකයන් පොසිටිව් වීම

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81


ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීමේ පළමු අදියරේදී ක්‍රියාත්මක වූ යුක්රේන ජාතිකයන් පිරිසක් ගෙන්වීම විවාදයකට තුඩු දී තිබේ. එම පිරිසෙන් 06 දෙනකු මෙරට දී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් පොසිටිව් වීම හේතුවෙන් මේ විවාදය හට ගැනිණි. මත්තල ගුවන් තොටුපළ සංචාරකයන්ට විවෘත කරමින් ක්‍රියාත්මක වූ මේ පළමු අදියර යටතේ යුක්රේන ජාතිකයෝ 296 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ සිටියහ.

මේ සංචාරකයන් පිරිස පිළිගැනීම සඳහා මත්තල ගුවන් තොටුපළේ සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්විණි. එම සංදර්ශනයේ වීඩියෝ ක්ලිප් නැරඹීමේදී පෙනී යන්නේ එයට සහභාගි වී නර්තනයේ යෙදී සිටි තරුණියන් පිරිස මුව ආවරණ පැළඳ නොසිටි බවය. එසේම පැමිණ සිටි සංචාරකයන් පිරිස ද ඔවුන්ට සංග්‍රහ කළ ඇතැම් අය ද මීටරයේ දුර අනුගමනය නොකළ බවක් ද පෙනී යයි. මේ වැරදි ඊළඟ අවස්ථාවේදී නිවැරදි කර ගන්නා බව ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කර තිබුණත් සංචාරකයන් 06 දෙනකු කොවිඩ් ආසාදිතයන් වීම ඒ සම්බන්ධයෙන් තරමක ව්‍යාකූල ගැටලුවක් ඇතිකරන බව පැහැදිලිය.

ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීම කොතනකින් හෝ ආරම්භ කළ යුතු බව සැබෑවකි. එහෙත් ඒ සඳහා ගනු ලබන පියවර රටේ පවතින තත්ත්වය පිළිබඳ සැලකිල්ලකින් සිදුවිය යුතුය. මෙහිදී පැන නගින තවත් ගැටලුවක් වන්නේ මුලින්ම ශ්‍රී ලංකාවට සංචාරකයන් වශයෙන් පැමිණෙනු ඇති බවට අනාවැකි පළ කෙරුණු රුසියානු ජාතිකයන් වෙනුවට යුක්රේනයෙන් පිරිසක් හදිසියේම වාගේ සංවිධානය වී පැමිණීමය. යුක්රේනය කොවිඩ් ව්‍යාප්තිය මර්දනය සම්බන්ධයෙන් හොඳ “චරිත සහතිකයක්” ලද රටක් නොවීම මෙහිදී වඩාත් කැපීපෙනෙන කාරණයයි. මෙරටට පැමිණි එම කණ්ඩායමේ සියලු දෙනා පැය 72කට පෙර ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ද රැගෙන පැමිණි බව පැවසී තිබියදී ඔවුන් මෙරට දී පොසිටිව් වීම සැක සංකා මතු කර තිබේ. බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූයේ මෙරටට පැමිණි යුක්රේන ජාතිකයන් කිහිප දෙනකු ඇසුරින් බව ප්‍රකාශ කර තිබු‍ණේ ද මෙරට සෞඛ්‍ය බලධාරීන් විසිනි. 

ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කරන්නේ යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම යට මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බවය. එය මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ මුවාවෙන් සිදුවන්නක් බවද ඔහු කියයි. ඔහු මාධ්‍යයට කළ ප්‍රකාශයක මෙසේ සඳහන් වී තිබිණි. “කොවිඩ්-19 නොනැවතී සිදුවන ව්‍යාප්තියත් එම වෛරසයේ නව ප්‍රභේදයක් එංගලන්තයෙන් වාර්තා වීමත් හේතුවෙන් බොහොමයක් රටවල් තම ගුවන් තොටුපළ වසා දමා තිබෙන තත්ත්වයක් තුළදී ශ්‍රී ලංකාව තම ගුවන් තොටුපළ විවෘත කිරීමට ගත් තීරණය අවධානයට ගත යුතු බරපතළ කාරණයක්. යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීමේ ජාවාරම පිටුපස සිටින්නේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතායි.” ඔහු තවදුරටත් චෝදනා කරන්නේ යුක්රේන සංචාරකයන් ගෙන්වා ගැනීම සිදු කරන්නේ එක්තරා සංචාරක සේවාවක් හරහා බවද මෙරටට පැමිණීමෙන් පසුව එම සංචාරකයන් කලින් නියම කරගත් හෝටලයක නවාතැන් සැපයීම ද මෙම ජාවාරමේම කොටසක් බවටය.

කෙසේ වුවද මෙරට සංචාරක සේවාවේ පාර්ශ්වකරුයෝ ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමට රජය මගින් ගෙන යන වැඩපිළිවෙළ පැසසුමට ලක් කරති. මෙරට සංචාරක ව්‍යාපාරය වැටී තිබෙන තැනින් ගොඩ ඒමට පියවර ගැනීම යහපත් ප්‍රවේශයක් හැටියට ද ඔවුහු දකිති. මේ අතර යුක්රේනයෙන් පැමිණි සංචාරකයන් කිහිප දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගැනීම කලබල වීමට තරම් කරුණක් නොවන බව සංචාරක සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියයි. එය අපේක්ෂා කළ තත්ත්වයක් බවද ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ මස අග දී විවෘත කිරීමෙන් පසුව තවදුරටත් සංචාරකයන් රුගෙන ඒමේ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බවද ඔහු සඳහන් කරයි.


ඒක මගේ වැරුද්දක් නොවේ: මුරලිදරන් කියයි

මුත්තයියා මුරලිදරන් මේ දිනවල යළිත් පුවත් මවන්නෙක් බවට පත්ව සිටියි. ඒ ක්‍රිකට් ක්‍රීඩාව හේතුවෙන් නොව ව්‍යාපාරික කටයුත්තක් හේතුවෙනි.

ක්‍රිකට් ලොවේ ජය කෙහෙළි නැංවීමෙන් පසුව ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණව සිටින ඔහුට පසුගියදා අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගෙන් චෝදනාවක් එල්ල විය. මුරලි තමන්ගේ අපනයන භාණ්ඩ කන්ටේනර් නැව්ගත කිරීමේදී දැඩිව බලපෑම් එල්ල කර තමන්ගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට කටයුතු කරන බව එම චෝදනාව විය. මේ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ද මුරලිදරන් විවේචනයට ලක් විය.

විදෙස් රටවල් ගණනාවකට ශ්‍රී ලංකාවෙන් ඇළුමිනියම් කෑන් අපනයනය කරන සමාගමක් වන සිලෝන් බෙවරේජ් කෑන් (පෞ) සමාගමේ සභාපති සහ කොටස් හිමියකු වන්නේ මුරලිදරන්ය. ලෝක පූජිත පන්දු යවන්නකු වන මුරලිදරන් පසුගියදා චෝදනාවට ලක්වූයේ ප්‍රධාන පෙළේ නැව් සමාගමකට බලපෑම් කර ඔවුන් සතු හිස් කන්ටේනර් වෙනත් ගනුදෙනුකාර සමාගම්වලට මුදාහැරීමෙන් වැළැක්වූ බවටය. තමන්ගේ ඇළුමිනියම් කෑන් පිටරට පැටවීම සඳහා අවශ්‍ය වන හිස් කන්ටේනර් ප්‍රමාණය ලැබෙන තුරු මෙසේ බලපෑම් සිදුකර තිබූ බවද සඳහන් විය. අඩුම තරමින් මේ හේතුවෙන් එක් සමාගමකට බලපෑම් එල්ල වූ බවද “මෙඩිටර්රේනියන් ෂිපිං සමාගමේ දේශීය ඒජන්තවරයාට සිදු කළ එම බලපෑම හේතුවෙන් මුරලිගේ අවශ්‍යතා සපිරෙන තෙක් හිස් කන්ටේනර් 49ක් මුදා නොහැර තිබූ බවද කියති. කෙසේ වුවද “ඩේලි මිරර්” පුවත්පත මගින් කළ විමසීමේදී මුරලිදරන් කියා තිබුණේ තමන්ගේ සමාගමෙන් වසරකදී ඇළුමිනියම් කෑන් කන්ටේනර් 4000ත් 7000ත් අතර ප්‍රමාණයක් විවිධ රටවලට අපනයනය කරන බවය. තමන්ගේ ගනුදෙනුකරුවන් ඔවුන්ගේ ඇනවුම් කල් තබාම වෙන්කරවා ගන්නා බවත් ඒ සඳහා ඔවුන් කන්ටේනර්වලට අදාළ ගෙවීම් ද සිදු කරන බවත් ඔහු කියයි.

“මෙඩිටර්රේනියන් හෝ වෙනත් නැව් සමාගමකට හෝ අයත් කන්ටේනර් අපේ සමාගමට ලබා දෙන්නේ අප විසින් සිදු කරන ගෙවීම්වලට අනුකූලවයි. එය සාමාන්‍ය දෙයක්. ඒක බිස්නස්වල හැටි. අන්තිම මොහොතේ කන්ටේනර් ලබාගැනීමට උත්සාහ කරන අයට ඒවා නොලැබෙන්න පුළුවන්. ඒක මගේ වැරද්දක් නොවෙයි.” මුරලිදරන් කීය. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00