2021 ජනවාරි 16 වන සෙනසුරාදා

රන්ජන් ගැන එස්.බී. කතා කරයි

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 187

රන්ජන් රාමනායකට වසර හතරක සිරදඬුවමක් ලැබීම අනපේක්ෂිත හෝ අහඹු සිදුවීමක් හෝ නොවීය. රන්ජන්ම ඊට කලින් සතියේ පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ තමන්ට ඇතුළට යාමට සිදුවනු ඇතැයි තමන්ගේ නීතීඥවරයා පැවසූ බවය. මේ නිසා කට පරිස්සම් කරගන්නැයි ඔහු අවවාදයක් කළ බවද ඔහු කීය.

කට පරිස්සම් කර නොගැනීම හේතුවෙන් අධිකරණයට අපහාස කළ චෝදනාවකට හසුවූ තවත් දේශපාලනඥයකු වන්නේ එස්.බී. දිසානායකය. එවකට සිටි අග්‍ර විනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතා විසින් ලබාදෙන ලද නඩු තීන්දුවක් පිළිබඳව ප්‍රසිද්ධියේ සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහුට අවුරුදු දෙකක සිර දඬුවමක් නියම වූ අතර පසුව ලැබුණු ජනාධිපති සමාව හේතුවෙන් ඔහු සිරගතව සිටි කාලය කෙටි විය. රන්ජන්ට සිදුවූ ඇබැද්දිය පිළිබඳව ඩේලිමිරර් පුවත්පත කළ විමසීමකදී එස්.බී. අදහස් දක්වා තිබිණි.

“අවංකවම මම රන්ජන් ගැන කනගාටු වෙනවා. රන්ජන් තුළ දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒ වුණත් ඔහු උතුම් ගතිගුණ ඇති යහපත් මිනිහෙක්. මේක මම නිතරම කියන දෙයක්. එයා තමන් උපයාගත් හැමදේම නැති මිනිසුන්ට බෙදලා දෙන කෙනෙක්. ඉන්න ගෙයක් දොරක්වත් නෑ. වාහනයක්වත් නෑ.

රන්ජන් මගේ නියෝජ්‍ය ඇමැති හැටියට කටයුතු කළා. මම එයාට කිව්වා මේ චෝදනාව ඉතාම බරපතළ බව. ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමක් කරලා මේ ගැටලුව විසඳාගන්න ඔහුට හැකියාව තිබුණා. කොහොම වුණත් එයා තෝරාගත්තේ ඒක නෙවෙයි. මම කිහිපවතාවක්ම රන්ජන්ට කිව්වා මේ කතාව රටේ සියලු විනිශ්චයකාරවරුන්ට එරෙහිව කළ චෝදනාවක් නිසා මේක බරපතළ බව. මම හිතන්නේ නැහැ රන්ජන් කළ ඒ චෝදනාව සාධාරණ එකක් කියලා. මම එයාගෙන් කිහිප වතාවක්ම ඉල්ලුවා සමාව ගන්න කියලා. ඒ වුණත් රන්ජන් මම කියපු දේ ඇහැව්වෙ නෑ. මේ නිසා ඔහුට දැඩි දඬුවමක් විඳින්න වෙයි කියලාත් මම කිව්වා.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ලබාදුන්නේ රන්ජන් දූෂණයට එරෙහිව කතා කළ නිසා නොවෙයි. ඔහු තදින්ම අධිකරණය විවේචනය කිරීම නිසයි. නමුත් රන්ජන් මම කිව්ව දේ විශ්වාස කළේ නෑ. එයා මේ ගැටලුව ගොඩින් බේරාගන්න සූදානම් වුණේ නෑ. මම අවංකවම කනගාටු වෙනවා ඔහු මේ තත්ත්වයට පත්වීම ගැන. නමුත් මම මේ ප්‍රතිඵලය ලැබෙන බව දැනගෙන සිටියා.”

සෙසු රටවල් සමඟ සංසන්දනයේදී අපේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ විනිශ්චයකාරවරුන් අපක්ෂපාතී බවද අප බලාපොරොත්තු වන ස්වාධීන අධිකරණය අප රටේ වතින්නේ යැයිද පවසන එස්.බී. දිසානායක මහතා තමන්ගේ විශ්වාසය වන්නේ රන්ජන් තමන් විසින්ම කරදරයට පත් වූ බව යැයිද කීය.

“රන්ජන් අධිකරණයට එරෙහිව කළ චෝදනා සාධාරණ නෑ. මගේ නඩුවේදී මම චෝදනා  එල්ල කළේ එවකට සිටි අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිවයි. මේ නිසා අපි දෙන්නාගේ නඩු දෙන සංසන්දනය කරන්න බැහැ. ජාත්‍යන්තර අධිකරණයේදී මාව ඒ චෝදනාවෙන් නිදහස් කළා. ඉන්දියාවේ අගවිනිසුරු ඇතුළු රටවල් 13ක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් යුත් විනිසුරු මඬුල්ලක් විසින් ඒ තීන්දුව ගනු ලැබුවා. මගේ චෝදනාව එක් විනිසුරුවරයකුට විරුද්ධ එකක්. රන්ජන්ගේ එක වෙනම නඩුවක්. ඔහු චෝදනා කර තිබුණේ සමස්ත අධිකරණයට එරෙහිවයි. ඒක සුදුසු දෙයක් නොවේ.” යැයිද එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

- ඩේලිමිරර්


රන්ජන්ගේ මන්ත්‍රීකම

ශ්‍රී ලංකාවේ අපහාස නීති බ්‍රිතාන්‍ය නීතියට අනුව සකස් වූ පොදු නීතිය යටතේ ක්‍රියාත්මක වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි වගන්තියට අනුව මාස 06කට අධික කාලසීමාවක සිරදඬුවමකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වසර 07ක් යනතුරු පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කිරීමට නොහැකිය. ඒ අනුව රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය මාස 06කදී අහෝසි වන අතර යළිත් මන්ත්‍රී ධුරයකට පැමිණිය හැකි වන්නේ වසර 07කට පසුවය. කෙසේ වුවද ශ්‍රී ලංකාව තුළ නම් දේශපාලනඥයන්ට මේ නීතිය නැවෙන අවස්ථාද තිබෙන බව සඳහන් කළ යුතුය.


පිල්ලෙයාන්ගේ මන්ත්‍රීකම

රන්ජන් ඇතුළට යද්දී පිල්ලෙයාන් එළියට පැමිණීමද රටේ කතාබහට ලක්වී තිබේ. පසුගිය 13 වැනිදා මඩකලපු මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කළ පිල්ලෙයාන්ට එරෙහිව තිබූ චෝදනා වූයේ මඩකලපු හිටපු දෙමළ සන්ධාන මන්ත්‍රීවරයකු වූ ජෝශප් පරරාජසිංහම් මහතා 2005 වසරේ දෙසැම්බර් 25 වැනිදා (නත්තල් දිනය) ඝාතනය කිරීමය. දිගුකලක් රිමාන්ඩ් භාරයේ සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවෙත් පිල්ලෙයාන් පසුගිය නොවැම්බර් 24 වැනිදා ඇප මත නිදහස් කරනු ලැබීය. ඔහුට එරෙහිව චෝදනා ගොනු නොකරන බවට නීතිපතිවරයා විසින් කළ දැනුම්දීමකට අනුව පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපු මහාධිකරණය තීන්දු කළේය.

පිල්ලෙයාන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පසුගිය මහ මැතිවරණයේදී තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන අතර මඩකලපුවේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ධුරයට පත්කරනු ලැබුවේ රිමාන්ඩ් භාරයේ සිටියදීමය.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00