2021 ජනවාරි 23 වන සෙනසුරාදා

චීනය-ඉන්දියාව සහ ජිනීවා

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

“මම මරණයට බය නෑ. මාව නිහඬ කරන්න කිසිම බලවේගයකට බැහැ. මගේ ජීවිතය නැතුව ගියත් ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා.”

බැලූ බැල්මට මේ කතාව පෙනෙන්නේ දැඩි මතධාරී දේශපාලනඥයකුගේ කතාවක් වගේය. එහෙම වුණත් මේ කතාව කිව්වේ දේශපාලනඥයෙක් නොවේ. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාය. පාස්කු ප්‍රහාරයේදී බරපතළ ජීවිත හා දේපොළ විනාශයක් සිදු වූ කටුවාපිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අවස්ථාවේදී සිදු කළ දේශනාවේදී මේ කතාව කාදිනල්තුමන් විසින් කියා තිබුණි.

තමන් නිහඬ කිරීම කිසිම බලවේගයකට බැහැ ඇතුළු තවත් කතා ගණනාවක් කියවුණු මේ දේශනය සිදුවෙන විට පාස්කු ප්‍රහාරකයන්ගේ මූලස්ථානයක් වශයෙන් සැලකුණු තඹ කම්හලේ අත්අඩංගුවට ගෙන තිබූ සේවකයන් 10 දෙනාම සිටියේ නිදහස් කරනු ලැබූවන් වශයෙනි. ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට සාක්ෂි නැතැයි නීතිපතිවරයා කළ දැනුම් දීමකට අනුව මේ නිදහස් කිරීම සිදුවිය. මේ සම්බන්ධයෙන් අගරදගුරුතුමන් මහජන ආරක්ෂාව බාර ඇමැති රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගෙන් කරුණු විමසා තිබූ බවද වාර්තා විය. එසේම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂි විභාගය ද දැන් අවසන් කර තිබේ. එහි වාර්තාව 31 වැනිදාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදීම සිදුවන බවද සඳහන්ය. අගරදගුරුතුමන්ගේ ඉහත සඳහන් ආවේගාත්මක කතාවට පසුබිම් වුණේ මේ කාරණා ද යන්න පැහැදිලි නැත. ඒ වුණත් වර්තමානයේ සිදුවෙමින් පවතින යම් යම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් එතුමන් තුළ ඇති නොකැමැත්ත ඒ හරහා පිට කළාදැයි කියන්නත් බැරිය.

මේ තත්ත්වය ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගවලට කෙසේ බලපානු ඇතිදැයි කීම අපහසුය. ඒ අතරේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ ප්‍රධාන හිමිනමක් වූ ඇල්ලේ ගුණවංශ හිමියන් ජනාධිපතිවරයාට යොමු කර ඇති සැර වචන ඇතුළත් ලිපිය ද මේ වැනිම අවස්ථාවක් මතුකර තිබේ. අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රී මහතා විසින් දෙමළ භාෂාව කතා කරන නීතිඥවරුන් 150 දෙනකු පොලිස් පරීක්ෂකවරුන් හැටියට පොලීසියට බඳවා ගැනීමට කළ යෝජනාවකට එරෙහිව එම ලියුම ලියා තිබිණි. මේ ලියුමට ඇල්ලේ හිමියන්ට අමතරව බෙංගමුවේ නාලක සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරුන් ඇතුළු තවත් හිමිවරුන් පිරිසක් අත්සන් තබා තිබුණත් ආණ්ඩුව බලයට පත් කිරීමේ පුරෝගාමී චරිතයක් වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් අත්සන් කර තිබුණේ නැත. කෙසේ නමුත් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ප්‍රකාශයක් කරමින් කීවේ තමන් කිසිසේත්ම නීතිඥයන් පොලීසියට බඳවා ගැනීමට රජයට යෝජනා නොකළ බවත් තමන්ට ඒ සඳහා බලයක් නොමැති බවත්ය.
මෙම තීරණය අඥාන හා භයංකාර තීරණයක් වශයෙන් හඳුන්වා දී ඇති එම ලිපිය එම තීරණය අන්තවාදී මුස්ලිම් ව්‍යාප්තවාදයේ තවත් පියවරක් වශයෙන් ද හඳුන්වා දී තිබේ. ප්‍රායෝගිකව මේ තීරණය මුස්ලිම් ජාතිකයන් බහුතර සංඛ්‍යාවක් පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම සඳහා වන බවද මුස්ලිම් දේශපාලනඥයන්ගේ මෙම ව්‍යාප්තවාදී කුමන්ත්‍රණය මෑතක සිට දරුණු වී යැයිද සඳහන්ය. එම ලිපියේ අවසන් ඡේදයේ මෙසේද පැවසෙයි. “අධිකරණ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ගෙන තිබෙන පෙර සඳහන් ව්‍යවස්ථා විරෝධී සහ ජනතා ද්‍රෝහී තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස මෙම රජය බලයට පත් කිරීම සඳහා කැප වූ ජනතාව නියෝජනය කරන හා එම ජනතාවට වගවීමට බැඳී සිටින අපි ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමු.”

ආණ්ඩුව හැදීමට උරදුන් පිරිසක් මේ ආකාරයට ආණ්ඩුවට සිදු කරන බලපෑම් පිළිබඳව ප්‍රබල කතාබහක් රට තුළ ඇතිව තිබේ. විපක්ෂයට මෙය තරමක ආශ්වාදයක් වුවත් මෙවැනි බලපෑම් ආණ්ඩු විරෝධී බලපෑම් නොවන බව තේරුම් ගත යුතුය. ශක්තිමත් ආණ්ඩුවකට තමන්ට සහාය දැක්වූ පිරිස් වෙතින් එල්ලවෙන බලපෑම් ආණ්ඩුව හදාගැනීමේ අරමුණින් සිදු කරන ඒවා බව ප්‍රසිද්ධ රහසකි. මෙවැනි කණ්ඩායම් කොතරම් බලපෑම් සිදු කළත් අවශ්‍ය අවස්ථාවේදී ආණ්ඩුවත් සමඟ එක්ව කටයුතු කරන බව අතීත ආදර්ශවලින් ද පැහැදිලි කරගත හැක. ආසන්නම උදාහරණය වන්නේ 20 වැනි සංශෝධනය සම්මත කරගත් අවස්ථාවයි.

20 වැනි සංශෝධනයට එරෙහිව විපක්ෂය කොතරම් කෑගැසුවත් රටේම අවධානය යොමුව තිබුණේ රජයට සහාය දක්වමින් සිටි පිරිස් එයට එරෙහිව සිදු කළ ප්‍රකාශ වෙතය. ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීම පිළිබඳ ගැටලුවේදී මේ හිමිවරුන් සියලු දෙනාම එක හඬින් කියා සිටියේ එම වගන්තිය ඉවත් කළ යුතු බවය. මේ මතගැටුම දිගටම ඇදී යද්දී විපක්ෂය සිතුවේ 20 සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවට ඡන්ද 150 සොයා ගැනීම පවා අපහසු වනු ඇති බවය. එහෙත් ජනාධිපතිවරයා සමඟ සිදු කළ සාකච්ඡාවකින් පසුව මේ හිමිවරුන් සියලු දෙනාම තමන්ගේ විරෝධය ඉවත් කර ගත්හ. ඒ කාරණයටම විරෝධය දැක්වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි ඇමැතිවරුන් ද අවසානයේ කොන්දේසි විරහිතවම ද්විත්ව පුරවැසිභාවය මැතිවරණයකට ඉදිරිපත් වීමට නුසුදුසුකමක් වශයෙන් නොසලකන බව පිළිගනිමින් 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට එක්වූහ. ප්‍රබල ආණ්ඩුවක කටයුතු සිදුවෙන්නේ එහෙමය. මේ රටේ දේශපාලන පොරපිටියේ බලපෑම් කණ්ඩායම්වල හැටිත් එහෙමය.

කෙසේ වුවද පාස්කු ප්‍රහාරය පිළිබඳව අගරදගුරුතුමන්ගේ සංවේදී බවද මුස්ලිම් ජාතිකයන්ගේ ගැටලුවලදී මහ සංඝරත්නය දක්වන සංවේදී බවද ආණ්ඩුවට දිගටම බලපෑම් කරනු ඇති බව ඉහත කතා සහ ලිපියෙන් පැහැදිලි වෙයි. ආණ්ඩුවට එරෙහිව දැනට සිදුවන ප්‍රබල විවේචන හමුවේ ඉදිරි කාලයේදී තමන්ගේ කටයුතුවල ප්‍රගතියක් පෙන්වීමට ආණ්ඩුව අසමත් වුවහොත් මේ බලවේගවලින් එල්ලවෙන බලපෑම් ද ඉහළ යාමට ඉඩ තිබේ. එහෙත් කනස්සල්ලට කාරණය වන්නේ මේ බලපෑම් සමඟ බැඳී තිබෙන්නේ ජාතික සහ ආගමික වශයෙන් සංවේදී වන කරුණු වීමය.

එම තත්ත්වයත් සමඟ ආණ්ඩුව ඉදිරියේදී මුහුණදෙන ප්‍රබල අභියෝගයක් වනු ඇත්තේ ලබන මාර්තු මාසයේ ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට සැකසෙන මානව හිමිකම් කඩකිරීමේ චෝදනා ඇතුළත් යෝජනාවයි. බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ රටවල් එකතුව ඉදිරිපත් කිරීමට නියමිත අදාළ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉදිරිපත් කරන ලද ඇරියුම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ. මේ යෝජනාවේ ඇතුළත් කරුණු ආණ්ඩුව අපහසුතාවයට පත් කරන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි, රටේ ස්වෛරීභාවයට සහ රටේ ජනතාවට එරෙහි වශයෙන් ආණ්ඩුව සලකන බවද ආණ්ඩුවේ මතය වී තිබේ.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව ජිනීවා සැසියට සහභාගි වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වූ අලුතමය. එහිදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ සම අනුග්‍රාහකත්වය දැක්වූ 30/1 යෝජනාවලියෙන් ඉවත් විය. ඒ සමඟ 34/1 සහ 40/1 යෝජනාවලට දැක්වූ සම අනුග්‍රාහකත්වය ද ඉවත් කර ගන්නා ලදී. මේ යෝජනාවලින් රටේ “ප්‍රතිසංධානය, වගකීම සහ මානව හිමිකම්” වර්ධනය කිරීම අරමුණු කරගෙන තිබිණි. කෙසේ වුවද ජිනීවා මානව හිමිකම් සැසියට දැඩිව සහාය දක්වන බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතළ චෝදනා ඇතුළත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට මෙවර ඉදිරිපත්ව සිටී. යුක්තිය ඉටුකිරීම, වගවීම සහ මානව හිමිකම්වල පවතින වැදගත්කම් සමඟ තමන් බැඳී සිටින බව බ්‍රිතාන්‍යය මේ යෝජනාවලිය පිළිබඳව අදහස් දැක්වීමේදී ප්‍රකාශ කර තිබුණි.

මේ යෝජනාවලිය ඉදිරිපත් කිරීමේදී ඊට සහාය දක්වන ලෙසට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබිණි. දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික මහජන පෙරමුණ, දෙමළ මහජන තේසියකූටනී යන පක්ෂ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සාමාජික රටවල් 47 වෙතට තමන්ගේ ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ඇතුළත් කෙටුම්පත මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී තිබේ. (එම යෝජනා මුල් පිටුවේ පළවෙයි.) මාර්තු මාසයේ සැසිවාරයේදී මෙය සාකච්ඡාවට ගනු ඇතිද නැද්ද යන්න තවම පැහැදිලි නැත. අමෙරිකාවේ සිදුවූ ජෝ බයිඩ්න්ගේ පදවිප්‍රාප්තිය සමඟ යම් කරුණු වෙනස් වීමටද ඉඩ තිබේ. එහෙත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ප්‍රශ්න ඇතිකර ගැනීමකින් තොරව කටයුතු කිරීම ආණ්ඩුව හමුවේ ඇති අභියෝගයයි. එම අභියෝගය ජය ගැනීමට දැඩි මතධාරී පිරිස්වලින් ඇතිකරන බලපෑම් කොයිතරම් දුරට ආධාර වනු ඇතිදැයි බලා සිටිය යුතුය. එහෙත් ආණ්ඩුව බලයට පත් කිරීමේ බලවේගය වශයෙන් ක්‍රියාත්මක වූ දැඩි මතධාරී දේශපාලන නායකයන් සහ මහ සඟරුවන රජයට සිදු කරන බලපෑම් මෙහිදී ආණ්ඩුවට ඍණාත්මකව බලපානු ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව සුළු ජාතීන් කොන් කරන ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බවට මතයක්ද උතුරේ දෙමළ නායකයන් විසින් කරන චෝදනාවද අවාසිදායකය.

මේ පසුබිමේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේදී ඉන්දියාව ඉතා වැදගත් සාධකයක් වන බව අවිවාදිතය. ඉන්දියාවේ හොඳ හිත තබාගැනීම එහිදී ප්‍රමුඛය. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ අවුල දිග්ගැසීම එහිදී අවාසිදායක බව පැහැදිලිය. ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති 51-49 විසඳුම ආණ්ඩුවේ අවසාන විසඳුම බව පෙනෙන්නට තිබේ. එහෙත් එයට එරෙහිව ගොඩනැගෙන වෘත්තීය සමිති සටන ද දිගටම ක්‍රියාත්මකය. එම සටනේ සිටින වෘත්තීය සමිති 23කින් යුත් වරාය සුරුකීමේ ව්‍යාපාරයේ බොහොමයක් සමිතිද මේ ආණ්ඩුව බලයට පත්කිරීමේ ව්‍යාපාරයේ සිටියේය. ඔවුන්ට පොහොට්ටුවේ නායකයන් විසින් ලබාදුන් එක් පොරොන්දුවක් වූයේ නැගෙනහිර ජැටිය විකුණන්නේ නැති බවය. එසේ පොරොන්දු දීමට සිදු වූයේ ඒ වන විට ද යහපාලන ආණ්ඩුව ඉන්දියාව සහ ජපානයේ හවුල් සමාගමකට නැගෙනහිර ජැටිය විකිණීමට ගිවිසුම් ගසා ඇති බවට තිබූ චෝදනාවයි. බලයට පත්වීමෙන් පසුව එම ගිවිසුම ආණ්ඩුව අහෝසි කළේය. එය ජපානයේ කනස්සල්ලට හේතු වී තිබිණි.

දැන් ප්‍රශ්නය තිබෙන්නේ ආණ්ඩුව ඒ වෙනුවට ඉන්දියාවේ අදානි සමාගම සමඟ එළඹ ඇති ගිවිසුමයි. එයට එකඟ වන ලෙසට ඉන්දියාව දැඩිව රජයට බලපෑම් කරන අතර කලාපය තුළ චීනයේ බලපෑම් බැලන්ස් කිරීම එහි අරමුණ බවද කියැවේ. නැගෙනහිර ජැටිය කේන්ද්‍ර කරගත් අර්බුදය ආණ්ඩුවට අලුත් අභියෝගයකි.

කෙසේ වුවද මෙහිදී විපක්ෂය අතරමංව සිටින බවක් පෙනෙන්නට තිබේ. ජවිපෙ නම් වරාය සටනට බැස සිටින්නේ විදෙස් රටවල් සමඟ ජාතික සම්පත් බෙදාගැනීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය නොවන බැවිනි. එහෙත් සජබ එසේ නැත. ඔවුන් සිටි යහපාලන රජය විදෙස් ආයෝජන සඳහා ගිවිසුම් ගතවීම ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන තිබිණි. වරාය සටනට සහාය දෙනවාද තමන්ගේ ප්‍රතිපත්තියේ රැඳී සිටිනවාද යන්න ඔවුන් අද හෙටම තීරණය කළ යුතුය.

එහෙත් යූ.එන්.පිය කෙළින්ම පෙනී සිටින්නේ තමන්ගේ ආයෝජන ප්‍රතිපත්තිය නිවැරදිය යන මතය වෙනුවෙනි. මංගල සමරවීර හිටපු ඇමැති නිකුත් කළ ප්‍රකාශය එයට හොඳම සාක්ෂියයි. එම ප්‍රකාශයෙන් සරලව දක්වා තිබුණේ “ඕක තමයි අපි කිව්වේ” යන අදහසය. නමුත් පොහොට්ටුවේ නායකයන් දිගටම කිව්වේ රනිල් වික්‍රමසිංහලා චීනයට හම්බන්තොට වරාය විකිණීම නිසා මේ ගැටලුව ඇතිවූ බවය. මේ ගැන එක් සුප්‍රකට දේශපාලන විචාරකයෙක් මෙසේ කියා තිබුණි.

“බටහිරට ගැති වික්‍රමසිංහ, චීනයට ගැති මහින්ද රාජපක්ෂ දුන්නාට වඩා වැඩියෙන් චීනයට දුන්නේය. ඉන්දියාවට ගැති රනිල්ට වඩා දේ ඉන්දියාවට ලබාදීමට චීනයට ගැති ගෝඨාභය, සූදානමින් සිටී.”

 ශශීන්ද්‍ර 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00